Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොසාඩ් සහ CIA එක්ව හිස්බුල්ලා නායකයෙකු වූ ඉමාද් මග්නියා ලුහුබැඳ යාම

2008 වසරේ පෙබරවාරි 12 දින අලුයම පටන් සිරියාවේ ඩමස්ක්ස් නුවර පිහිටි එක්තරා සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් අවට රැඳෙමින් නැනෝ තත්පරයකටවත් ඒ වෙතින් නෙත් ඉවතට නොගත් පුද්ගලයක් කිහිප දෙනෙකි. රාත්‍රිය උදා වීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී රිදී පැහැ ගත් මිට්සුබිෂි පැජරෝ SUV වර්ගයේ රථයක් එම ගොඩනැගිලි වාහන නැවතුමේ නතර කළ අතර ඒ තුලින් පිටතට බැස්සේ මනාව කොට කරන ලද රැවුලකින් යුතු,  කළු පැහැති ඇඳුමින් සැරසුණ පුද්ගලයෙකි.  ඔහු පැමිණ සිටියේ තනිවම බව පෙනුන අතර ඔහුගේ ආරක්ෂකයන් කිසිවෙකුත් අවට නොසිටි බව ගොඩනැගිල්ල දෙස විපරමෙන් බලාසිටි පුද්ගලයන් පිරිස දුටුවෝය.

‘මිනිහා’ අදාළ ස්ථානයට පැමිණි බව නවීන ට්‍රාන්ස්මිටර හරහා ගොඩනැගිල්ල අවට නොසිටි, එහෙත් ආරම්භයේ සිටම ඒ පිලිබඳ සියලු තතු දන්නා අයට සම්ප්‍රේෂණය කෙරිණි. කළු පැහැති ඇඳුමින් සැරසුණ මේ ‘මිනිහා’ පැමිණ සිටියේ තමන්ගේ අනියම් පෙම්වතිය වූ සිරියානු ජාතික කාන්තාව මුණගැසීමට බවත් ඇය එම සතියේ සිය 30වන උපන්දිනය සැමරූ බවත් ඔවුහු දැන සිටියෝ ය.

ආදරවන්තයෝ නිවාසය (apartment) තුල පැය කිහිපයක් ගත කළ අතර රාත්‍රී 10 උදා වීමට ස්වල්ප මොහොතකට පෙර පිටතට ආ කළු හැඳි මිනිසා රිදී පැහැ පැජරෝවට නැග නික්ම ගියේ ය. මේ නිවාසය සිරියානු අගමැති බෂාර් අල් අසාද් ගේ ඥාතියෙකු වූත් සාර්ථක ව්‍යාපාරිකයෙකු වූත් රාමි මක්ලුෆ් විසින් මෙම යුවළගේ පරිහරණයට ලබා දුන්නකි.

රිදී පැහැ පැජරෝව ගමන් කරමින් සිටියේ කෙෆා සූසා (Kafr Sousa) ප්‍රදේශයේ පිහිටා තිබූ මනාව සඟවන ලද ආරක්ෂක ගෘහයක් (safe house) දෙසට ය. එහිදී සිරියානු, ඉරානියානු සහ පලස්තීනු නියෝජිතයන් පිරිසක් හමුවීමට ඔහු සූදානමින් සිටියේ ය.

මහල් නිවාස සංකීර්ණය අසල රැඳී සිටි පිරිසේ සෑම අයෙකු අතම ජංගම දුරකතනයක් තිබූ අතර තමන් ලුහුබැඳ යන මිනිසාගේ රුව ඇතුලත් සමීප ඡායාරූපයක් ඒවාගේ තිර මත තිබුණි.  ඔහු ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙන මොහොතේ දුරකථන තිර මත තිබුණ රූපය සහ ඔවුගේ සත්‍ය රුව සැසඳීමට මහඟු විනාඩි කිහිපයක් එම පිරිසට ලැබුණි. ඒ අයුරින් කළු හැඳි මිනිසාගේ අනන්‍යතාව තහවුරු කරගත් ඔවුහු එසැණින් ඇමතුමක් ලබා දුන්නේ මොසාඩ් ප්‍රධාන කාර්යාලයට ය. ඊශ්‍රායලයේ සිට මේ මෙහෙයුමේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටි එවකට මොසාඩ් ප්‍රධානී මියර් ඩගාන් ප්‍රමුඛ මොසාඩ් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මෙම පුවත ගෙන ආවේ චකිතය සහ විශ්මය මුසු සතුටකි.

