පොල් ඉඩම්වල සිදුකරන අතුරු භෝග වගාව

ලාංකිකයන්ට ප්‍රයෝජන රැසක් ලබාදෙන ශාක අතුරින් පොල් ශාකයට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. දිගු කලක සිට ලංකාවේ ප්‍රධාන අපනයන භෝග ත්‍රිත්වය අතරට අයත්ව තිබුණු පොල් භෝගය අප රට තුළ මහා පරිමාණයෙන් වගා කරනු ලබනවා. නමුත් පසුගිය දශකය තුළ විවිධ හේතූන් නිසා ලංකාවේ පොල් වගාවෙහි යම් කඩාවැටීමක් දක්නට ලැබුණා. එසේම වියදමට සාපේක්ෂව ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම පොල් වගාවකරුවන් කාලයක සිට මුහුණදුන් ගැටලුවක්. එම ගැටලුවට පිළියමක් ලෙසින් ඔවුන් පොල් වගාව සමග අතුරු භෝග වගාකිරීම සුලභවම දක්නට ලැබෙන දෙයක්. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය එම ගොවීන් දිරිගැන්වීම සඳහා පොල් වගාව සමග සාර්ථකව වගා කළ හැකි අතුරු භෝග කිහිපයක් නිර්දේශ කර තිබෙනවා. එසේම එම අතුරු භෝගයන් වගා කරන ආකාරය පිළිබඳව ඔවුන්ව දැනුවත් කරනු ලබන්නේ දේශීය පොල් වගාකරුවන් රැකගැනීමේ අරමුණෙන්. 

අතුරු භෝග වගාවෙන් ලැබෙන ප්‍රයෝජන 

සාමාන්‍යයෙන් ලංකාවේ සිටින පොල් ඉඩම් හිමියන්ගෙන් බහුතරයක් පොල් වගාව සිදුකරනු ලබන්නේ තනි වගාවක් ලෙස යි. නමුත් තනි වගාවක් ලෙසින් පොල් වගා කිරීම නිසා ඉඩමේ ඵලදායීතාව මෙන්ම වගාවෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභයන් අඩු වනවා. එම හානිය අවමකර ගැනීම සඳහා පොල් වගාකරුවන් පොල් සමග අතුරු භෝග වගාව සිදුකරනු ලබනවා. අතුරු භෝග වගාව තුළින් පොල් ඉඩම තුළ තිබෙන භූමිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත හැකි නිසා වගාවකරුවන්ට අතිරේක වාසි රැසක් ලැබෙනවා. පහත දැක්වෙන්නේ පොල් සමග අතුරු භෝග වගා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන යි.

1) පොල් ඉඩමෙන් ලැබෙන ආදායම වැඩි වෙයි 

2) භෝග ඵලදායීතාවය වැඩි වෙයි  

3) ඉඩමේ තිබෙන සම්පත් උපරිම ආකාරයට ප්‍රයෝජනයට ගත හැකියි 

4) පොල් නිෂ්පාදනය වැඩි වෙයි 

5) ඉඩමට ලැබෙන හිරු එළිය කාර්යක්ෂම අයුරින් භාවිතා කළ හැකියි 

6) ඉඩමේ වල් පැළ වර්ධනය වීම අඩු වෙයි 

7) පසෙහි සාරවත් බව වැඩිවෙයි 

8) ආදායම සඳහා එක් භෝගයක් මත පමණක් යැපීමේ අවදානම අඩු වෙයි 

පොල් වත්තක අතුරු භෝගයක් ලෙස අන්නාසි වවා ඇති අයුරු (YaYa.lk)

පොල් සහ අතුරු භෝගය අතර ඇතිවන තරගය 

පොල් ඉඩම්වල අතුරු භෝග වගා කිරීමේ දී පොල් සහ අතුරු භෝගය අතර තරගයක් ඇතිවීම නොවැලක්විය හැකියි. එම නිසා එම හේතුවෙන් පොල් නිෂ්පාදනය අඩු නොවීම පිළිබඳව වගබලා ගැනීම අත්‍යවශ්‍ය වනවා. අතුරු භෝග වගාව සඳහා ලබාගත හැකි හිරු එළිය පොල් වගාව මඟින් ලබාගන්නා අතර, අතුරු භෝග වගාව ද පාංශු තෙතමනය සහ පෝෂක ලබාගැනීම සඳහා පොල් වගාව සමග තරග කරනවා. එම තරගය අඩුකර ගැනීම සඳහා අතුරු භෝග වගාව සඳහා වඩාත් සුදුසු පොල් ඉඩම් තෝරාගැනීමත් පොල් සහ අතුරු භෝග යන වගාවන් දෙකටම ගැළපෙන වගා කළමනාකරණ අනුගමනය කිරීමත් සිදු කළ යුතු යි.

