ස්නායු පද්ධතියට බලපෑම් කරන රෝග

මොළය හා සුසුම්නාව පමණක් නොව, යාන්ත්‍රික හා සංවේදී ස්නායු හා ස්වයංසාධක ස්නායු පද්ධතිය අඩංගු වන්නේ ද ස්නායු පද්ධතිය තුළමයි. මධ්‍ය ස්නායු පද්ධතිය මඟින් සිදු කෙරෙන්නේ ශරීරය පුරා ඇති සංවේදී ස්නායු මඟින් ලැබෙන සංඥා විශ්ලේෂණය කොට යාන්ත්‍රික ස්නායු මඟින් ශරීරයේ නියමිත කොටසට සංඥා නිකුත් කිරීමයි. පර්යන්ත ස්නායු පද්ධතිය සමාන්තර යුගල බැගින් සමන්විත වන අතර ස්නායු, මොළය, සුසුම්නාව තුළින් ශරීරය පුරා සම්බන්ධ කෙරේ. ස්වයංසාධක ස්නායු පද්ධතිය මඟින් ඉච්ඡානුගත (ඉබේ ක්‍රියා කරන) ශාරීරික ක්‍රියාවන් පාලනය කරනු ලබන අතර හෘදයේ වේගය පාලනය, හුස්ම ගැනීමේ ක්‍රියාවලිය, ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම ආදිය සිදු කරන්නේ ද මේ මඟිනි.

healthiculture.com

මෙවැනි කාර්යභාරයක් ඉටුකරන ස්නායු පද්ධතිය ආරක්ෂා කරගැනීම ඔබේ වගකීමයි. ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරමින් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය දුර්වල කිරීමට සමත් රෝග ද තිබේ. එවැනි රෝගකාරකයන්ට ලක් වූ විට ස්නායු පද්ධතිය දුර්වල වීම දක්වා උත්සන්න නොවීමට වග බලා ගත යුතුයි. උණ, වලිප්පුව, අපස්මාරය, හිසට වන හානි, විසංඥතාව, මායා රෝගය, දියවැඩියාව සහ රුධිර පීඩනය ස්නායු පද්ධතියට බලපෑම් කිරීමට සමත් එවැනි රෝග කාරකයන් අතර ප්‍රධාන වේ.

උණ

berkeleywellness.com

ශරීර උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීම උණ වශයෙනුයි අප හඳුනා ගන්නේ. එනම් ශරීරය නිපදවන උෂ්ණත්ව ප්‍රමාණය හා එයින් පිටවන උෂ්ණත්වයේ වෙනස වන ශරීරය තුළ පවත්නා උෂ්ණත්වය ඉහළ නැඟීමයි. නිරෝගී වැඩිහිටියෙකුගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.6 (986 F) ක් හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 37ක් (37 C) වන අතර එම උෂ්ණත්වය ඉහළ ගොස් ඇති විට එය උණ තත්ත්වයක් වශයෙන් හඳුනා ගනී.

සාමාන්‍යයෙන් මදුරුවන්, මීයන් වැනි සතුන් මඟින් ද, වෙනත් නොයෙකුත් ආකාර වලින් ද උණ ඇතිවිය හැකියි. පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි රෝග වැළඳුණු විට ‍දෙවියන්ගේ ලෙඩක් ලෙස සලකා ඇතැම් බෙහෙත් වර්ග, බලි තොවිල් ආදියට මුල් තැන දෙනු ලැබුවත් ඇත්තෙන්ම සැලකිලිමත් විය යුත්තේ මෙම වෛරසය පවතින සුළු කාලය තුළ ප්‍රවේශම් වීමටයි.

උණ තත්ත්වය උත්සන්න වූ විටෙක ස්නායු පද්ධතියට බලපෑම් ඇති වීමට ඉඩ ඇත. ඒ නිසා සාමාන්‍ය උණ තත්ත්වයක් ඇතිවී තිබුණත් ඉක්මනින් නිසි ප්‍රතිකාර කළ යුතු වේ.

සාමාන්‍ය උණ තත්ත්වයක් ඇති වී තිබෙන විටෙක රෝගියාව හොඳින් පොරවා දොර ජනෙල් වසා කිසිදු ආහාරයක් කෑමට නොදී සිටීම සමහරුන්ගේ සිරිතයි. නමුත් එය කළ යුත්තක් නොවේ. උණ රෝගියෙකු සිටින විටෙක දොර ජනෙල් විවර කර පිරිසිදු වාතාශ්‍රය ලැබෙන නිසල පරිසරයක තබා රෝගියාට විවේකය දිය යුතු වේ.

උණ අධික නම්,

 

  • සිසිල් ජලයෙන් බෙල්ලෙන් පහත ස්පොන්ජ් කිරීම
  • ඕඩිකොලොන් වැනි යමක් හිසේ ගැල්වීම
  • විජලනයට පත් වීමට ඉඩ ඇති බැවින් හැකිතාක් දියර ආහාර වර්ග දීම
  • වේදනා නාශකයන් මාත්‍රාව අනුව ලබා දීම
  • කොත්තමල්ලි වැනි පානයන් ලබා දීම
  • උණ අඩු නොවන්නේ නම් වෛද්‍යවරයෙකු හමු වීම සහ තමා රෝගියාට ලබා දුන් සියලු ඖෂධ සහ ආහාර පිළිබඳ වෛද්‍යවරයාට පැවසීම

 

කළ හැකි සාමාන්‍ය ප්‍රථමාධාර වේ.

