OPEC කාටලයේ කොන්ද කඩා දැමූ ඇමරිකානු ශේල් තෙල් කර්මාන්තය

බොර තෙල් කියන්නේ ලෝකයේ වැඩිම බලාධිකාරියක් පවතින දේ කිව්වොත් වරදක් නැහැ. රටවල් සුළු ප්‍රමාණයකට පමණක් සීමා වී තිබෙන සම්පතක් වන මෙය කළු රත්තරන් කියලත් හඳුන්වන්නේ එහි ආර්ථික සහ දේශපාලනික වටිනාකම නිසාම යි. බහුලව තිබෙන රටවලට මුදල් ආකරයක් වගේම දරුණු යුද්ධ සහ දේශපාලන පෙරළි පවා සිදු කළ හැකි දෙයක් විදිහටත් බොර තෙල් සලකන්න පුළුවන්.

කලක් මේ තරම් බලගතු බොර තෙල් මිල තීරණය කරන විශාලතම බලාධිකාරිය වූයේ OPEC එක. වැඩිම බොරතෙල් නිෂ්පාදනයක් සහිත රටවල් ගණනාවක් එකතු වීමෙන් සෑදුණු මෙය ඇත්තෙන්ම කාටලයක් (cartal) කියල යි සැලකෙන්නේ. කෙසේ නමුත් මෑත කාලීනව ඇමරිකාවේ හැදෙන ශේල් තෙල් (shale oil) නිසා OPEC එකේ බලය ටිකෙන් ටික නැති වෙලා යන්න පටන් අරන්.

තමන්ට රිදවන්න තෙල් මිල ඉහළ දැමූ OPEC එක අසරණ කර දමන්න ඇමරිකාව ආරම්භ කළ ශේල් තෙල් කර්මාන්තය ගැන කතාව ඇත්තෙන්ම අපූරු එකක්.

බොර තෙල් සහ ශේල් තෙල්

මුහුද මැද පිහිටි Ursa තෙල් ඇටවුම. (npr.org)

බොර තෙල් ලබා ගන්නේ ගොඩබිම හෝ මුහුද යට තිබෙන තෙල් නිධි මඟින්. මේවාට දිගු නළ ඇතුළු කර තෙල් ලබාගෙන, ඒවා පිරිපහදු කර නැව්වලට පොම්ප කිරීම දක්වා සියලු කාරණා කළ හැකි සුවිශාල ඇටවුම් මඟින් බොර තෙල් නිෂ්පාදනය සිදු කෙරෙනවා. නමුත් යම් රටකට මේ වැඩේ කරන්නට පුළුවන් වුණේ අදාළ තෙල් නිධි මහා පරිමාණයෙන් තිබෙනවා නම් සහ අවශ්‍යය දැනුම තිබෙනවා නම් පමණ යි. අනෙක් රටවලට මේ රටවලින් තෙල් මිල දී ගැනීම හැර සාමාන්‍යයෙන් වෙනත් විකල්පයක් නැහැ.

නමුත් තෙල් ලබා ගත හැකි තවත් ක්‍රම බොහොමයක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන ක්‍රම දෙකක් තමයි ශේල් නැමැති පාෂාණ වර්ගය කුඩු කර එය නිස්සාරනයෙන් ලබා ගන්නා ශේල් තෙල් සහ තාර වැලි නිස්සාරණයෙන් ලබා ගන්නා තෙල්. කොහොම නමුත් ආර්ථික වශයෙන් මෙය ඉතාම මිල අධික නිසා  මෑතක් වන තුරු සිදු කෙරුණේ ඉතාම අඩුවෙන්.

ලෝකයේ වැඩිම ශේල් පාෂාණ සංචිත ඇත්තේ ඇමරිකාවේ යි. තෙල් මිල අහස උසට නැගීමත් එක්ක ඔවුන් මෑත කාලයේ මේ ක්‍රමයෙන් තෙල් නිෂ්පාදනය වේගයෙන් ඉහළ නංවන්න උත්සාහ ගත්තා. අද වන විට එය සාර්ථක වී තිබෙනවා.

බොර තෙල් අර්බුදය සහ ඇමරිකාවෙන් ඊට ලැබුණු පිළිතුරු

1973 බොර තෙල් අර්බුදයෙන් ඇමරිකාව විශාල ගැටළු රැසකට මුහුණ පෑවා (nrgsecurity.org)

OPEC කාටලයට තෙල් මිල තීරණය කරන්න තිබුණු බලය ගැන ඇමරිකාව කවදත් හිටියේ ඒ තරම් හිත හොඳින් නෙවෙයි. නමුත් 1973 දී එයින් තමන්ට සිදු විය හැකි බලපෑම අත්දැකීමෙන්ම වටහා ගැනීමත් එක්ක මේ බලාධිකාරිය විනාශ කරන්න ඔවුන් උත්සාහයන් ගණනාවක් ගත්තා.

