Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ICC Hall of Fame හෙවත් විශිෂ්ටයන්ගේ නාමාවලිය

ක්‍රිකට් යනු ශ්‍රී ලාංකික අපගේ නිල නොවන ජාතික ක්‍රීඩාව යි. තමන් කැමති එසේත් නැත්නම් මෙතෙක් සිටි හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් කවුරුන්දැ යි යමෙකු ඔබගෙන් විමසුවහොත් නොපැකිළව ක්‍රීඩකයන්ගේ නම් රාශියක් ඔබ විසින් ප්‍රකාශ කරන බව නියත ය. ඒ ඔබේ මතය වුවත්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නාමාවලියක් පවත්වාගෙන යන බව ඔබ දන්නවා ද?

Hall of Fame යනු?

ICC Hall of Fame Logo www.icc.com

එදාමෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ බිහි වුණු විශිෂ්ටතම ක්‍රිකඩ් ක්‍රීඩකයන්ගේ නාමාවලිය ලෙස මෙය සරලව හැඳින්විය හැකි ය. 2009 වසරේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් මෙවැනි විශිෂ්ටයන්ගේ නාමාවලියක් පවත්වාගෙන යා යුතු බවට තීරණය කරමින් ආරම්භ කරන ලද අතර මේ වන විට ක්‍රිකට් ක්‍රීඩකයන් 83 දෙනකු මෙම නාමාවලියට ඇතුලත් කර ඇත. එම පළමු අවස්ථාවේ දී මේ සදහා ක්‍රීඩකයන් 55 දෙනෙකු ඇතුළත් වූ අතර නැවතත් 2009 දී තවත් ක්‍රීඩකයන් 5 දෙනකු ඇතුළත් විය. එතැන් පටන් වසරක් පාසා මෙම විශිෂ්ටයන්ගේ නාමාවලියට ක්‍රීඩකයන් එකතු කරනු ලබන අතර මේ සඳහා තේරීම් කමිටුවක් පත් කර ඇත. එකී තේරීම් කමිටුව තුළ දැනටමත් මෙම නාමාවලියේ නම් කරන ලද ක්‍රීඩකයන් ද ඇතුලත් වීම විශේෂ ය. https://www.icc-cricket.com/hall-of-fame/about

නාමාවලියේ විශිෂ්ටයෝ (රටවල් අනුව)

එදාමෙදා තුර ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ දක්ෂතම පිතිකරුවා ලෙස සැලකෙන සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්
http://www.cricketcountry.com

මින් ඉහත දී අප විසින් සඳහන් කළ පරිදි සමස්ත ක්‍රීඩකයන් සංඛ්‍යාව 83 කි. එයින් වැඩි ම ක්‍රීඩකයන් පිරිසක් නියෝජනය කරන්නේ එංගලන්තයෙනි. ඒ 27 කි. දෙවැනි තැන ගන්නේ ක්‍රීඩකයන් 22 ක් නියෝජනය කරන ඕස්ට්‍රේලියාව යි. අනතුරුව ක්‍රීඩකයනි 18 ක් නියෝජනය කරන බටහිර ඉන්දීය කොදෙව් දූපත් සිටින අතර පකිස්ථානයෙන් ක්‍රීඩකයන් 5 දෙනෙකු ද ඉන්දියාවෙන් ක්‍රීඩකයන් 4 දෙනෙකු ද නවසීලන්තය හා දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයන් 2 බැගින් ද ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයෙක් ද මෙම නාමාවලියට අයත් වේ.

රේචල් ෆ්ලින්ට් www.ITV.com

මෙම ක්‍රීඩකයන් 83 අතරින් කාන්තා ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ද සිටීම කැපී පෙනේ. විශිෂ්ටයන්ගේ නාමාවලියට පළමුවෙන් ම ඇතුළත් වූ ක්‍රීඩිකාව වන්නේ, 1973 පැවති පළමු ලෝක කාන්තා ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම මෙහෙය වූ රේචල් ෆ්ලින්ට් ය. ඇය 2010 වසරේ දී මෙම නාමාවලියට එක් වුණු අතර ඉන් පසු 2011 දී බෙලින්ඩා ක්ලාක්, 2012 දී එනිඩ් බේක්වෙල්, 2013 ඩෙබී හෝක්ලි, 2015 දී බෙටී විල්සන් සහ 2016 දී කේරන් රෝල්ටන් යන ක්‍රීඩිකාවන් මෙම නාමාවලියට එක් විණ.

මුරලිත් ඇතුළත් !

http://pictures-and-wallpapers.blogspot.com

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් මෙම නාමාවලිය සදහා එක් වුණු එක ම ක්‍රීඩකයා වන්නේ මුත්තයියා මුරලිදරන් ය. ක්‍රීකට් ක්‍රීඩකයකු විසින් තම එක්දින තරග දිවියේ දී රැස්කළ වැඩි ම කඩුලු සංඛ්‍යාවට හිමි වාර්තාව (කඩුලු 534 ක්) සහ ටෙස්ට් තරග දිවියේ දී රැස්කළ වැඩි ම කඩුලු සංඛ්‍යාවට හිමි වාර්තාව (කඩුලු 800 ක්)  උසුලන්නේ ද මුරලි ය.

එසේ ම ටෙස්ට් තරගවල කඩුලු 5 ක් දවාගත් වැඩි ම අවස්ථා ගණනට හිමි වාර්තාවත් (අවස්ථා 67 ක්)  ටෙස්ට් තරගයක දී පන්දු යවන්නෙකු කඩුළු 10 ක් දවාගත් වැඩි අවස්ථා ගණනට හිමි වාර්තාවක් (අවස්ථා 22 ක්) දරන්නේ ඔහු ම ය.

