Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

IELTS සහ විදෙස් ගත වන ඔබට ඉන් ලද හැකි වාසි

IELTS යනු කුමක්ද?

IELTS යනු ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා මට්ටම් පරීක්ෂණ පද්ධතියකි (britishcouncil.org)

IELTS යනු ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ පද්ධතිය (International English Language Testing System) යන්න කෙටි කොට දක්වන්නකි. ලොව පුරා ප්‍රචලිත මෙම ක්‍රමවේදය දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවන්නන්ගේ ප්‍රවීණතාව සඳහා සාක්ෂි සපයන ඇගයුම් පරීක්ෂණයක් ලෙස ක්‍රියා කරයි. 0 සිට 9 දක්වා වූ ලකුණු ප්‍රමාණයකින් ප්‍රවීණතා මට්ටම් දක්වනු ලබයි.

මෙය British Council, Cambridge English Language Assessment සහ IDP Education Australia යන ආයතන ත්‍රිත්වය ඒකාබද්ධව කළමනාකරණය කරයි. ඔබ එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හෝ කැනඩාව වැනි රටක විශ්වවිද්‍යාලයයකට හෝ වෙනත් අධ්‍යාපනික ආයතනයකට ඇතුළත් වීමට හෝ රැකියාවකට අයදුම් කිරීම සඳහා වීසා ලබා ගැනීමට අදහස් කරන්නේ නම්, IELTS පරීක්ෂණය මඟින් ඔබේ භාෂා ප්‍රවීණතා මට්ටම් පෙන්විය යුතු වේ.

IELTS ලකුණු මට්ටම්

ඇගයීම් ලකුණු සාමාන්‍යය අනුව ප්‍රවීණතා මට්ටම් (doc2uk.com)

සවන් දීම, කියවීම, ලිවීම සහ කථා කිරීම සඳහා වූ පරීක්ෂණවල ලකුණු IELTS අගය හෙවත් සාමාන්‍යය සැකසීම සඳහා පාදක වේ. ඒ අනුව IELTS මට්ටම් 0 සිට 9 දක්වා ලබා දීම ‍සිදුකෙරේ. එමඟින් කෙනෙකු දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව සඳහා දක්වන කුසලතාව මැනිය හැකිය.

  • 0 – පරීක්ෂණයට පෙනී නොසිටි බව
  • 1 – ඇතැම් වචන කිහිපයක් හැරෙන්නට භාෂාව භාවිතා කිරීමේ හැකියාවක් නැත.
  • 2 – කථන හා ලිඛිත ඉංග්‍රීසි තේරුම් ගැනීමට විශාල අපහසුතාවයක් ඇත.
  • 3 – හුරුපුරුදු අවස්ථාවන්හි සාමාන්‍ය අර්ථය පමණක් ගෙනහැර දැක්වීමට හැකියාව තිබේ. සන්නිවේදනයේදී නිරන්තර අපහසුතාවන් දක්වයි.
  • 4 – මූලික නිපුණතාවය හුරුපුරුදු අවස්ථාවන්ට සීමා වේ. අවබෝධය සහ ප්‍රකාශනය පිළිබඳ ගැටළු නිතර පෙන්වන අතර  භාෂාව සංකීර්ණව භාවිතා කළ නොහැක.
  • 5 – භාෂාව පිළිබඳ අර්ධ අවබෝධයක් තිබේ. බොහෝ වැරදි කිරීමට ඉඩ ඇතත්, බොහෝ අවස්ථාවන්හි සමස්ත අර්ථය සමඟ කටයුතු කරයි. කිසියම් ක්ෂේත්‍රයක මූලික සන්නිවේදනය හැසිරවීමට හැකියාව තිබේ.
  • 6 – වැරදි, නුසුදුසු භාවිතයන් සහ වරදවා වටහාගැනීම් හැරුණු කොට සාමාන්‍යයෙන් භාෂාව පිළිබඳ ඵලදායී හැකියාවක් ඇත. විශේෂයෙන් හුරුපුරුදු අවස්ථාවන්හිදී භාෂාව තරමක් සංකීර්ණව භාවිතා කිරීමට හා තේරුම් ගැනීමට හැකියාව දක්වයි.
  • 7 – ඇතැම් වැරදි, නුසුදුසු භාවිතයන් සහ වරදවා වටහාගැනීම් හැරුණු කොට භාෂාව මෙහෙයවීමේ හැකියාව දරයි. සාමාන්‍ය වශයෙන් භාෂාව සංකීර්ණව හසුරුවන අතර සවිස්තරාත්මක තර්කනය තේරුම් ගනී.
  • 8 – ඉඳහිට වැරදි සහ නුසුදුසු භාවිතයන් ඇතත්, භාෂාව පූර්ණ ක්‍රියාකාරීව හැසිරවීමට හැකියාව ඇත. නුහුරු අවස්ථාවන්හිදී ඇතැම් දෑ වරදවා වටහා ගත හැකිය. එනමුත් සංකීර්ණ, සවිස්තරාත්මක තර්ක හොඳින් හසුරුවයි.
  • 9 – භාෂාවේ පූර්ණව හැසිරවීමට හැකියාව ඇත. ඉංග්‍රීසි භාවිතය සුදුසු, නිවැරදි හා චතුර ලෙස සිදු කරන අතර සම්පූර්ණ අවබෝධයක් පෙන්වයි.

