නඩුහබවලට මැදි නොවී පුද්ගලයන් විවේචනය කිරීමට නම්…

අද සමාජයේ විවේචනය කිරීම් සුලබයි. විශේෂයෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය රැල්ලෙන් එහා ගොස් වර්ධනයවූ සමාජ ජාල වෙබ් අඩවි තුළ මෙය නිතර ඇස ගැටෙන දසුනක්. ඕනෑම දෙයක් සාධාරණව විවේචනය කිරීමේ කිසිදු වරදක් නැහැ. නමුත් සීමාව ඉක්මවා ගොස් ඔබ සිදුකරන විවේචනයකින් පුද්ගලයෙකුගේ චරිතයට හානියක් වනවා නම් හෝ ඔහුට හෝ ඇයට අපහාසයක් සිදු වනවා නම් හෝ ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග පවා ගත හැකියි. එනම් එහි නිර්මාතෘවරයාට එරෙහිව වගේම ප්‍ර‍කාශකයාට එරෙහිවත් නඩු පැවරීමේ හැකියාව තිබෙනවා.

ඇත්තටම අපහාසයක් කියන්නේ මොකක්ද? පුද්ගලයෙකු විවේචනය කළ පමණින්ම අපට එරෙහිව නඩුවක් ගොනු විය හැකිද? මේ ලිපියේ බලාපොරොත්තුව මේ සම්බන්ධයෙන් ලංකාවේ දැනට බල පැවැත්වෙන නීති තත්ත්වය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබාදීමයි.

(anthonywhatmore.co.za)

(anthonywhatmore.co.za)

දීලික්තමය වරදක් වන අපහාසය ලංකාවේ ලිඛිත නීතිය තුළ පැහැදිලිව ආමන්ත්‍ර‍ණය කර නැතත් නඩු තීන්දු හරහා ඒ ආශ්‍රිත නීතිය ස්ථාවරව තිබෙනවා.

අපහාසය පිළිබඳ විවිධාකාර නිර්වචන දැකිය හැකියි. ලංකා අධිකරණය පිළිගෙන ඇති ආකාරයට අපහාසය වචන මගින් හෝ ලිඛිතව, මුද්‍රිතව හෝ පින්තූර හෝ වෙනත් ඕනෑම ඉදිරිපත් කිරීමේ ක්‍ර‍මයක් මගින් සිදුකළ හැකියි. එය විවේචනයට ලක් වන පුද්ගලයා ඉදිරිපිට හෝ නැති තැන ප්‍ර‍සිද්ධියේ හෝ රහසිගතව සිදුකළ හැකියි. එම පුද්ගලයාගේ කීර්තිනාමයට හෝ හොඳ නමට පීඩා කරන හෝ ඕනෑම දෙයක් පිළිබඳව ද්වේශ සහගතව ප්‍ර‍සිද්ධියට පත් කිරීමෙන් අපහාසය සිදුවිය හැකියි.

පුද්ගලයන් ඉලක්ක කරගෙන කාටූන් චිත්‍ර‍ ඇඳීම හෝ ලිපි ලිවීම අද නිරන්තරයෙන් සිදුවන්නක්. එමෙන්ම පුද්ගලයන් සම්බන්ධ නොයෙකුත් විකෘත කළ පුවත් සමාජ ජාල වෙබ්අඩවි තුළ දැකිය හැකියි. කෙනෙකුට මෙය භාෂණයේ නිදහස යැයි තර්ක කළ හැකි නමුත් මෙහි යම් සීමාවක් පැවතිය යුතුයි. මන්ද සීමා නොතකා මෙවන් නිදහසක් භුක්ති විඳීමෙන් තවත් පුද්ගලයෙකුගේ ජීවිතයම අපායක් වීමට පවා ඉඩ ඇති නිසා.

අපහාසයක් සිදු වූයේ දැයි සැලකීමේ දී ලංකා අධිකරණය මූලික අවධානය යොමු කරන කාරණා

මෙහිදී අධිකරණය මූලික වශයෙන් කාරණා 5ක් පිළිබඳ අවධානය යොමු කරයි.

