Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා විවිධාකාරයෙන් සැමරෙන අලුත් අවුරුද්ද

ලොව පුරා පැතිරී සිටින විවිධාකාරයේ ජාතීන්, ගෝත්‍ර හෝ ජන කොට්ඨාස අලුත් අවුරුදු උදාව සැමරීම ආරම්භ කර ඇත්තේ අවම වශයෙන් මීට වසර හාරදහසකටවත් පෙර යි. වර්තමාන ලෝකයේ බොහෝ දෙනා ජනවාරි මස පළමුවන දින නව වසරෙහි උදාව සමරන මුත් ලොව විවිධ ස්ථානවල, විවිධ ජන වර්ග වෙනත් දිනවල නව වසර සමරනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකික සිංහල හා හින්දු ජනයා අප්‍රේල් මස සිදුවන සූර්ය සංක්‍රාන්තියත් සමඟ නව වසරේ උදාව සිදුවන බව සලකා, ඒ අනුව සිය සාම්ප්‍රදායික කටයුතු සිදු කරනවා,

ශ්‍රීලංකාවට අමතර ව තවත් දකුණු හා ගිනිකොණදිග ආසියාතික රටවල්වල ජනයා මෙදින සිය නව වසර ලෙස සලකා, උත්සව වැනි දේ පවත්වනවා. කෙසේ නමුත් ලොව පුරා සියලු රටක ම පාහේ ජනවාරි පළමුවන දිනත් නව වසරේ උදාව සමරන්නේ, ජෝර්ජියානු කැලැන්ඩරය ලොව නිල කැලැන්ඩරය ලෙස සම්ම්ත කරගෙන ඇති නිසා යි. එදින බොහෝ දෙනා විවිධාකාරයේ කෑම පිසින අතර, ගිනිකෙළි වැනි දේ දල්වමින් සිය ප්‍රීතිය අන් අයත් සමඟ බෙදාගන්නවා.

 ලොව පුරා විවිධ ජාතීන් විවිධාකාරයට නව වසරේ උදාව සමරනවා- nightlife-cityguide.com 

 

ආදිතමයන් නව වසර සැමරූ හැටි

නව වසර උදාව සැමරූ බවට මුල් ම සාක්ෂි හමු වී ඇත්තේ පුරාණ බැබිලෝනියාවෙන්, මීට වසර 4,000 කට පමණ පෙරාතුව යි. ඔවුන් වසන්තයේ උදානය සිදු වන දිනය හෙවත්, මාර්තු මස සමකයට හිරු මුදුන් වෙන දිනයෙන් පසු එළැඹෙන පූර්ණ චන්ද්‍රයා සහිත දිනය සිය නව වසරෙහි උදානය ලෙස සලකා තිබෙනවා. ඔවුන් එය ‘අකිටු’ නම් විශාල ආගමික් උත්සවයක් පවත්වමින් සමරා තිබෙන අතර, එය පුරා දින 11ක් පුරාවට සිදු කර තිබෙනවා. ‘අකිටු’ නම් සුමේරියානු වදනෙහි අර්ථය ‘බාර්ලි’ වන අතර, බාර්ලි අස්වැන්න වසන්තයේ දී නෙළාගැනීම මේ නම නව වසර උදානය සඳහා වූ උත්සවයට යොදාගන්නට හේතු වන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. 

මෙම උත්සව මාලවේ එක් එක් දිනයට එක් එක් චාරිත්‍රය බැගින් ඔවුන් ඉටු කර තිබෙනවා. නව වසර සැමරීමට අමතර ව ‘අකිටු’ උත්සවයේ දී බැබිලෝනියානු ආකාශ දේවතාවා වන මර්ඩුක්, ක්‍රූර සාගර දේවතාවා වන ටියාමට් පරාජය කෙරීම ස්මරණය කිරීම ද සිදු කෙරුණා. නව පාලකයන් රාජාභිෂේක කිරීම හෝ ඒ වන විට රාජ්‍යත්වය හොබවන පාලකයා සංකේතාත්මක ලෙස නැවත රාජ්‍යයත්වයේ පිහිටුවීම මේ කාලයේ දී සිදුකෙරුණා.