රිදී පැජරෝවේ ගමන් ගත් කළු හැඳි මිනිසා ඉමාද් මග්නියා නම් විය. මග්නියා ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලෝකයේ රහස් ඔත්තු සංවිධාන බොහොමයකට විශේෂයෙන්ම මොසාඩ් සංවිධානයට සහ ඇමරිකාවේ CIA සංවිධානයට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස ලැයිස්තු ගත වී තිබුණි.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු

ආයතනය විසින් මග්නියා පිලිබඳ සඳහන් කරමින් නිකුත් කළ පෝස්ටරය/Getty Images

නිවුල් කුළුණු දෙකට එල්ල වූ අති බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඇමරිකාවේ FBI ආයතනය ඔවුන්ට අවශ්‍යම වී සිටින ත්‍රස්තවාදින්නේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කළේ ය. එම ලැයිස්තුවට පුද්ගලයන් 22 කගේ නම් ඇතුලත් වූ අතර එහි ඉහලින්ම සිටි පුද්ගලයා පිලිබඳ නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 5ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව FBI ආයතනය පවසා සිටියේ ය. ඒ පුද්ගලයා ඉමාද් මග්නියා නම් විය.

  • 1983 අප්‍රේල් 18 – ලෙබනනයේ බීරුට් නුවර පිහිටා තිබූ ඇමරිකානු තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මියගිය සංඛ්‍යාව 63.
  • 1983 ඔක්තෝබර් 23 – ලෙබනන් සිවිල් යුධ සමයේ බිරුට් නුවර පිහිටා තිබූ ඇමරිකානු නාවික හමුදා මධ්‍යස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මියගිය ගණන 241.

එදිනම – බිරුට් නුවර පිහිටා තිබූ ප්‍රංශ පැරෂුට් භටයන්ගේ මධ්‍යස්ථානය වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව 58.

1983 බීරුට් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් පසු/AP

මේ සිද්ධීන්ට අමතරව විලියම් බක්ලි නම් CIA නියෝජිතයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම,  කුවේට් හි ඇමරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කරමින් කිහිප වතාවක්ම ප්‍රහාර එල්ල කිරීම, TWA ගුවන් යානයක් සහ කුවේට් ගුවන් සේවයට අයත් වූ තවත් ගුවන් යානා දෙකක් පැහැර ගැනීම, ඇමරිකානු හමුදා නිලධාරියෙකු වූ කර්නල් W.R විගින්ස් මරා දැමීම, සෞදි අරාබියේදී ඇමරිකානු සොල්දාදුවන් 20ක් මරා දැමීම ආදී ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සෘජුව වගකිව යුතු පුද්ගලයා ඉමාද් මග්නියා බව FBI ආයතනය පවසා සිටියේ ය.

මේ ලැයිස්තුව ඊශ්‍රායලයට යැවුණු පසු මොසාඩ් සංවිධානය එයට තවත් දත්ත කිහිපයක් එකතු කළේ ය.

TWA ගුවන්යානය පැහැරගැනීමෙන් පසුව ප්‍රාණ ඇපකරුවෙකු හා සිටින මග්නියා /AP

  • 1983 නොවැම්බර් 04 – සිවිල් යුධ සමයේ ලෙබනනයේ ටයර් හි පිහිටා තිබූ ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF – Israeli Defense Force) මුලස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 60.
  • 1985 මාර්තු 10 – ලෙබනන ඊශ්‍රායල දේශ සිමාවේ රැඳී සිටි හමුදා ඛණ්ඩයකට එල්ල වූ ප්‍රහාරයකින් මිය ගිය ගණන 08.
  • 1992 මාර්තු 17 – ආර්ජන්ටිනාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 29.
  • 1994 ජුලි 18 – ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් හි පිහිටා තිබූ යුදෙව් සමාජ මධ්‍යස්තානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 86.

එමෙන්ම ඊශ්‍රායලයේ හර්ඩොව් සීමාවේදී සොල්දාදුවන් තිදෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීම, ඊශ්‍රායල ව්‍යාපාරිකයෙකු වූ එල්හනන් ටැනෙන්බවුම් පැහැර ගැනීම, මත්සුබා ගොවිපල අසල බෝම්බයක් පුපුරවා හැරීම ඒ ලැයිස්තුවට එකතු කරන ලදී. ඒ සියල්ලටම වඩා විනාශකාරී සිද්ධිය වූවේ දෙවන ලෙබනන් යුද්ධය ආරම්භ වීමට ආසන්නතම හේතුව වූ ඊශ්‍රායල ලෙබනන දේශ සිමාවේදී සොල්දාදුවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමයි.

