Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නීතිවිරෝධී කටයුතු සම්බන්ධව නිතර කියැවෙන, “හඳුනාගැනීමේ පෙරට්ටුව”

ඇතැම් විට අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී පුද්ගල හෝ දේපළ අනන්‍යතාවය තහවුරු කරගැනීමට සිදුවන අවස්ථාවන් පවතී. යමක අනන්‍යතාව හඳුනාගැනීමට ඇඟිලි සලකුණු, අතුල් සටහන්, පතුල් සටහන්, ඩී.එන්.ඒ. සාක්ෂ්‍ය, අත් අකුරු, කටහඬ, හා දෘශ්‍ය හඳුනාගැනීම් ආදී ක්‍රම භාවිත කරන බව අධිකරණ කටයුතුවල නිරත වීමෙහි දී දැකගත හැක. විත්ති කූඩුවේ දී හා හඳුනාගැනීමේ පෙරට්ටුවක් ය‍ටතේ දී ද දෘශ්‍ය හඳුනාගැනීම සිදුකළ හැක. හඳුනාගැනීමේ පෙරට්ටුවක් වූ කලී අපරාධ නඩුවක සැකකරුව‍ෙක්ව හඳුනාගැනීමට සාක්ෂ්‍යකරුවන්ට ඉඩහසර ලබා දෙන ක්‍රමවේදයකි.

වර්ෂ 1988 දී ගෙනෙන ලද 1988 අංක 11 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත මඟින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය සංශෝධනයට ලක්කරන ලද අතර, එමඟින් දක්වන්නට යෙදුණේ හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට හැකියාව පවතින්නේ විමර්ශන කටයුතුවල නිරත වන පොලිස් නිලධාරීන් විසින් ඒ සඳහා මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලීමක් කර, ඊට අවසර දෙමින් මහේස්ත්‍රාත්තුමා ආඥාවක් නිකුත් කළ පසුව බව යි. හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ විවරණයක් සහ මඟ පෙන්වීමක් 1959 අධිකරණ නිලධාරීන්ගේ අත්පොතෙහි දක්වා ඇත. එකී මඟ පෙන්වීම් අනුව යමින් හඳුනාගැනීමේ පෙරට්ටු පැවැත්වීමටත්, ඒ හරහා සැකකරුවන් හඳුනාගැනීමටත් අධිකරණයට හැකියාව පවතී.

සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුවට රැගෙන යන ආකාරය (දිනමිණ)

හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්විය හැකි වන්නේ අදාළ සැකකරුවන්ව මින් පෙර නොහඳුනන්නේ නම් හෝ, හඳුනන නමුදු ඔවුන්ගේ නම් නොදන්නා අවස්ථාවන්වල දී ය. හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම අදාළ අධිකරණයෙහි මහේස්ත්‍රාත්වරයා විසින්ම හෝ ඔහු විසින් බලය ලබා දෙන ලද, වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙකු විසින් සිදුකළ හැකි අතර නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු, ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු, හෝ බලය ලද වෙනත් පුද්ගලයෙකු විසින් ද සිදුකළ හැකි ය. යම් තැනැත්තෙකුට සැඟවී සිට හඳුනාගැනීමට අවශ්‍යය නම් ඊට අවස්ථාව සලසා දීම 1988 අංක 11 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත යටතේ සිදුවිය.

හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම හරහා සැකකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමක් සිදුවේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනයන්ට අනුගත වෙමින් හඳුනාගැනීමේ පෙරට්ටුව ක්‍රියාත්මක වේ. හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීම සඳහා ප්‍රථම පියවර වශයෙන් කළ යුතු වන්නේ විමර්ශන නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරයෙකුගෙන් පෙරට්ටුව පැවැත්වීමට අවසර ඉල්ලා සිටීම යි. එහි දී හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම සඳහා අවශ්‍යතාවක් පවතින බව ‍මහේස්ත්‍රාත්වරයාට පෙනී ගිය විට ඔහු විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් කළ යුතුව ඇත. මහේස්ත්‍රාත්ගේ නියෝගයට අනුව හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට අවශ්‍යය සෙසු කටයුතු ඉන් අනනතුරුව සූදානම් කළ හැක.

හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුව, අත්අඩංගුවට ගත් මොහොතේ සිට පෙරට්ටුවට ඉදිරිපත් කරන වේලාව දක්වා බාහිර පාර්ශවයන්ට දෘශ්‍යමාන නොවන සේ රඳවා තබා ගත යුතු ය. පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා සැකකරුව රැගෙන යන අවස්ථාවේ දී ඔහුව හිසේ සිට දෙපතුළ දක්වා ආවරණය කරගෙන යා යුතු ය. පෙරට්ටුව සඳහා ඉදිරිපත් වන සැකකරුට තමන්ට රිසි පරිදි හිස පීරා, තමන් කැමති ඇඳුම් ඇඳ, තමන්ට අවශ්‍යය පරිදි සූදානම් වීමට ඉඩ ලබා දිය යුතු ය. මෙහි දී සැකකරු සමග පෙරට්ටුවට ඉදිරිපත් වන පුද්ගලයන් තෝරාගත යුත්තේ සැකකරුට සමාන දේහ ලක්ෂණ සහිත පුද්ගලයන් අතරිනි. සැකකරු සමග ඉදිරිපත් කරන සෙසු පුද්ගලයන් 6 දෙනා සැකකරුට සමාන දේහ ලක්ෂණයන්ගෙන් යුක්ත විය යුතු ය.