1973 දී ඇමරිකාව ඊශ්‍රායලයට ආයුධ සැපයීමට එරෙහිව OPEC එක ඇමරිකාවට තෙල් සැපයීම අත්හිටුවීමත් එක්ක මුළු ලෝකයම දරුණු තෙල් අර්බුදයකට මුහුණ දුන්නා. ඇමරිකාවේ කාර් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නත් තෙල් මිල ඉහළ යාම හේතු වුණේ, ඉන්ධන භාවිතය අධික විශාල ඇමරිකානු කාර් වෙනුවට කුඩා ආනයනික කාර්වලට කවුරුත් මාරු වීම හේතුවෙන්.

ඒ කාලයේ මෙයට ඍජුව මුහුණ දෙන්න ක්‍රමයක් ඇමරිකාවට නොමැති වුණත් 2008 ආර්ථික අර්බුදයෙන් පස්සේ තවත් වටයකින් එය සිදුවීමත් එක්ක මෙයට ස්ථිර විසඳුමක් දෙන්න ඇමරිකාව තීරණයක් ගත්තා. ඒ තමයි අතිවිශාල ආයෝජන දිරිමත් කරවමින් ශේල් තෙල් ක්ෂේත්‍රය ගොඩ නැංවීම.

ශේල් තෙල් නිෂ්පාදනය වාසිදායක වෙන්නට හේතු සහ OPEC හි පිළිතුර

2014 අගදී තෙල් මිල වේගයෙන් කඩා වැටීම (artberman.com)

ශේල් තෙල් නිෂ්පාදනය ඉතාම අපහසු වගේම මිල අධික වැඩක්. මේ නිසා බොර තෙල් මිල අඩු මට්ටමක තිබෙන විට එයින් ලාභ ලබන්නට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් 2013 – 2014 කාලයේ තෙල් බැරලයක් ඩොලර් 100ත් ඉක්මවා ඉහළ යාමත් එක්ක එය වාසිදායක ක්ෂේත්‍රයක් බවට පත් වුණා. අතිවිශාල ප්‍රාග්ධන ආයෝජනයන් කරමින් ශේල් තෙල් නිෂ්පාදන කර්මාන්ත පිහිටුවීමත්, එය වඩාත් ලාභදායී කළ හැකි තාක්ෂණයන් ගැන පර්යේෂණ කිරීමත් වේගයෙන් ඉහළ ගියා. ඒ එක්කම ශේල් තෙල් කර්මාන්තය තවත් වේගයෙන් දියුණු වෙන්න ගත්තා.

තෙල් මිල ඉහළ මට්ටමක තිබීමෙන් අධික ලාභයක් ලැබුණත් ඒ ඇසුරෙන් ඇමරිකාවට ශේල් තෙල් ලාභදායීව නිපදවා ගන්න හැකියාව ලැබුණු එක OPEC එකට නම් දිගු කාලීනව විශාල පහරක් වුණා. ඔවුන් ඉන්පසුව හැකි උපරිමයෙන් වෙළඳපොළට තෙල් එවමින් මිල පහළ දමන්නට කටයුතු කළේ එය වැළැක්වීම සඳහා යි. ඒ අනුව ඩොලර් 100ක් ඉක්මවා ඉහළ ගිය තෙල් මිල ඩොලර් 40කට ආසන්න වන තුරු පහත වැටුණා. ශේල් තෙල් නිෂ්පාදනය ඉතාම අවාසිදායක කර, ඇමරිකානු ශේල් සමාගම් බංකොලොත් කර දැමීම යි OPEC එකේ උත්සාහය වුණේ. ලාභ ඉතා අවම වුවත් කාලාන්තරයක් පුරාවට තෙල් මිල ඉතා අඩු මට්ටමක පවත්වා ගන්න ඔවුන් උත්සාහ ගත්තේ මේ නිසා යි.

