කුඩු මුදලාලිලාගේ බැංකුව

ලෝකයේ සිදු වෙන නීති විරෝධී ජාවාරම් අතින් ඉදිරියෙන්ම තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම බවට කිසිදු සැකයක් නැහැ. විවිධ ඇස්තමේන්තු අනුව ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම වාර්ෂිකව ඩොලර් බිලියන 400කට වැඩි ආදායමක් ජනිත කරන මාර්ගයක්. තුන් වන ලෝකය ප්‍රමුඛ රටවල් ගණනාවක දේශපාලනඥයන්ගේ සහය ද ලබමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාල ඕන තරම්.

කොහොම නමුත් වාර්ෂිකව හුවමාරු වටිනාකම අතින් ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවෙතැ යි සැලකෙන්නේ ඇමරිකා මෙක්සිකෝ දේශ සීමාව අතර යි. වාර්ෂිකව එසේ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරමේ වටිනාකම ඩොලර් බිලියන 45කට අධික බව කියවෙනවා. මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ධනවත් ඇමරිකානුවන්ට මත්ද්‍රව්‍ය සැපයීමෙන් මධ්‍යම ඇමරිකානු දුප්පත් රටවලට අධික ලාභ ලබන්න තිබෙන හැකියාව යි. නමුත් ඇමරිකානු ඩොලර් කියන්නේ ලෝකයේ ජාවාරම් කරන්න අපහසුම මුදල් ඒකකයක්. ඇමරිකානු බැංකු පද්ධතියට ලෝකයේ ඕනෑම තැනක ඇමරිකානු ඩොලර් ප්‍රේෂණයක් හඳුනාගන්න හැකියාව තියෙනවා.

It says no internet. But when it connects it is quite slow.

මේ ගැටලුවට අපූරු විසඳුමක් හොයා ගන්න ඔවුන් කටයුතු කරපු හැටි ගැන මෑතක දී හෙළිදරව් වුණා. ඒ තමයි ලෝකයේ ප්‍රධානතම බැංකුවක් වන HSBC බැංකුව යොදා ගැනීම. ඔවුන් මෙයට නොදුටු ඇස්ව, නැසූ කන්ව සිටි අයුරු මෑතක දී අතටම හසු වුවත් අවසානයේ වැඩි හානියක් නැතිව බේරී යන්න සමත් වුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම පහසු ද?

මත්ද්‍රව්‍ය ජාවාරම ගැනත්, එය වළක්වන්න ඍජු පියවර නොගැනීම ගැනත් තිබෙන සමාජ විරෝධය ලොව ආණ්ඩු වෙනස් කරන්න තරම් ප්‍රබල කාරණාවක්. 2016 පිලිපීන ජනාධිපතිවරණය රොද්‍රිගෝ ඩුටාර්ටේ ජය ගන්නටත්, 2016 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගන්නට එක් ප්‍රධාන හේතුවක් වුණේ ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි පියවර ගන්න පොරොන්දු වීම යි. අනෙක් අතින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හම්බ කරන සුවිසල් මුදල් ශක්තිය රාජ්‍ය බලය ලබා ගැනීමට උදව්වක් කරගන්නා දේශපාලඥයන් ගැනත් තොරතුරු බොහෝම යි.

මත්ද්‍රව්‍ය දුරලීමේ පොරොන්දුවෙන් බලයට පත් ඩුටාර්ටේ (nationalpost.com)