පොල් ඉඩම් සඳහා තෝරාගත හැකි අතුරු භෝග 

සාමාන්‍යයෙන් පොල් ඉඩමක වගා කිරීම සඳහා තෝරාගන්නා අතුරු භෝග කෙටි කාලීන, අර්ධ කාලීන, සහ දිගු කාලීන වශයෙන් කාණ්ඩ 3කට වෙන්කරනු ලබනවා. එහි දී එක් එක් කාණ්ඩයට අයත් වන භෝග වර්ග කිහිපය බැගින් පහත දැක්වෙනවා.

1) වාර්ෂික භෝග (කාල සීමාව වසරකට නොවැඩි) – ඉඟුරු, කහ, මඤ්ඤොක්කා, අල වර්ග, එළවළු

2) අර්ධ බහු වාර්ෂික භෝග (කාල සීමාව වසර 2-5) – අන්නාසි, කෙසෙල්, වැල් දොඩම්, පැපොල්, බුලත් 

3) බහු වාර්ෂික භෝග (කාල සීමාව වසර 10ට වැඩි) – කොකෝවා, කෝපි, ගම්මිරිස්, කුරුඳු, තේ, කරාබු, පේර 

පොල් ගසේ වයස් ප්‍රමාණය අනුව ගැළපෙන අතුරු භෝග 

සාමාන්‍යයෙන් පොල් ගස් සිටුවන්නේ මීටර් 8.5 x 8.5 හෝ මීටර් 8 x 8 පරතරයක් ඇතිව යි. පොල් වගාවක බිම් මට්ටමට ලැබෙන ආලෝක ප්‍රමාණය තීරණය වන්නේ පොල් ගසේ වයස සහ ගස් සිටුවා තිබෙන පරතරය යන සාධක දෙක මත යි. පොල් වගාවේ වයස අනුව එහි වගාකර හැකි අතුරු භෝග මෙසේ යි.

පළමු අවධිය (වයස අවුරුදු 0-5)

සාමාන්‍යයෙන් පොල් වගාවක මුල්ම කාලයේ එනම් වයස අවුරුදු 0-5 අතර කාල සමයේ වගාවේ බිම් ස්ථරයට ආලෝකය හොඳින්ම ලැබෙනවා. එම නිසා ආලෝකයට ප්‍රිය භෝගයන් වන අන්නාසි, පැපොල්, වැල් දොඩම්, පේර වැනි ශාකයන් අතුරු භෝග ලෙසින් වගා කළ හැකියි. 

දෙවන අවධිය (වයස අවුරුදු 6-20)

වයස අවුරුදු 6-20 අතර වන පොල් වගාවන්හි යාබද පොල් ගස්වල අතු කෙළවරවල් එකිනෙක වැදී වියනක් මෙන් සෑදී තිබෙන ආකාරය දැකගත හැකියි. එම නිසා බිම් ස්ථරයට ලැබෙන ආලෝකය විශාල වශයෙන් අඩු වනවා. ඒ අනුව වගාවක දෙවන අවධිය තුළ අතුරු භෝග වගාව සිදුවන්නේ නැහැ. නමුත් අල වර්ග, ඉඟුරු වැනි සෙවණ ප්‍රිය කරන භෝග අතුරු භෝගයන් ලෙස වගා කළ හැකියි.

තෙවන අවධිය (වයස අවුරුදු 21-50)

පොල් වගාව වයසට යාමත් සමගම පොල් ගස්වල උඩු වියන ක්‍රමයෙන් කුඩා වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වගාවේ බිම් ස්ථරයට හොඳින් ආලෝකය ලැබෙයි. ඒ අනුව එම අවධියේ දී වැඩි භෝග ප්‍රමාණයක් වගා කළ හැකියි.  