එසේ ම එක ම ක්‍රීඩාංගණයක වැඩි ම කඩුලු සංඛ්‍යාවක් දවා ඇති පන්දු යවන්නාට හිමි වාර්තාව ද ඔහු සතු ය. ඒ ක්‍රීඩාංගණයේ දී තරග 24 ක දී කඩුලු 166 ක් දවා ගනිමිනි. එම වාර්තාවේ දෙවැනි හා තෙවැනි ස්ථාන වෙන් වන්නේ ද මුරලි වෙතට ම ය. ඒ පිළිවෙළින් අස්ගිරිය ක්‍රීඩාංගනයේ දී තරග 16 ක දී කඩුලු 117 ක් දවා ගනිමින් සහ ගාලු ක්‍රීඩාංගණයේ දී තරග 15 දී කඩුලු 111 ක් දවා ගනිමිනි.

ශූරයන්ගේ නාමාවලියට මුරලි නම් කළ අවස්ථාව www.news18.com

පන්දු යවන්නෙකු අන්තර්ජාතක ක්‍රිකට් ක්‍රීඩා දිවිය තුළ යවා ඇති වැඩි ම පන්දු සංඛ්‍යාවට හිමි ටෙස්ට් හා එක්දින වාර්තා දෙක ම හිමි වන්නේ ද මුත්තයියා ට ය. ටෙස්ට් තරග 133 කට ක්‍රීඩා කරමින්  පන්දු 44,039  ප්‍රමාණයක් යවා ඇති ඔහු, එක්දින තරග 350 කට සහභාගී වෙමින් පන්දු 18,811 ක් යවා ඇත.

මෙම වසරේ (2017) දී ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී, මුරලි වෙත මෙම පිරිනැමීම සිදු කළ අතර ඔහු එහි දී පවසා තිබුණේ තමන්ගේ ජීවිත කාලය පුරාවට ම නැවත නැවතත් සතුටු විය හැකි අවස්ථාවක් බව ය.

මුරලිගේ හොදම පන්දු යැවීමක්

ICC Hall of Fame නැති විශිෂ්ටයන්

සචින් ටෙන්ඩුන්කාර් http://wallpapersdsc.net

මෙම නාමාවලිය පිරික්සීමේ දී පෙනී යන විශේෂිතම කරුණ නම් මෙහි සචින් ටෙන්ඩුල්කාර්ගේ නම සදහන් නොවීම යි. ඔහු එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා (ලකුණු 18426)  වන ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා (ලකුණු 15921) ද වේ. එසේ ම ක්‍රීඩකයකු ටෙස්ට් තරග දිවියක දී වැඩිම ශතකලාභියා (ශතක 51 ක්) සේ ම වැඩි ම අර්ධ ශතක සංඛ්‍යාවක් (අර්ධ ශතක 58 ක්) වාර්තා කොට ඇත්තේ ද ටෙන්ඩුල්කාර් ය. ක්‍රීඩකයකු එක්දින තරග දිවියක රැස්කර ඇති වැඩි ම ශතක සංඛ්‍යාවත් (ශතක 49 ක්) වැඩි ම අර්ධ ශතක සංඛාවත් (අර්ධ ශතක 96 ක්) ඔහු රැස්කර ඇත. ඉන්දියානුවන් දේවත්වයෙහි ලා සලකන සචින් ටෙන්ඩුල්කාර් තවමත් විශිෂ්ටයන්ගේ නාමාවලියට නම් නොවීම සැබවින් ම පුදුමයට කරුණකි. මෙහි ඉන්දියාවෙන් නම් වී ඇත්තේ සුනිල් ගවස්කාර්, කපිල් දේව්, අනිල් කුම්බ්ලේ සහ බිෂාන් බේලි ය.

http://www.youtube.com/watch?v=Pv_8Y61O6Dg

මීට අමතරව ෂොන් පොලොක් (දකුණු අප්‍රිකාව), ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ හොඳම නායකයා ලෙස සැලකෙන රිකී පොන්ටින්, ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සැලකෙන ජැක් කලීස් (දකුණු අප්‍රිකාව), ඉන්සමාම් උල් හක් (පකිස්ථානය), ක්‍රිකට් ක්‍රීඩාවේ රිද්මය වෙනස් කිරීමෙහි පුරෝගාමියකු ලෙස සැලකෙන සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව) වැනි විශිෂ්ට ක්‍රීඩකයන්ගේ නම් මෙතෙක් මෙම නාමාවලිය තුළ අන්තර්ගත වී නොතිබීම පුදුමයට කරුණක් බව විචාරකයන්ගේ මතය යි.

පසුවදන

විශිෂ්ටන්ගේ නාමාවලිය සදහා වසරින් වසර ක්‍රීඩකයන් එක් වන බව මින් පෙර අප විසින් සඳහන් කරන ලදී. ඒ අනුව ඉහතින් සදහන් විශිෂ්ට ක්‍රීඩකයන් මෙන් ම සදහන් නොකළ විශිෂ්ට ක්‍රීඩකයන් ද තවදුරටත් මෙම නාමාවලිය වෙතත එක් වනු ඇත. එහෙයින් ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන අපි කවුරුත් ICC Hall of Fame හෙවත් විශිෂ්ටයන්ගේ නාමාවලිය දෙස අවධානයෙන් බලා සිටිමු.

මූලාශ්‍ර

  1. www.icc-cricket.com
  2. www.wikipedia.com
  3. www.youtube.com
  4. www.espncricinfo.com

Related Articles