ලෝක ආර්ථික අවපාතයෙන් බේරෙන්න විදෙස්ගත වී පුළුවන්ද?

දැනටමත් බොහෝ දුරට ඇද වැටී ඇති ශ්‍රී ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ කොහොම හරි මේ දූපතෙන් පිට වෙන එක. මේ හැමෝ ම රට යන්නේ විඳින දුකෙන් ගැළවෙන බලාපොරොත්තුවෙන් වුණාට රට යන අපේ මිනිස්සුන්ට ලෝක ආර්ථිකය අත්විඳිමින් සිටින අර්බුදය ගැන කිසිදු අදහසක් ඇත්තේ නෑ.

වර්තමානයේදී ලෝක ආර්ථිකයට වෙමින් තියෙන දේ සහ 1929න් පසු මේ වර්ෂය අවසානයේ දී සිදුවීමට යන සුනාමියක් බඳු ගෝලීය ආර්ථික අවපාතය පිළිබඳව ඔවුන්ට නිච්චියක් නෑ. සුනාමියක් එන්න කලින් මුහුද පසු පසට යනවා වගේ මේ වෙද්දි ලෝක ආර්ථිකය ඉන්නේ දැඩි නිහැඬියාවක. ඉතින් අපි බලමු මොකක්ද මේ ලෝකය ම මුහුණ දෙන්න යන මහා ආර්ථික සුනාමිය කියලා.

ගෝලීය ආර්ථිකය අවපාතයක් කරා ගමන් කරයිද? ( https://www.ft.com/content/35b31fb0-f8ad-4557-9d95-267e0ed958eb )
ගෝලීය ආර්ථිකය අවපාතයක් කරා ගමන් කරයිද? – www.ft.com 

මොකක්ද මේ ආර්ථික අවපාතයක් කියන්නේ

අමෙරිකාවේ ජාතික ආර්ථික පර්යේෂණ කාර්යාංශයට (NBER) අනුව ආර්ථික අවපාතයක් කියන්නේ රටක ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් වන නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ මිනිසුන්ගේ අදායම මාස කිහිපයක් තිස්සේ සැලකියයුතු ලෙස කඩා වැටෙමින් උද්ධමනය වැඩි වෙමින් සමස්ත ආර්ථිකය ම පරිහානියට පත් වෙමින් තිබීම යි. ලෝක බැංකුවට අනුව නම් ගෝලීය ආර්ථික අවපාතයක් කියලා කියන්නේ, අමෙරිකාව, චීනය, යුරෝපා රටවල් වගේ ලෝක ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන රටවල ආර්ථිකය එක වර හැකිළීම සහ යුද්ධ, වසංගත පැතීරීම වැනි වෙනත් දේ නිසා ගෝලීය ආර්ථිකය දුර්වල විම යි.

පසුගිය අවුරුදු 100 තුළ ප්‍රධාන වශයෙන් ගෝලීය ආර්ථික අවපාතයන් සිදු වූ වර්ෂ තමයි 1929, 1975, 1982, 1991 සහ 2009 කියන්නේ. මෙහෙම ඇති වුණු ගෝලීය ආර්ථික අවපාත දියුණු රටවල්වලට සාමාන්‍යයෙන් බලපා තිබුණේ මාස 12ක් වගේ කාලයකට පමණ යි. අපි වගේ රටවල්වලට මේ වගේ ගෝලීය ආර්ථික අවපාතයක් කියන්නෙ හිතා ගන්නවත් බැරි දෙයක්. 2022 අවුරුද්දත් ගෝලීය ආර්ථික අවපාතයකට යමින් තිබෙන බවට ලක්ෂණ පෙන්වන බවයි ආර්ථික විශ්ලේෂකයන් කියන්නෙ.

