Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොකක්ද මේ ශ්‍රී ලංකාව මුහුණ පාන අධි උද්ධමන තත්ත්වය

ශ්‍රි ලංකා ආර්ථිකය ඉතිහාසයේ තවත් හැරවුම් ලක්ෂක් වෙතට පසුගිය දා පැමිණියා. මේ හැරවීම ලංකාවට කොහෙත් ම සුබදායි තත්වයක්නම් නෙවෙයි. අද අප පා තබා ඇත්තේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් මුහුණ දුන් දරුණුත ම උද්ධමනය තත්ත්වයකට.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රි ලංකාව අධි උද්ධමන (hyperinflation) තත්ත්වයකට මුහුණ දීමේ අවදානමක සිටිනවා. අපි බලමු මොකක්ද මේ අධි උද්ධමනයක් කියන්නේ කියලා සහ මෙයට මුහුණ දුන් ලෝකයේ තවත් රටවල් මොනවාද කියලා.

අධි උද්ධමනය යනු

අද වෙද්දි ශ්‍රී ලංකාවේ ඕනැම කෙනෙක් උද්ධමනය කියන්නේ මොකක්ද කියලා දන්නවා. කාලච්ඡේද කිහිපයක් තුළ රටේ භාණ්ඩ වල මිල ගණන් (සාමාන්‍ය මිල මට්ටම) අඛණ්ඩ ව ඉහළ යාමට අපි කියනවා උද්ධමනය කියලා. ආර්ථික විද්‍යාවේ උද්ධමන වර්ග කිහිපයක් ගැන කතා කරනවා. මේ උද්ධමන වර්ගවලින් රටකට ළඟා විය හැකි අවසාන සහ භයානක ම උද්ධමනය තමයි අත්‍යුද්ධමනය හෙවත් අධි උද්ධමනය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් රටක තිබිය යුතු උද්ධමන ප්‍රවර්ගය තමයි මධ්‍යස්ථ උද්ධමනය. වාර්ෂිකව 2% – 6% අතර රටක් තුළ උද්ධමනයක් පැවතීමට තමයි අපි මේ මධ්‍යස්ථ උද්ධමනය කියලා කියන්නේ. රටක උද්ධමනයක් තිබිය යුතුයි. එහෙම නොවුණොත් ව්‍යාපරිකයන් අධෛර්යමත් වෙනවා. මේ වගේ මධ්‍යස්ථ උද්ධමනයක් කිසිම අවදානමකින් තොරව රටක මහ බැංකුවට පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා.

 හිතන්න එක පාරට ම වාර්ෂිකව 2% විතර තිබුණු උද්ධමනය දෛනික ව 2%ක් ලෙස ඉහළ යනවා කියලා. එවිට මාසික ව උද්ධමන අගය 50% – 60%ක් ලෙස වාර්තා වෙන්න පුළුවන්. එලෙස මාසික ව 50%ක උද්ධමන අගයක් වාර්තා කරනවා නම් අපි කියනවා ඒ රට අධි උද්ධමනයකට මුහුණ දෙනවා කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ ජුනි මාසයේ උද්ධමනය 54.6%. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 500%ක් පමණ වේවී. වාර්ෂික 500% උද්ධමනයක් කියන්නේ ජනවාරිවල රුපියල් 1ක් මිල වුණු භාණ්ඩය දෙසැම්බර් වෙද්දි රුපියල් 5ක් වෙනවා. රුපියල් 100ක් වුණු භාණ්ඩය රුපියල් 500ක් වෙනවා. රුපියල් 10, 000ක් වුණූ භාණ්ඩය දෙසැම්බර් වෙද්දි රුපියල් 50, 000ක් වෙනවා. ලක්ෂ 50ක් වුණු වාහනය වසර අග දි කෝටි දෙකහමාරක් විතර වෙනවා.