මත්ද්‍රව්‍ය ජාවාරම කිව්වාම බොහෝ දෙනෙකුට හිතෙන්නේ හොර රහසේ මත්ද්‍රව්‍ය ගෙන යෑම සහ අලෙවි කිරීම විතර යි. ඉදිරි ගමන් සැපයුම් ක්‍රියාවලිය (forward supply chain) කියලා සලකන්න පුළුවන් මෙයට හැකි තරම් බාධක දමන්න බොහෝ රටවල් කටයුතු කරනවා. ඕනෑම රටක් තමන්ගේ දේශ සීමාවලදීත්, රටට ඇතුළු වන වරාය හෝ ගුවන් තොටුපළවලදීත්, මුහුදු සීමාවලදීත් මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් දේ රටට ඇතුළු වීම වළක්වන්නට පියවර ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ඒවායේ පාරිභෝගිකයන් වෙත යැවීමත් පහසු කාරණාවක් නෙවෙයි. නමුත් ඒවායින් කෙසේ හෝ රිංගා මත්ද්‍රව්‍ය නිෂ්පාදකයන්ගේ සිට පාරිභෝගිකයන් වෙත යවන්න විවිධ ක්‍රම රාශියක් උපයෝගී කරගන්නා සංකීර්ණ සැපයුම් ජාල ඇති තරම් බිහි වී තිබෙනවා.

කොහොම නමුත් ඒ මුදල් ආපසු ලබා ගැනීමත් හිතන තරම් ලේසි නැහැ. මත්ද්‍රව්‍ය මැඩලන්න කරන උත්සාහයන්වල දී බොහෝ දෙනා එතරම් නොසලකා හරින කාරණාව තමයි මේ විදිහට මත්ද්‍රව්‍ය සැපයීමෙන් ලබා ගන්නා මුදල් ආපසු ජාවාරම්කරුවන් කරා ගෙන යන පසුගමන් සැපයුම් ක්‍රියාවලිය (backward supply chain). මත්ද්‍රව්‍යවල අධික වෙළඳපොළ වටිනාකම නිසාම ලොව පවතින බොහෝ රටවල ඒවායේ මුදල් ඒකකවලින් ගත්තොත් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් නෝට්ටු අවකාශයේ ලබා ගන්නා ඉඩකඩත්, ඇතැම් අවස්ථාවල ඒවායේ බරත් මත්ද්‍රව්‍යවලට වඩා වැඩි යි.

මුදල් ආපසු ලබා ගන්න තිබෙන අපහසුතා

මුදල් නෝට්ටුවල බර මත්ද්‍රව්‍යවල බරට වඩා වැඩියි (civilized.life)

සරල උදාහරණයක් විදිහට හෙරොයින් සලකමු. ශ්‍රී ලංකාවේ කළු කඩ වෙළඳපොළ තුළ හෙරොයින් අලෙවි වෙන්නේ කිලෝවක් රුපියල් ලක්ෂ 80ක පමණ මුදලකට යි. ප්‍රමාණයෙන් මෙය සීනි කිලෝවක ප්‍රමාණයට වඩා වැඩි වෙනසක් නැහැ. නමුත් වැඩිම වටිනාකම ඇති රුපියල් නෝට්ටුව වන 5000 නෝට්ටුවලින් ගත්තත් ඒ සඳහා නෝට්ටු 1600ක් පමණ අවශ්‍ය වෙනවා. එහි පරිමාව වගේම බරත් හෙරොයින් කිලෝවකට වඩා වැඩි යි. (නෝට්ටුවක් මිලිග්‍රෑම් 900යි) ඇමරිකානු ඩොලර් සැලකුවොත් ඩොලර් නෝට්ටු සියල්ල ප්‍රමාණයෙන් සහ බරින් රුපියල් 5000 නොට්ටුවට බොහෝ දුරට සමාන යි. කොහොම නමුත් බාධක ඉහළ ඇමරිකානු කළු කඩ වෙළඳපොළ තුළ හෙරෝයින් කිලෝවක මිල ඩොලර් 150,000ක් පමණ වෙනවා. (මෙය රුපියල්වලින් මෙරට මිලට වඩා කිහිප ගුණයක් ඉහළයි) මේ නිසා හෙරොයින් කිලෝවක් සඳහා වැඩිම වටිනාකම ඇති ඩොලර් නෝට්ටුව වන 100 නෝට්ටු 1500ක් අවශ්‍ය යි. එහිත් බර සහ ප්‍රමාණය හෙරොයින්වලට වඩා වැඩි යි.

