ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට ඇද වැටුණේ කොහොම ද?

වර්තමානය වන විට ශ්‍රී ලංකාව සිටින්නේ මෑත ඉතිහාසයේ මෙරට මුහුණ පෑ දරුණුත ම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින්. වර්තමානය වන විට ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස සැලකෙන ආහාර, ඉන්ධන හා ඖෂධවල පවා උග්‍ර හිඟයක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. දිනෙන් දින උග්‍ර වන මේ අර්බුදය අභිමුව රටේ පාලකයන් කිසිදු සාධනීය පියවරක් නොගැනීම නිසා, ශ්‍රී ලාංකීය ජනතාව වීදි බැස ඔවුනට එරෙහි ව අරගල කරමින් සිටිනවා. මෙම අර්බුදය ඇතිවීමට මෙන් ම නොවිසඳී ඉදිරියට ගෙනයාමට කටයුතු කිරීමටත් පාලකයන් වගකිවයුතු බැව් ඔවුන්ගේ මතය යි. 

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බැව් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. ඉන් අනතුරුවත් එම තත්ත්වයෙන් ගොඩ එන්නට පාලකයන් කිසිදු සාර්ථක විසඳුමක් ගෙන ආවේ නැහැ. මේ නිසා ආර්ථික අර්බුදය උග්‍ර වුණා. මෙම ආර්ථික අර්බුදයට පාර කැපුණු ආකාරය පිළිබඳ අපි විමසා බලමු.

 ඉන්ධන පෝලිම්වල අපහසුතාවට පත් වී සිටින ජනතාව- Reuters.com

 

වර්තමාන තත්ත්වය

2022 වසරේ ජූලි මස 13 වැනි දා වන විට වර්තමාන අර්බුදය විසඳිය හැකි පාලන තත්ත්‍රයක් ඉල්ලමින් ශ්‍රී ලාංකීය ජනතාව ආරම්භ කළ අරගලය හේතුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂට තව දුරටත් බලයේ සිටීම අතිශයින් අසීරු වුණා. ඔහු රටින් පිටවී ඇති අතර, ජූලි මස 13 වන දින ජනපති තනතුරෙන් ඉල්ලා අස් වන බැව් ප්‍රකාශ කර තිබුණා. එනමුදු අද වනවිටත් ජනපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු පොෙරාන්දු වූ පරිදි කථානායකවරයා වෙත යොමු කර නැහැ. වර්තමානයේ ඔහු මාලදිවයිනේ රැඳී සිටින බවට පුවත් පළ වී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පසුගිය අප්‍රේල් මස සිට ජනතාව බලපෑම් කරන්නට පටන් ගත්තා. මේ අනුව ඇරඹුණු අරගලය හේතුවෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙක් සිය තනතුරුවලින් ඉල්ලා අස් වුණා. ගෝඨාභය රාජපක්ෂගේ ධූරයෙන් පහකිරීමේ බලාපොරොත්තුවෙන් ජනතාව ලක්ෂ ගණනක් කොළඹට පසුගිය ජූලි 9 වැනි දා  ඇදී ආ අතර, එදිනත්, ඉන් අනතුරුවත් ඇති වූ සිද්ධි සමුදායේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට පළමු ව ජනපති මැදුරෙනුත් අනතුරු ව රටිනුත් පලා යාමට සිදුවුණා. මේ වන විට ජනතාව ජනපති මැදුර, ජනපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය හා අගමැති කාර්යාලය වැනි රාජතාන්ත්‍රික මර්මස්ථාන කිහිපයක් තමන් යටතට ගෙන තිබෙනවා.

ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය

වර්තමාන ශ්‍රී  ලංකා ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ දැඩි අප්‍රසාදය එල්ල වූයේ විදේශ සංචිත හිඟය හේතුවෙක් හට ගත් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල හිඟය හා ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල දැරිය නොහැකි ලෙස වැඩි වීම, පැය ගණන් විදුලිය කප්පාදු කිරීම වැනි කාරණා නිසා යි. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජූලි 9 වැනි දා වනතුරු ජනතා මතය පසෙක ලමින් සිය ධූරයේ රැඳී සිටීම ඔවුන් තවත් කුපිත කිරීමට සමත් වුණා. පසුගිය 9 වැනි දා සිද්ධි දාමය ඇතිවන්නේ ඒ අනුව යි.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ඇති වී ඇති තත්ත්වය මේ වන විට සාකච්ඡා මට්ටමේ පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතියටත් යම් බලපෑමක් එල්ල කර තිබෙනවා.

 සිය අයිතිවාසිකම් ඉල්ලා සටන් වදින ජනතාව- Reuters.com

 

ශ්‍රී ලංකාවට වර්තමාන තත්ත්වය උදාවූයේ කෙලෙස ද?

ශ්‍රී ලංකාවේ පසුගිය වසර කිහිපය ඇතුළත පත් වූ ආණ්ඩුවල දුර්වල මුදල් පාලනය මෙරට වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හේතුව බව ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ මතය යි. ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට වඩා ආනයන වලට යන වියදම ඉතා වැඩි අගයක පවතින අතර මේ නිසා සෑම වසරක ම විදෙස් විනිමය සැලකිය යුතු මට්ටමකින් රටට අහිමි වුණා. 2019 වසරේ දී බලයට පත් වූ වර්තමාන රජය සිදු කළ විශාල බදු සහන ලබා දීම් සහ කොවිඩ් ව්‍යසනයෙන් සංචාරක කර්මාන්තය ඇතුළු කර්මාන්ත අඩපණ වීම නිසා මෙම ගැටලුව වඩාත් තීව්‍ර වූ අතර විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ද මෙරටට ලැබුණු විදෙස් විනිමය ද කොවිඩ් ව්‍යසනයට සමගාමීව අඩු වීම නිසා ශ්‍රී ලංකා ආර්ථිකය කබලෙන් ළිපට වැටුණා.

ණය ගෙවීමේ හැකියාව සහ මූල්‍ය ස්ථාවරත්වය මත රටවල් ඛාණ්ඩගත කරන ආයතන ශ්‍රී ලංකාව පසුගිය දා සිය ණය ගෙවීම පැහැර හැරීම සහ අධික ණය බරක් තිබීම යන කරුණු සැලකිල්ලට ගෙන 2020 වසරේ සිට ශ්‍රී ලංකාව සිය ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළා තිබෙනවා. මේ නිසා විදෙස් මූල්‍ය වෙළඳපොළවල පිවිසුම් රාශියක් ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. මෙම තත්ත්වය උඩ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර ව පවත්වා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකා මහබැංකුව සතු ව තිබූ මුදල් සංචිතවලින් 70% ක් පමණ දිය කර හැර තිබෙනවා. 

 සංචාරක කර්මාන්තයට කොවිඩ් ව්‍යසනය නිසා වූ බලපෑම ශී ලංකාවේ ආර්ථිකයට විශාල ලෙස බලපා තිබෙනවා- Newsfirst.lk 

 

මීට වසර කිහිපයකට පෙර ඉතා සාධනීය ලෙස දියුණු වීමේ ලකුණු පෙන්නුම් කළ මෙරට ආර්ථිකය අද වන විට සම්පූර්ණයෙන් දණින් වැටී තිබෙනවා. රට පුරා ඉන්ධන පෝලිම් දක්නට ඇති අතර, වර්තමානය වන විට උද්ධමනය 54.6 ක් ලෙස සටහන් වී තීබෙනවා. එය 70% කරා ළඟා විය හැකි බවට පසුගිය දා මහ බැංකු අධිපතිවරයා පවසා සිටියා.

ආණ්ඩුව සිදු කළේ කුමක්ද?

ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පසුගියදා  ආරම්භ කළා. ඒ මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉක්මන් ණය වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා යි. කෙසේ නමුත් ඔවුන් ඒ සඳහා යොමු වූයේ බොහෝ කල් පසු වී වන අතර, පසුගිය වසරේ පටන් විපක්ෂය සහ තවත් ආර්ථික විශේෂඥයන් ආණ්ඩුවට දැඩි ආර්ථික අර්බුදයක් පිළිබඳ රතු එළි දල්වමින් සිටියා. කෙසේ නමුත් ආණ්ඩුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත දියුණු වී ඒ යැයි බලාපොරොත්තුවෙන් කල් මැරුවා. ආර්ථික අර්බුදය කෙමෙන් කෙමෙන් තීව්‍ර වන විට ඔවුන් ඉන්දියාවෙන් සහ චීනයෙන් ආධාර ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයමිනු යි. ඉන්දියාව මේ වසර ඇතුළත සිය අසල්වැසියා වෙත අමෙරිකා ඩොලර් බිලියන තුන හමාරක ආධාර ලබා දුන්නේ ඒ අනුව යි. මීට අමතරව චීනය 2021 වසරේ අවසන භාගයේ ශ්‍රී ලංකාවට ලබා දී තිබුණු අමෙරිකා ඩොලර් බිලියන 3.5 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ අතර, තවත් අමෙරිකා ඩොලර් බිලියන 1.5 ක හදිසි මුදල් හුවමාරුවක් ද සිදු කළා. කෙසේ නමුත් ඒ කිසිවකින් මෙරට ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන් නොවිසඳුණු අතර, වර්තමානය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මෙරටට යම් යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

මීළඟට සිදුවන්නේ කුමක්ද?

දිගින් දිගට ම සිදුවන අරගල නිසා වර්තමාන ජනපති ගෝඨාභය රාජපක්ෂට තව දුරටත් ධූරයෙහි රැඳී සිටීම ඉතා අපහසු වී තිබෙනවා.ශ්‍ රී ලංකාවේ මේ වන විට බලාත්මක ව්‍යවස්ථාවට අනුව ජනපතිවරයා ධූරයෙන් ඉල්ලා අස් වුවහොත් ඒ සඳහා අගමැතිවරයා තේරී පත් වෙනවා. මේ වන විට අග්‍රාමාත්‍ය තනතුර හොබවන රනිල් වික්‍රමසිංහ  ඒ අනුව වැඩබලන ජනපති ලෙස තේරී පත් කෙරුණා. අගමැති රනිල් වික්‍රමසිංහ, වැඩබලන ජනාධිපති ධුරයට පත් කළ බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පසුලිය 13 වැනි දා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) ව්‍යවස්ථාව අනුව එම පත් කිරීම කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.

අරගලකරුවන් පවසන්නේ අගමැතිවරයා වැඩබලන ජනාධිපති ධුරයෙන් ද අස් වී ගෙදර යා යුතු බව යි. ඔහුද ඉල්ලා අස් වුවහොත් වැඩබලන ජනපති ධුරයට තේරී පත්වන්නේ මෙරට තෙවන පුරවැසියා ලෙස සැලකෙන කතානායකවරයා යි. වර්තමානයේ කතානායක පදවිය හොබවන්නේ මහින්ද යාපා අබේවර්ධන යි. ඔහු තාවකාලිකව වැඩබලන ජනපති බවට පත් වන අතර, මාසයක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව එක් රැස් වී ඔවුන් අතරින් අයෙක් අභිනව ජනපතිවරයා ලෙස තෝරා පත් කර ගත යුතු වෙනවා. මෙලෙස තේරී පත් වන අභිනව ජනපතිවරයාට 2024 වසර වන තුරු හෙවත්, ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ධූර කාලය එම තනතුරේ රැඳී සිටිය හැකි වෙනවා. මෙලෙස පත් වන නව ජනපතිවරයා සිය රට වෙනුවෙන් සිදු කළ යුතු මුල් ම කාරයභාරය වන්නේ මෙරට ආර්ථිකය හැකි ඉක්මනින් ස්ථාවර අඩියකට ගෙන ඒම බව විද්වත් මතය යි.

කවරයේ ඡායාරූපය - ගෑස් බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ජනතාව- EPA 

මූලාශ්‍ර:

Newsfirst.lk

Bbc.com

reuters.com

Related Articles