රුපියලේ වටිනාකම නැත්තට ම නැති වෙලා

මේ විදියට භාණ්ඩ මිලදී ගන්න රුපියල් මදි වෙද්දි රුපියලේ වටිනාකම නැත්තට ම නැති වෙලා යනවා. ඒ වගේ ම අනිත් ලොකුම ප්‍රශ්නය තමයි අධි උද්ධමනයකට රටක් පා තැබුවට පස්සේ මහ බැංකුව අතේ තිබුණු රටේ උද්ධමනය පාලනය කිරිමේ බලය ගිලිහෙනවා. ඉන් පසුව රටේ උද්ධමනය නවතින්නේ කවදද? එදාට අගය කොපමණ වෙයිද කියලා ලෝකයේ දක්ෂත ම ආර්ථික විද්‍යාඥයන්ට පවා පුරෝකථනය කරන්නට බැරුව යනවා. පුරෝකථනය කරන්න බැරි වුණත් අපට ඉතිහාසයේ දී රටවල් පුරා මේ අධි උද්ධමනය හමා ගිය ආකාරය හොයා බලන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ ජුනි මස උද්ධමනය 54.6% කි (Publicfinance.lk )
ශ්‍රී ලංකාවේ ජුනි මාස උද්ධමනය 54.6% කි – Publicfinance.lk

ලෝකයේ අධි උද්ධමනයක් හට ගත් රටවල්

1921 දී ඇරඹි පළමු වන ලෝක යුද්ධය අතරතුර ජර්මනිය ඉතාමත් දරුණු අධි උද්ධමනයකට මුහුණ දෙනවා. 1923 වෙද්දි ජර්මනියේ උද්ධමනය සියයට බිලියනයකින් පමණ ඉහළ යනවා. ඔවුන් මේ නිසා 1923 දී ජර්මන් මාක් නම් මුදල් වර්ගයෙන් ක්වාඩ්ට්‍රිලියන 92.8 ( 92.8 Quintillions) නිකුත් කරනවා. ඒ අනුව එක අමෙරිකානු ඩොලරයක අගය ජර්මන් මාක් ට්‍රිලියනයකට සමාන වෙනවා.

ඒ වගේ ම පළමුවන ලෝක යුද්ධය අවසානයේ පරාජිත ජර්මනියට, මිත්‍ර පාර්ශවයට ජර්මානු මාක් බිලියන 132ක් ගෙවන්න සිදු වීමෙන් ජර්මානු ආර්ථිකය කබලෙන් ළිපට වැටෙනවා. ඒ අනුව ජර්මනියේ මාසික උද්ධමනය 900% ක් දක්වා ඉහළ යනවා. අදටත් ජර්මානු වැඩිහිටියන් ආහාර පාවිච්චිය ඉතා ම අරපිරිමැස්මෙන් තමයි  කරන්නේ.  මෙහෙම විනාශ වුණු රට මුළු යුරෝපයට ම අහියෝග කරන්න තරම් ශක්තිමත් රටක් බවට හිට්ලර් පසුව පත් කරනවා.

ජර්මනිය 1920දි නිකුත් කරන ලද ජර්මන් මාක් මිලියන 10 මුදල් නොට්ටුවක් (https://www.coins-of-germany.com)
ජර්මනිය 1920 දී නිකුත් කළ ජර්මන් මාක් මිලියන 10 මුදල් නොට්ටුවක් – www.coins-of-germany.com

 

ඒ වගේම එයට තවත් ජීවමාන සාක්ෂියක් තමයි වෙනිසියුලාව. වෙනිසියුලාවෙ හිටපු ජනාධිපති හියුගෝ චාවෙස් බෙහෙත්වලට සහ ආහාරවලට උපරිම මිලක් පැනවීම නිසා ඒ මිලට භාණ්ඩ සපයන්න බැරි වීම තුළ දේශීය කර්මාන්ත බිඳ වැටෙනවා. මේ නිසා බෙහෙත් සහ ආහාර පාන ආනයනය කිරීමට වෙනිසියුලාවට සිදු වුණා. ඒ වගේම 2014 දි ලෝකයේ බොරතෙල් මිල පහළ බැසීමෙන් රජයේ තෙල් සමාගම් දිගින් දිගට ම අලාභ ලැබීම නිසා රජයේ ආදායම විශාල ලෙස පහළ ගියා.