 අකිටු උත්සවය දැක්වෙන ඉපැරණි පුවරුවක්- aina.org

 

බැබිලෝනියානුවන්ගෙන් පසු හෝ ඒ සමකාලීන ව ලොව පුරා විවිධ ශිෂ්ටාචාරවලට අයත් ජන සමූහ කිහිපයක් ම නව වසර සැමරීම ආරම්භ කොට තිබෙනවා. ඔවුන් තම තමන්ට අනන්‍ය වූ දින දර්ශන පවා නිපදවා තිබෙනවා. ඔවුනට අනුව නව වසරේ උදාව කිසියම් කෘෂිකාර්මික හෝ නක්ෂත්‍රමය සංධිස්ථානයක් කරණකොටගෙන සිදුවන අයුරින් යොදා ගැනුණා. උදාහරණ ලෙස ඊජිප්තු ජනයා සිය නව වසරේ උදාව ලෙස සැලකුවේ නයිල් නදිය වාර්ෂිකව පිටාර ගැලීමේ ආරම්භය යි. මේත් සමඟ ම සිරියස් තාරුකාව ද අහසේ දිස්වීම සිදුවන නිසා එය ද සිය අලුත් අවුරුදු චාරිත්‍රවලට ඔවුන් ඈඳා ගත්තා. චීන ජාතිකයන් සිය නව වසරේ උදාව ලෙස සැලකූයේ ශීත ඍතුවේ ආරම්භය සිදුවන, මකර නිවර්ථනයට හිරු මුදුන් වන දෙසැම්බර් මස 21 වන දිනට පසු දෙවන වරට පූර්ණ චන්ද්‍රයා දිස් වන දිනය යි.

ජනවාරි 1 නව වසරේ උදාව වූ හැටි

පැරණි රෝමානු කැලැන්ඩරයේ මාස 10 ක් සහ දින 304 ක් වුණා. සෑම නව වසරක් ම උත්තරායනයේ දී සමකයට හිරු මුදුන් වන මාර්තු මස 21 වන දින ආරම්හ වූ අතර එය රෝමයේ ආරම්භකයා වන රොමියුලස් විසින් සකසන ලද එකක් බවට සැලකෙනවා. ක්‍රිස්තු පූර්ව 8 වන සියවසෙහි රෝමයේ රජ කළ නුමා පොම්පියුලස් මේ කැලැන්ඩරයට ජැනුවෙරියක් හා ෆෙබ්‍රවරියස් නම් මාස දෙකක් එක්කාසු කළා.

මේ කැලැන්ඩරය පෘථිවියේ පරිභ්‍රමණය හා හා නොගැළපුණු අතර, වසරෙන් වසරට ඍතු මාරුවීම කැලැන්ඩරයේ විවිධ දිනවලට සිදුවීම නිසා විවිධ කටයුතු වලට බාධා පැමිනුණා. මේ නිසා ක්‍රිස්තු පූර්ව 46 දී රෝම පාලක ජුලියට් සීසර් මේ ගැටලුව විසඳීමට තීරණය කළා. ඔහු එකල රෝමයේ සිටි විශිෂ්ටත ම ගණිතඥයන් හා තාරකා විද්‍යාඥයන් හමුවී මේ ගැන සාකච්ඡා කළ අතර අවසානයේ වර්තමාන ජෝජියන් කැලැන්ඩරයට බොහෝ සෙයින් සමාන ජුලියානු කැලැන්ඩරය නිපදවීමට ඔහු සමත් වෙනවා. මෙය සියවස් ගණනාවක් ලොව පුරා විවිධ රට වල භාවිත වුණා.

 බොහෝ කතාබහට ලක් වූ මායාවරුන්ගේ දින දර්ශනය- iStockphoto.com/luisrsphoto

 

සීසර් ජනවාරි 1 නව වසරේ පළමු  දිනය ලෙස සැකසූ අතර, එම මාසයට කරුණු කාරණාවල ආරම්භය සංකේතවත් කරන රෝම දේවතාවා වන ජානුස් ගේ නම තැබුවා. ඔහුගේ හිසෙහි දෙපස ඇති මුහුණු දෙකෙන්  එක් වර ඉදිරිය හා පසුපස බැලිය හැකි යැයි රෝමවරුන් විශ්වාස කළ අතර ඔවුන් නව වසර ආරම්භයේ දී ජානුස්ට විවිධ පුද පූජා පැවැත්වූවා.