1929 දී එක්සත් ජනපදයේ මහා ආර්ථික අවපාතය අතරතුර රැකියා සොයන පිරිමින් (https://europeansectionlgm.typepad.fr/histoire_gographie_hors_l/2020/12/the-great-depression-the-human-cost-l%C3%A9opold.html)
 එක්සත් ජනපදයේ 1929 මහා ආර්ථික අවපාතය අතරතුර රැකියා සොයන පිරිමි –  europeansectionlgm.typepad.fr 

ඉදිරි ගෝලීය ආර්ථික අවපාතයක් පිළිබඳ ඉඟි

මේ පැමිණීමට නියමිත ගෝලීය ආර්ථික අර්බුදය ආරම්භ වෙන්නේ Covid 19 වසංගතය සමඟ ලොව පුරා සිදු වූ ලොක්ඩවුන් කිරීමත් සමඟ යි. Covidවලින් ගොඩ එනවාත් සමඟ ම ඇති වුණු රුසියා – යුක්‍රේන යුද්ධයත්, දුර දිග නොබලා අමෙරිකාව සහ යුරෝපය රුසියාවට සම්බාධක පැනවීමත්, නැවත වතාවක් චීනය සහ බටහිර රටවල් ප්‍රශ්න ඇති කර ගැනීම සහ මේ වන විට සිදු වෙමින් පවතින ලෝක සැපයුම් දාමවල බිඳ වැටීම ද ගෝලීය ආර්ථික අර්බුදයක පෙරනිමිති කියා පානවා.

මෙම හේතු නිසා 1929 මහා ආර්ථික අවපාතයෙන් පසුව ඇති වන භයානකම ගෝලීය ආර්ථික අවපාතයට මේ වසරේ අග දී ලෝකයට මුහුණ දීමට සිදු වන බවට අනතුරු ඇඟවෙනවා. අප ඉහත දැක් වූ ඉඟි තමයි ගෝලීය ආර්ථික අවපාතයක් සිදු විය හැකි බවට දැනට තිබෙන සාධක.

ලෝක ආර්ථික සංසදය (The world economic forum) අනුව කලාපීය වශයෙන් ආර්ථික වර්ධනය පහල බැසීම ( https://www.weforum.org/agenda/2022/05/global-recession-economy-economics-imf-davos-2022/ )
ලෝක ආර්ථික සංසදයට අනුව කලාපීය වශයෙන් ආර්ථික වර්ධනය පහළ බැසීම – www.weforum.org

 මේ වගේ ගෝලීය ආර්ථික අවපාතයක් එන බවට ආර්ථික විද්‍යාව තුළ පළ වෙන ඉඟිත් තියෙනවා. එකක් තමයි ගෝලීය ආර්ථික වර්ධනය පහළ බැසීම. ලෝක බැංකුව පුරෝකථනය කරනවා ගෝලීය ආර්ථික වර්ධනය 2021 හි 5.7% සිට 2022 දී 2.9% දක්වා පහත වැටේවි කියලා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියනවා ඉතා දියුණු රටවල (Advanced Economies) ආර්ථික වර්ධනය ද 2021 හි 5.2% සිට 2022 දි 3.3% දක්වා පහත වැටේවි කියලා.

 අපට දකින්නට පුළුවන් දෙයක් තමයි පසුගිය ජුනි මාසයේ ගෝලීය ආර්ථික අපේක්ෂා, 1970 දී ඇති වූ උද්ධමනය නිසා රටේ ආර්ථිකය එක තැන පල් වීම (Stagflation) හා සමපාත වන බව. තවත් ඉඟියක් තමයි විරැකියාව ශීඝ්‍රයෙන් ඉහළ යාම. ඒ වගේ ම ලෝකය පුරා රටවල උද්ධමනය ඉහළ යාමත් මෙලෙස ගෝලීය ආර්ථික අවපාතයක් ඇති වන බවට පළ වන තවත් ප්‍රධාන ඉඟියක්.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව ලෝකයේ ආර්ථික වර්ධනය සහ දියුණු ආර්ථික වල වර්ධනය පහල බැසීම ( https://www.imf.org/en/Publications/WEO/Issues/2022/04/19/world-economic-outlook-april-2022 )
අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව ගෝලීය ආර්ථික වර්ධනය සහ දියුණු ආර්ථික වල වර්ධනය පහල බැසීම (  www.imf.org

ලෝක බලවතාට මොකද වෙන්නේ?