ඒ අනුව 2013 දී 41% තිබුණු උද්ධමන අගය 2014 වෙද්දි 65, 000% ක් දක්වා අධික ලෙස ඉහළ ගියා. ඔවුන් මාසික ව 6000%ක තරම් විශාල අධි උද්ධමනයකට මුහුණ දුන්නා. මෙයට මුහුණ දෙන්න එරට රජය සිදු කළේ තව දුරටත් මුදල් මුද්‍රණය කිරීම. ඒ අනුව 2013 ආරම්භ වුණු අධි උද්ධමනයෙන් ගැලවෙන්නට වෙනිසියුලාවට අදටත් නොහැකි වෙලා තියෙනවා. 2020 වෙද්දි ඔවුන්ගේ වාර්ෂික උද්ධමනය 2300% වගේ ම ඔවුන්ගේ විදේශීය ණය අමෙරිකානු ඩොලර් බිලියන 100ක් වෙලා.

අධි උද්ධමනය හේතුවෙන් වටිනාකමක් නොමැතිව ගිය මුදල් නෝට්ටු වලින් වෙනිසියුලානු වැඩියන් විසිතුරු නිර්මාණය කොට අලෙවි කිරීමට තබා ඇති අයුරු (www.bbc.com
අධි උද්ධමනය හේතුවෙන් වටිනාකමක් නොමැතිව ගිය මුදල් නෝට්ටුවලින් වෙනිසියුලානු වැඩියන් විසිතුරු භාණ්ඩ නිර්මාණය කොට අලෙවි කිරීමට තබා ඇති අයුරු – www.bbc.com

 

මේ වෙද්දි ලෝකයේ ඉහළ ම උද්ධමන අනුපාත අතර ශ්‍රී ලංකාව දෙවැනි වෙන්නේ සිම්බාබ්වේට පමණ යි. සිම්බාබ්වේ මේ අධි උද්ධමනය ආරම්භ වෙන්නේ 2003 ඉඳලා. හිටපු ජනාධිපති රොබට් මුගාබේ සුදු ජාතිකයන් සතු ව තිබූ සියලු ම ඉඩම් සහ ගොවිපොළවල් කිසිම අත්දැකීමක් නැති කළු ජාතිකයන්ට පවරා දීම නිසා රටේ අහාර නිෂ්පාදන 45%කින් පමණ පහළ යනවා.

කොංගෝවේ සිදු වන යුද්ධයට විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරිමත්, මුගාබේගේ සහ රජයේ වියදම් සඳහා මුදල් මුද්‍රණය කිරිමත් නිසා ජර්මනිය 1923 දී වාර්තා කළ ඉහළම දෛනික උද්ධමන අගය පරදා සිම්බාබ්වේහි දිනක උද්ධමන අනුපාතය 98%ක් ලෙස වාර්තා කරනවා. ඔවුන්ගේ රටේ සියලු ම භාණ්ඩ සෑම පැය 24කට ම වරක් දෙගුණ වෙනවා. ඒ අනුව 2008 නොවැම්බරයේදී ඔවුන්ගේ උද්ධමනය 79,600,000,000% ක්. 2008 වසර අවසානයේ දී අමෙරිකානු ඩොලර් එකක් සිම්බාබ්වේ ඩොලර් 2,621,984,228 ක් වෙනවා. මේ විදියට 2003 දි ආරම්භ වුණු අධි උද්ධමනය 2022 වෙද්දීත් ඔවුන්ට පාලනය කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඔවුන් මේ වෙද්දි බැංකු පොලී අනුපාතය 200%ක් දක්වා ඉහළ දමා අධි උද්ධමනයෙන් බේරෙන්නට උත්සාහ දරනවා.

සිම්බාබ්වේ ඩොලර් බිලියන 100කින් මිලදී ගත හැක්කේ බිත්තර 3ක් පමණි (www.donga.com)
සිම්බාබ්වේ ඩොලර් බිලියන 100කින් මිලදී ගත හැක්කේ බිත්තර 3ක් පමණි – www.donga.com

 

රටකට අධි උද්ධමනයෙන් ගැලවිය හැකිද?