නමුත් බොහෝ විට මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් එකතු වන්නේ කුඩා මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක්. ඒවායේ ප්‍රමාණය සහ බර වැඩිම වටිනාකමක් මුදල් නෝට්ටු වගේ කිහිප ගුණයක්. මේ නිසා යමෙක් හෙරොයින් යම් ප්‍රමාණයක් ජාවාරම් කරන්න ගෙන ගියොත් ඊට වඩා බරින් වගේම ප්‍රමාණයෙනුත් බොහොම විශාල මුදල් මල්ලක් රැගෙන එන්න සිදු වීම තමයි යතාර්ථය වෙන්නේ. වෙනත් මත්ද්‍රව්‍යවල තත්ත්වයත් මීට වඩා වැඩි වෙනසක් නැහැ.

මේ නිසා රටකින් රටකට මුදල් යවන්න තියෙන එකම සාර්ථක විසඳුම වෙන්නේ බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතනයක තැන්පත් කර ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේෂණ ක්‍රමයක් යොදා ගැනීම හෝ වෙනත් භාණ්ඩ මිලට ගෙන ගොස් විකුණා මුදල් කිරීම යි. නමුත් එහිදී ගණුදෙනු ගැන සැක මතු වෙන්නටත්, නීතියේ රැහැනට හසු වෙන්නටත් තියෙන ඉඩකඩ ඉතා ඉහළ යි.

ඇමරිකානු – මෙක්සිකානු දේශ සීමාවේ තත්ත්වය

දේශසීමාව අසල ජනාවාස බහුලයි (voanews.com)

ඇමරිකාව සහ මෙක්සිකෝව අතර තියෙන්නේ ලොව විශාලතම දේශ සීමාවලින් එකක්. කිලෝමීටර් දහස් ගණනක් දිගු මේ දේශ සීමාව හරහා දිනපතා මත්ද්‍රව්‍ය ටොන් ගණනින් ඇමරිකාවට ඇතුළු වෙනවා. ගොඩබිමෙන්, ජල ප්‍රදේශ මතින්, කැලෑ ප්‍රදේශ හරහා වගේම උමං මඟින් සහ ගුවන් යානා මඟිනුත් මේ මත්ද්‍රව්‍ය ගෙන යාමේ ජාලයන් නිර්මාණය වී තිබෙනවා. කෙසේ නමුත් දේශ සීමාව හරහා වාහන ගමනාගමනය සිදු වන මුර කපොලු හරහාත් මත්ද්‍රව්‍ය සංසරණය වීමේ ප්‍රවණතාව ඉතාම ඉහළ යි.

මේ නිසා මෙක්සිකෝවේ සිට ඇමරිකාවට ඇතුළු වෙන්න උත්සාහ ගන්න ඕනෑම වාහනයක් දැඩි සේ පරීක්ෂාවට ලක් කරන්න ඇමරිකානු රේගු අංශ කටයුතු කරනවා. බොහෝ වාහනවල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්න විවිධ ස්ථානවල සාදා තිබිය හැකි රහස් කුටීර තිබෙනවාදැ යි පරීක්ෂා කිරීම, මත්ද්‍රව්‍ය සුවඳින් හඳුනාගැනීමට පුහුණු කර ඇති සුනඛයන් යොදා ගැනීම, ඇමරිකාවට පැමිණීමේ අවශ්‍යතාව ගැන විමසා බැලීම ආදිය මීට අයත්. මේ නිසා දේශ සීමාවේ මුර කපොලු හරහා මෙක්සිකෝවේ සිට ඇමරිකාවට මත්ද්‍රව්‍ය ගෙන යන එක දැනටමත් අතිශයින්ම අපහසු කටයුත්තක්.