ඉමාද් මග්නියා

ඉහත කි සියළුම සිද්ධීන් පිටුපස සිටි මහ මොළකරුවා වූවේ ඉමාද් මග්නියා ය. අල්ලා ගැනීමට අපහසු සෙවණැල්ලක් බඳු වූ මේ මිනිසා නිතර නිතර මැද පෙරදිග රටවල අග නුවරවල් අතර සැරිසැරීය. ඡායාරූපවලට පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ ඔහු කිසිවෙකුටත් සාකච්ඡා ලබා දීමෙන් ද වැලකී සිටියේ ය.  බටහිර බුද්ධි අංශ ඔහු පිලිබඳ  ඇතැම් තොරතුරු දැන සිටිය ද පෙර කී හේතුව නිසා මග්නියා ගේ හැඩරුව,ඔහුගේ ගති සිරිත් පිලිබඳ කිසිදු විශ්වාසනීය තොරතුරක් ඔවුන් සතු නොවිය.

බුද්ධි අංශ සතුව තිබූ තොරතුරුවලට අනුව ඉමාද් මග්නියා උපත ලැබුවේ 1962 වසරේ දකුණු ලෙබනනයේ කුඩා ගමක වන අතර ඔහුගේ දෙමව්පියන් භක්තිවන්ත ෂියා මුස්ලිම්වරුන් වූහ. තරුණ විය එළබෙත්ම බීරුට් නුවරට සංක්‍රමණය වන මග්නියා පලස්තීන විමුක්ති සංවිධානයට (Palestinian Liberation Organization – PLO) සහය දැක්වූ පලස්තීන වැසියන් බහුතරයක් විසූ පෙදෙසක හැදී වැඩුණි. පාසල් අධ්‍යාපනය අතරමග නවතා දැමූ මග්නියා අනතුරුව PLO සංවිධානයේ ත්‍රස්තවාදී ශාඛාව වූ ‘ෆාටා’ වෙත බැඳුණි.

මග්නියා සිය මව සමඟ/ Al akhbar

පසුව යසර් අර්ෆත් ගෙ දෙවෙනියා ලෙස කටයුතු කළ අබු අයාද්ගේ ශරිරාක්ෂකයෙකු (bodyguard) බවට පත්වී ෆාටා හි විශේෂ ආරක්ෂක අංශය වූ Force 17 හි සාමාජිකයෙකු විය.70 දශකයේ මැද ආරම්භ කෙරුණු එම ඒකකය මෙහෙයවූවේ අලි හසන් සලමේ ය. Red Prince යන සංකේත නාමයෙන් හැඳින්වූ සලමේ 1972 මියුනික් ඔලිම්පික් උළෙලට සහභාගී වූ ඊශ්‍රායල ක්‍රීඩකයන් මරා දැමීමේ සැලසුම පිටුපස සිටි පුද්ගලයා විය.

1982 ලෙබනනය ආක්‍රමණය කළ ඊශ්‍රායල හමුදාවෝ (මෙය ගලීලයට සාමය උදාකර දීමේ මෙහෙයුම ලෙස හැඳින්විය – Operation Peace for Galilee) PLO සංවිධානය සමතලා කර දැමීමට සමත් වූවෝ ය. යසර් අර්ෆත් ඇතුළු දිවි ගලවා ගැනීමට සමත් වූ PLO සාමාජිකයෝ ටියුනීසියාව කරා පලා ගියත් ලෙබනනයේ නැවතී සිටීමට තීරණය කළ මග්නියා හිස්බුල්ලා සංවිධානය ආරම්භ කිරීමත් සමඟ එහි පළමු කණ්ඩායමේ සාමාජිකයෙකු බවට පත් විය.

අල්ලා දෙවියන්ගේ සමූහය (Party of Allah) යන තේරුම රැගත් හිස්බුල්ලා සංවිධානය බිහි වූවේ ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව පළිගැනීමේ අරමුණෙනි. ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනිගෙ ආශීර්වාදය නොඅඩුව ලැබුණ මේ සංවිධානයට ආයුධ සහ යුධ පුහුණුව සපයනු ලැබුවේ ද ඉරානයේ විප්ලවීය ආරක්ෂකයන් (Iran Revolutionary Guards) විසිනි. ඊශ්‍රායලයෙන් පළිගන්නා බවට දිවුරා පොරොන්දු වුණ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහි ත්‍රස්ත ක්‍රියාවන් ගණනාවක්ම ක්‍රියාත්මක කළේ ය. මේ සියල්ල සඳහා තියුණු බුද්ධියකින් යුතු වූ මග්නියා නොමසුරුව සිය දායකත්වය ලබා දුනි.

