Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගාස්තු ඉහළ නොදමා දුම්රිය ආදායම ඉහළ නංවන මං

 පවතින ආර්ථික අර්බුදය හමුවේ අවස්ථා ගණනාවක දී ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන හිඟ වීම නිසා බොහෝ දෙනකු පෞද්ගලික වාහන වෙනුවට බස් රථ සහ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට යොමු වී තිබේ.

ඒ අතරින් දුම්රිය ගාස්තු බස් ගාස්තුවලට සාපේක්ෂ ව පහළ අගයක් ගන්නා බැවින් දුම්රිය භාවිත කරන මගීන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් ම කාර්යාල වේලාවන්හි දී දුම්රියවල අධික තදබදයක් ද හට ගෙන තිබේ.

මගීන්ගෙන් පිරුණු දුම්රියක් – dailymirror.lk

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දුම්රිය ධාවනය සඳහා වැය වන පිරිවැය ඉහළ යාම සහ දුම්රිය දෙපාර්තමේන්තුව ලබන ආදායම පහළ මට්ටමක පැවතීම සැලකිල්ලට ගනිමින්, දුම්රිය ගාස්තු ඉහළ දැමීම පිළිබඳ ව රජයේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම ඉහළ නැංවිය හැකි එකම ක්‍රමය ගාස්තු ඉහළ දැමීම පමණක්ම ද?

මේ ලිපියෙන් ඒ පිළිබඳව විමසා බලමු.

දුම්රිය දෙපාර්තමේන්තුව

මෙරට එක ම දුම්රිය සේවා සපයන්නා වන දුම්රිය දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත්තේ 1858 වසරේ දී එවකට මෙරට පාලනය කළ බ්‍රිතාන්‍යයන් ය. කිලෝමීටර් 1,508ක දුරින් යුතු මෙරට දුම්රිය මාර්ග පද්ධතිය කොළඹ-කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට පළාත් කිහිපයක් හරහා ගමනාන්ත කිහිපයක් දක්වා විහිදී යයි. මේ වන විට ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පාලනය වන දුම්රිය දෙපාර්තමේන්තුව උතුරු, උඩරට, කැලණිවැලි, මුහුදුබඩ සහ පුත්තලම් වැනි දුම්රිය මාර්ග ගණනාවක දුම්රිය ධාවන කටයුතු සිදු කරයි.

මෙරට දුම්රිය මාර්ග සැලැස්ම – www.railway.gov.lk

ඉන්ධන අර්බුදය

රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය විදේශ මුදල් සංචිත, විශේෂයෙන් ම අමෙරිකානු ඩොලර් හිඟයක් නිර්මාණය වී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ඉන්ධන ආනයනය සීමා වී ඇති බැවින් රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග නොලැබේ. මේ හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට දින ගණනාවක් තිස්සේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදු වී තිබේ.

පසුගිය මාස කිහිපය තුළ අවස්ථා ගණනාවකදී ඉන්ධන මිල ගණන් ඉහළ දැමූ බැවින් බස් ගාස්තු ද විශාල අගයන්ගෙන් ඉහළ ගොස් තිබේ. ඉන්ධන ලබාගැනීමේ දී මුහුණ දීමට සිදු වන දුෂ්කරතා, අමතර කොටස් හිඟ වීම සහ ඒවායේ මිල ඉහළ යාම වැනි ගැටලු හේතුවෙන් රට පුරා බස් ධාවනය මේ වන විට 20%ක් දක්වා අඩු වී ඇති බව බස් සංගම් නියෝජිතයෝ පවසති.

ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව – www.dailysabah.com

දුම්රිය මගීන් සංඛ්‍යාව ඉහළ යාම

ඉහත හේතු නිසා දුම්රිය මගින් ගමන් කරන මගීන් සංඛ්‍යාව මේ වන විට විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. මෑතකාලීන ව වාර්තා වූයේ මේ දිනවල දුම්රිය භාවිත කරන මගින් සංඛ්‍යාව සාමාන්‍ය මගීන් සංඛ්‍යාවට වඩා 50%කින් පමණ වැඩි වී ඇති බව යි.

උදෑසන සහ සවස් කාලයේ සියලු දුම්රිය මාර්ගවල ධාවනය වන කාර්යාල හා අනිකුත් දුම්රියවල විශාල මගී තදබදයක් ඇති වීම හේතුවෙන් අමතර දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට පවා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට යෝජනා

මේ වන විට රජය සහ දුම්රිය දෙපාර්තමේන්තුව යන දෙපාර්ශවයෙන් ම දුම්රිය ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වී තිබේ.