ඇමරිකාවට ඇතුළු වන වාහන දේශ සීමාවේදී දැඩිව පරීක්ෂා කෙරෙනවා (nationalgeographic.com)

කොහොම වුණත් ඇමරිකාවේ සිට මෙක්සිකෝවට යමක් ගෙන යන්න තිබෙන බාධාව නම් ඉතාම අවම යි. බොහෝ විට ඇමරිකාවේ සිට මෙක්සිකෝවට ඇතුළු වන වාහන ඒ තරම් පරීක්ෂා කරන්නටවත් මෙක්සිකානු රේගු අංශ කටයුතු කරන්නේ නැහැ. මත්ද්‍රව්‍ය මෙක්සිකෝවට ගෙන ඒමේ වැඩි අවශ්‍යතාවක් නැතැයි සිතීම මෙයට හේතුව ලෙස සැලකෙනවා.

නමුත් මේ අඩුපාඩුවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කටයුතු කරන්නේ ජාවාරම්වලින් උපයන ලද ඩොලර් නෝට්ටු මළු පිටින් මෙක්සිකෝවට ගෙන ඒමෙන්.

කළු සල්ලි සුදු කරන්න උදව් වුණු HSBC බැංකුව

ඇමරිකාව තුළ දී මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් ලැබෙන ඩොලර් 20, 50 ආදී නෝට්ටු රැසක් සහිත මුදල් මළු ඒ රටේදීම බැංකු ගත කිරීම සැක මතු විය හැකි කාරණාවක් බව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හොඳින් දැන සිටියා. මේ නිසා ඔවුන් කාලයක් පුරාවටම කළේ ඒවා විශාල මළු ලෙස සකස් කර දේශ සීමාව හරහා මෙක්සිකෝවට ගෙන ඒම යි.

මෙක්සිකානු බැංකු සමහරෙක ප්‍රධානතම ගිණුම් හිමි වැඩි දෙනෙක් කුමන ආකාරයකින් හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයයැ යි කීම අතිශයෝක්තියක් නෙවෙයි. මළු පිටින් ගෙන එන ඩොලර් නෝට්ටු මේ වගේ දූෂිත බැංකු ආයතනවල තැන්පත් කරන්නට ජාවාරම්කරුවන් කටයුතු කළා. කොහොම නමුත් මෙක්සිකානු බැංකුවල හැටි ගැන හොඳින් දැන සිටි ඇමරිකානු මුදල් ක්ෂේත්‍රය ඒ වගේ බැංකු හරහා ප්‍රේෂණය වන මුදල් ගැන හොඳ සෙවිල්ලකින් හිටියේ. ඒ නිසා ඒ මුදල්වල සැබෑ වටිනාකම ගන්න ජාවාරම්කරුවන්ට ඉඩකඩක් ලැබුණේ නැහැ.

Bital බැංකුව HSBC සතු වෙන්නට පෙර (sandiegoreader.com)

නමුත් ඔවුන්ට නොහිතන වාසියක් ලැබුණේ ඒ වගේ එක බැංකුවක් වූ Bital නැමැති මෙක්සිකානු බැංකුව 2002 දී මිලට අරගන්නට HSBC මෙක්සිකානු මූලස්ථානය කටයුතු කිරීමත් එක්ක යි. ඒ වන විටත් Bitalහි තිබූ ගිණුම් සේරම මේ අනුව HSBC සතු වෙනවා වගේම HSBCහි ගෝලීය සම්ප්‍රේෂණ කටයුතුවල කොටස්කරුවෙක් වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක ගිණුම් සියල්ල ගැන පර්යේෂණයක් කිරීම සාමාන්‍ය ප්‍රවණතාව වුණත් HSBC බැංකුව එය කරන්න උනන්දු වුණේ නැහැ.

