ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන ආකාරයන් 3ක් තිබෙනවා. සංවහන, මෝසම්, සහ වාසුළි ලෙසින් හඳුන්වන එම ආකාරවලින් සැලකිය යුතු වර්ෂාවක් මෝසම් වැසි මඟින් ලැබෙනවා. එලෙස ලංකාවේ දේශගුණයට බලපෑම් කරන ප්‍රධාන මෝසම් ආකාර 2ක් තිබෙනවා. නිරිතදිග මෝසම සහ ඊසාන දිග මෝසම ලෙසින් හඳුන්වන ලබන එම මෝසම් දෙකෙන් ලංකාවට වැඩිම වර්ෂා ප්‍රමාණයක් ලැබෙන්නේ නිරිතදිග මෝසම මඟින්. 

නිරිත දිග මෝසම සක්‍රිය වන ආකාරය 

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට වසර පුරාවට සැලකිය යුතු කාලයක් වර්ෂාව ලැබෙනවා.  ඒ අනුව මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නිරිතදිග මෝසම මඟින් ලංකාවට වර්ෂාව පතිත වනවා. එලෙස පුරා මාස 5ක කාලයක්  වර්ෂාව සක්‍රියව පවතින අතර එහි දී නිරිතදිග මෝසම පෝෂණය වීමට විශාල දායකත්වයක් දෙනු ලබන්නේ ඉන්දියන් සාගරය විසින්. මැයි මාසය වන විට අන්තර් නිවර්තන අභිසරණ කලාපය උතුරට ගමන් කරනවා. එම නිසාම එහි ඇති වන අඩු පීඩනය පිරවීම සඳහා ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ සිට උතුරු ප්‍රදේශයට සුළං ධාරා හමා යාම සිදුවනවා. එහි දී  සුළං ධාරාව  ලංකාවේ නිරිත දෙසින් රට තුළට ඇතුළු වී ඊසාන දෙසින් පිටව යනවා. එම ක්‍රියාවලියේ දී ජලවාෂ්ප රැසක් ද සමග රට තුළට ඇතුල්වන වායු ධාරාව මධ්‍යම කඳුකරයේ හැපී ඉහළට ගමන් කිරීම නිසා ජල වාෂ්ප සිසිල් වී වළාකුළු නිර්මාණය වෙනවා. එසේ නිර්මාණය වන වළාකුළු මඟින් ඇතිවෙන වැසි නිරිතදිග මෝසම් වර්ෂාව ලෙසින් හඳුන්වනු ලබනවා. මෙම ක්‍රියාවලියේ දී රට තුළට ඇතුල්වන සුළං දහරාව තුළ විශාල ජලවාෂ්ප ප්‍රමාණයක් ඇත්තේ විශාල සාගර ප්‍රදේශයක් හරහා පැමිණෙන නිසා යි. එම නිසා නිරිතදිග මෝසම මඟින් ලංකාවට සැලකිය යුතු තරම් වර්ෂා ප්‍රමාණයක් ලැබෙනවා.

මෝසම් සුළං ධාරා හමායන අයුරු (vidusara)

ලැබෙන වර්ෂා ප්‍රමාණය සහ ප්‍රදේශ

නිරිතදිග මෝසම මඟින් ලංකාවේ ප්‍රදේශ රැසකට වර්ෂාව ලැබුණත් සෑම ප්‍රදේශයකටම සමාන වර්ෂා ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. දිවා සහ රාත්‍රී කාලයන් දෙකේම වර්ෂාව බලාපොරොත්තු විය හැකි නිරිත දිග මෝසම මඟින් ලැබෙන වර්ෂා ප්‍රමාණය මිලිමීටර් 100 සිට 3000 දක්වා විචලනය වනවා. එහි දී  බටහිර බෑවුම්වල මධ්‍ය උස්බිම්වලට ඉහළම වර්ෂාපතනයක් ලැබෙනවා. ඒ අනුව ගිනිගත්හේන, වටවල, උඩ මාලිබොඩ, නෝටන්බ්‍රිජ් වැනි ප්‍රදේශවලට මිලිමීටර් 3000කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. නමුත් එම ප්‍රදේශවලට වඩා ඉහළින් පිහිටි උස් බිම්වලට නිරිතදිග මෝසමෙන් ලැබෙන වර්ෂා ප්‍රමාණය සැලකිය යුතු තරම් අඩු වනවා. එනිසා නුවරඑළිය ප්‍රදේශයට ලැබෙන වර්ෂා ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලිමීටර් 850ක් වැනි අගයක් ගනු ලබනවා. එසේම නිරිතදිග වෙරළබඩ තීරයට ද මෙම මෝසම මිලිමීටර් 1000 සිට 1600 දක්වා වර්ෂාපතනයක් ලැබුණත් ගිණිකොණ දිග වෙරළබඩ තීරයට ලැබෙන්නේ ඉතාමත් අඩු වර්ෂා ප්‍රමාණයක්.