1) අපහාසාත්මක ප්‍ර‍කාශයක් පැවතීම

මෙය තීරණය වන්නේ කාලීන මනෝභාවය සහ සමාජයීය මනෝභාවය මතයි. සරලව පැහැදිලි කළොත් 1930 කාලවකවානුවේ දකුණු අප්‍රිකාව තුළ සුදු ජාතිකයෙකුට ගෝත්‍රිකයෙකු (Hottentot) යැයි කීම අපහාසයක් ලෙසයි පිළිගැනුනේ. එම කාලවකවානුවේ වෙනත් රටක එය අපහාසයක් නොවිය හැකියි. ඒ වගේම අද වන විට දකුණු අප්‍රිකාව තුළ පවා එය අපහාසයක් නොවේ. ඒ මගින් පැහැදිලි වන්නේ අපහාසාත්මක ප්‍ර‍කාශය කාලානුරූපවත් සමාජානුරූපවත් වෙනස් විය හැකි බවයි.

තවද යම් ප්‍ර‍කාශයක් මගින් පුද්ගලයෙකුගේ චරිතයට බලපෑමක් වීම, උපහාසයට හෙළාදැකීමට හෝ අවමානයට ලක් කිරීම, ඔහුව ආශ්‍ර‍ය කිරීමට තිබූ කැමැත්ත නැති කිරීම වැනි දෙයක් සිදු වනවා නම් එම ප්‍ර‍කාශයද අපහාසාත්මක ප්‍ර‍කාශයක්.

අපහාසාත්මක ප්‍ර‍කාශයක් බව ඇතැම් අවස්ථාවන්හි දී වචනය දෙස මතුපිටින් බලා තේරුම් ගැනීම අපහසුයි. එනම් මතුපිටින් සාමාන්‍ය වචන සේ පෙනුණත් එතුළ සැඟවුණු අපහාසයක් පැවතිය හැකියි. Flemming සහ McKerron වැනි ලේඛකයන් දක්වන පරිදි එවන් අවස්ථාවන්හි දී අවස්ථාපිත වටපිටාවේ සාධක ඇසුරින් අපහාසය වටහා ගත යුතුයි. Flemming කතුවරයා මෙය සරල උදාහරණයකින් අපූරුවට දක්වා තිබෙනවා. එනම්;

“කාන්තාවකට දරුවෙකු ලැබුණු බව කීම අහිංසක ප්‍ර‍කාශයකි. නමුත් ඇගේ වටපිටාවේ අය ඇය විවාහ වී සති 4ක් බව දනී නම් එය අපහාසාත්මක ප්‍ර‍කාශයකි.“

අද බොහෝ සමාජ ජාල වෙබ් අඩවි තුළ මෙම සැඟවුණු අපහාස කිරීම් දැකිය හැකියි.

 2) එය ප්‍ර‍සිද්ධියට පත්කර තිබීම

උක්ත ආකාරයේ අපහාසාත්මක ප්‍ර‍කාශයක් තිබීම පමණක් ප්‍ර‍මාණවත් නොවේ. එය ප්‍ර‍සිද්ධියට පත්කර තිබිය යුතුයි. ප්‍ර‍සිද්ධියට පත් කිරීමේ මාධ්‍ය විවිධ විය හැකියි. උදාහරණ ලෙස පුවත්පත්, රූපවාහිනී හෝ ගුවන් විදුලි වැඩසටහන්, මාධ්‍ය සාකච්ඡා හෝ වෙබ් අඩවි දැක්විය හැකියි. තවද මුහුණු පොත හරහා ඔබ කරන ප්‍ර‍කාශයක් පවා මෙසේ ප්‍ර‍සිද්ධියට පත් කිරීමක්.

3) එම ප්‍ර‍කාශය නීතිවිරෝධී වීම

අපහාසාත්මක ප්‍ර‍කාශය ද්වේශ සහගත ව සිදු කළ සාවද්‍ය ප්‍ර‍කාශයක් වූ විට එම ප්‍ර‍කාශය නීතිවිරෝධී ප්‍ර‍කාශයක් බවට තර්ක කිරීමට පැමිණිලිකරුට හැකියාව තිබෙනවා.