එපමණක් නෙවෙයි, HSBC ගෝලීය වශයෙන් ව්‍යාප්තව තිබෙන, විශ්වාසදායී යැයි සැලකෙන බැංකුවක් නිසා ඒ හරහා සිදු වන ප්‍රේෂණ ගැන ඇමරිකානු මූල්‍ය අංශ අනෙකුත් මෙක්සිකානු බැංකු තරමට තදින් ක්‍රියා කළෙත් නැහැ. ඒ නිසා මත්ද්‍රව්‍ය විකිණීමෙන් ලැබෙන මුදල් ඉතාම පහසුවෙන් භාවිතයට ගන්න ජාවාරම්කරුවන්ට හැකියාව ලැබුණා. මේ නිසා මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාගේත් ජනප්‍රියතම බැංකුව බවට HSBC පත් වුණු බවත් කියවෙනවා.

රෙගුලාසි හිතාමතාම පැහැර හැරීම සහ ජාවාරම්වලට ඉඩ දීම

මෙක්සිකානු HSBC මූලස්ථානය (flickr.com)

බැංකු ක්ෂේත්‍රය තුළ දී සැකසහිත ගිණුම් ගැනත්, සැකසහිත ගණුදෙනුකරුවන් සහ ගණුදෙනු ගැනත් සොයා බලන්න ස්වයංක්‍රීය යාන්ත්‍රණයන් බොහොමයක් සකස් කර තිබෙනවා. බැංකුව හරහා සිදු වන සියලුම ගණුදෙනු ගැන විමසිල්ලෙන් ඉන්නටත්, විවිධ නිර්ණායක භාවිතයෙන් සැකසහිත යැයි සැලකෙන අවස්ථා ගැන අනතුරු හඟවන්නටත් සංකීර්ණ මෘදුකාංග පද්ධති ක්‍රියාත්මකව පවතිනවා. මේ හරහා කළ දැනුම්දීම් ගණනාවක් ගැන නොසලකා හරින්න HSBC මෙක්සිකානු මූලස්ථානය කටයුතු කර තිබෙන බව ඇමරිකානු සෙනට් සභාව 2012 දී කළ පර්යේෂණයකින් පැහැදිලිවම හෙළිදරව් වුණා. ඒ විදිහට විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇමරිකානු මූල්‍ය ක්ෂේත්‍රය හරහා කළ ජාවාරම්වල මුළු වටිනාකම ඩොලර් මිලියන 881ක්.

එපමණක් නෙවෙයි, ඒ වන විට ඉරානය ඇතුළු ඇමරිකානු සම්බාධක තිබූ රටවල් එක්ක ගණුදෙනු කිරීමේදීත් රෙගුලාසි පැහැර හැර ඇති බව හෙළි වුණා. මේ හරහා ලෝකය පුරා ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මුදල් යැවීමට පවා ඔවුන් වක්‍රාකාරව අනුබල දී තිබෙන බව පැවසුණා. HSBC එක හරහා එසේ හුවමාරු වූ මුදල්වල වටිනාකම ඩොලර් මිලියන 660ක්. මීට අමතරව HSBC බැංකුව හරහා ප්‍රේෂණය වූ තවත් ඩොලර් බිලියන 670ක් පිළිබඳව නිසි විමසිල්ලකින් කටයුතු කර නැති බවත්, ඔවුන්ගේ මෙක්සිකානු ඒකකයෙන් එකතුව ඩොලර් බිලියන 9.4ක් වූ නෝට්ටු ලබා ගැනීමේදී ඇමරිකාව තුළ පවතින රෙගුලාසි අනුව කටයුතු කර නැති බවත් හෙළිදරව් වුණා.

theragblog.com

අතිශයින්ම බරපතල චෝදනා වූ මේ කිසිවක් ප්‍රතික්ෂේප කරන්නට HSBC බැංකුවට හැකි වුණේ නැහැ. සියලු දෙනාම පාහේ අපේක්ෂා කළේ ඒ වෙනුවෙන් HSBC වෙත දැඩි දඬුවම් ලබා දෙනු ඇති බව යි. HSBC බැංකුව ඇමරිකාවෙන් නෙරපනු අත් බවටත් කතාබහ ඇති වුණා.

