22 වන ව්‍යවස්ථා සංශෝධනය සමඟ රට ඉදිරියට යන හැටි

ශ්‍රී ලංකාව වර්තමානය වන විට සිටින්නේ නිදහසෙන් පසු ඔවුන් මුහුණ දී තිබෙන දරුණුත ම ආර්ථික අවපාතය හමුවේ යි. මේ වන විට ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව බංකොලොත් හෙවත්, තමන් ගෙවිය යුතු ණය වාරික ගෙවාගත නොහැකි රටක් ලෙස හංවඩු ගැසී තිබෙන අතර, මේ හේතුවෙන් කිසිදු රටකින් විදෙස් ණයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයකට මෙරට පත් වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ප්‍රකාශ කර ඇත්තේ, මෙරටට ණය ලබා දීමට නම්, විනිවිද භාවයකින් යුක්ත මූල්‍ය කළමනාකරණ වැඩපිළිවෙළක් පළමුව ඉදිරිපත් කළ යුතු බව යි.

ශ්‍රී ලංකාව ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරන තුරු නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලෝක බැංකුව ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණා.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් 

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීමද සිදු විය යුතු බව එම නිවේදනයෙන් කියවුණා. 

විද්වතුන් පවසන අන්දමට මෙලෙස රට ආර්ථික ආගාධයකට තල්ලු වීමේ ප්‍රධානත ම හේතුවක් වන්නේ, මෙරට දේශපාලනික ක්ෂේත්‍රයේ හැසිරීම යි. විශේෂයෙන් මෙරට මුල් පුටුව වන ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති අසීමාන්තික බලතල නිසා මෙරටට සිදු ව ඇති හොඳට වඩා අයහපත් දේ වැඩි බැව් ඔවුන් තර්ක කරනවා. මේ හේතුවෙන් 2015 වසරේ බලයට පත් වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ සමයෙහි 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් මෙරට ජනපතිවරයකුට හිමි ව තිබූ බලය තරමක් කප්පාදු කොට පාර්ලිමේන්තුව වෙත පැවරුණා. කෙසේ නමුත් ඉන් පසු බලයට පැමිණි රජය සහ ජනපති, එලෙස අහිමි වූ බලය සෑහෙන පමණකින් නැවත ස්ථාපිත කරගන්නා ආකාරයට දැනට ක්‍රියාත්මක 20 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ගත්තා.

 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සභා ගැබ- AFP

 

රට ආර්ථික ආගාධයට ගිය හැටි

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින වත්මන් ආර්ථික අර්බුදයට අඩිතාල ම වැටුණේ අද ඊයේක නොවේ. මීට වසර ගණනාවකට පෙර සිට ම මෙරට අපනයන ආදායම් සහ වෙනත් ආදායම්, ආනයන වියදම් ඇතුළු වියදම්වලට සාපේක්ෂ ව කැපී පෙනෙන අඩුවක් පෙන්නුම් කළා. පසුගිය සියලු රජයන් පාහේ මේ විනිමය පරතරය පියවා ගැනීමට කටයුතු කළේ විදෙස් ණය ලබාගැනීම මඟිනු යි. එය හුදු පැලැස්තර ඇලවීමක් පමණක් වූ අතර, වසරෙන් වසර ගෙවිය යුතු ණය වාරික ප්‍රමාණය වැඩි වුණා. ඒ අතර රට තුළ දූෂණය සහ අකාර්යක්ෂ්මතාව ද වැඩිදියුණු වූ අතර, මේ නිසා නාස්ති වන මුදල් ප්‍රමාණය ද ඉහළ ගියා. 

මෙයට මෙරට මුල් පුටුව සතුව තිබෙන අසීමාන්තික විධායක බලතල ද වක්‍රාකාරයෙන් ඉවහල් වූ අතර, හුදු දැඩි, තනි තීරණ ගැනීමට පෙලඹීම නිසා තත්ත්වය තවත් නරක අතට හැරුණා. 2019 වසරෙන් පසු රජයට ලැබෙන බදු අඩු කිරීමේ අත්තනෝමතික තීරණයත්, රසායනික පොහොර භාවිතය එක්වර ම නවත්වා කාබනික ගොවිතැනට ලහි ලහියේ යොමු වීමත් නිසා මෙරට රජයට ලැබෙන ආදායම් මෙන් ම, රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයත් කඩා වැටුණා. ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නාක් මෙන් කොරෝනා වසංගතය ද පැමිණි අතර, එයින් සිදු වූයේ, මින් වසර කිහිපයකට පසු මෙරට උද්ගත වීමට තිබූ වාතාවරණයක් වසර දෙක තුනක් ඉදිරියට පැමිණීම යි. 