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර – www.newsradio.lk

ඉන්ධන මිල ගණන් ඉහළ යාම නිසා දුම්රිය ධාවනයට වැය වන පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් පොදු ප්‍රතිපත්තියක් තුළින් දුම්රිය ගාස්තු ඉහළ දැමීම සඳහා පියවර ගත යුතු බව ප්‍රවාහන අමාත්‍යංශය පසුගිය දිනක සඳහන් කළේ ය. යම්කිසි දුරක් සඳහා අයකරන බස් ගාස්තුවෙන් හරි අඩක් දුම්රිය ගාස්තුව ලෙස අයකළ යුතු බව අමාත්‍යංශයේ අදහස විය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය ද ගාස්තු ඉහළ දැමීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව පසුගිය දා වාර්තා විය. දෙපාර්තමේන්තුවේ අදහස වන්නේ මේ වන විට යම්කිසි දුරක් සඳහා අයකරන දුම්රිය ගාස්තුව, අදාළ දුර සඳහා අයකරන බස් ගාස්තුවෙන් 20%-25% අතර ප්‍රමාණයක් පමණක් වන බැවින් දුම්රිය ගාස්තු ඉහළ දැමිය යුතු බව යි.

දුම්රිය ප්‍රවේශ පත්‍ර – dailynews.lk

ආදායම් වැඩි කළ හැක්කේ ගාස්තු ඉහළ දැමීමෙන් පමණ ද?

රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් වියදමට සරිලන ආදායමක් නොලබන්නේ නම් එය පවත්වාගෙන යාම අසීරු බව විශේෂයෙන් කිව යුතු නොවේ. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව ද දරන පිරිවැයට සරිලන ආදායමක් සහ ලාභයක් ඉපයීමට අපොහොසත් වන තත්ත්වයක් තුළ එහි ආදායම ඉහළ නැංවීම සහ සේවාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වරදක් නැත. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නැංවිය හැක්කේ ගාස්තු ඉහළ දැමීමෙන් පමණක් ම නොවේ. ඒ සඳහා ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් රැසක් තිබෙන බව ද විද්වත්තු පෙන්වා දෙති.

දෙපාර්තමේන්තුව සතු ඉඩම් නිසි කළමනාකරණය

රට පුරා දුම්රිය මාර්ග දෙපස ඇති ඉඩම් සියල්ල පාහේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඒවා නමුත් ඒවා නිසි පරිදි කළමනාකරණය නොවීම නිසා විශාල ආදායමක් අහිමි වේ. මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට ලක් වී ඇත. දෙපාර්තමේන්තුව සතු ඉඩම් නිසි ක්‍රමවේදයක් යටතේ බදු හෝ කුලී පදනම මත ලබා දෙන්නේ නම් ඒ හරහා විශාල ආදායමක් උපයා ගත හැක.

ඒ බව තහවුරු කරමින් පසුගියදා අනාවරණය වූයේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට අයත් ඉඩම් බදු පදනම මත ලබා දීම මගින් මාසිකව රුපියල් මිලියන 20ක ආදායමක් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන බව යි.

දුම්රිය මාර්ගය අසල ඇති දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල සිදු කර ඇති අනවසර ඉදිකිරීම් – www.roar.media

මේ වන විට බදු පදනම මත ලබා දී ඇති ඉඩම්වලින් අදාළ ගෙවීම් අය කර ගැනීම විධිමත් ආකාරයෙන් සිදු නොවීම සහ මිට වසර ගණනාවකට පෙර සකස් කළ බදු ගිවිසුම් වර්තමාන තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් යාවත්කාලීන නොකිරීම ද දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් අහිමි වීමට බලපා තිබේ. එබැවින් බදු පදනම මත ලබා දෙන ඉඩම්වලට අදාළ ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ බදු මුදල් හිඟයකින් තොරව අයකරගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම ඉතා වැදගත් ය.

භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රවර්ධනය කිරීම

දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම හරහා ඉහළ ආදායමක් උපයාගත හැකි වුවත් ඒ සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් මේ වන තෙක් සකස් කර නොතිබීම අවාසනාවන්ත කරුණකි. දුම්රිය මගින් එළවළු, පලතුරු සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ රට පුරා පිහිටි විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබුණත් මේ වන තෙක් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවේ. දුම්රිය මගින් වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය කාලයේ ආරම්භ කළත් එය ද මේ වන විට ක්‍රියාත්මක නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය – www.dreamstime.com

ඉන්ධන අර්බුදයත් සමඟ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන සපයා ගැනීමට දුෂ්කර වී ඇති වර්තමාන තත්ත්වය තුළ භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රවර්ධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට ඕනෑ තරම් ඉඩ ප්‍රස්තාව තිබේ. උඩරට ප්‍රදේශයේ වැවෙන එළවළු වර්ග උඩරට දුම්රිය මාර්ගය ඔස්සේත්, වියළි කලාපයේ වැවෙන එළවළු වර්ග උතුරු සහ පුත්තලම වැනි දුම්රිය මාර්ග ඔස්සේත්, මාළු වැනි දෑ මුහුදුබඩ දුම්රිය මාර්ගය ඔස්සේත් කොළඹට ප්‍රවාහනය සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් එය පාර්ශව රැසකට ලාබදායී වනු ඇත.

