Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාර්යාලයේ වැඩවල ඵලදායීතාව ඉහළ නංවන ක්‍රම 6ක්

අපි කාටත් දියුණු වෙන්න, ආයතනය ඉහළට ගෙන යන්න, රට ඉදිරියට ගෙන යන්න, ලෝකෙ හොඳ නමක් දිනාගන්න දැඩි කැමැත්තක් තියෙනවා වගේම නිතරම ඒ ගැන කල්පනා කරමින් තමයි ඉන්නේ. ඒත් ඉතින් එහෙම කල්පනා කර කරම හිටියොත් රට ඉදිරියට ගෙන යන්න බැරි වෙන්නේ ඉන්දියාවේ වදින හින්දාම නෙවෙයි, වැඩක් නොකර නිකං කල්පනා කරමින් හිටියාට භෞතික ලෝකයේ කිසිම වෙනසක් නොවන හින්දයි. අන්න ඒකට උපකාරයක් වශයෙන් වටිනා ක්‍රමෝපායන් කිහිපයක් අපි ඔබට ගෙන එනවා.

රෑ එළිවෙනකම් මලක් කඩාගෙන ඉඳලා, උදේ දහයට විතර ඔෆිස් ගිහින් බස් එකේ ඇවිත් අමාරුයි කියලා පැය බාගයක් විතර මහන්සි යවලා තේ එකක් බීලා එහෙම වැඩ කරන්න පටන් ගනිද්දි දවල් කෑම වෙලාව හරි. ඒක අතාරින්නේ කොහොමද, උදේට හරියට කෑවෙත් නැහැනෙ. ඉතින් උදේටත් එක්ක ම දවල්ට කාලා බඩ හොඳටම පිරුණාම ආයෙ ටිකක් බඩ හරියනකම් පැයක් දෙකක් ඉඳලා වැඩ පටන් ගන්න හදනකොට ගෙදර යන වෙලාව හරි. මේ විධියට ඔෆිස් එකේදි විතරක් නෙවෙයි, ගෙදර ඉඳගෙන ස්වයං රැකියාවක් කරන කෙනෙක්ට වුණත් මේවා අඩු කරගෙන තමන්ගෙ ඵලදායීතාව ඉහළ මට්ටමකට ගෙන එන්නට පුළුවන් නම් තමන්ගේ ආර්ථික හැකියාව නංවාගන්නට හැකිවෙනවා. මොකද, නිකං හිටියාම ආයතනය සහ අපි පහළට වැටෙනවා මිසක් ලැබෙන කිසිම දෙයක් නැහැ. ඒ නිසා වැසි කාලෙට දැන්ම ලෑස්ති වෙන්න නම් වීණාව වය වයා ඉඳලා බැහැ.

1. ඔබ කරන දේට ආදරය කරන්න

(siasat.com)

(siasat.com)

ඵලදායීතාවේ ස්වර්ණමය රහසක් වශයෙන් මෙය හඳුන්වන්නට පුළුවන්. මොකද, තමන් කරන දේ කරන්නේ තවත් කෙනෙකුගේ කීමට හෝ කරන්න සිදුව ඇති නිසා නම් එයින් වැඩ කරන ඔබටත්, සේවාව ලබන්නාටත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඇතැම් විට ඔබට දැනට කරන රැකියාව ලැබී තිබෙන්නේ ඔබට වෙනත් යමක් සොයාගැනීමට ඇති අපහසුව හෝ කුමක් හෝ හේතුවක් වන්නට පුළුවන්. ඒත් ඒ හේතුව කුමක් නමුත් ඔබට එය කරන්නට සිදුවී තිබෙනවා නම් කළ යුතු හොඳම දේ එහි තිබෙන හොඳ පැත්ත ගැන සිතීම පමණයි. මොකද, අප මෙහි සඳහන් කළේ ඔබ කරනදේට ආදරය කරන්නට මිසක්, ආදරය කරන දේම කරන්න කියා නොවෙයි.

අපි කරන දේවල් අපිට වෙනස් කරන්න කොහෙත්ම විධියක් නැත්නම්, උදාහරණයක් විධියට දැනට කරන රැකියාව නවතා වෙනත් එකක් සොයා ගැනීමට යාමේදී දැඩි ආර්ථික අවධානමකට ලක්වන බව ඔබට වැටහෙනවා නම් කළ යුත්තේ පෙරළුණු පිට හොඳයි න්‍යාය අනුගමනය කිරීමයි. දැන් එහි වැරදි දකිමින් ඔබ ඔබවම තළා පෙළා ගන්නවා වෙනුවට එහි තිබෙන වාසි සහගත දේවල් ගැන සිතා, ඔබේ සේවාවේ සහ ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නට පටන් ගන්න. නිතැතින්ම ඔබේ රැකියාව සිත සනසන තැනක් වෙනවා නිසැකයි.