ළදරු වලිප්පුව

onlinefirstaid.com

කුඩා ළමුන්ට ඇතිවන අපස්මාර වෙව්ලීම ළදරු වලිප්පුවයි. මේ හැර බෝ වන රෝගයක් නිසා හෝ උගුරේ, කනේ සහ නාසයේ ‍ආසාධනයක් නිසා හෝ අධික උණ නිසා ද වෙව්ලීම ඇතිවිය හැක. හදිසියේ ඇතිවන එවැනි වලිප්පුව පාලනය කළ හැකි නම් අන්තරාදායක තත්ත්වයක් ඇති නොවේ.

උණ, දහදිය දැමීම, රත් වූ හම, ‍ඇඟිලි තදකර ගැනීම, පේශීන් තද වීම, දරදඬු වීම, හුස්ම අල්ලාගෙන සිටීම, ඇස් උඩ යාම හා වපර වීම, සිහිසුන් වීම ආදිය ළදරු වලිප්පුවේ රෝග ලක්ෂණයන් වේ.

ළදරු වලිප්පුව ඇති වුණු විගස ළදරුවා වතුර භාජනයකට බැස්සවීම, තෙල් වැනි දෑ දරුවාගේ නාසයට දැමීම, දත් පූට්ටු වීම වැළැක්වීමට හැඳි වැනි දෑ දරුවාගේ කටට දැමීම ආදිය කිරීම අනතුරුදායක ය.

ඒ වෙනුවට ඉහත රෝග ලක්ෂණයන් පෙන්වන විටෙක වහාම දරුවාව රෝහලකට ගෙන යාමට කටයුතු කළ යුතුයි. එහිදී,

 

  • ළදරුවාගේ ඇඳුම්/ අමතර ඇඳුම් ඉවත් කිරීම
  • සිසිල් වාතය ලැබීමට ඉඩ සැලැස්වීම
  • දරුවා දෙපැත්තෙන් කොට්ට වැනි මෘදු ආධාරක තැබීම
  • හිසේ සිට දෙපතුල දක්වා ඇල් මැරුණු ජලයෙන් ස්පොන්ජ් කිරීම
  • ශ්වසන මාර්ගය විවෘතව තැබීම
  • ඕඩිකොලොන් වැනි දෙයක් හිසේ ගැල්වීම
  • තොල්/ දිව සැපීම වැනි අනතුරු පිළිබඳ සැලකිලිමත් වීම
  • දරුවා ප්‍රකෘති තත්ත්වයට පත් වූ විටෙක වෛද්‍යවරයෙකු කරා ගෙන යාම

 

කිරීමෙන් දරුවාගේ ළදරු අපස්මාර තත්ත්වය අවම කරගෙන ස්නායු පද්ධතියට සිදු විය හැකි බරපතල හානියෙන් දරුවා බේරාගත හැකි වේ.

හිසට වන හානි

express.co.uk

හිසේ තුවාල නිසා විසංඥතාවට පත් වී ඇති විටෙක ප්‍රධාන වශයෙන් ‍රෝගී තත්ත්වයන් තුනක් පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. එනම්,

 

  • මොළය සෙලවීම
  • මොළය තෙරපීම
  • හිස්කබලේ භග්න

 

මේ සියලුම අවස්ථා වලදී ම, ස්නායු පද්ධතියට බලපෑම් ඇති වීමේ හැකියාවක් පවතී.

මොළය සෙලවීම

හිස් කබල තුළ ස්වල්ප වශයෙන් මොළය සෙලවීමට ඉඩකඩ ඇති අතර තද පහරක් වැදුණු විටෙක මොළය අධික ලෙස සෙලවීමට භාජනය විය හැක. මෙවැනි විටෙක අමතක වීම, කරකැවිල්ල, ඔක්කාරය, සුළු හිසේ කැක්කුම් ඇතිවිය හැකි වේ.

මොළයේ සෙලවීමක් ඇති වී ඇතැයි සැක කරන විටෙක රෝගියාගේ හුස්ම, නාඩි, ප්‍රතිචාර මට්ටම පරීක්ෂා කිරීම, මිනිත්තු 3කට වඩා වැඩි කාලයක් විසංඥ වී සිටි නම් වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම, වෛද්‍ය උපදෙස් නොමැතිව ක්‍රීඩා කිරීම සඳහා යොමු නොකිරීම සඳහා වගබලා ගත යුතුයි.

මොළය තෙරපීම

මෙය අසාධ්‍ය තත්ත්වයකි. මෙවැනි අවස්ථාවකදී ශල්‍යාධාර ලබා දිය යුතුය. සිහියේ මට්ටම ක්‍රමයෙන් අඩු වීම, අන්දමන්ද ස්වභාවය, ක්ෂණිකව ඇතිවන හිසේ කැක්කුම, ශබ්ද සහිතව හා සෙමෙන් හුස්ම ගැනීම, මුහුණේ සහ ශරීරයේ පැත්තක් අඩපණ වීම, ශරීර උෂ්ණත්වය වැඩි වීම, මුහුණ රත් පැහැ වීම වැනි රෝග ලක්ෂණයන් පෙන්නුම් කරන්නේ නම් එය මොළයේ තෙරපීමක් බව හඳුනාගෙන වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වේ.

කවරයේ කතාව- painreliefexperts.com 1

මූලාශ්‍ර

http://www.aboutkidshealth.ca

https://www.emedicinehealth.com

https://www.healthline.com

https://www.livescience.com

https://www.news-medical.net

http://www.sja.org.uk

Related Articles