පරීක්ෂණ වලින් ලබාගන්නා ලකුණුවල සාමාන්‍යයෙහි 0.25ක අතිරික්තයක් ඇති අවස්ථාවන්හි දී එය 0.5ක් ලෙසත්, 0.75ක අතිරික්තයක් ඇති විට ඊළඟ මට්ටම ලෙසත් සැලකේ. (උදා: 5.75 යනු 6 ය.)

UK හි ඉගෙනුම ලබන සිසුන්ට වැඩිපුර වසර 2කට Visa ලද හැකියි

හිරු නොබසින අධිරාජ්‍යය (klook.com)

 

එක්සත් රාජධානිය සඳහා වීසා අයදුම් කිරීමේ දී ඉංග්‍රීසියෙන් කියවීම, ලිවීම, සවන්දීම සහ කථා කිරීම ඔබට හැකි බවට සනාථ කරන IELTS තහවුරු කිරීමක් (ලකුණු 4-7 අතර) අනිවාර්ය වන අතර වීසා නිලධාරියා විසින් කථන හැකියාවන් ද පරීක්ෂා කරනු ලබයි. මෙසේ පිවිසෙන අන්තර්ජාතික සිසුන්ට අධ්‍යාපනය අවසන් කොට තවත් වසර 2ක් එරට රැ‍ඳී සිටිමින් රැකියා සොයාගන්නට සහ නියුතු වීමට එරට රජය මෑතක දී අවස්ථාව ලබා දුනි.

දැනට, උපාධි හෝ ශාස්ත්‍රපති උපාධිලාභීන්ට රැකියාවක් සොයා ගැනීමට අවසර දී ඇත්තේ මාස හතරක් පමණි. එනමුත් ලබන වසරේ (2020) සිට සියලුම ජාත්‍යන්තර උපාධිධාරීන්ට වසර දෙකක කාලයක් එක්සත් රාජධානියේ සේවය කිරීම සඳහා සුදුසුකම් ලැබිය හැකි අතර, ඉන් අධ්‍යාපනයෙන් පසු දිගු කාලීන රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාව පුළුල් කරයි.

නව ප්‍රතිපත්තිය යටතේ, උපාධිධාරීන්ට ඔවුන්ගේ කුසලතා හෝ ඔවුන් හැදෑරූ විෂය නොසලකා රැකියා සඳහා ඉල්ලුම් කිරීමට ඉඩ ලබා දේ. ගණිතය, ඉංජිනේරු විද්‍යාව සහ තාක්‍ෂණය වැනි විවිධ අංශ සඳහා ‍ලොව දක්ෂ උපාධිධාරීන් බඳවා ගැනීම එරට රජයේ අපේක්ෂාව යි.

