Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය “පරිසර හිතකාමී ගඩොල්” බවට පෙරලමු

වර්තමානය වන විට පොලිතින් සහ ප්ලාස්ටික්, මිනිසා විසින් නිර්මාණය කරගත් දරුණු වසංගතයක් බවට පත් වී අවසන්. ලොව පුරා පැතිර ඇති සෑම ජල මූලාශයයක් පාහේ මෙන්ම, ඔබ පානය කරන ජලය තුළ, ආහාර තුළ පවා ප්ලාස්ටික් අඩංගු වන බව මීට ඉහත ලිපියක දී සවිස්තරාත්මකව විස්තර වී තිබුණා. ප්ලාස්ටික් ඔබේ ජීවිතය පමණක් අනතුරේ හෙලීමෙන් නතර නොවන අතිශය බිහිසුණු පාරිසරික ගැටළුවක්. සාගර ජලයේ අඩංගු ප්ලාස්ටික් අංශු සියළුම සමුදුරු ජීවීන්ගේ ජෛව ක්‍රියාවලීන්ට මරණීය බලපෑම් එල්ල කොට අවසන්. ගොඩබිම ගත්කල, අලි ඇත් ගහණයේ සිට කුහුඹුවා දක්වා සෑම ජීවියෙකුගේම ජීවිතවලට පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මරණීය තර්ජන එල්ල කරමින් දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. 

නමුත්, මෙයින් පරිසරය රැක ගැනීමට ඔබට කළ හැකි එක් සරල ක්‍රියාවලියක් පවතින බවට ඔබ දැනුවත් ද? 2021 නව වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියෙන් ප්ලාස්ටික් සහ පොලිතින් ඉවත් වී යන දිනය තෙක්, පරිසරය වෙනුවෙන් ඔබට කළ හැකි අවම මට්ටමේ සේවයක් පවතිනවා. ඒ, පරිසරයට පොලිතින් සහ ප්ලාස්ටික් මුදාහැරීම නතර කොට, එම පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රයෝජනවත් ලෙස නැවත භාවිතයට ගැනීමට කටයුතු කරමින්, “එකෝබ්‍රික්ස්” භාවිතයෙන් සරල පරිසර හිතකාමී ව්‍යාපෘතීන් ඇරඹීම යි.

එකෝබ්‍රික්ස් භාවිතය තුළින් පරිසරය රැකගත හැකියි (ecobricks.org)

මොනවද මේ “එකෝබ්‍රික්ස්” කියන්නෙ?

සරලව ගත්කල එකෝබ්‍රික්ස් යනුවෙන් හඳුන්වන්නේ, ප්‍රතිචක්‍රිකරණයට භාජනය කළ නොහැකි පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්ලාස්ටික් බෝතල් තුළ අසුරා සාදන, ඉදිකිරීම් සඳහා ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගත හැකි “ගඩොල්” වර්ගයකි. එකෝබ්‍රික්ස් හෙවත් පරිසර හිතකාමී ගඩොල් ඕනෑම ආකාරයේ ඉදිකිරීමක් සඳහා භාවිතයට ගත හැකි අතර ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකට නිර්මාණශීලීව යොදා ගැනීමේ හැකියාව පවතිනවා. 

එකෝබ්‍රික්ස් මඟින් ඔබට ඔබ භාවිතයට ගනු ලබන පොලිතින් සහ ප්ලාස්ටික් වෙනුවෙන් වගකීමක් ඇති ක්‍රියාවලියක් සඳහා මඟ පෙන්වීම ලබා දෙනවා. නමුත් වගකිව යුතු පුරවැසියෙකු ලෙස ඔබට හැකි සෑම අවස්ථාක දීම පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය ගැනීම සම්පුර්ණයෙන්ම නවතා දැමිය යුතු අතර, නොවැළැක්විය හැකි කාරණා වෙනුවෙන් භාවිතය ගනු ලබන පොලිතින් සහ ප්ලාස්ටික්, එකෝබ්‍රික්ස් ලෙස භාවිතයට ගැනීමෙන් ඔබට පරිසර දූෂණය අවම කිරීමට හැකියාව ලබා දෙනවා. 

