ගීසා පිරමීඩවල රහස හෙළි වෙයි

මීට වසර 4,500කට පමණ පෙර මිසර ශිෂ්ටාචාරය පැවති සමයේ ඉදිකරන ලද ගීසා හි යෝධ පිරමීඩ, හුදු සොහොන් ගෙවල්වලට වඩා වැඩි වටිනාකමක් හා අර්ථයක් ඇති ඒවා බවට වසර ගණනාවක් තිස්සේ ඉතිහාසඥයින් තර්ක කරනවා. විශේෂයෙන් මේවායේ ඇඳි රූ සටහන් හා  අක්ෂර වැනි දේ එකල ඊජිප්තු ජනසමාජයේ කෘෂිකාර්මික, නාගරික හා ආගමික ඇවතුම් පැවතුම් පරිශීලනය කිරීම සඳහා වූ හොඳම ප්‍රභවයන් සේ සැලකෙනවා.

පිරමීඩ පිළිබඳව පර්යේෂණ සිදුකිරීම ආරම්භ කළ දා පටන් ඉතිහාසඥයින් හට නිසි පිළිතුරක් සොයාගැනීමට නොහැකි වූ කාරණාවක් වන්නේ ඒවා ඉදිකළේ කෙසේ ද යන්න යි. විශේෂයෙන් නවීන විද්‍යාව හා තාක්ෂණය නොමැති සමයක මේ සා සුවිශාල නිර්මාණයන් මෙතරම් අත්‍යාලංකාර හා සුහුරු ලෙස, වැලි පොළොවක ඉදිකිරීම හුදු විශ්මකර්ම ක්‍රියාවකැ යි ඔවුන් තර්ක කරනවා. කෙසේ නමුත්, මෑතක දී කරන ලද පර්යේෂණ කිහිපයක ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඒවා ඉදිකළ ක්‍රමවේදයන් පිළිබඳව විශ්වාසනීය නිගමනයක් කිරීමට හැකි වී තිබෙනවා.

පිරමීඩ සුවිශේෂී වන්නේ ඇයි?

ගීසා හි පිරමීඩ- ancient-origins.net

මීට වසර 4,500කට ඉහත අතීතය සැලකීමේ දී වර්තමානයේ ඉදිකිරීම් සඳහා යොදාගන්නා බොහෝ ආයිතම සොයාගෙන තිබුණේ නැහැ. විශේෂයෙන් එකල ඊජිප්තු ජනයා අවම වශයෙන් රෝදයවත් සොයාගෙන තිබුණේ නැහැ. මේ නිසා එකක් ටොන් 90 දක්වා බරකින් යුක්ත වූ විශාල ගල් කැබලි තැනකින් තැනකට ප්‍රවාහනය කළේ කෙසේදැ යි විද්‍යාඥයින් නිරුත්තර කළ කාරණයක් වුණා. එමෙන්ම කප්පිය ද සොයාගෙන නොතිබූ නිසා මේවා ඉහළට ගෙන ගියේ කෙසේදැ යි යන්නත් විශාල ගැටළුවක් වුණා. එමෙන්ම ඔවුන් හට සවල වැනි යකඩ උපකරණ තිබුණෙත් නැහැ.

උක්ත සියලු අභියෝගතා මධ්‍යයේ තැනුණු ගීසා පිරමීඩ අඩි සිය ගණනක් උස් වන අතර, විශාල භූමි වපසරියක පැතිරී තිබෙනවා. මේවා අතුරින් විශාලතම පිරමීඩය වන කුෆු, ක්‍රි.පූ 2550 දී ඉදිව ඇති අතර අඩි 481ක උසකින් යුක්ත යි. විශේෂම කාරණාව වන්නේ මේ පිරමිඩ වසර දහස් ගණනක් තිස්සේ ඇති වූ වැලි කුණාටු සහ යුධමය තත්ත්වයන් මධ්‍යයේ වුව ද, අද වන තුරු නිරුපද්‍රිතව පැවතීම යි. එමෙන්ම මේවා ඉදිකිරීමේ දී අවසන් අඟල දක්වා නිවැරදි මිනුම් සහිතව ඉදිකර තිබීමත් සැබවින්ම විශ්මය දනවනසුලු යි. තවද, මේ පිරමීඩ තැනීම සඳහා යොදාගෙන තිබෙන අමුද්‍රව්‍ය එම ස්ථානවලට රැගෙන විත් ඇත්තේ සැතපුම් 500කටත් වඩා දුරින් පිහිටි ස්ථානවලින් වීම එම තත්ත්වය තවත් තීව්‍ර කරන්නක්.

