Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

There should be a limit on war – “යුද්ධ කිරීමටද සීමාවක් ඇත’’ අන්තර්ජාතික මානුෂවාදී නීතිය – III

අනාදිමත් කාලයක පටන් මිනිසා විසින් ගැටුම් නිරාකරණය සඳහා යුද වැදීමට යොමු වී ඇත. එසේ යොමු වුවද, යුද වැදුණු මිනිසුන් අතුරින් බහුතරයක් සංස්කෘතීන් තුළ මෙම යුද වැදීම් වලටද සීමාවක් පැමිණවිය යුතු බවට සම්මතයක් පැවතුනි. ම්ලේච්ඡත්වයේ හිනිපෙත්තට නොගොස් ගැටුම් නිරාකරණය පිණිසම පමණක් යුද වැදීම යෙහෙකැයි සිතූ රජවරු අප ඉතිහාසය තුළින්ද අපට හමු වෙති. එළාර රජුගේ සොහොනට පවා ගරු කරන්නැයි ජනයාට උපදෙස් දුන් දුටුගැමුණු රජු ඊට මනා උදාහරණයක් සපයයි.

බලය අත්පත් කර ගැනීම උදෙසා මිනිසා තුල වුණු අසීමිත ආශාව හේතුවෙන් මනුෂ්‍ය ඉතිහාසයට එක් වූ නොමැකිය හැකි කළු පැල්ලම් දෙකක් වන ලෝක යුද්ධ ද්විත්වයකින් පසුව ලෝක ප්‍රජාව එක්වෙමින් ලෝක සාමය තහවුරු කරන්නට පියවර ගන්නට පෙළඹුනාහ. කුමන ආකාරයකින් නීති පැනවුවද එකිනෙකා හා යුද වැදීම සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම මානවයාගේ අත්‍යන්ත ස්වභාවයයි. එබැවින් යුද වැදිය යුත්තේ මෙසේ යැයි එකඟත්වයකට එළඹෙමින් ඓතිහාසික මූලධර්මයන් ද උපයෝගී කරගනිමින් අන්තර්ජාතික මානුශවාදී නීතිය කරලියට එන්නට විය.

අන්තර්ජාතික මානුශවාදී නීතියෙහි ඉතිහාසය හා විකාශනය මේ වන විට අප ඔබ වෙත සංක්ෂිප්තව ගෙන හැර දක්වා ඇත්තෙමු. මානුශවාදී නීතියෙහි හරය රැගත් ජිනීවා සම්මුතීන් පිළිබඳව තවදුරටත් පාඨක ඔබ සමග කථාබහ කරන්නට මේ ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නෙමු.

https://mic.com/articles/138194/was-harry-potter-s-invisibility-cloak-actually-committing-war-crimes

මනුෂ්‍යයෙක් ලෙස මෙලොව උපදින ඕනෑම පුද්ගලයෙක් හට මානව හිමිකම් අත්‍යන්තයෙන්ම හිමි වුවද ඕනෑම රටක යුදමය වාතාවරණයක් ආරම්භ වීමත් සමග එයට සම්බන්ධ වන පාර්ශවයන්ගේ මානව හිමිකම් අවලංගු වන අතර, ඒ වෙනුවට ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පාලනය වනුයේ මානුෂවාදී නීතිය හරහා වේ. යුද පිටියේදී තුවාල ලබන හා අසනීප වන සොල්දාදුවන්ගේ තත්ත්වය යහපත් කිරීම, යුද සමයන්හී දී සයුර තුළ තුවාල ලබන හා අසනීප වන සොල්දාදුවන්ගේ තත්ත්වය යහපත් කිරීම, යුද සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම හා යුද සමයන්හී දී සිවිල් වැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීම යන වපසරියන් හතර යටතේ ජිනීවා සම්මුති 1949 වර්ෂයේදී රචිතව ඇති අතර, ඒවා අන්තර්ජාතිකව පිළිගෙන බලාත්මක කොට ඇත.