එකෝබ්‍රික්ස් භාවිතයේ වාසි සහ අවාසි මොනවා ද?

පොලිතීන්වලින් සාදන එකෝබ්‍රික්ස් භාවිතයට ගත යුත්තේ ඇයි? මේවා භාවිතයේ වාසි සහ අවාසි පහත පරිදි පෙළගැස්විය හැකියි.

නිර්මාණශීලීව සිතීම තුළින් එකෝබ්‍රික්ස් වඩා ඵලදායී ලෙස භාවිත කළ හැකියි (ecobricks.org)

එකෝබ්‍රික්ස් භාවිතයේ වාසි

  • නිෂ්පාදන පිරිවැයක් නැත.
  • නැවත නැවත භාවිතයට ගත හැකි ය.
  • ඉතා පහසුවෙන් සාදා ගත හැකි ය.
  • බරින් ඉතා අඩු මෙන්ම ශක්තිමත් බව පවතී.
  • බොහෝ ඉදිකිරීම් සඳහා නිර්මාණශීලීව යොදා ගත හැකි ය.
  • වඩා වැදගත් ලෙස, පොලිතින් සහ ප්ලාස්ටික්, ස්වභාවික පරිසරයට නිදහසේ එක් වීම වළකියි.

එකෝබ්‍රික්ස් භාවිතයේ අවාසි

  • ප්ලාස්ටික් සහ පොලිතින්වලින් නිර්මාණය කෙරෙන නිසා දිරාපත් වීමක් සිදු නොවේ.
  • යම් ආකාරයකින් දියවී යාමක් හෝ පළුදු වීමක් සිදුවුවහොත් ඒවායින් නිකුත් විය හැකි විෂ වායු සහ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත නොවිය හැකි යි.
  • ඉදිකිරීම් විනාශ වී යාම නිසා එක්වර විශාල පරිසර හානියක් විය හැකි යි.
  • පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතයට නොගැනීමට මිනිස් ප්‍රජාව තුළ ඇති කිරීමට අපේක්ෂා කරන ආකල්ප වෙනස් වීමට බලපෑම් ඇති විය හැකි යි.
එකෝබ්‍රික්ස් සඳහා යොදා ගන්නා බෝතල් අධික ලෙස පිරවීම නොකළ යුතු යි. (ecobricks.org)

එකෝබ්‍රික්ස් හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද?

එකෝබ්‍රික්ස් නිපදවා ගැනීම ඉතා පහසුවෙන් සිදුකළ හැකියි. නමුත් මෙහි දී ඔබ සැලකිල්ලට ගත යුතු ඉතා වැදගත් කාරණාවක් පවතිනවා. එනම්, එකෝබ්‍රික්ස් නිපදවීම සඳහා ඔබට භාවිතයට ගත හැකි සහ නොහැකි ද්‍රව්‍ය මොනවා ද යන්න පැහැදිලිව වෙන් කොට හඳුනාගැනීම යි. 