2. ඔබට කරන්නට තිබෙන දේවල් පෙළගස්වා ගන්න

(msecnd.net)

(msecnd.net)

කාර්යාලයට ආපු ගමන් හෝ ගෙදර වැඩක් වැනි ඕනම දෙයකදී මුලින්ම කරන්නට ඕන වැඩ පටන් ගන්න එක නෙවෙයි. මුලින්ම තමන්ට කරන්න තිබෙන හැම වැඩක් ම පෙළගස්වා ගන්න. මෙම පෙළගැස්වීමේ පිළිවෙල කෙනෙක්ට පහසු ටික අපහසු ඒවා දක්වාත්, තවත් කෙනෙක්ට අපහසු ඒවා මුලට එන ආකාරයටත් වශයෙන් වෙනස් වෙන්නට පුළුවන්. එය ඔබේ හැකියාවන් සහ කරන්නට තිබෙන වැඩ අනුව තමයි තීරණය කරන්නට අවශ්‍ය වෙන්නේ.

සාමාන්‍ය සම්මතය අනුව නම් උදේ වරුව තමයි වැඩ කරන්නට හොඳම වෙලාව. රස්නය අඩු බව සහ ඔළුවේ තිබෙන විසිරුණු ස්වභාවය නිසා හොඳින් හිතලා කළයුතු අමාරු වැඩ උදේ වරුවට දමා ගැනීම හොඳයි. ඒත් ඔබ හිතනවා නම්, පහසු ඒවා මුලින් කළාම කෙරෙන වැඩ ප්‍රමාණය වැඩියි කියලා ඒත් කමක් නැහැ. හැබැයි දවල්ට කම්මැලි නැතිව අමාරු ටික කරන්න ඕන.

3. වැඩ කරන්න පටන් ගන්න

(indoindians.com)

(indoindians.com)

කරන්න අමාරුම දේ තමයි වැඩ කරන්න පටන් ගන්න එක. කොච්චර වැඩ ටික පෙළගස්වා ගත්තත් කරන්න හිත දෙනවා හරිම අඩුයි. මේකට හොඳම විසඳුම තමයි, ටිකක් හරි කරන්න පටන් ගන්න එක. කලිනුත් සඳහන් කළා වගේ හිත හිත හිටියාට අපි වෙනත් ලෝකයක තනි වෙනවා මිසක් මේ සත්‍ය භෞතික ලෝකයේ කිසිම වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා සුළු ප්‍රමාණයකින් හෝ ඊට අත තැබුවොත් නොදැනීම එය කරගෙන යා යුතු පිළිවෙල ඔබට පෙනෙන්නට ගනීවි. එවිට ඔබ නිදහසේ ඉඳිද්දී දෑත ඉතිරිය බලා ගනීවි.

4. විවේකයක් ගන්න

(loyal-travel.com)

(loyal-travel.com)

හැමතිස්සේම කරන දේ මේකනෙ?. ඒත් මේ කිව්වෙ, හොඳටම වැඩවල හිරවෙලා ඉන්න වෙලාවක චුට්ටක් ඔළුව නිදහස් කරගන්න විනාඩි පහක්-දහයක් විතර සියළු වැඩ අත්හැර ජනේලය දිශාව බලා ටිකක් වෙලා ඉන්න කියලා. එහෙම ඉන්න අතරෙදි ගෙදර ප්‍රශ්ණ වගේ අනවශ්‍ය දේවල් නැතිව හිත සම්පූර්ණයෙන් නිදහස් කරගන්න හොඳ ගැඹුරු හුස්මක් කිහිප සැරයක් අරගන්න. එතකොට ඔබ පැය ගණනක් තිස්සේ ලියපු කෝඩ් එකේ තිබුණු වැරදි තැන හොඳින් පෙනෙන්නට ගනීවි. හදා ගන්න බැරිව හිටපු ගණනේ විසඳුම ලබා ගන්න වෙනත් ක්‍රමයකුත් පෙනේවි. හැබැයි විවේක කාලය සීමා කරගන්න සිහි තබාගන්න.