මීට අමතරව, යුදමය කටයුතු සදහා සහභාගී වූ, නමුත් වැඩි දුරටත් ඒ හා සම්බන්ධ නොවන පුද්ගලයින් මෙන්ම කිසිදු ආකාරයකින් යුද්ධයට මැදිහත් නොවුණු සිවිල් වැසියන් ආරක්ෂා කිරීම හා යුද්ධ කටයුතු වල නියැළීමේ ආකාරය හෙවත් යුද පිළිවෙත් සහ විවිධ ආයුධ වර්ග ( means and methods of warfare-military tactics ) භාවිතය සීමා කිරීමද මින් ඉටු වන තවත් අරමුණකි..

http://www.aljazeera.com/news/2016/09/israel-put-trial-war-crimes-160904084237369.html

යුධ අපරාධයක් යනු කුමක් ද?

හතරවන ජිනීවා සම්මුතියෙහි 147 වන වගන්තිය ප්‍රකාරව, “..හිතාමතාම සතුරු පාර්ශවයෙහි සොල්දාදුවන් සහ සිවිල් වැසියන් මරණයට පත් කිරීම, කෲර හා අමානුෂික වධ බන්ධනයන්ට ලක් කිරීම, හිතාමතාම ශාරීරික හා මානසික පීඩාවන් එල්ල කිරීම මෙන්ම අධික ලෙස ශාරීරික හානි පැමිණවීම, සම්මුතිය මගින් ආරක්ෂා කොට ඇති පුද්ගල කොට්ටාශයන්ට අයත් වන්නන් නීත්‍යානුකූල නොවන ලෙස සංක්‍රමණයට ලක් කිරීම, පිටුවල් කිරීම හෝ රඳවා තබා ගැනීම හෝ ඔවුන්ව සතුරු පාර්ෂවයෙහි වහල් භාවයට පත් කිරීම, සම්මුතිය මගින් ආරක්ෂා කොට ඇත්තවුන් සඳහා (වත්මන් සම්මුතිමය නීතීන්ට අනුව) සාධාරණ නඩුවකට මුහුණ දීමේ අයිතිවාසිකම අහිමි කිරීම, ප්‍රාණ ඇප කරුවන් රඳවා තබා ගැනීම සහ නීත්‍යානුකූල නොවන මෙන්ම අත්තනෝමතික ලෙස දේපල විනාශ කිරීම..” යනාදී ක්‍රියාවන් යුද අපරාධ ලෙස සැළකේ. මෙවැනි ක්‍රියාවන් Grave Breaches හෙවත් බරපතල උල්ලංඝනයන් ලෙස ද හැඳින් වේ.

Military necessity හෙවත් හමුදාමය අවශ්‍යතාවයන් යන සංකල්පය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී වැදගත් වන්නකි. මෙම මූලධර්මයට අනුව, යුධමය කටයුතුහි දී නියැලී සිටියදී මතුවන අවශ්‍යතාවයන් මත මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට හා දේපල හානි පැමිණවීමට ද හමුදා භටයින් හට නීතිමය අවසරය දී ඇත. තමාට එල්ල වන ප්‍රහාරයන්ගෙන් බේරීම සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ද, එසේ කිරීමේදී ඝාතන හා දේපල හනි සිදු කිරීමට ද අවසර ඇත.

නමුත් කිසි විටෙකත් සීමාව ඉක්මවා ඒ කිසිවක් සිදු කළ නොහැක. එසේ කිරීම යුද නීති උල්ලංඝනයකි. (මෑත කාලීනව විශාල ආන්දෝලනයක් ඇති කළ “සුදු කොඩි නඩුව” තුළ විවාදයට බඳුන් වූ සිදු වීම පවා මෙහි දී ඉතා වැදගත් වන්නේය. ඊට හේතුව අන් කිසිවක් නොව, සිවිල් වැසියන් සහ සතුරු පාර්ශවයන් වෙත යටත් වන්නන් ඝාතනය කිරීම යුද අපරාධයක් වන බැවිනි.)

https://davidbriscoephotos.wordpress.com/tag/soldiers/

සම්මුතීන් කා වෙනුවෙන්ද?