දුම්රිය ස්ථාන හරහා බිල්පත් ගෙවීමේ පහසුකම් හඳුන්වා දීම

දුම්රිය දෙපාර්තමේන්තුව හා සමානව ම, වියදමට සරිලන ආදායමක් නොලබන තැපැල් දෙපාර්තමේන්තුව සිය ආදායම යම් ප්‍රමාණයකින් හෝ ඉහළ නංවා ගැනීමේ අරමුණින් තැපැල් කාර්යාල හරහා ජල, විදුලි සහ දුරකථන වැනි බිල්පත් ගෙවීමේ පහසුකම් හඳුන්වා දී තිබේ.

මෙවැනි පහසුකම් දුම්රිය ස්ථානවලට ද හඳුන්වා දෙන්නේ නම් ඒ මඟින් දුම්රිය දෙපාර්තමේන්තුවට සැලකිය යුතු ආදායමක් උපයා ගත හැකි වනු ඇත. විශේෂයෙන් ම දුර බැහැර ප්‍රදේශවල ජනතාවට සිය බිල්පත් ගෙවීම සඳහා දුම්රියෙන් නගරයක් වෙත ගමන් කිරීමට සිදු වේ. නමුත්, ඔවුන්ට අදාළ බිල්පත් දුම්රිය ස්ථානය තුළ දී ගෙවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නේ නම් දුම්රිය තදබදය අවම කරගැනීමට හැකි වීම සහ ඔවුන්ට දුර බැහැර ප්‍රදේශවලට යාමෙන් තොරව බිල්පත් ගෙවීමට හැකියාව ලැබීම වැනි වාසි රැසක් සැලසෙනු ඇත.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඇතුළත – www.travel.sygic.com

ප්‍රසම්පාදන ක්‍රියාවලිය

2019 සිට වරින් වර මෙරටට ආනයනය කළ රුපියල් මිලියන 3,100කට වැඩි වටිනාකමකින් යුතු දුම්රිය එන්ජින් සහ මැදිරි අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතයට නොගෙන දුම්රිය අංගන කිහිපයක අත්හැර දමා ඇති බව පසුගිය දිනවල වාර්තා විය.

ඒ අතර රුපියල් මිලියන 700කට ආසන්න මුදලක් වැය කර මෙරටට ගෙන්වූ දුම්රිය එන්ජින් 10න් 8ක් වූ අතර ඒවා මෙරට දැනට පවතින දුම්රිය මාර්ගවල ධාවනය කරවීම සඳහා සුදුසු තත්ත්වයේ නොමැති බැවින් එලෙස අත්හැර දමා ඇති බව අනාවරණය විය. සාමාන්‍යයෙන් මෙරට දුම්රිය මාර්ගවල ධාවනය වන දුම්රිය එන්ජිමක බර ටොන් 60-80 අතර වුවත් මෙම දුම්රිය එන්ජිමක බර ටොන් 120කට ආසන්න වන බැවින් ඒවා ධාවනයට එක් කිරීම අපහසු බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මාධ්‍ය වෙත පවසා තිබිණි. ඒ ආකාරයෙන්ම අවස්ථා කිහිපයකදී ගෙන්වූ රුපියල් මිලියන 2,400ක වටිනාකමින් යුතු දුම්රිය මැදිරි 160ක් අතරින් ගණනාවක් මේ ධාවනයට එක් කර නැති බව ද අනාවරණය විය.

 නිසි පරිදි ධාවනයට එක් කර නැති ඉන්දියාවෙන් ගෙන්වූ නව දුම්රිය මැදිරි – www.aruna.lk 

 

ප්‍රශ්නගත දුම්රිය එන්ජින් සහ මැදිරි මිල දී ගැනීමට ප්‍රථම ඒවා පරික්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවට පිටත්ව ගොස් තිබුණේ විශාල මුදලක් ඒ සඳහා වැය කරමිනි. කෙසේ නමුත් දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි සම්බන්ධයෙන් වන කටයුතුවලදී අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගත යුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවෙන් මෙම දුම්රිය එන්ජින් සහ මැදිරි ආනයනය සම්බන්ධයෙන් කිසිදු විමසීමක් කර නැති බව ද රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා  සඳහන් කර තිබිණි.