5. සිත වෙනත් දේවලට යොමුවන දේවල් ඉවත් කරන්න

(mobe.com)

(mobe.com)

වැදගත් වැඩ කටයුත්තක යෙදිලා ඉඳිද්දී අසල තිබෙන ඔබේ දුරකථනයට ෆේස්බුක් පණිවිඩ එනවා නම්, ගෙදර ඉඳගෙන රැකියාව හෝ පාඩම් කටයුතු කරනවා නම් රූපවාහිනිය ඔබ අසල නද දෙනවා නම් වගේම පරිගණකයේ වෙබ් බ්‍රවුසරයේ ඔබ කරන දේට අනවශ්‍ය වෙබ් අඩවි ටැබ්වල විවෘතව තිබෙනවා නම් ඒ සියල්ලම ඔබ කරන කටයුත්ත අවසන් වන තුරු පැත්තකට කර තබන්නට අමතක කරන්න එපා. සිත එක්තැන් කරගෙන පහසුවෙන් කළ හැකි බැරෑරුම් කටයුතු වලට මෙවන් බාහිරින් එන අවධානය වෙනස් කරවන දේවල් නිසා අපට පැය ගණනක් කල්පනා කළ දේවල් මොහොතකින් අමතකවී යන්න පුළුවන්.

ඔබට අවශ්‍ය නම් ඉහත සඳහන් කළ විවේක කාලවලදී මෙවන් දේවල් සීමා සහිතව කළාට වරදක් නැහැ.

6. ගෙදර ගියා ම හොඳට නිදාගන්න

(herbnhealth.com)

(herbnhealth.com)

මේ කියපු ආකාරයට ඔබ වැඩ පෙළගස්වා ගත්තාම ඔබට කාර්ය කිරීමට ඇති කාර්යාලයත් නිදි දෙව්දුවගේ මන්දිරයත් පැටලීම නැතිව යනවා. මේ නිසා පසුදාට අවශ්‍ය ජවය ලබා ගන්නට නම් ඔබ කලින් නින්දට යන්නට අවශ්‍යයි. ඇතැම්විට ඔබ හවස ගෙදරදීත් අතිරේක රැකියාවක් කරනවා වෙන්නට පුළුවන්. එහෙත් ඔබ දැන් කළ යුතු දේවල් පිළිවෙළට හදාගන්නා හැටි දන්නා නිසා මැදියම ඉක්මවන තෙක් බොරුවට “මම මේ වැඩ කරනවා” කියමින් ඉන්නටවත් “මම මෙච්චර රෑ වෙනකම් වැඩ කළා” කියලා වත් තේරුමක් නැති කථා කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. වෙනදා දෙකට-තුනට නිදාගත් ඔබට දැන් රෑ එකොළහෙන් පසුව එළඹෙන්නේ නිදහසේ නිදා ගත හැකි සෞම්‍ය කාලයක්.

සියළු ම ජීවීන්ගේ අක්‍රිය කාල ප්‍රාන්තරයක් තිබෙනවා. ශාක වුණත් රාත්‍රියේදී ඔක්සිජන් නිපදවන්නේ නැහැනෙ. ඒ වගේ අපිට, රාත්‍රිය කියන්නේ අපේ අක්‍රීය කාලය යි. එහිදී කළ යුතු එක ම දේ වන හොඳට නිදාගැනීමෙන් අපිට අපේ මතකය අළුත් වෙනවා. පරණ දේවල්, දුක් සහිත දේවල්, පීඩනය ගෙන දෙන දේවල් හිසින් ඈත් වෙලා හොඳ ජවයකින් යුත් කෙනෙක් පසුව දාට බිහිවෙනවා. ඔබ ඩිස්නි සමාගම නිපැයූ Inside Out චිත්‍රපටය නැරඹුවා නම්, මේ දේ එහි ලස්සනට පෙන්වා තිබෙනවා.

එහෙනම්, මේ කියපු විධියට “හෙට ඉඳලා” ම මේ වැඩේ පටන් ගන්න ඕන කියලා හිතෙන්න ඇතිනෙ. හෙටත් එහෙමම කියමු, බාලගිරි දෝෂෙට වගේ ම.

මූලාශ්‍ර – Inc.com, Forbes.com, Smallbusiness.chron.com

කවරයේ පින්තුරය: kennywithers.com

Related Articles