ලෝකයේ බලවතා වුණු එක්සත් ජනපදයේ විරැකියාව 9.5%ක් දක්වා මෙම වසරේ ඉහළ ගොස් තිබෙනවා. මේ වෙද්දි අමෙරිකාව 1981 න් පසුව මුහුණ දෙන විශාලත ම උද්ධමනයට ද මුහුණ දෙමින් සිටිනවා.

පසුගිය අප්‍රේල් මාසයේ දී ඔවුන්ගේ පාරිභෝගික මිල දර්ශකයට (Consumer price index) අනුව එක්සත් ජනපදයේ උද්ධමන අනුපාතය 8.5% ( Y-O-Y)ක් පමණ අගයක් ගත්තා. ඉදිරියේදි අමෙරිකාව ඇතුළු ලෝකයට මෘදු අවපාතකයට (Mild Recession) මුහුණ දීමට සිදු වන බවට ජපානයේ ප්‍රධාන පෙළේ ආයෝජන බැංකුවක් වන Nomura බැංකුවත් ප්‍රකාශ කර තිබුණා.

අවුරුදු 40කට පසු ඇමෙරිකාවේ ඉහලම උද්ධමනය පසුගිය අප්‍රෙල් මාසයේදී වාර්තා විය ( https://www.bbc.com/news/business-61083104.amp)
අවුරුදු 40කට පසු අමෙරිකාවේ වාර්තා වූ ඉහළ ම උද්ධමනය පසුගිය අප්‍රෙල් මාසයේ දී වාර්තා වූවා – www.bbc.com 

යුරෝපා මහද්වීපයට මොකද වෙන්නේ?

අමෙරිකා මහද්වීපයේ එහෙම වෙද්දි අපේ රටේ ගොඩක් අය යන්න ආසවෙන් ඉන්න සහ ගොඩක් අය යන යුරෝපය ගැනත් කතා නොකර ම බෑ. යුක්‍රේන – රුසියා යුද්ධය නිසා යුරෝපා සංගමය රුසියාවට සම්බාධක පැනවීමත් සමඟ බලශක්තිය මත හට ගත් උද්ධමනයක් මේ වෙද්දි යුරෝපයේ රටවල් පුරා හමා ගෙන යනවා. එය තව දුරටත් වර්ධනය වේවි. මීළඟට එන සීත සෘතුවේ දි යුරෝපයේ බලශක්ති නිශ්පාදනය පහළ බසිනවා. ඉන්ධන, ගෑස් වගේ බලශක්තීන්වල ඉල්ලුම ශීත සෘතුවෙ දි ඉහළ යාම ආදී හේතු නිසා යුරෝපයේ උද්ධමනය අනිවාර්යයෙන්ම ඉහළ යනවා.

අපි රුසියාවේ ඉතිහාසය දිහා හැරී බැලුවොත් පෙනී යන්නේ ඔවුන්ට සෑම යුද්ධයක් ම ජයග්‍රහණය සඳහා උපකාරී වුණේ ශීත සෘතුව බව යි. 2022 වසරේ ශීත සෘතුව නම් යුරෝපයට කිසිදා අමතක නොවේවි. රුසියානුවන් යුරෝපයට ගෑස් සපයන නළ පද්ධතිය වසා දමන්නට හොඳ ම කාලය ලෙස මේ ශීත සෘතුව තෝර ගනිවි යයි සැකයක් තියෙනවා. යුරෝපයේ රැකියා වෙළඳපොළ කිසිම හිඩසැක් නැති ව පුරවන්න පුළුවන් ප්‍රමාණයක යුක්‍රේන සරණාගතයන් මේ වෙද්දි යුරෝපයට ඇතුළු වෙමින් ඉන්නවා. පීසා ඩිලිවරි කරලා, හෝටල්වල වැඩ කරලා, පාර අතුගාලා පාට් ටයිම් කරලා සල්ලි හොයලා ඉගෙන ගන්නව කියලා හිතලා යුරෝපා රටකට යන්න හිතා ඉන්න අපේ රටේ අයට නැවත ඒ ගැන සිතන්නට සිදු වෙන්නේ මේ පසුබිම හමුවේ යි.