සිව්වන අවධිය (වයස අවුරුදු 51-70)

මෙම අවධියේ දී බොහෝ විට පැරණි පොල් වගාව තුළ නැවත පොල් වගා කිරීම හෙවත් යටි වගාව සිදු කරනු ලබයි. සිව්වන අවධියේ දී වාර්ෂික, සහ අර්ධ බහු වාර්ෂික භෝග පමණක් අතුරු භෝග වගාව සඳහා තෝරා ගත යුතු යි. 

විවිධ දේශගුණික කලාපයන්ට ගැළපෙන අතුරු භෝග

ශ්‍රී ලංකාව තුළ විවිධ ආකාරයේ දේශගුණික කලාප පිහිටා තිබෙනවා. එම එක් එක් දේශගුණික කලාපවල පිහිටා තිබෙන පොල් වගාවන් සඳහා පහත දැක්වෙන ආකාරයට අතුරු භෝගයන් නිර්දේශ කර තිබෙනවා. 

තෙත් කලාපය 

තෙත් කලාපයට මිලිමීටර් 1900-2500 අතර වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. තෙත් කලාපයේ තුළ පිහිටා තිබෙන එක් එක් අවධිවල පොල් වගාවන්ට අතුරු භෝග නිර්දේශ කර ඇත්තේ මෙසේයි.

වයස (0-5) – කෙසෙල්, මඤ්ඤොක්කා, ඉඟුරු, පැපොල්, වැල් දොඩම්, අන්නාසි, වාර්ෂික භෝග 

වයස (21-50) – ගම්මිරිස්, බුලත්, කෙසෙල්, කෝපි, කොකෝවා, කුරුඳු, ඉඟුරු, වැල් දොඩම්, අන්නාසි, පැපොල්,  වාර්ෂික භෝග 

වයස (51-70) – බුලත්, කෙසෙල්, කෝපි, කුරුඳු, මඤ්ඤොක්කා, ඉඟුරු, දෙහි, පැපොල්, වැල් දොඩම්, අන්නාසි, රඹුටන්, වාර්ෂික භෝග 

තෙත්-අතරමැදි කලාපය 

තෙත්-අතරමැදි කලාපයට මිලිමීටර් 1500-1900 අතර වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. තෙත්-අතරමැදි  කලාපයේ තුළ පිහිටා තිබෙන එක් එක් අවධිවල පොල් වගාවන්ට අතුරු භෝග නිර්දේශ කර ඇත්තේ මෙසේ යි.

වයස (0-5) – කෙසෙල්, මඤ්ඤොක්කා, ඉඟුරු, පැපොල්, වැල් දොඩම්, අන්නාසි, වාර්ෂික භෝග 

වයස (21-50) – ගම්මිරිස්, බුලත්, කෙසෙල්, කෝපි, කොකෝවා, කුරුඳු, ඉඟුරු, වැල් දොඩම්, අන්නාසි, දෙහි, පැපොල්, වාර්ෂික භෝග  

වයස (51-70) – බුලත්, කෙසෙල්, කෝපි, කුරුඳු, මඤ්ඤොක්කා, රඹුටන්, දෙහි, පැපොල්, වැල් දොඩම්, කජු, අන්නාසි, වාර්ෂික භෝග 

වියළි-අතරමැදි කලාපය 

වියළි-අතරමැදි කලාපයට මිලිමීටර් 1250-1500 අතර වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. වියළි-අතරමැදි කලාපයේ තුළ පිහිටා තිබෙන එක් එක් අවධිවල පොල් වගාවන්ට අතුරු භෝග නිර්දේශ කර ඇත්තේ මෙසේ යි.

වයස (0-5) – කෙසෙල්, මඤ්ඤොක්කා, පැපොල්, වාර්ෂික භෝග  

වයස (21-50) – කෙසෙල්, දෙහි, පැපොල්, වාර්ෂික භෝග 

වයස (51-70) – කෙසෙල්, මඤ්ඤොක්කා, කජු, පැපොල්, වාර්ෂික භෝග 

පොල් ඉඩමක අතුරු භෝගයක් ලෙස බුලත් වවා ඇති අයුරු (dea.gov.lk)

අතුරු භෝග වගාවේ දී සැලකිලිමත් විය යුතු වෙනත් කරුණු 

පොල් ඉඩමක් තුළ සාර්ථක අතුරු භෝග වගාවක් සිදුකරමින් හොඳ ආදායමක් ලබාගැනීම සඳහා සැලකිලිමත් විය යුතු තවත් කරුණු කිහිපයක් තිබෙනවා. 