4) චේතනාන්විතව සිදු කර තිබීම (animus injuriandi)

මෙවන් අපහාසාත්මක ප්‍ර‍කාශයන් යම් මාධ්‍යයක් හරහා ප්‍ර‍කාශයට පත් කළ යුත්තේ පීඩාකිරීමේ චේතනාවෙන්. එනම් නීත්‍යනුකූල සාධාරණ හේතුවකින් තොරව යමෙකුට අපහාස කිරීමක් සිදුකර තිබිය යුතුයි. බොහෝවිට අපහාසාත්මක ප්‍ර‍කාශය ඔප්පු වුවහොත් අපහාස කිරීමේ චේතනාව විත්තිකරු තුළ තිබූ බව අධිකරණය විසින් උපකල්පනය කරනවා. එම උපකල්පනය බිඳ හෙළිය හැක්කේ නීතියෙන් පිළිගත් විත්තිවාචක, වරප්‍ර‍සාද හෝ සමාවන් අතරට නම නඩුව අයත් බව විත්තිකරු විසින් පෙන්වා දීමෙන් පමණයි.

5) පැමිණිලිකරු ඉලක්ක කර තිබීම

පැමිණිලිකරු විසින් එම ප්‍ර‍කාශය තමාව ඉලක්ක කරමින් සිදු කළ එකක් වන බව අධිකරණයට පෙන්වා දිය යුතුයි. කණ්ඩායමකට පොදුවේ අපහාස කර ඇත්නම් විශේෂ අවස්ථාවකදී හැර තමාව ඉලක්ක කර ඇති බව පැමිණිලිකරු පෙන්වාදිය යුතුයි. ප්‍ර‍කාශය අසන කියවන සාමාන්‍ය සාධාරණ මනුෂ්‍යයෙකුට මෙයින් ඉලක්ක කර ඇත්තේ පැමිණිලිකරු බව වැටහී යා යුතුයි. Neumann vs Beauty without Cruelty International (1986) නඩුව මේ සම්බන්ධ උදාහරණයක්. සත්ව හිංසනය පිටුදැකීමේ ආයතනයක්

“සත්ව ලොමින් කළ කබායන් මැසීමට සතුන් 40ක් යොදා ගත්තත් එය අඳින්නේ එක් අයෙකි. ඔබට මිලියන ගණන් සතුන් උගුල්වල හානියට පත්වීම අනවශ්‍ය නම් සත්ත්ව ලොමින් කළ කබායන් ඇඳීමෙන් වළකින්න.“

යනුවෙන් ප්‍ර‍කාශයක් කර තිබුණි. සත්ව ලොම් කබා ව්‍යාපාරිකයෙකු අපහාසයට එරෙහිව නඩු පැවරුවත් එය ප්‍ර‍තික්ෂේප වුණේ මෙම ප්‍ර‍කාශයෙන් ඍජුව ම ඔහුව ඉලක්ක කර නැති නිසා.

(newslaundry.com)

(newslaundry.com)

කෙසේ හෝ මෙම මූලික අවශ්‍යතා ඔප්පු කළ හැකි වූයේ නම් අපහාසාත්මක ප්‍ර‍කාශය කළ තනි පුද්ගලයෙකු, එම ප්‍ර‍කාශය බෙදාහැරිය තැනැත්තන් සේම ජනමාධ්‍ය පවා වගකීමට ලක්කළ හැකියි. එපමණක් නොව තම දේපලේ යමෙකුට අපහාස වන දැන්වීමක් වෙනකෙකු විසින් අලවා තිබුණත් එය ඉවත් කිරීමට සාධාරණ පියවර නොගන්නා දේපළ හිමියා පවා වගකීමට ලක් කළ හැකි බව පිළිගෙන තිබෙනවා.

ඒ අනුව අවසාන වශයෙන් වටහා ගත යුත්තේ ඔබ විසින් යම් පුද්ගලයෙකු විවේචනය කරන්නේ නම් එහිදී තමන්ගේ සීමාවන් දැන සිටීම ඉතා වැදගත් බවයි.

ඔබේ ලිපියකට හෝ වෙනයම් ප්‍ර‍කාශනයකට හෝ අපහාසය සම්බන්ධ චෝදනාවක් ඉදිරිපත් වූයේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ දැක්විය හැකි නිදහසට කාරණාවන් (විත්තිවාචක) පිළිබද තවත් ලිපියකින් ඔබ දැනුවත් කිරීමට අප සූදානම්.

කවරයේ පින්තුරය: defamationremovalattorneysblog.com

Related Articles