යුක්‍රේන සරණාගතයන් ලක්ෂ 2කට ආසන්න පිරිස් මේ වන විටත් යුරෝපයේ වෙනත් රටවල් වලට සංසංක්‍රමණය වීම ( https://www.ft.com/content/d40e0091-a972-4bf9-863d-800debb0a1f3 )
යුක්‍රේන සරණාගතයන් ලක්ෂ 2කට ආසන්න පිරිසක් මේ වන විටත් යුරෝපයේ  රටවල්වලට  සංක්‍රමණය වෙලා –  www.ft.com 

ගෝලීය ආර්ථික අවපාතයෙන් බේරෙන්නට ලෝක සූදානම

මේ වෙද්දි බොහෝ රටවල් මේ ඉදිරි ගෝලීය අවපාතයට මුහුණ දීමට සුදානමින් සිටිනවා. ඩොලර් බිලියන 35කට අධික සංචිතයක් තියෙන බංග්ලාදේශය පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ඉල්ලන්නේ ඉදිරි මාස 12 ඇතුළත මුහුණ දීමට සිදු වන ගෝලීය අවපාතයට හොඳින් මුහුණ දීමට විය යුතු යි. බොහෝ දියුණු රටවල් පවා ඉතාම දුෂ්කර කාලයකට ඉදිරියේ දී මුහුණ දීමට නියමිත යි.

මැද පෙරදිග ආර්ථික විශ්ලේෂකයන් නම් කියන්නේ මේ අවපාතය 2008 වසරේ පැවති තත්ත්වයට පැමිණ නැවත සමනය වනු ඇති බව යි. ඒ කොහොම නමුත් මැද පෙරදිග රටවල් පවා මේ වෙද්දි ඉන්දියාව, ලතින් අමෙරිකානු රටවල්, ඊශ්‍රායලය, චීනය එක්ක එකතු වෙල මේ අවපාතයට මුහුණ දෙන්නට සූදානම් වනවා. ලෝක බැංකුවත් මේ ගෝලීය අවපාතය නිසා හානි විය හැකි රටවල් 158ක් ගැන අනතුරු අඟවලා තියෙනවා. ශ්‍රී ලංකාව ඒ ලැයිස්තුවට තව ම ඇතුළත් ව නොමැති වුවත් අප හා සමාන ම දුර්වල ආර්ථික හැසිරීමක් ඇති පාකිස්තානය ද එයට ඇතුළත්.

අවපාතයෙන් බේරෙන්න ශ්‍රී ලංකාව සූදානම්ද ?

 ගෝලීය ආර්ථික අවපාත ලෝකයේ කාලෙන් කාලෙට ඉස්මතු ව තියෙද්දිත් අපේ රට එයට මුහුණ දීමට සූදානම් ද කියන එක නම් ලොකු ගැටලුවක්. අපි රටක් විදියට මේ ගැන නොදැන සිටීමට ප්‍රධානත ම හේතුව තමයි ශ්‍රී ලංකාව කියන්නේ ගෝලීය අර්බුදවලින් බේරෙන්නට පුළුවන් ආරක්ෂිත කලාපයක (Safe zone) පිහිටි රටක් වීම. ඒ කියන්නේ අපි ලෝකයේ බලවත් ම රටක් කියලා නම් නෙවෙයි . හැබැයි අපිට මොනවා නැතත් කුසගින්න නිවා ගන්න තරම් ප්‍රමාණවත් ආහාර තිබුණා. ජීවත් වෙන්න පුළුවන් දේශගුණික පරිසරයක් අපිට තිබුණා. පසුගිය කාලයේ ලෝකයට ආර්ථික අවපාත එනකොට අපේ මිනිස්සුන්ට තිබුණේ සීමිත අවශ්‍යතා ටිකක්.