ශාක පෝෂක ලබාදීම 

හොඳ වර්ධනයක් සහ සාර්ථක අස්වැන්නක් ලබාගැනීම සඳහා පොල් මෙන්ම අතුරු භෝගය සඳහා ද පෝෂක අවශ්‍ය වනවා. එම නිසාම පොල් වගාවට මෙන්ම අතුරු භෝග වගාවටත් නිර්දේශිත ශාක පෝෂක ලබාදිය යුතු යි. අතුරු භෝගය සඳහා නිර්දේශිත පොහොර ලබා නොදුන්නොත් එය පොල් වගාව සඳහා යොදා තිබෙන පොහොර උරාගැනීමක් සිදු කරයි. එමඟින් පොල් වගාවේ වර්ධනයටත් අතුරු භෝග වගාවේ වර්ධනයටත් බලපෑම් ඇති කරයි. 

සුදුසු පස තෝරාගැනීම 

සාමාන්‍යයෙන් අතුරු භෝග වගාව සඳහා සාරවත් පසක් තෝරා ගත යුතු යි. එසේම අතුරු භෝග වගාවේ දී පසෙහි වායනය, ජලය බැසයාම, ජලය රඳවාගත හැකි ප්‍රමාණය, පසෙහි PH අගය, කැටායන හුවමාරු ධාරිතාවය වැනි පාංශු ලක්ෂණ සැලකිල්ලට ගත යුතුයි. පාංශු යෝග්‍යතා ශ්‍රේණීන් වන S3, S4, සහ S5 අතුරු භෝග වගාව සඳහා වඩාත් සුදුසුයි. 

වර්ෂාපතනය සහ දේශගුණය 

වගා කිරීම සඳහා අතුරු භෝග තෝරාගැනීමේ දී අනිවාර්යෙන්ම වර්ෂාපතනය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එහි දී තෝරාගත් අතුරු භෝගයේ විවිධ වර්ධන අවස්ථාවන්ට අනුකූල වන ජල අවශ්‍යතාවයන් සමග වර්ෂාපතන ව්‍යාප්තිය ගැලපිය යුතුයි. 

සෙවණ සැපයීම 

හිරු එළියෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා අතුරු භෝග පේළි නැගෙනහිර-බටහිර දිශාවට මුහුණලා සිටුවිය යුතු යි. සාමාන්‍යයෙන් කෝපි, කොකෝවා, අල වර්ග, ඉඟුරු, ගම්මිරිස්, කරාබු වැනි භෝග සඳහා සෙවණ සහිත තත්ත්වයන් අවශ්‍ය යි. එම නිසා එවැනි භෝග වගා භූමියේ සාපේක්ෂව අඩු ආලෝකයක් ලැබෙන පෙදෙස්වල සිටුවිය යුතු යි. 

වගා භූමියේ බෑවුම 

අතුරු භෝග වගා කිරීමේ දී පාංශු ඛාදනය අවම වන අයුරින් එය සැලසුම් කළ යුතු යි. සාමාන්‍යයෙන් බහු වාර්ෂික භෝගයන් වන ගම්මිරිස්, කොකෝවා, කෝපි ආදිය බෑවුම් සහිත ඉඩම් සඳහා ඉතාමත් සුදුසු යි. එසේම ඉඟුරු, අන්නාසි වැනි භෝග වඩාත් සුදුසු වන්නේ අඩු බෑවුමක් සහිත භූමියකට යි. එම නිසාම භූමියේ පිහිටීම අනුව සුදුසු අතුරු භෝගය තෝරාගත යුතු යි. 

භෝග අලෙවිය පිළිබඳව සැලසුම් කිරීම  

අතුරු භෝග වගා කිරීමට පෙර ඒවා අලෙවි කළ හැකි ආකාරයන් පිළිබඳව අධ්‍යයනය කළ යුතු යි. එසේම පහසුවෙන් අලෙවි කළ හැකි භෝග පමණක් අතුරු ලෙස වගා කිරීම වඩාත් සුදුසුයි. එමඟින් නිසි වේලාවට අස්වැන්න අලෙවි කර හොඳ ආදායමක් ලබාගත හැකියි. එසේම අස්වැන්න නිකරුණේ විනාශ වීම ද වලක්වා ගත හැකියි.

කවරයේ ඡායාරූපය- Pineapple Express

මූලාශ්‍රයයන්- Official Web CRI

Related Articles