මෙහිදී ඔවුන් එකිනෙකා හා තෑගි හුවමාරු කරගැනීම ද, සාද පැවැත්වීම ද සිදුකළා. මධ්‍යතන යුරෝපයේ ක්‍රිස්තියානු නායකයන් ජනවාරි මස 1 වැනි දින වෙනුවට දෙසැම්බර් මස 25 වන දින නව වසර සැමරීමට කටයුතු කළේ එදිනට නත්තල් උත්සවය යෙදී තිබීම නිසා යි. කෙසේ නමුත් අටවන ග්‍රෙගරි පාප්තුමන් 1582 වසරේ දී නැවතත් නව වසරේ උදාව ජනවාරි පළමුවන දිනට ම ගෙන ආවා.

ලොව පුරා පැවැත්වෙන විවිධාකාරයේ නව අවුරුදු චාරිත්‍ර

ලොව පුරා බොහෝ දෙනා දෙසැම්බර් මස 31 වන දින සිට ම නව වසරට සූදානම් වෙනවා. ඔවුන් විවිධාකාරයෙන් එය සමරන්නට සූදානම් වන අතර, ලොව සමහරක් ජාතීන් ඉතා සුවිශේෂී චාරිත්‍ර එහි දී ඉටු කරනවා. ස්පාඤ්ඤය ඇතුළු ස්පාඤ්ඤ භාෂාව කථා කරන රටවල අය අවුරුදු උදාවට මොහොතකට පෙර මිදි ගෙඩි දුසිමක් ගිල දමන්නේ නව වසරේ ඔවුන්ගේ බලාපොත්තු සඵල වේවායි පතමිනු යි. තවත් රටවල් රාශියක ජනයා එදිනට මාෂභෝගවලින් හැඩ වූ ආහාර ගන්නේ අනාගත ආර්ථිකමය සාර්ථකත්වය ලබන බලාපොරොත්තුවෙනු යි. 

තවත් සමහර රටවල ජනයා ඌරුමස් බුදින අතර, තවත් රටවල මුදු හැඩැති බිස්කට් වර්ග ආහාරයට ගන්නේ නව වසර උදාවීම නැවත නැවතත් සිදුවන චක්‍රාකාර ක්‍රියාකාරකමක් බවට සංකේතවත් කිරීම සඳහා යි. නෝර්වේ හා ස්වීඩනය වැනි රටවල, සහල්වලින් සෑදූ පුඩිමක ආමන්ඩ් ඇට සඟවන අතර, එය සොයා ගන්නා අයකුට ඉදිරි මාස 12 පුරාව ම වාසනාව ළඟාවෙන බවට ඔවුන් විශ්වාස කරනවා. ඉංග්‍රීසි කතා කරන සමහර රටවල ගීතිකා ගැයීම ද සිදුවෙනවා.

 නිව්යෝර්ක් හි නව අවුරුදු චාරිත්‍රය ඉටු කිරීමට භාවිත කරන බෝලය- Alexi Pearl Gabel / Reuters

 

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර ජනයා  එක්තරා අපූරු නව අවුරුදු චාරිත්‍රයක් සිදු කරනවා. නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස්‍රයට  ඔවුන් හරියට ම රාත්‍රී 12 ට යෝධ  බෝලයක් අත්හරින අතර, මිලියන ගණන් ජනයා එය නැරඹීමට එක් රැස් වෙනවා. මෙය 1907 වසරේ සිට සෑම වසරක ම පාහේ සිදු කෙරෙන අතර, මෙය අඩි 12 ක විෂ්කම්භයක් සහිත, රාත්තල් 12,000 ක් බැරැති එකක් වෙනවා. මෙය තනා ඇත්තේ කුඩා ත්‍රිකෝණ හැඩයට සැකසූ  ලී හා යකඩ කොටස් 2000 කට වඩා වැඩි ප්‍රමාණයකිනු යි. වර්තමානය වන විට අමෙරිකාවේ තවත් සමහර ස්ථානවල මෙම චාරිත්‍රය ම සිදු කරනවා.


කතු හිමිකම ©roar.media/sinhala. සියලු හිමිකම් ඇවිරිණි. නිසි අවසරයක් නැතිව උපුටා ගැනීම සපුරා තහනම්.

කවරයේ ඡායාරූපය - insights.ibx.com 

මූලාශ්‍ර:

History.com

Indianexpress.com

Britannica.com

Related Articles