මෙහිදී ඔබට ඕනෑම ආකාරයක Polyethylene Terephthalate බෝතල් හෙවත් PET බෝතල් (බොහෝ පැණිබීම වර්ග අඩංගු වන්නේ මෙම බෝතල් තුළ යි) භාවිතයට ගත හැකි යි. ඔබ තෝරාගත් බෝතල් අනිවාර්යයෙන්ම සෝදා පිරිසිදු කර, පසුව ඉතා හොඳින් වියළා ගත් බෝතල් විය යුතු යි. එමෙන්ම ඔබ මේ සඳහා භාවිතයට ගනු ලබන පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ද ඉතා හොඳින් සෝදා වියළාගත්, ප්‍රතිචක්‍රිකරණයට ලක් කළ නොහැකි අපද්‍රව්‍ය බවට වගබලා ගත යුතු යි. කිසිදු හේතුවක් මත ප්‍රතිචක්‍රිකරණයට භාජනය කළ හැකි හෝ දිරාපත් වීමට ලක් වන පොලිතින් හෝ ප්ලාස්ටික් හෝ වෙනත් අපද්‍රව්‍යයක් එකෝබ්‍රික්ස් නිෂ්පාදනය සඳහා යොදා නොගත යුතු යි. මීට අමතරව සාදා ගනු ලබන එකෝබ්‍රික්ස් ඉතා හොඳින් මුද්‍රා තැබීම ද ඉතා වැදගත් වෙනවා. එමෙන්ම සාදා ගන්නා සෑම එකෝබ්‍රික් එකක් තුළම 0.33g/ml වැඩි සහ 0.70g/ml වඩා අඩු ගණත්වයක් පැවතිය යුතු වන අතර එක් එක් ගඩොලෙහි අඩංගු බර මැකී නොයන ලෙස එහි මතුපිට සටහන් කළ යුතු වේ. ඉහත දැක්වූ කරුණු නිවැරදිව පිළිපැදිය යුතුවීමට සම්බන්ධව වැදගත් හේතු සාධක කිහිපයක් පවතිනවා.

එකෝබ්‍රික්ස් නිෂ්පාදනය සඳහා වියළි, පිරිසිදු ප්ලාස්ටික් භාවිත කළ යුතු යි (ecobricks.org)
  • ඔබ සාදාගන්නා එකෝබ්‍රික්ස් තුළ ජල වාෂ්ප අන්තර්ගතවීමෙන් ඒවා තුළ දිලීර වර්ග, විෂ වායූන් හෝ විෂ රසායනික සංඝටක සෑදීමේ ප්‍රවණතාවයක් පවතිනවා.
  • නොසේදූ ප්ලාස්ටික්වල දිරාපත් වන අපද්‍රව්‍ය රැඳී තිබුණොත්, එම ද්‍රව්‍ය කුණුවීම සිදුවිය හැකි යි.
  • එකෝබ්‍රික්ස් තුළට අඩංගු කරන ද්‍රව්‍ය දිරාපත් වීම නිසා කල් ගත වන විට ඔබේ ඉදිකිරීමේ ස්ථාවර බව සහ ශක්තිමත් බව නැති වී යා හැකි යි.
  • තෙතමනය පැවතීම, නිවැරදිව මුද්‍රා තැබීම සිදු නොවීම වැනි කරුණු නිසා එකෝබ්‍රික්ස් තුළ හටගන්නා වායූන් හේතුවෙන් ඔබ නිපදවා ගත් ගඩොල් පුපුරා යා හැකි යි.

එකෝබ්‍රික්ස්වල භාවිතයන් මොනවද?

නිවැරැදිව සාදාගත් එකෝබ්‍රික්ස් යොදා ගනිමින් බොහෝ දේ නිපදවිය හැකියි. නිවාස තුළ භාවිතයට ගැනීමට මේස, පුටු, සෙල්ලම් කාමර වැනි දෑ මෙන්ම, එළිමහන් භාවිතයට බංකු, ගස් වටා බඳින තාප්ප, ඉඩම් වටකර සාදන තාප්ප, ළමුන් සඳහා සෙල්ලම් පිට්ටනි තුළ කළ නිර්මාණ මෙන්ම, දකුණු අප්‍රිකාව, පිලිපීනය, මැලේසියාව, එක්සත් ජනපදය වැනි රටවල අඩු වියදම්, සුවපහසු, ශක්තිමත් නිවාස ඉදිකිරීම් සඳහා ද එකෝබ්‍රික්ස් භාවිතයට ගනු ලබනවා. මීට අමතරව එකෝබ්‍රික්ස් යොදා ගනිමින් සිදුකළ හැකි බොහෝ නිර්මාණශීලී භාවිතයන් ගැන ඔබට අන්තර්ජාලයෙන් සොයාගත හැකි යි.