නිරිතදිග මෝසමෙන් වර්ෂාව ලැබෙන ප්‍රමාණ (meteo.gov.lk)

වී වගාවට ලැබෙන සහාය

ශ්‍රී ලංකාව අතීතයේ සිටම සහලින් ස්වයංපෝෂිත වී තිබුණු නිසා අතීත රජ දවස පෙරදිග ධ්‍යාන්‍යාගාරය ලෙසින් ද හඳුන්වනු ලැබුවා. එදා මෙන්ම අදත් ශ්‍රී ලංකාව තුළ වී වගාව මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වනවා. එහි දී තෙත් කලාපයේ සහ වියළි කලාපයේ වී වගාව සිදුවනවා. සාමාන්‍යයෙන් තෙත් කලාපයේ වී වගාව සිදුවන්නේ වර්ෂා ජලයේ ආධාරයෙන්. නමුත් වියළි කලාපය තුළ යල කන්නයේ දී සම්පාදනය කරන ජලයෙන් වී වගාව සිදුකරන විට මහ කන්නයේ දී වර්ෂා ජලයෙන් වී වගාව සිදුකරනු ලබනවා.  ඒ අනුව නිරිතදිග මෝසමෙන් ලැබෙන වර්ෂාවෙන් තෙත් කලාපයේ යල කන්නය සඳහා වී වගාව සිදුවනවා. නමුත් නිරිතදිග මෝසමෙන් ලැබෙන වර්ෂා ප්‍රමාණයේ අඩු වැඩිවීම් ඇතැම් වසරවල දී දක්නට ලැබෙනවා. එම නිසාම බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා අධික වර්ෂාවක් ලැබී තෙත් කලාපයේ බොහෝ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති වුණොත් වී වගා බිම්වලට හානි සිදුවනවා. එසේම බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා අඩුවෙන් වර්ෂාව ලැබුණොත් තෙත් කලාපයේ වී වගා කටයුතු අඩපණ වනවා. එලෙස නිරිතදිග මෝසමෙන් ලැබෙන වර්ෂා ප්‍රමාණය තෙත් කලාපයේ වී වගාව සඳහා තීරණාත්මක සාධකයක් වන බව දක්නට ලැබෙනවා.

වී වගා බිමක් (araliya rice)

ස්වභාවික විපත්

ලංකාවේ තිබෙන විශාලම ගංගාවන් කිහිපයක් වන මහවැලි, කැළණි, කළු, සහ වලවේ ගලා බසින්නේ මධ්‍යම කඳුකරයේ සිට යි. එම නිසා නිරිත දිග මෝසම මඟින් පමණට වඩා වැඩි වර්ෂාපතනයක් මධ්‍යම කඳුකරයට පතිත වුණොත් මෙම ගංඟාවන් හරහා විශාල ජල ප්‍රමාණයක් පහත් බිම් වෙත ගමන් කරනවා. එසේම නිරිතදිග මෝසමෙන් අධික වර්ෂාවක් ලැබුණොත් ගිං සහ නිල්වලා ගංගා මඟින් ද විශාල ජල කඳක් පහත් බිම් වෙත රැගෙන යනවා. පහත් බිම් වෙත ගමන් කරන විශාල ජල කඳ නිසා ගංවතුර තත්ත්වයන් ඇති වනවා. පසුගිය කාල සමය තුළ අවස්ථාවන් කිහිපයක දීම මෙම ගංගාවන් පිටාර ගැලීම නිසා ගංවතුර තත්ත්වයක් නිර්මාණය වුණා. අධික වර්ෂාවත් සමගින් ඇති වන ගංවතුර ජනතාවට පීඩාවක් ඇති කරන විට නායයෑම් මඟින් එම පීඩාව දෙගුණ තෙගුණ කරනවා. විශේෂයෙන්ම කඳුකරයට වර්ෂාව වැඩි වශයෙන් ඇද වැටෙන විට විශාල වශයෙන් නාය යන ආකාරය පසුගිය කාල සමයේ නිරන්තරයෙන්ම දක්නට ලැබුණා. නිරිතදිග මෝසම් වර්ෂාව පමණට වඩා වැඩියෙන් ලැබීම ස්වභාවික ආපදාවන් ඇති වීමට හේතුවක්.

ගංවතුර ඇති වුණු අවස්ථාවක් (News 1st)

පසුගිය දශකය තුළ නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ස්වභාවික විපත් ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ ගියා. මිනිසා විසින් පරිසරයට එරෙහිව කරන ක්‍රියාකාරකම් එවැනි ස්වභාවික ආපදා ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළයාමට හේතුවක් වනවා. එම නිසාම මෙම පාරිසරික හානිය දිගින් දිගටම සිදු වුණොත් අනාගතයේ දී ඉතාමත් දරුණු ස්වභාවික විපත්වලට මුහුණදීමට සිදුවනු ඇති.

කවරයේ ඡායාරූපය- New York Times 

මූලාශ්‍රයයන්- statistics.gov.lk