ජිනීවා සම්මුතීන් ඇති කිරීමේ මූලික අරමුණ වූයේ අවි ගැටුම් වලින් පීඩිත වන්නන් සුරැකීමයි. එම අරමුණ ක්‍රියාත්මක කරමින් මේ වන විට රටවල් 196 ක් ජිනීවා සම්මුතිය අත්සන් කොට පිළිගෙන තිබේ. මෙම රටවල් අතරට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන සියලුම රටවල් මෙන්ම ස්ව කැමැත්තෙන්ම සාමාජිකත්වය නොලබා සිටින වතිකානුව ද, තවමත් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය  ලැබී නොමැති පලස්තීනය මෙන්ම කුක් දිවයින යන රටවල් ද ඇතුළත් වේ. ශ්‍රී ලංකාව ද 1959 වසරේදී ජිනීවා සම්මුතීන් හතර පිළිගෙන බලාත්මක කොට ඇත.

ජිනීවා සම්මුතීන්ට අමතරව බල පැවැත්වෙන ප්‍රොටොකෝලයන් අතුරින් පළමුවැන්න හෙවත් අන්තර්ජාතික අවි ගැටුම් පිළිබඳ ප්‍රොටොකෝලය මේ වන විට රටවල් 174 ක් විසින් අත්සන් කොට පිළිගෙන ඇති අතර, අන්තර්ජාතික නොවන අවි ගැටුම් පිළිබඳ ප්‍රොටොකෝලය හෙවත් දෙවන ප්‍රොටොකෝලය රටවල් 168 ක් විසින් අත්සන් කොට පිළිගෙන ඇත. වෙන්කොට හඳුනා ගැනීමේ විශේෂ සලකුණු (Distinctive Emblem) පිළිබඳ ප්‍රොටොකෝලය හෙවත් තෙවන ප්‍රොටොකෝලය රටවල් 72 ක් විසින් මේ වන විට අත්සන් කොට පිළිගෙන ඇත. ශ්‍රී ලංකාව මේ අතුරින් දෙවන ප්‍රොටොකෝලය අත්සන් කොට බලාත්මක කොට නැත. ඊට හේතුව එවකට මෙරට තුළ පැවති යුදමය වාතාවරණයයි.

කවුරු කුමක් කෙසේ පැවසුවද, රජයකට තමා රිසි පරිදි ත්‍රස්තවාදීන්ව පවා ඝාතනය කළ නොහැක. රජයක් කෙලෙස හැසිරුනද, රාජ්‍ය නොවන භට කණ්ඩායම් හි සාමාජිකයන්ටද තමාට අවැසි පරිදි තම ඉල්ලීම් දිනා ගැනීම පිණිස අසරන ජනයා මරා දැමීමට හෝ ප්‍රාණ ඇපයට ගැනීමට නොහැක. සෑම පාර්ශවයක්ම යුද්ධයකට එළැඹිය යුත්තේ ද, යුද්ධ කළ යුත්තේ ද තමාට ලං විය හැකි උපරිම සීමාවන් පිළිබඳ මනා අවබෝධයකිනි. ඒ බව සෑම රාජ්‍යයක්ම සිය මතකයෙහි රඳවා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ තම ජාතියේ, ආගමේ හෝ රාජ්‍යයේ නාමයෙන්වත් කිසිදු විටෙක අත්තනෝමතික ලෙස විනාශයන් සිදු කිරීම බරපතල ලෙස දඬුවම් ලැබිය හැකි අපරාධයක් වන බැවිනි.

කවරයේ රූපය – http://blogs.icrc.org/law-and-policy/2016/06/29/locating-geneva-conventions-commentaries/

තොරතුරු උපුටා ගැනීම – ICRC ADVISORY SERVICE ON INTERNATIONAL HUMANITARIAN LAW

Related Articles