දැලෙන් බේරී ගිය හැටි

කොහොම වුණත් බොහෝ අවස්ථාවල වගේම මෙහිදීත් නියමාකාර ලෙස නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඇමරිකානු නීති අංශ සමග “විශේෂ යුක්තිය පසිඳලීමේ එකඟතාවකට” එන්නට HSBC ආයතනය කටයුතු කළා. ඒ යටතේ තමන්ගේ මෙක්සිකානු බැංකුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කටයුතු පිළිබඳ ලැබුණු අනතුරු හැඟවීම් ගැන නොසලකා හැරිම පිළිබඳවත්, ඉරානය වැනි රටවල් සමග ගණුදෙනුවල දී සම්බාධක අනුව ඒවා සිදු වෙන්න නියමිත විධි විධාන වෙනස් කිරීම පිළිබඳවත් වරද පිළිගන්න කටයුතු කළ HSBC බැංකුව මෙක්සිකානු HSBC බැංකුවේ ප්‍රධාන විධායක සැන්ඩි ෆ්ලොක්හාට්ව අනිවාර්ය විශ්‍රාම යවන්නටත් කටයුතු කළා. මීට අමතරව දඩ මුදල් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක වන්දි මුදලක් ගෙවන්නටත් ඔවුන් කටයුතු කළා. මෙවැනි දේ යළි සිදු නොවන ලෙස ඩොලර් මිලියන 290ක මුදලක් වැය කර තම බැංකු පද්ධතිය අලුත් වැඩියා කරන්නත් ඔවුන් පොරොන්දු වුණා.

HSBC ඇමරිකානු ප්‍රධාන විධායක අයිරීන් ඩෝනර් සහ ප්‍රධාන නීති උපදේශක ස්ටුවර්ට් ලෙවේ ඇමරිකානු කොන්ග්‍රසය ඉදිරිපිට (gettyimages.com)

කොහොම වුණත් HSBC බැංකුව සිදු කළ නොමනා ක්‍රියාවට ලබා දුන් දඬුවම ඉතාම ලිහිල් බවයි බොහෝ දෙනෙක් පෙන්වා දුන්නේ. ඩොලර් බිලියන 1.9ක් යනු අති විශාල මුදලක් වුවත් එය HSBC වැනි සුවිසල් බැංකුවකට සති කිහිපයක් තුළ ලාභයෙන්ම උපයා ගත හැකි බවත්, සියල්ල බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම යටතේ සිදු වූ බවට සාක්ෂි තිබිය දී ඔවුන් කිසිවෙක් නීතිය හමුවට ගෙන එන්නට කටයුතු නොකළ බවත් විශේෂඥයන් කිහිප දෙනෙකුම පෙන්වා දුන්නා.

අවසානයේ ප්‍රතිඵලය වී ඇත්තේ HSBC බැංකුවේ විශාලත්වය සහ එහි පැතිරීම නිසා එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම මූල්‍ය ක්ෂේත්‍රයට අවාසියක් ලෙස සලකා නීතිය ලිහිල් කරන්නට ඇමරිකාව කටයුතු කළ බවයි. ලොකු ලොක්කන්ට ක්‍රියාත්මක වෙන්නේ වෙනම නීතියක් බව හොඳින්ම පෙන්වා දෙන අවස්ථාවක් ලෙසත් මෙය සලකන්න පුළුවන්. අවසානයේ එළිපිටම නීතිය පැහැර හැර, සදාචාරයට පටහැනි කටයුතුවලින් අධික ලාභයක් ලබා, නීතියෙනුත් රිංගා යන්නට HSBC බැංකුවට හැකි වුණා.

කවරයේ රූපය : hangthebankers.com

Related Articles