ඉමාද් මග්නියාගේ පුත්‍රයා – පසුකාලීනව මොහුද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මරණයට පත්වූ බව වාර්තා විය/ Press TV

පෙර කීවාක් මෙන් ඇතිවී නැති වී යන සෙවණැල්ලක් බඳු වූ මේ මිනිසා ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැලකි සිටියේ ය. ඒ නිසාම ඔහු පිලිබඳ බුද්ධි අංශවලට ලැබුණු බොහෝ වාර්තා දෝෂ සහිත විය. වත්මන් හිස්බුල්ලා නායක ෂෙයික් නසරල්ලා මෙන් රූපවාහිනියේ පෙනී නොසිටි මග්නියා ප්‍රසිද්ධියේ වෛරී සහගත ප්‍රකාශයක් කිසි විටෙක නිකුත් කළේ නැත. නමුත් ඔහු විසින් සඟවා සිට ක්‍රියාත්මක කළ මෙහෙයුම් ගෙන ආවේ ලේ වැගුරුම් සහ විනාශයන් පමණි.

තමන් පිලිබඳ කිසිදු හෝඩුවාවක් ඉතිරි නොවන සේ ත්‍රස්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සමත්වූ මග්නියා එක් අවස්ථාවක වරදක් සිදු කළේ ය. ඒ ඔහු ඇතුළු පිරිස විසින් පැහැරගත් කුවේට් ගුවන් සමාගමේ TWA ගුවන් යානයේ විවේක කාමරය තුල සිය ඇඟිලි සලකුණු ඉතිරි කර යාමෙනි.

සිය ඥාති සොයුරියක හා විවාහ වී පුතෙක් සහ දුවණියක් ලබා සිටියා හැරෙන්නට මග්නියාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ලැබුණ වාර්තා ද විශ්වාසදායක මට්ටමක නොතිබුණි. විටින් විට ප්ලාස්ටික් සැත්කම් කිරීම නිසා ඔහුගේ යැයි සැලකෙන ඡායාරූප පවා පිළිගැනීමට නොහැකි විය. කාලය ගතවත්ම ඔහු විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද දරුණු ගණයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් නිසා බටහිර ඔත්තු සේවාවල ප්‍රධාන ඉලක්කය බවට පත්ව සිටි මග්නියා ඊශ්‍රායල සහ බටහිර රටවල් මගින් සිදු කරන ලද ඝාතන ප්‍රයත්න ගණනාවකින්ම දිවි ගලවා ගැනීමට සමත් විය.

මේ ඝාතන ප්‍රයත්න නිසාම වඩාත් සුපරික්ෂාකාරී වූ ඔහු සියලු දෙනාම සැක කළ අතර නිතර නිතර තම ශරිරාරක්ෂකයන් මාරු කිරීම‍ට කටයුතු කළේ ය. දින දෙකක් එකම ස්ථානයේ ගත නොකිරීමට වගබලාගත් ඔහු නිතර නිතර බීරුට්, ඩමස්කස් සහ ටෙහෙරාන් නුවර වෙත සංක්‍රමණය වූවේ රහසිගත සහ ඉතා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ය.

මග්නියා සතුව තිබූ ඝාතන ප්‍රයත්නවලින් ගැලවීමට  සහ ප්ලාස්ටික් සැත්කම් මගින් වෙස් මාරු කර ගැනීමට තිබූ විශ්මයජනක හැකියාව නිසා ඊශ්‍රායල රහස් ඔත්තුකරුවෝ ඔහුව ‘ජිවිත නවයක් සහිත ත්‍රස්තවාදියා’ (the terrorist with nine lives) යනුවෙන් හැඳින්වූවෝ ය.

අමාන් (ඊශ්‍රායල හමුදා බුද්ධි අංශය) නිලධාරියෙකු වූ ඩේවිඩ් බර්කායි (මොහු මග්නියාගේ තොරතුරු ඇතුලත් ලිපි ගොනුව සැකසීම භාරව සිටි බුද්ධි අංශ ඒකකයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කළේ ය.) බ්‍රිතාන්‍යයේ Sunday Times පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසා සිටියේ ය.

“80 දශකයේ අග භාගයේ දී අපි ඔහුව මරා දැමීමට නොයෙකුත් උත්සාහයන් ගත්තා. ඉලක්කය වෙත කොතරම් ලං වීමට උත්සාහ කළත් ඔහු පිලිබඳ තොරතුරු ලැබුණේ ඉතාම අඩුවෙන්. ඔහුගේ කිසිදු දුර්වලතාවක් සොයා ගැනීමට අපි අසමත් වුණා. ගැහැණු, මුදල්, මත්ද්‍රව්‍ය මේ කිසිම ආකාරයක දුර්වලතා ඔහුට තිබුණේ නැහැ..”

දෙවන කොටස ළඟදීම

(Michael Bar-Zohar and Nissim Mishal විසින් රචිත Mossad – The Great Operations of Israel’s Secret Service කෘතිය ඇසුරෙන් මෙම ලිපිය සකස් කරන ලදී)

Related Articles