යම් හෙයකින් සැකකරුට විශේෂ ලක්ෂණ පවතී නම් සෙසු සයදෙනා තෝරාගැනීමේ දී එකී විශේෂ ලක්ෂණයන් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. එසේ කළ නොහැකි නම් සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුව ඉදිරිපත් කළ යුත්තේ එකී විශේෂ ශරීර ලක්ෂණයන් ආවරණය වන පරිදි ය. හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් වන සැකකරුට බාහිර පුද්ගලයන් හයදෙනා අතර තමන්ට කැමති ස්ථානයක සිට ගැනීමට ඉඩ ලබා දිය යුතු ය. මෙකී කාල වකවානුව තුළ සාක්ෂ්‍යකරුවන්ව අධිකරණයේ වෙනත් ස්ථානයක නිලධාරීන් භාරයේ රඳවා තැබිය යුතුව ඇත. සැකකරුව හඳුනාගැනීමට සාක්ෂ්‍යකරුවන්ට ඉඩ ලබා දීම සිදුකළ යුත්තේ සැකකරු තමන්ට රිසි ස්ථානයක් තෝරාගෙන සියලු සූදානම් වීම් අවසන් කළ පසුව ය.

සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුවට රැගෙන යාම (Lankatruth)

සූදානම් වීම් අවසන් වූ පසුව සාක්ෂ්‍යකරුවන්ව පෙරට්ටුව පවත්වන ස්ථානයට කැඳවා ඔවුන් කුමන කාරණයක් සඳහා පැමිණියේදැ යි විමසිය යුතු ය. හඳුනාගැනීමේ පෙරට්ටුව පවත්වන අවස්ථාවේ දී අධිකරණයට කළ හැක්කේ සාක්ෂ්‍යකරුවන්ට අදාළ සිදුවීම පිළිබඳ කරුණු මතක් කර දීම පමණක් වන අතර සැකකරුගේ බාහිර ශාරීරික ලක්ෂණ සිහිපත් වන පරිදි කිසිදු සිහිකැඳවීමක් සිදුකළ නොහැක. සාක්ෂ්‍යකරු යම් හෙයකින් සැකකරුව හඳුනාගතහොත්, සැකකරු අදාළ අපරාධය සිදුවන අවස්ථාවේ දී සිදුකරන ලද ක්‍රියාවන් පිළිබඳව විමසා සටහන් කරගත යුතු ය. හඳුනාගැනීමේ පෙරට්ටුව ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ඊට අදාළ අපරාධය සම්බන්ධව විමර්ශනය කරන පොලිස් නිලධාරීන් සහභාගි කරවා නොගත යුතු ය.

හඳුනාගැනීමේ පෙරට්ටුවක සාක්ෂ්‍ය අධිකරණයේ දී යොදාගැනීමට නම් ඊට සහභාගී වූ මහේස්ත්‍රාත්වරයා, අධිකරණයේ කාර්ය මණ්ඩලය, බන්ධනාගාර නිලධාරීන්, සහ ඇසින් දුටු සාක්ෂ්‍යකරුවන් අධිකරණයට කැඳවිය යුතු ය. මෙකී සාක්ෂ්‍ය වැදගත් වන්නේ විමර්ශන සාක්ෂ්‍ය වශයෙනි. යම් හෙයකින් චෝදක පක්ෂයේ නිතීඥවරයා සහ විත්ති පක්ෂයේ නීතීඥවරයා පෙරට්ටුවක සාක්ෂ්‍ය පිළිගැනීමට එකඟ වන්නේ නම් එහි දී පෙරට්ටුවට අදාළ සටහන් ලකුණු කොට පිළිගත හැකි අතර, පෙරට්ටුවට සහභාගි වූ තැනැත්තන් සාක්ෂ්‍යකරුවන් ලෙස කැඳවීම අවශ්‍යය නොවනමුත්, අවශ්‍යය නම් ඔවුන්ව සාක්ෂ්‍යකරුවන් ලෙස කැඳවීමටත් හරස් ප්‍රශ්නවලට භාජනය කිරීමටත් අපරාධ නඩු විධාන සංග්‍රහයෙහි ප්‍රතිපාදන මඟින් ඉඩ දී ඇත.

පෙරේරා එදිරිව රජය නඩු තීරණයෙහි දී බන්ධනාගාර නිලධාරීන් 11 දෙනෙකු පුද්ගල ඝාතනයකට සැකකරුවන් වූ අතර, හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී බන්ධනාගාර නිලධාරීන් 53ක් සහ සාමාන්‍ය පුද්ගලයන් 23ක් ඉදිරිපත් කරවාලන ලදී. අධිකරණය ප්‍රකාශ කරන ලද්දේ සැකකරුවන් සහ සෙසු තැනැත්තන් මෙපමණ ප්‍රමාණයක් එකවර යොදාගැනීම නුසුදුසු බැවින් පෙරට්ටුවක දී වෙනත් තැනැත්තන් සහ සැකකරුවන් අතර අනුපාතය 6:1ක් ලෙස පවත්වාගෙන යාම සුදුසු බව යි.

කවරයේ පින්තූරය (Aldrich Legal Group, PLLC)

Related Articles