ඒ නිසා අපි මේ වගේ දේවල් කලින් අත්දැකලා තිබුණෙ නෑ. මේ පාර කාබනික පොහොර ප්‍රශ්නය නිසා සහ ඉන්ධන හිඟය නිසා අප ඇද වැටී ඉන්නේ ඉතාම අවදානම් කලාපයකට. සම්බාධක නිසා දැනටමත් මේ වගේ අර්බුද හමුවේ ජීවත් වෙන උතුරු කොරියාව, කියුබාව වගේ රටවල් ඉදිරියේ දී එන්නට යන ගෝලීය අවපාතයෙන් බේරේවි. උතුරු කොරියාවේ මූලික අවශ්‍යතා චීනය සපයන නිසාත්, කියුබාවට මේ වගේ ප්‍රශ්න හොඳට හුරු පුරුදු වීමත් ඒකට හේතුවක්.

මේ අවදානමට මුහුණ දීමේ අනිවාර්යය වගකීම අප මත ම පැවරෙනවා –  gettyimages.com 

 

ශ්‍රීලාංකික ශ්‍රමිකයන් ආපසු පැමිණීමේ අවදානම

අනාගතයේ දී විදෙස් රටවල ඉඳිනු නොහැකි ව හෝ රැකියා අහිමි වීම නිසා හෝ බොහෝ ශ්‍රීලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමේ අවදානමත් තියෙනවා. එසේ වුණොත් ශ්‍රී ලංකාවේ විශාලත ම විදේශ විනිමය ඉපැයීමේ මාර්ගයත් නැවත අවහිර වීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා.

ආර්ථික අවදානම් තත්ත්වයක් වෙත වත්මන් ලෝකය ඇදෙමින් සිටිනවා. එවන් අවදානමක් හමුවේ සංචාරක වීසාවකින් හෝ විදෙස් ගත වී රැතියාවක් සොයා ගන්නා ස්ථාවරයේ සිටිනවා කම් නැවත ඒ ගැන එක් වරක් නොව සිය දහස් වාරයක් හිතන්නට කාලය එළැඹ තිබෙනවා. මැදපෙරදිග ගැන නැතත් යුරෝපා රටකට හෝ යනවා නම් හරියට ම සූදානම් ව එහි යාම වුවමනා වන්නේ මේ අවදානමට මුහුණ දීමේ අනිවාර්යය වගකීම අප මත ම පැවරෙන නිසා යි. ඉදිරි ලෝකය හා එය මුහුණ දෙන අභියෝග අප සිතනවාටත් වඩා බැරෑරුම්.

විදෙස් ගත වී රැතියාවක් සොයා යන ඔබ ශ්‍රී ලංකාවේ අර්බුදයෙන් ලෝක අර්බුදයට මාරු වෙන්නට වෙන මේ වෙලාවේ හොඳින් හිතාමතා තීරණ ගත යුත්තේ එනිසා යි. කෙසේ වෙතත් බොහෝදුරට අභියෝග මැද හැදී වැඩුණු ශ්‍රී ලාංකිකයනට මෙවන් වේලාවක දරා ගැනීම (Survival) හොඳින් හුරු පුරුදු යි. ඇතැමුන්ට වෙන රටක දුක් විදීම අප රටේ සැප විඳිනවා හා සමාන වෙන්නටත් පුළුවන්. කෙසේ වෙතත් හොඳ නායකත්වයක් සහ මඟ පෙන්වීමක් නැතුව මේ අර්බුදයෙන් ගොඩ එන්නට පුළුවන්ද කියන එක නම් සැක සහිත යි.  

කවරයේ ඡායාරූපය- සුනාමියක් එන්න කලින් මුහුද පසු පසට යනවා වගේ මේ වෙද්දි ලෝක ආර්ථිකය ඉන්නේ දැඩි නිහැඬියාවක -  gettyimages.com 

මූලාශ්‍ර :

www.worldbank.org

www.imf.org/en

www.ft.com

www.bbc.com/news/business 

www.weforum.org

clickamericana.com 

Related Articles