Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දරුවන් වැඩිනම් බදු සහන ලබා දෙන හංගේරියානු රජය

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ආසියානු සහ අප්‍රිකානු රටවල වසරෙන් වසර ජනගහනයේ වැඩි වීමක් දකින්න ලැබෙනවා. සීඝ්‍රව සිදුවෙන ජනගහන වර්ධන වේගය මේ රටවලට දැරිය නොහැකි වනවා සේම එය පාලනය කිරීම සඳහා ද විවිධ පියවර ගනිමින් සිටිනවා.

නමුත් යුරෝපා මහද්වීපයේ රටවල් කිහිපයක් මුහුණ දී සිටින්නේ මෙහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයට යි. එනම් ජනගහනය වසරෙන් වසර අඩු වීම ඔවුන් මුහුණපාන උග්‍රතම අර්බුදය යි. යුරෝපා රටක් ලෙස හංගේරියාව මෙම ප්‍රශ්නයට වසර ගණනාවක සිට මුහුණ දෙනවා. එහි වසරකට අඩුවෙන ජනගහනයේ සාමාන්‍ය අගය 32 000ක් ලෙස සඳහන්.

එම අර්බුදය සඳහා පිළියමක් ලෙස දරුවන් හතර දෙනෙකුට හෝ ඊට වැඩි ප්‍රමාණයක් බිහිකරන කාන්තාවන් ජීවිත කාලය පුරා අදායම් බදු ගෙවීමෙන් නිදහස් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව යි අද ලිපිය.

යුරෝපා රටවල් පොදුවේ මුහුණ දෙන ප්‍රශ්නයක්

යුරෝපා රටක කාන්තාවක් සිය ජීවිත කාලය තුළ දරුවන් වැදීමේ සාමාන්‍ය අගය (bbci)

යුරෝපා මහද්වීපයේ බොහෝ රටවල් ප්‍රමාණයක මේ වන විට ජනගහනයේ වර්ධනය වීමක් දකින්න ලැබෙන්නේ නෑ. එම රටවල දළ මරණ අනුපාතිකය, දළ උපත් අනුපාතිකයට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නවා.

යුරෝපා රටක කාන්තාවක් සිය ජීවිත කාලය තුළ දරුවන් වැදීමේ සාමාන්‍ය අගය වෙන්නේ 1.58ක්.  2016 වසරේ නිකුත් වූ වාර්තාවකට අනුව එම අගයේ හෝ ඊට වැඩි අගයක් පවත්වා ගැනීමට සමත් වී තිබෙන්නේ යුරෝපා රටවලින් ස්වල්ප ප්‍රමාණයක් පමණ යි.

ප්‍රංශය මේ අතරින් ඉහළම ස්ථානයේ පසුවෙන අතර ස්වීඩනය, අයර්ලන්තය, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, හා බෙල්ජියම වැනි රටවල් අඩු සංඛ්‍යාවක් මෙම අගය ඉක්මවා තිබෙනවා.

ෆින්ලන්තය, හංගේරියාව, පෝලන්තය, ග්‍රීසිය, හා ස්පාඤ්ඤය වැනි බහුතර රටවල් ප්‍රමාණයක් සාමාන්‍ය අගයට වඩා ඉතා අඩු අගයක් පෙන්නුම් කරනවා. කාන්තාවක් සිය ජීවිත කාලය තුළ දරුවන් වැදීමේ සාමාන්‍ය අගය අඩුම යුරෝපියානු රට වන්නේ ඉතාලිය යි. එය 1.3ක අගයක් ගන්නවා. වර්තමානයේ හංගේරියානු කාන්තාවක් සිය ජීවිත කාලය තුළ දරුවන් වැදීමේ දළ අගය 1.45ක් පමණ වෙනවා.

2017 වසරේ යුරෝපය තුළ බිලිඳුන් මිලියන 5.1ක් උපත ලැබූ බව වාර්තාවල සඳහන් වන අතර එය ඊට පෙර අවුරුද්දට වඩා 90 000ක අඩු වීමක්. 2017 වසර තුළ යුරෝපය තුළ මරණයට පත් වූ ප්‍රමාණය ලෙස මිලියන 5.3ක් වාර්තා වෙනවා. මෙම දත්ත අනුව යුරෝපය තුළ ජනගහනය, ක්‍රමික අඩුවීමකට මුහුණ දෙන බව තේරුම් ගැනීමට හැකි යි.

වසරක් පාසා ජනගහනය අඩු වීමේ අර්බුදයකට මුහුණ දෙන හංගේරියාව

හංගේරියාවේ අඩුවන ජනගහනය (bbc)

යුරෝපයේ සාමාන්‍ය දළ උපත් අනුපාතිකය ජනගහනය 1000 කට 9.9ක් ලෙස සදහන් වෙනවා. නමුත් හංගේරියාවේ මෙම අගය ජනගහනය 1000 කට 9.7ක් ලෙස යි සදහන් වෙන්නේ. 2017 වසරේ දී හංගේරියාව තුළ 94,600ක් නව දරු උපත් සිදු වී ඇති අතර මරණ ප්‍රමාණය 131,900ක් ලෙස වාර්තා වෙනවා. ඒ අනුව ජනගහනයේ 37,000ක ආසන්න ප්‍රමාණයක අඩුවීමක් දකින්න පුළුවන්.