පිරමීඩ තැනුණු ආකාරය පිළිබඳ වූ උණුසුම් විවාද

පිරමීඩ තැනීම සඳහා ටොන් ගණන් බර විශාල ගල් කුට්ටි වැනි දේ සැතපුම් සිය ගණනක් දුර රැගෙන ආවේ කෙසේ ද යැයි පිළිබඳව අතීතයේ පටන් විද්‍යාඥයින් අතර විවාද හටගත්තා. සමහරෙක් පැවසුවේ, ඉපැරණි ඊජිප්තු ජනයා මේ ගල් කුට්ටි කාන්තාරය ඔස්සේ පෙරලාගෙන එන්නට ඇති බව යි.

රෝදය භාවිතාවට ගෙන නොතිබුණ ද තවත් සමහරෙක් තර්ක කරන්නේ, පැරණි ඊජිප්තු ජනයා කෙසේ හෝ මේ ගල් කැබලි යටට සිලින්ඩරාකාර රුක් කඳන් දමා ඒවා තල්ලු කරමින් මේ සා දුරක් ගෙන එන්නට ඇති බව යි. කෙසේ නමුත්, මෙවැනි ගල් කුට්ටි ලක්ෂ ගණනක් එලෙස රැගෙන ඒම ප්‍රායෝගිකත්වයෙන් ඔබ්බට ගිය එකක් බැව් බොහෝ දෙනා පවසනවා. තවද, ඊජිප්තු වැසියන් සාමාන්‍යයෙන් තමන් සිදුකළ බොහෝ දේ පිරමීඩවල රූපානුසාරයෙන් දක්වා ඇති අතර, එහි මෙවැන්නක් සඳහන්ව නොතිබීම නිසා එය ඒ ආකාරයෙන් සිදුවන්නට නැති බැව් වඩාත් තහවුරු වන බව ඔවුන්ගේ මතය යි.

ගල් කුට්ටි පිරමීඩවල ඉහළ ඉදිකිරීම් සිදුකිරීම සඳහා ඉහළට යැවූ ආකාරය පිළිබඳවත් මත කිහිපයක් පළ වී තිබෙනවා. මින් වඩාත් කියැවෙන මතය වන්නේ ගල්වලින්ම සෑදූ සැකිලි ඔස්සේ පියවරෙන් පියවර එම ගල් කුට්ටි ඉහළට ගන්නට ඇති බව යි. එමෙන්ම එම සැකිලි පිරමීඩවල ඇතුළු බිත්ති හසුවන සේ තනා තිබෙන්නට ඇති බවත් සමහරු පවසනවා. කෙසේ නමුත්, මේ මත කිසිවක් තහවුරු වන පරිදි වූ තදබල සාක්ෂි කිසිවක් අද වන තුරුත් හමු වී නැහැ.

පිරමීඩ තැනුම් ඒකකවල සමීප රූපයක්- Wikimedia Commons

වඩා විශ්වාසදායී නව මත

වර්තමානය වන විට ඉදිරිපත්ව ඇති නව මත දෙකක් පෙර මතවලට වඩා සැබෑවටම සිදුවූවා වීමට වැඩි සම්භාවිතාක් ඇති බැව් පසුගිය දා ප්‍රකාශ වුණා. මින් පළමු මතය ගෙනැවිත් ඇත්තේ නෙදර්ලන්ත විද්‍යාඥ කණ්ඩායමක් විසිනු‍යි. ඔවුන් පවසන පරිදි ඊජිප්තු ජාතිකයින් විශාල ගල් කුට්ටි කාන්තාරය ඔස්සේ ගෙනවුත් තිබෙන්නේ වැලි මතට ජලය යොදා, එහි ඝර්ෂණය අවම කර ඒ මත තල්ලු කිරීමෙනුයි. මෙය තරල ගති විද්‍යාවට අනුව ඇත්තෙන්ම සිදුකළ හැකි යමක් බවට ඔප්පු වී තිබෙනවා. කාන්තාරයේ සියුම් වැලි මතට ජලය යෙදූ පසු ඒවා එකිනෙක ඇලී ඝර්ෂණය අවම වීම සිදුවෙනවා. එවිට ගල් කුට්ටි පහසුවෙන් ලිස්සා යාම සිදුවෙනවා.