විදේශ අධ්‍යාපනය සඳහා IELTS කුසලතා

පාඨමාලාවන්ට සුදුසුකම් ලැබීමට IELTS අවශ්‍ය වේ (aicteapproved.wordpress.com)

ඔබ විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට කැමති නම්, ලොව පුරා බොහෝ විශ්ව විද්‍යාල සහ එක්සත් රාජධානියේ සියලුම විශ්ව විද්‍යාල සහ අධ්‍යාපනික ආයතන IELTS පරීක්ෂණ ප්‍රතිඵල පිළිගන්නා බැවින් එය සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ. ඔබට අධ්‍යාපනය ලැබීමට වඩාත් සුදුසු රටවල් සහ ඒවායේ IELTS විස්තර සඳහා ‘ඉගෙන ගන්න යන්න හොඳම රටවල් 5ක්’ ලිපිය බලන්න.

4 වැනි මට්ටමේ ශිෂ්‍ය වීසා බලපත්‍ර අයදුම්කරුවන්ට එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල වෙත IELTS සමඟ අයැදුම් කළ හැකිය. ඔබට සුදුසුකම් ඇති බවත්, ඉංග්‍රීසියෙන් උගන්වන උපාධි පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කළ හැකි බවත් පෙන්වීමට එහිදී අවශ්‍ය වනු ඇත. එබැවින් මාස්ටර්ස් හෝ PhD වැනි උසස් උපාධි පාඨමාලාවන් වෙත ඇතුළත් වීමට ඔබට ඉහළ IELTS ලකුණු මට්ටමක් අවශ්‍ය වේ.

උපාධි සහ පශ්චාත් උපාධි මට්ටමේ පාඨමාලාවන් සඳහා ඔබ සම්පූර්ණ කළ යුත්තේ IELTS Academic පරීක්ෂණය යි. ඊට අඩු මට්ටම් සඳහා IELTS සාමාන්‍ය පුහුණු (General Training) පරීක්ෂණය ප්‍රමාණවත් වේ.

විදේශ රැකියාවන් සඳහා IELTS අවශ්‍යතාව

IELTS සාමාන්‍ය පුහුණු පරීක්ෂණය සම්පූර්ණ කළ යුතු වේ (haynessmile.com)

වීසා ලබා ගැනීමේදී වැදගත් ම පියවරක් වන්නේ ඔබේ භාෂා ප්‍රවීණතාව පිළිබඳ සාක්ෂි සැපයීම යි. එවිට ඔබට විදේශයක සේවය කිරීමට සුදුසුකම් ලද හැකිය. ඉංග්‍රීසි භාෂා කුසලතාව වෘත්තීය සාර්ථකත්වයට වැදගත් වන අතර ඕනෑම රැකියාවක අනෙකුත් සියලුම අවශ්‍යතාවන්ට අමතරව එය ද වටිනා කුසලතාවක් ලෙස සැලකේ. මේ සඳහා ඔබ IELTS සාමාන්‍ය පුහුණු පරීක්ෂණය (General Training Test) සම්පූර්ණ කළ යුතු වේ.

එක්සත් රාජධානියේ රැකියා සඳහා ඉල්ලුම් කිරීමේදී කියවීම, කථා කිරීම, සවන්දීම සහ ලිවීම යන පරීක්ෂණ හතර සඳහා ම අවම වශයෙන් ලකුණු 6.5 බැගින් ලබා තිබිය යුතුවේ. ඕස්ට්‍රේලියාවේ IELTS 5 වන මට්ටම වෘත්තීය මට්ටම සඳහා සුදුසු ලෙස සලකනු ලබයි. රැකියාව සහ රැකියා ස්ථානයේ අවශ්‍යතාවන් අනුව මෙය වෙනස්විය හැකි අතර බොහෝ රටවල ගුරුවරුන් සඳහා IELTS අවම මට්ටම 7ක් වේ.

ඔබට වඩාත් ම ගැලපෙන IELTS පාඨමාලාව සහ ඔබේ අවශ්‍යතාවයට අනුව ඉහළ සුදුසුකම් ලබන්නට පහසුකම් සැලසීමට British Council වෙතින් අවස්ථාව සලසා දී තිබේ. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා https://www.britishcouncil.lk/exam/ielts වෙබ් පිටුවට පිවිසෙන්න.

කවරය: ytimg.com

මූලාශ්‍රයයන්:

  • gov.uk
  • ielts.org
  • takeielts.britishcouncil.org
  • theguardian.com
  • admissiontestportal.com

Related Articles