විශාල පිරිවැයක් දරා මිල දී ගන්නා දුම්රිය එන්ජින්, මැදිරි සහ වෙනත් අමතර කොටස් භාවිතයට ගත නොහැකි නම් එය මහජන මුදල් විනාශ කිරීමක් බව විශේෂයෙන් කිව යුතු නොවේ. වෙනත් ඵලදායි ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට හැකියාව තිබූ මුදල් ඒ ආකාරයෙන් විනාශ වීමට ඉඩ හැරීම බරපතල වරදකි. එබැවින් දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කරන සෑම මිල දී ගැනීමක් ම විනිවිදභාවයෙන් යුතු, මුදලට උපරිම වටිනාකමක් ලැබෙන ආකාරයේ ඒවා විය යුතු ය.

සංචාරක කර්මාන්තය

ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ඇති කඩිනම් සහ හොඳම විසඳුම් අතර සංචාරක කර්මාන්තය නගා සිටුවීම ප්‍රධාන තැනක් ගනී. රටට පැමිණෙන සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම සෘජු විදේශ මුදල් උපයා ගත හැකි මාර්ගයක් බැවින් ඔවුන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අදාළ සියලු පාර්ශව එක්ව ඉක්මන් වැඩපිළිවෙළක් සකස් කිරීම අනිවාර්ය වේ.

දුම්රිරියෙන් ගමන් ගන්නා සංචාරකයෝ – www.thecoastalcampaign.com

මෙරටට පැමිණෙන සංචාරකයන් සියලු දෙනා මෙරට දුම්රිය චාරිකාවක අත්දැකීම විඳගැනීමට අමතක නොකරති. ඔවුන් බොහෝ විට කොළඹ කොටුව සිට මහනුවර, බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුරය වැනි ගමනාන්තයන් කරා දුම්රියෙන් ගමන් කරන්නේ මග දෙපස ඇති සුන්දරත්වය විඳීමට ඇති හොඳම ක්‍රමය එය බැවිනි. කෙසේ වෙතත් සංචාරකයන් සඳහා ප්‍රමාණවත් සහ සුවපහසු දුම්රිය සේවාවක් සැපයීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ ද යන්න ගැටළු සහගත ය.

සංචාරකයන් සඳහා සුවපහසු ප්‍රවාහන සේවාවක් සැපයීමට ඔවුන් වෙනුවෙන් ම වෙන් වූ දුම්රියක් හෝ කිහිපයක් ධාවනය කිරීමේ වරදක් නැත. කෙසේ වෙතත් එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන තෙක් අවධානය යොමු කර නැත.අවශ්‍ය නම් සංචාරකයන් මෙරටට පැමිණෙන අවස්ථාවේ දීම ඔවුන්ට දුම්රිය චාරිකාවක අත්දැකීම කෙබඳුදැයි අවබෝධයක් ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ හැක.

උදාහරණයක් වශයෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දිය හැක. වත්මන් දුම්රිය ස්ථානවල ද සංචාරකයන් සඳහා ඇති පහසුකම් කිසිසේත් ම ප්‍රමාණවත් නොවේ.

දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත උඩරට දුම්රිය මාර්ගයේ ආරුක්කු නවයේ පාලම – www.destinasian.com

මේ ආකාරයෙන් දුම්රිය ගාස්තු ඉහළ දැමීමෙන් තොරව දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම ඉහළ නංවා ගත හැකි ක්‍රමවේදයන් රැසක් තිබිය දී ඒ පිළිබඳ ව අවධානය යොමු නොකර මගී ජනතාව මතම බර පැටවීමට බලධාරීන් දරන උත්සහය අනුමත කළ නොහැක. වර්තමාන තත්ත්වය තුළ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ අසරණ බවේ උපරිමයටම ළඟා වී ඇති ජනතාව තව තවත් අසරණ නොකොට, ජනතාවගේත්, රටේත් යහපත තහවුරු වන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු කාලය දැන් කාලය එළඹ ඇත. 

කවරයේ පින්තූරය- දුම්රිය දෙපාර්තමේන්තුවට ගාස්තු ඉහළ දැමීමෙන් තොර ව ලාභ ඉපැයිය හැකි ක්‍රම ගණනාවක් ඇත - www.srilankarailwayforum.com

මූලාශ්‍ර:

www.railway.gov.lk

එදිනෙදා ජනමාධ්‍ය වාර්තා

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයෝ

 

Related Articles