යුරෝපයේ බොහෝ රටවල් ජනගහනය අඩු වීමට විසදුමක් ලෙස සංක්‍රමණිකයන්ගේ එම අඩුව පුරවා ගැනීමට උත්සාහ දරනවා. මීට වසර කිහිපයක පෙර සිට යුරෝපා රටවලට සංක්‍රමණිකයන් ලෙස පැමිණි අන්තවාදී මුස්ලිම් කණ්ඩායම්වල සාමාජිකයන් එම රටවල භීෂණකාරී ක්‍රියාකාරකම්වල නිරත වීම වැනි හේතුන් නිසා සංක්‍රමණිකයන් සීමා කිරීමට එම රටවල් විසින් කටයුතු කර තිබෙනවා.

හංගේරියාවට සංක්‍රමණිකයන් අවශ්‍ය නොවන බවත්, ජනගහනය වැඩි කිරීම සදහා ඔවුන්ට හිස්ගෙඩි ප්‍රමාණය ඉහළ දැමීම අනවශ්‍ය බව එරට අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. අවශ්‍ය වන්නේ හන්ගේරියානුවන් ප්‍රමාණය වැඩි කිරීම පමණක් බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ පසු ගිය දිනක යි.

දරුවන් හතර හෝ හතරට වැඩි නම්

හංගේරියානු අගමැතිවරයා (Infowars)

ඒ අනුව දරුවන් ප්‍රමාණය හතර හෝ හතරට වඩා ලබන මවක් සිය ජීවිත කාලය තුළ අදායම් බදු ගෙවීම්වලින් නිදහස් කරන බව හංගේරියානු අගමැතිවරයා පවසා තිබෙනවා. අගමැතිවරයා සංක්‍රමණික මුස්ලිම් ජාතිකයන්ට එරෙහි පියවරක් අනුගමනය කරන අතර සංක්‍රමණිකයන් මඟින් ජනගහන තුලනය පවත්වා ගැනීමට වෙර දරන යුරෝපීය රටවල් විවේචනය කිරීමට ද ඔහු කටයුතු කරනවා.

මෙය, සංක්‍රමණිකයන් ප්‍රමාණය වැඩි කරගන්නේ ද, තම රටේ ස්වදේශිකයන් ප්‍රමාණය වැඩි කර ගන්නේ ද යන්න සිතීම සඳහා හංගේරියානුවන් වෙත ලබා දුන් අභියෝගයක් බව යි අගමැතිවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ. තව ද සෑම මරණයකටම නව උපතක් සිදු වී ජනගහනය තුලනය විය යුතු බවත් ඔහු සදහන් කර තිබෙනවා.

ජනගහනය වර්ධනය සඳහා හඳුන්වා දුන් නව ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු සිය කතාව අවසන් කර තිබෙන්නේ, “හංගේරියාව දිගු කල් දිනේවා! හංගේරියානුවන් දිගුකල් ජීවත් වේවා!” යි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යි.

මීට අමතරව අලුතෙන් විවාහ දිවියට ඇතුලත් වෙන හංගේරියානු තරුණ යුවළකට එරට මුදලින් මිලියන 10ක ණය මුදලක් ලබා දීමට ද අදහස් කෙරෙන බව රජය විසින් නිවේදනය කර තිබෙනවා. එම යුවළ දරුවන් තිදෙනෙක් හෝ ඊට වැඩියෙන් බිහි කළහොත් එම ණය මුදල අහෝසි වන බව සඳහන් වෙනවා.

මේ සදහා රජය විසින් ගන්නා අනෙකුත් ක්‍රියාමාර්ග

හංගේරියානු දරුවන් (BBC)

හංගේරියානු ජනගහනය ඉහළ දැමීම සඳහා මෙම ක්‍රියාමාර්ගවලට අමතරව රජය විසින් තවත් සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත යි. ඒ සෞඛ්‍ය සේවය සඳහා වර්තමානයේ වෙන් කරන මුදලට අමතරව තවත් ඩොලර් බිලියන 2.5ක අමතර මුදලක් වෙන් කිරීම, ඉදිරි වසර තුන ඇතුළත නව පෙරපාසල් 21 000ක් පමණ ඉදි කිරීම, නිවාස සහනාධාර සඳහා මුදල් වෙන් කිරීම, සහ ආසන හතක් ඇති වාහන මිල දී ගැනීම සඳහා රජයෙන් සහනාධාර ලබා දීම හා දිරි ගැන්වීම් කිරීම වැනි යෝජනා යි.

කවරයේ පින්තූරය - Vox

මූලාශ්‍රයයන්:

bbc.com

washingtonpost.com

cnbc.com

Related Articles