උක්ත මතයම ඉදිරියට ගෙනයමින් විද්‍යාඥ මාක් ලේනර් පසුගිය දා නවතම මතයක් ඉදිරිපත් කළා. එම මතය වඩාත් ප්‍රායෝගිකයැ යි බොහෝ විද්වතුන් මේ වන විට පිළිගෙන තිබෙනවා. ඔහුගේ මතයට අනුව ඇත්තෙන්ම වර්තමානයේ කාන්තාරයෙන් වට වී තිබුණ ද, අතීතයේ ගීසා අවට ප්‍රදේශය නයිල් ගඟේ පිටාර තැන්නක් ලෙස පැවතී තිබෙනවා. මේ අනුව නයිල් නදිය ඔස්සේ බෝට්ටු වැනි දේ යොදාගෙන විශාල ගල් කුට්ටි ගීසා වෙත ගෙන එන්නට ඇති බවත්, ඉතිරි සුළු දුර භූමියා ජලයෙන් තෙමා, ඒවා තල්ලු කරගෙන එන්නට ඇති බවත් ඔහු මත පල කරනවා. මෙය වඩාත් තහවුරු කරමින් ගීසා පිරමීඩ තදාසන්න පෙදෙසකින් ජැටියක්යැ යි සැක කළ හැකි භූ ස්කන්ධයක් ද හමු වී තිබෙනවා. මෙවැනි ඉදිකිරීම් බොහොමයක් කාලයේ වැලි තලාවෙන් වැසී ඇතැ යි ඔහු පවසනවා.

පැපිරස් පත්‍රිකාවෙන් හෙළි වූ රහස

2013 වසරේ දී පියරේ ටැලට් නම් වූ ඉතිහාසඥයෙක් තමන්ට අහම්බෙන් ලැබුණු ඉපැරණි ඊජිප්තු පැපිරස් පත්‍රිකාවක් වූ තොරතුරු පරිවර්තනය කරනු ලැබුවා. මෙහි දැක්වුණේ; ගීසා පිරමීඩ සමයේ නයිල් නදියේ සිට එම පිරමීඩ ඇති පරිශ්‍රය දක්වා ඇළ මාර්ග තනා, මොනවා හෝ ‘අමුද්‍රව්‍යයක්’ නැව් මඟින් ඒ වෙත ප්‍රවාහනය කර ඇති බව යි. විශේෂයෙන් එහි එම කර්තව්‍ය සිදුකළ සමාගමක් වැනි යමක් ගැන සටහන් ව තිබුණා. මෙම පැපිරස් පත්‍රිකාව ලියා තිබුණේ, ටුරා සිට ගීසා දක්වා විශාල හිරිගල් කුට්ටි කිහිපයක් ගෙන ගිය වෙළෙන්දෙකු විසිනු යි. මේ අනුව ටැලට් හා ලේනර් යන දෙදෙනාගේම කියමන් සෑහෙන පමණින් සත්‍ය බවට ඔප්පු වීම සිදුවුණා.

කැණීම් සිදුවන ස්ථාන- Yannis Gourdon/ IFAO

මාක් ලේනර් විසින් පසුකාලීනව සිදුකළ තවත් ගවේෂණයකින් ගීසා පිරමීඩ ඉදිකිරීමට මානව ශ්‍රමය යොදාගත් ආකාර පිළිබඳවත් නව සාක්ෂ්‍ය ලැබුණා. මුල දී විශ්වාස කළේ, මේවා වහල් සේවයේ යොදවන ලද මිනිසුන්ගේ ලේ කඳුළු මතින් ඉදිවන්නට ඇති බව යි. කෙසේ නමුත්, උක්ත සාක්ෂ්‍ය අනුව හෙළි වී තිබෙන්නේ බොහෝ විට මේවා ඉදිකරන ලද්දේ එම කර්තව්‍යයෙහි නිපුණතාවය ලද මිනිසුන් විසින් බව යි. ඔහු විසින් මෑතක දී ගීසා පිරමීඩ අවට පෙදෙස්වලින් ගව අස්ථි වැනි සත්ත්ව අවශේෂ රාශියක් සොයාගනු ලැබුණා. මේ අනුව මෙම පිරමීඩ ඉදිකළ මිනිසුන් එම සත්ත්වයින් ආහාරයට ගන්නට ඇතැයි ඔහු මත පළ කරනවා. එමෙන්ම ඔවුන් සිය නිවෙස් මේ ආශ්‍රිතව ඉදිකරගෙන සිට තිබෙනවා. කැණීම්වලින් හමු වූ නිවෙස් වැනි දේ සෑහෙන තරමට සුවපහසුව ඉදිකර තිබූ බවට පෙනී යන නිසා, වහලුන් යොදා මේවා ඉදිකළායැ යි පැවසෙන මතය කෙමෙන් කෙමෙන් සාවද්‍ය වෙමින් පවතිනවා. එමෙන්ම අවටින් හමු වූ සුසානභූමි කිහිපයක්ම ගෞරවාන්විතව ඉදිකර තිබීම මෙ මතය වඩාත් තෘප්ත කරනවා. ගීසා පිරමීඩ අවට අද වන විටත් සිදුවන ගවේෂණ කටයුතු නිසා දිනෙන් දින එහි ඉතිහාසය නැවත ලියැවෙනවා.

Related Articles