ණය තිරසාර නොවීම

2021 වසරේ දී මෙරට ණය තිරසාර නොවන බැව් ජාත්‍යන්තරය පවසන්නට වුණත්, එය කනකට නොගනිමින් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නට මෙරට බලධාරීන් තීරණය කළ අතර, අවසානයේ ඔවුන්ගේ ඇස් ඇරුණේ මෙරට මුදල් ඒකකය 80% කින් කඩා වැටී, රට බංකොලොත් වී, අත්‍යවශ්‍ය භාණ්ඩ ද දැඩි ලෙස හිඟ වීමෙන් අනතුරුව යි. මෙරට බංකොලොත් වීමට පෙර නිසි ක්‍රියාමාර්ග ගත්තේ නම්, වර්තමාන තත්ත්වයට වඩා බොහෝ අඩු අපහසුතාවකින් මෙරට නැවතත් නිසි මාර්ගයට ගන්නට ඉඩ තිබූ අතර, ඊට හරස් වූයේ, මෙරට මුල් පුටුව ඇතුළු තවත් සමහර ස්ථානවලට කේන්ද්‍රගත ව ඇති අසීමාන්තික බලතල යි. විශේෂයෙන් තනි පුද්ගලයකු සතු ව අසීමාන්තික බලතල ඇති විට වැරදීම් සිදුවීමට වැඩි හැකියාවක් ඇති බැව් විද්වතුන් පවසනවා.

 එක් වරම සිදුකළ රසායනික පොහොර තහනම නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියුතු වූවන් අපහසුතාවට පත් වුණා.- downtoearth.org

 

21 සහ 22

ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයට පත් වූ පසු බොහෝ දෙනකුට මෙරට ජනපති පුටුවට වර්තමානයේ ඇති අසීමාන්තික බලතලවල භයානක බව වැටහී ගියා. මේ නිසා දැනට බලාත්මක 20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින්, නැවත 19 වන සංශෝධනයට සමාන හෝ අඩු බලතල, ජනපති පුටුවට පැවරෙන පරිදි හෝ, කොටින් ම විධායක ජනපති ධූරය අහෝසි කිරීම සඳහා නව සංශෝධනයක් ගෙන එන්නට, පාර්ලිමේන්තුව සහ අනෙකුත් බලධාරීන්ට බල කරන්නට ජනතාව ක්‍රියා කරන්නට වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 21 වන සංශෝධනය කරළියට පැමිණි අතර, එය වඩාත් යාවත්කාලීන කරමින් මේ වනවිට 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් කරළියට පැමිණ තිබෙනවා.

22 වන සංශෝධනයෙන් ගෙන එන වෙනස්කම්

22 වන ව්‍යවස්ථා සංශෝධනය පසුගිය ජුනි මස 24 වැනි දා ගැසට් කෙරුණා. මෙහිදී ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාව නැවත වාරයක් නැති කර තිබෙනවා. එලෙස ම කැබිනට් මණ්ඩලය බලාත්මක ව පවතින තුරු අග්‍රාමාත්‍යවරයා එම ධූරයේ කටයුතු කරන අතර, ඔහු ඉවත් කිරීමේ හැකියාව ජනපතිවරයාට අහිමි කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා ඉවත් වන්නේ නම් එය ලිඛිත ව ජනපති වෙත යවන ලිපියකින් සිදු කළ යුතු අතර, ඔහු පාර්ලිමේන්තුවේ ආසනයක් තව දුරටත්  නියෝජනය නොකරයිනම් හෝ වෙනයම් කරුණක් නිසා ධූරය හෙබවීමට නුසුදුසු වීම නිසා ද ධූරය හිස් විය හැකි යි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි ව ගෙන එන දෝෂාභියෝගයකින් ද පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ හැකි යි. කැබිනට් මණ්ඩලය හා අදාළ යම් කිසි වෙනස්කමක් සිදුකිරීමේදී ජනපතිවරයාට අග්‍රාමාත්‍යවරයාගේ මතය විමසීම ද 22 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් අනිවාර්යය කර තිබෙනවා. යම්කිසි ඇමතිවරයෙක් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට හෝ වෙනස්කිරීමට ජනපතිට බලතල තවමත්  ඇති මුත්, එහිදී එය සිදුකිරීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ම සිදු කළ යුතු වෙනවා.

 වර්තමාන ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ – aa.com.tr

 

පාර්ලිමේන්තුව විසුරුවාලීමට ඇති බලය

මේවාට අමතර ව 20 වන ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාර ව, පාර්ලිමේන්තුව පළමු ව රැස් වී වසර දෙකහමාරක් ගිය තැන, ජනපතිට එය විසුරුවාලීමට ඇති බලය එලෙස ම 22 වන සංශෝධනයේ ද පවත්වා ගෙන ගොස් තිබෙනවා. කෙසේ නමුත් රජයේ සංස්ථා සහ වෙනත් කාර්යාල, අමාත්‍යංශ වල විගණනය නැවත ඇරඹිය යුතු බැව් ද මෙහි දක්වා තිබෙනවා.

22 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට අදාළ ඉදිරි කටයුතු මේ වන විට සිදු වෙනවා. කෙසේ නමුත් ජනතාව බලාපොරොත්තු වූ විධායක ජනපති ධූරය අහෝසි කිරීම මෙහි දී ද සිදුවන්නේ නැහැ. ඒ වෙනුවට එම ධූරයට ඇති බලය යම් පමණකින් පමණක් අඩු කර තිබෙනවා. මේත් සමඟ රට ඉදිරියට යන්නේ කෙලෙසදැ යි යන්න පිළිබඳ ව මෙරට බහුතරයක් ජනයා දෑස් දල්වා බලා සිටිනවා.

කවරයේ ඡායාරූපය - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව- groundviews.org

මූලාශ්‍ර:

Parliament.lk

Colombopage.com

Economynext.com

Bloomberg.com 

Related Articles