බොහෝ නිර්මාණශීලී ඉදිකිරීම් සඳහා එකෝබ්‍රික්ස් පහසුවෙන් භාවිත කළ හැකි යි. (ecobricks.org)

“සිග්බ්‍රික්ස්” යනුවෙන් හඳුන්වන්නේ මොනවද? 

සංඛ්‍යාත්මකව ගත්කල වසරකට ලොව පුරා ට්‍රිලියන 6.5ක වැනි ඉතා විශාල ප්‍රමාණයක දුම්වැටි අලෙවියක් සිදු වේ. එනයින් ගත්කල ලොව පුරා එක් දිනෙකට දුම්වැටි බිලියන 18ක් අලෙවි වීම සිදු වේ. ඒ අනුව භාවිතය අවසන් කළ දුම්වැටිවල අඩංගු ෆිල්ටර කොටස් බිලියන 18ක් සෑම දිනකම ස්වභාවික පරිසර පද්ධතිය හා මුසු වේ. දුම්වැටියේ ෆිල්ටර කොටස ඇසිටේට් නම් වූ ප්ලාස්ටික් වර්ගයක් භාවිත කොට නිමවා තිබේ. ඇසිටේට් සාමාන්‍ය පරිසරයට මුදා හැරිවිට එහි විෂ පරිසරයට මහත් බලපෑම් ඇති කරයි. ප්‍රමාණයෙන් කුඩා වූවත් ඊට ඇති කළ හැකි බලපෑම අති විශාල යි. නමුත් භාවිතයට ගනු ලැබූ දුම්වැටි ෆිල්ටර කොටස් ද එකෝබ්‍රික්ස් සඳහා යොදාගත හැකි යි. 

සම්පුර්ණයෙන්ම දුම්වැටි ෆිල්ටර කොටස් යොදා ගනිමින් නිමවන එකෝබ්‍රික්ස්, “සිග්බ්‍රික්ස්” යනුවෙන් හඳුන්වනවා. සාමාන්‍ය 600ml බෝතලය තුළට දුම්වැටි ෆිල්ටර 1000ක් පමණ අඩංගු කළ හැකි බව සඳහන්. සිග්බ්‍රික්ස් සාදා ගැනීමට ද ඉතා පහසු ක්‍රමයක් පවතිනවා. භාවිතයට ගෙන අවසන් කළ දුම්වැටියෙහි ෆිල්ටර කොටසෙහි අඩංගු මතුපිට කඩදාසි කොටස ගලවා ඉවත් කොට, ඒවා PET බෝතල් තුළ ඉතා තදින් ඇසිරීම සිදු කළ යුතු වේ. ෆිල්ටර කොටසෙහි අඩංගු කඩදාසි කොටස මේ සඳහා භාවිතයට නොගන්නා අතර, ඒවා දිරාපත් වන බැවින් සහ එම කඩදාසි කොටස තුළ විෂ රසායනික කොටස් අන්තර්ගත නොමැති බැවින් සාමාන්‍ය දිරාපත් වන කසල බැහැර කිරීමේ ක්‍රමවේදය හරහා එම කඩදාසි කොටස බැහැර කිරීමට හැකියාව පවතිනවා. ලොව පුරා මෙම ක්‍රියාවලිය සිදුවන්නේ නම් එක් දිනක් තුළ දී පමණක්, දුම්වැටි ෆිල්ටර කොටස් බිලියන 18ක් ස්වභාවික පරිසරය හා මුසුවීම වැලැක්වීමට හැකියාව පවතිනවා. 

දුම්වැටි ෆිල්ටර භාවිතයෙන් සිග්බ්‍රික්ස් නිපදවනු ලබයි. (ecobricks.org)

“ඕෂන් එකෝබ්‍රික්ස්” යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? 

ආසන්න වශයෙන් සාගරය තුළ ට්‍රිලියන 5.25ක් පමණ ප්ලාස්ටික් කැලිකසල එක්රැස් වී පවතින බව මේ වන විට හඳුනාගෙන තිබේ. මෙම ප්ලාස්ටික් කැලිකසලවලින් කොටසක් සාගර පතුලට කිඳා බසින අතර තවත් කොටසක් විශාල කසල දූපත් ලෙස එක්රැස් වේ. අනෙකුත් කොටස් ලෝකය පුරා පවතින වෙරළ තීර වලට නැවත ගොඩගසනු ලබනවා. මේ හේතුව නිසා ලෝකය පුරා බොහෝ වෙරළ තීර දූෂණයට ලක්වෙනවා. 