OPEC උත්සාහය අසාර්ථක වීම සහ ඇමරිකාවේ ජයග්‍රහණය

අද වන විට බොර තෙල් මිල ඩොලර් 45ක මට්ටමේ තිබුණත් ලාභදායීව ශේල් තෙල් නිපදවන්න ඇමරිකාවට පුළුවන්. (upi.com)

කොහොම නමුත් මේ වැඩේ වැඩිකල් කරන්න ඔවුන්ට පුළුවන් වුණේ නැහැ. ඇමරිකාවේ ශේල් තෙල් නිෂ්පාදන සමාගම් එන්න එන්නම අඩු මිලට තෙල් නිෂ්පාදනය කරන්නත්, විශාල පරිමාණයෙන් තෙල් මුදාහරිමින් වෙළඳපොළ පාලනය කරන්න ගැනීමත් එක්ක වේගයෙන් වාසි ලබන්න සමත් වුණා. අවසානයේ OPEC එකටත් මිල කෘත්‍රීමව පාලනය කිරීම නවතා දමන්න සිදුවුණා. මේ වන විට පවතින තරමක් ඉහළ තෙල් මිලෙන් ඔවුන් දෙපිරිසම වැඩි ලාභ ලබනවා.

මීට අමතරව මෑත කාලීනව ඇති වූ දේශපාලන ගැටලු එක්ක අද ලෝක තෙල් බලාධිකාරිය බොහෝ දුරට ඇමරිකාවටම යටත් වී තිබෙනවා. ඉරානය යටපත් කිරීමට සෞදි අරාබියට ඇති වුවමනාව නිසා ඇමරිකාව කියන කියන විදිහට තෙල් නිෂ්පාදනය වෙනස් කරන්නත් ඔවුන්ට සිදුවෙලා. මේ සියලු කාරණා නිසා අද වන විට OPEC එක සතුව තිබෙන බලාධිකාරිය බොහෝ දුරට හීන වී ගිහින්.

පාරිසරික බලපෑම සහ ශ්‍රී ලංකාවට ලබා ගත හැකි පාඩමක්

ශේල් පාෂාණ කැණීමට විනාශ කෙරෙන වනාන්තර ප්‍රමාණය ඉතා විශාල යි. (publicbroadcasting.net)

බොර තෙල් නිෂ්පාදනය වැඩි වීමත් එක්ක පුනර්ජනනීය බලශක්තියට මාරු වීම වෙනුවට තෙල් නිෂ්පාදනය කරන තවත් ක්‍රම කරළියට ඒම පාරිසරික පැත්තෙන් නම් ඉතාම හානිදායක යි. දැනටමත් සිදු වන කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යාම තවත් කලක් තිස්සේ සිදුවීමට මෙය හේතුවක් වේවි. කාලයකින් තෙල් නිධි ක්ෂය වී යාවි කියන බියත් මේ නිසා තුරන් වී ගිහින්.

බොර තෙල් නිෂ්පාදනයට සාපේක්ෂව ශේල් තෙල් නිෂ්පාදනය පාරිසරිකව ඉතා හානිදායක දෙයක් විදිහටත් සැලකෙනවා. විශාල වනාන්තර ප්‍රදේශ මුළුමනින්ම විනාශයට ලක් කරන මේ කටයුතු පොළොවේ යට තිබෙන තෙල් ලබාගැනීමට වඩා ඉතාම අහිතකර යි. කොහොම නමුත් එයින් හිමි වන ජාතික ආරක්ෂාව නිසා ඇමරිකාව කිසිසේත් ශේල් තෙල් නිෂ්පාදනය අඩපණ කරන බවක් පෙනෙන්නට නැහැ. අද ඔවුන්ට තෙල් මිල හදීසියේ ඉහළ යාමේ බලපෑම ඉතා අවම යි.

මන්නාරම් බොක්කේ තෙල් ලබාගෙන අපිටත් තෙල් මිලෙන් සහනයක් ගන්න පුළුවන් වේවි ද? (investsrilanka.blogspot.com)

හැමදාම තෙල් මිල නිසා අපහසුතාවට පත් වන ශ්‍රී ලංකාවට අපේ මන්නාරම් බොක්කේ ඇති තෙල් නිධිවලින් ප්‍රයෝජන ගැනීමටත් මේක හොඳ පාඩමක්. ඇමරිකාව ශේල් තෙල් කර්මාන්තය දියුණු කරගන්න උත්සාහ කළා වගේ මූලික ආයෝජනය අපහසුවෙන් හරි කරලා මේ තෙල් නිධිවලින් තෙල් ලබාගන්න අපිත් උත්සාහයක් ගත්තොත් අනාගතයේ දී ශ්‍රී ලංකාවටත් තෙල් මිලේ නොබැදී ඉන්න හැකියාවක් ලැබේවි.

කවරයේ රූපය : sohucs.com

Related Articles