මේ හැම රටක් ම අධි උද්ධමනකාරී තත්වයකට ළඟා වුණා ම ඔවුන්ට ඉන් ගැලවීමට ඉතා විශාල කාලයක් ගිහින් තියෙනවා. තවත් රටවල් අදටත් අධි උද්ධමනයන්ට මුහුණ දෙමින් සිටිනවා. මේ හැම රටක් ම අධි උද්ධමනයට මුහුණ දෙන්න ප්‍රධානත ම හේතු වගේ ම අධි උද්ධමනයෙන් බේරීමට නොහැකි වෙන්න සර්පිලාකාර හේතුවකුත් තියෙනවා.

ඒ තමයි අධි උද්ධමනය එක්ක ඉහළ යන භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයන්ට නොහැකි වුණා ම ඔවුන්ගේ පීඩනය රජයට එල්ල වෙන එක වලක්වන්න රජයන් කරන්නේ අලුතෙන් මුදල් මුද්‍රණය කරමින් වැටුප් වැඩි කිරිම. මෙහෙම මුදල් මුද්‍රණය කළා ම මිනිස්සුන්ගේ ඉල්ලුම නැවත ඉහළ ගිහින් නැවතත් අධි උද්ධමනය ඉහළ යනවා. රජය ආයෙමත් මුදල් මුද්‍රණය කරමින් රටේ මුදල් සැපයුම වැඩි කරනවා. මේක කවදාවත් නොනැවතී අර තැටිය රත් වෙනකන් කකුළුවෝ වතුර උඩ නටනවා වගේ බඩු මිල වැඩි වෙද්දි තමන්ගේ වැටුප් වැඩි වෙන නිසා සතුටින් ඉඳලා අවසානයට ආයේ ගොඩ එන්න බැරි තැනකට පත් වෙනවා.

උද්ධමන අගය ඉහළත ම අගයක් ගන්නා රාජ්‍ය අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව –  twitter.com/steve_hanke

ශ්‍රී ලංකාවට බේරෙන්න පුළුවන් වෙයිද?

ශ්‍රී ලංකාව තවම අධි උද්ධමනයට පා තැබුවා විතරයි. තව ටික දවසකින් මිනිස්සු බඩු මිල වැඩි කියලා උද්ඝෝෂණ පටන් ගන්නවා. එදාට රජය කරන්නේ මුදල් මුද්‍රණය කරමින් වැටුප් වැඩි කරලා අපේ අයට තාවකාලික ව සහන දෙන එක. ආයේ කවදාවත් පාන් ගෙඩිය රුපියල් 50ට, පෙට්‍රල් ලීටරය රුපියල් 117ට ගන්න ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට වෙන්නේ ආර්ථික වෘද්ධිය එක්ක මිනිස්සුන්ගේ ආදායම ඉහළ යාම. ඊට පෙර රටෙ මේ ආර්ථික අර්බුදයට තිරසාර විසඳුම් දීලා මේ භාණ්ඩ හිඟය තුරන් කර පොලිම් ක්‍රම නැති කළ යුතු යි. අන්න එදාටයි මිනිස්සුන්ගේ වැටුප් වැඩි වීම සිදු විය යුත්තේ.

 කලින් කිව්ව හැම රටක් ම අධි උද්ධමනයකට මුහුණ දෙන්න නිශ්චිතව ම හේතු තිබුණා. ශ්‍රී ලංකාවටත් එක ම එක හේතුවක් නිසා තමයි මේ හැම අර්බුදයක් ම ඇති වුණේ. ඒ තමයි අපේ ඩොලර් සංචිත අවසන් වී ඩොලර් නොමැති වීම. ඒ නිසා අපිට ගත් ණය ගෙවන්න නොහැකි වුණා. ණය නොගෙව්ව නිසා තව දුරටත් අපිට ණය ගන්නට බැරි වුණා. සංචිත නැති නිසා ඩොලර් 1ක රුපියලේ අගය අධික ලෙස ඉහළ ගියා. එවිට බඩු මිල ඉහළ ගියා. ඩොලර් නොමැති නිසා අපට අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකවත් ආනයනය කරගන්නට බැරි වුණා. ඒ නිසා පවතින සීමිත සම්පත් ලබා ගනු පිණිස පෝලිම් බිහි වුණා. ඒ කියන්නේ මේ ඔක්කොට ම මුල ඩොලර් නොමැති වීම. 