සාමාන්‍යයෙන් වෙරළට ගොඩගසනු ලබන ප්ලාස්ටික් කැලිකසල, ප්‍රමාණයෙන් විශාල කුට්ටි වශයෙන් එක්රැස් වූ, ඉතා අපිරිසිදු සහ තෙත් ස්වභාවයකින් යුක්ත යි. මෙවැනි හේතු නිසා එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාමාන්‍ය එකෝබ්‍රික්ස් නිෂ්පාදනය සඳහා සුදුසු නැහැ. 

නමුත් වෙරළට ගොඩගසනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා ගනිමින් “ඕෂන් එකෝබ්‍රික්ස්” නම් ගඩොලක් නිෂ්පාදනය කෙරෙනවා.  මෙහි විශේෂත්වය වන්නේ ඔබට තෙත් සහ අපිරිසිදු වෙරළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේ සඳහා භාවිත කිරීමට හැකියාව පැවතීම යි. මෙවැනි එකෝබ්‍රික්ස් සාදා ගැනීමේ දී එකම වර්ගයේ PET බෝතල් දෙකක් රැගෙන,  එක් බෝතලයක මූඩිය සහිත ඉහළ කෙළවරට ආසන්නව මඳක් පහළිනුත්, අනෙක් බෝතලයේ පතුළ ප්‍රදේශයට මඳක් ඉහළිනුත් කපාගත යුතු යි. එලෙස කපාගත් බෝතල් කොටස් තුළට සාගර ප්ලාස්ටික් අපද්‍රව්‍ය පුරවා, කුඩාවට කපාගත් කොටස, විශාලව කපාගත් කොටස තුළට ඇතුළුවන සේ තෙරපා ඇතුළු කළ යුතු යි. සාමාන්‍ය එකෝබ්‍රික්ස් ලෙස මේවා සම්පුර්ණයෙන් මුද්‍රා තැබීමක් සිදු නොකර, කැපුම් දාර අතරින් වාත්‍රාශය ගමන් කිරීමට අවශ්‍ය ඉඩකඩ සපයා දෙනවා. ඊට හේතුව වන්නේ මෙහි තෙත් සහ අපිරිසිදු ප්ලාස්ටික් අඩංගු බැවින් මේවා තුළ මීතේන් වායුව නිෂ්පාදනය වීමේ හැකියාව පැවතීම යි. කැපුම් දාර තුළින් වාත්‍රාශය ගමන් කිරීම නිසා මීතේන් වායුව හටගනු ලැබුණත් සම්පුර්ණයෙන් මුද්‍රා තැබීමක් නොමැති බැවින්, එම වායුව ක්‍රමිකව පිට වී යාම මඟින් එහි අහිතකර බලපෑම් පාලනය කළ හැකියි. 

ඕෂන් එකෝබ්‍රික්ස් සාදා ගන්නා ආකාරය. (ecobricks.org)

නොසැළකිල්ලෙන් දෛනිකව ස්වභාවික පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය භාවිතය හැකි උපරිමයෙන් අවම කිරීම තුළින් මිනිසාට පමණක් සීමා නොවූ වාසි බොහෝ ප්‍රමාණයක් අත්පත් කර ගත හැකි යි.  නිසි අයුරින් කසල කළමණාකරණය කිරීමෙන් ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ගේ ජෛව ක්‍රියාවලීන් සහ පැවැත්ම තහවුරු කළ හැකි යි. වගකීමෙන් සහ නිර්මාණශීලීව සිතා කටයුතු කිරීමෙන් කසල පවා සම්පතක් ලෙස භාවිතයට ගැනීමට පුළුවන්.

Related Articles