ශ්‍රී ලංකාවේ බඩු මිළ ඉහළ යාමට මූලික හේතුවක් වූ මාර්තු මාසයේ සිට රුපියල අවප්‍රමාණය  වීම (www.theeconomist.com)
ශ්‍රී ලංකාවේ බඩු මිළ ඉහළ යාමට මූලික හේතුවක් වූයේ මාර්තු මාසයේ සිට රුපියල අවප්‍රමාණය වීමයි – www.theeconomist.com

 

ශ්‍රී ලංකාව මේ අර්බුදයෙන් ගැලවීමට නම් රටේ හැමෝ ම එකම අරමුණකින් ඩොලර් ගේන්න සහ තියෙන ඩොලර් ආරක්ෂා කරන්න වැඩ කළ යුතුයි. අධි උද්ධමනය දරුණුවට ම පැතිරුණොත් එයින් බේරෙන්නේ ඩොලර් හොයන අය (Exporters) සහ පාස්පෝට් තියෙන අය විතර යි. ශ්‍රී ලංකාවට ක්ෂණික ව අවශ්‍ය ඩොලර් බිලියන 3-4 ප්‍රමාණය හැකි ඉක්මනින් ලබා ගත යුතුයි. අවම වශයෙන් ඩොලර් බිලියන  3ක් ලැබුණොත් මේ රට යථා තත්වයට පත් කර ගැනීම සුළු දෙයක්. නැත්තම් මේ තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්. මේ වෙද්දි මහ බැංකුව ලෙවකමින් ඉතුරු කරන ප්‍රතිපත්තියේ යනවා විය යුතු යි. ඔවුන්ට 2022 අවසානයේදි සංචිත ඉහළ නංවා ගන්න නම් මේ අවුරුද්ද ඇතුළත ලැබෙන ඩොලර්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීමටවත් වියදම් නොකර බොහෝ ප්‍රමාණයක් ඉතුරු කරගන්නට වෙනවා.  

කොහොම වුණත් මේ වෙද්දි අර්බුදය ආරම්භ වෙලා මාස 4ක් ගත වෙලා අවසන්. අපට 2023 වන තෙක් ම අඩු වැඩි වශයෙන් මේ ආකාරයට තමයි ජීවත් වෙන්න සිදු වෙන්නේ. අර්බුදය 2023 දී අවසන් වෙනවා ද තවත් වසර ගණනාවක් ඇදෙනවා ද යන්න තීරණය වෙන්නේ 2022 වර්ෂයේ දී පාලකයන් ගන්න තීරණ මත. මේ වසරෙදි ම අපට පන් මිදෙන්න නම් පැමිණි යුතු එක ම එක ප්‍රවෘත්තිය වන්නේ අද දින ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර මූල්‍ය ආධාරයක් මෙම රටින් / මෙම සංවිධානය මගින් ලැබුණා කියන ප්‍රවෘත්තිය යි. අන්න එදාට අපිට පුළුවන් හරියට ම කියන්න ශ්‍රී ලංකාවට අර්බුදය පාලනය කරන්න හැකියාව ලැබුණා කියලා. කොහොම කළත් මේ තත්ත්වය තාවකාලික යි. එය කවදා කොහොම අවසන් වේද කියන්නට නොහැකි වුණත් මේ තත්ත්වය සදාකාලිකව ම තියෙන්නෙත් නෑ. ඒ නිසා ඔබ හැකි පමණ ජීවත් වෙන්න සටන් කරන්න.  

කවරයේ ඡායාරූපය - ශ්‍රී ලංකාව අධි උද්ධමනයට පා තබයි - Publicfinance.lk

මූලාශ්‍ර :

Www.theeconomist.com

Www.bbc.com

Www.donga.com

Www.coinsofgermany.com

Www.publicfinance.lk

Www.thebalance.com

Www.statistics.com

Related Articles