අතීත ග්‍රීසියෙන් ලෝකයට ලැබුණ දායාද​

ලෝකයට ඔලිම්පික් ක්‍රීඩා උළෙල හඳුන්වා දුන් ග්‍රීසිය පිළිබඳව අද අපි ඔබට තොරතුරු කිහිපයක් බෙදා දෙන්න කල්පනා කළා. ග්‍රීසිය ලොවට බොහොමයක් දේ දායාද කරනු ලැබූ රටක්. ලෝකයට බොහොමයක් වටිනා කලා නිර්මාණ ග්‍රීක ශිෂ්ටාචාරයෙන් ලැබී තිබෙනවා. ඒ වගේම පැරණි ලෝකයේ උගතුන් විශාල ප්‍රමාණයක් ග්‍රීකයන්. ඔවුන් ජීවත් වූයේ අද අප දන්නා ග්‍රීසියේ හෝ ග්‍රීකයින් වෙනස් ප්‍රදේශවල ගොඩ නැගූ ජනාවාසවලයි.

මූලික කරුණු

ගිණිකොනදිග යුරෝපයේ පිහිටලා තියෙන ග්‍රීසිය සැලකෙන්නේ ලොව විශාලත්වයෙන් 97 වන තැන ගන්නා රට ලෙසයි. වර්ග කිලෝමීටර් 131,957 වපසරියක් පුරා පැතිර තිබෙන ග්‍රීසියේ භූමියට වර්ග කිලෝමීටර 130,647ක් අඩංගු වී තිබෙන අතර ඉතිරිය ජලයෙන් පිරි පවතිනවා. ග්‍රීසිය රටවල් හතරකට මායිම්ව පිහිටා තිබෙනවා. එනම් ඇල්බේනියාව, බල්ගේරියාව, තුර්කිය හා මැසඩෝනියා සමුහාණ්ඩුව යි. එමෙන්ම බටහිරෙන් අයෝනියන් මුහුදට හා දකුණෙන් මධ්‍යධරණී මුහුදට එය මායිම් වෙනවා. ග්‍රීසිය තමන්ගේ සමුද්‍රීය සීමා ලෙස, කලින් සඳහන් කළ ඇතැම් රටවලට අමතරව​ සයිප්‍රසය, ඉතාලිය, ඊජිප්තුව හා ලිබියාවට සීමා වෙනවා.

ග්‍රීසියේ ජිවත් වන පුද්ගලයන් ග්‍රීකයන් ලෙස හැඳින්වෙනවා. 2018 වසරේ 11,142,161 ජනගහනයක් එරටින් වාර්තා වූ අතර වර්ග කිලෝමීටරයට ජන ඝනත්වය පුද්ගලයන් 86ක් වෙනවා. යූරෝ මුදල් ඒකකය වන ග්‍රීසියේ අන්තර්ජාතික ඇමතුම් කේත අංකය +30 වෙනවා. එමෙන්ම එහි අන්තර්ජාල domain එක .gr වෙනවා. එහි නිල භාෂාව නූතන ග්‍රීක භාෂාව වන අතර අගනුවර ලෝ ප්‍රසිද්ධ ඇතැන්ස් නුවරයි.එමෙන්ම ග්‍රීසිය සැලකෙන්නේ දූපත් 1000කට අධික ප්‍රාමාණයකට උරුමකම් කියන රටක් ලෙසයි. එයින් විශාලතම දුපත ක්‍රීට් දූපතයි. ග්‍රීසියේ පිහිටා ඇති උසම කන්ද ඔලිම්පස් කන්ද වන අතර එහි උස මීටර 2,918ක්.

nationsonline.org

ග්‍රීසිය ලෝකෙට ඔච්චර දුන්න දේවල් මොනවා ද ?

ග්‍රීසිය සැලකෙන්නේ ලෝකයට විශාල නිර්මාණ ප්‍රමාණයක් දායාද කරන ලද රටක් ලෙසයි. ඉතාමත් දිගු ඉතිහාසයකට ග්‍රීසය උරුමකම් කියනවා. රෝම අධිරාජ්‍ය කෙරෙහිද බලගතු බලපෑමක් කල ග්‍රීසිය නූතන බටහිර සංස්කෘතියට මුල් සැපයූ අතීතයක් තිබෙනවා. එමෙන්ම ග්‍රීසිය ලෝකයට මුලින්ම democracy හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය ද හඳුන්වා දුන්නා.

අතීත ග්‍රීසියේ ජනගහනයෙන් 40%-80% ත් අතර ප්‍රමාණයක් දාසයන් හෙවත් වහලුන් ලෙස සේවය කර තිබෙනවා. ආර්ථික වශයෙන් ගැටළු රාශියකට පසුගිය සමයේ ග්‍රීසිය මුහුණ දුන්නා ඔබට අමතක ඇති. නමුත් ක්‍රි.පූ. 5-4 අතර කාලයේ ලෝකයේ උසස්ම ආර්ථිකයකට හිමිකම් කියනු ලැබුවේ ග්‍රීසියයි. ග්‍රීකයින් විසින් අද ද අපට අසන්නට ලැබෙන​ බොහෝ වචන හඳුන්වා දී තිබෙනවා. ලෝකයට පාසල් හෙවත් School යන වචනයද හඳුන්වා දී තිබෙන්නේ ඔවුනුයි. එමෙන්ම music හෙවත් සංගීතය යන වචනය Muses නම් කලාවට අධිපති දේවතාව හැඳින්වීමට ග්‍රීක පුරාණ ප්‍රවාදය වල හැඳින්වූ නමින් පැමිණ තිබෙනවා. ලොව පළමු අක්ෂර මාලාවද ඔවුන්ට හිමියි.

Muses නම් කලාවට අධිපති අධිපති බව සැලකෙන දේවතාව – (Wikimedia Commons)

අතීත ග්‍රීසියේ “idiot” (මෝඩයා) යන වචනය යොදාගෙන තිබෙන්නේ දේශපාලනයට සම්බන්ධ නොවන පුද්ගලයන් හැඳින්වීම වෙනුවෙනුයි.

එමෙන්ම ඔවුන් සතුව ඉතාමත් විශිෂ්ඨ ජනාවාස ක්‍රමයක්ද තිබී තිබෙනවා.

ගණිතය සඳහා ග්‍රීසියේ දායකත්වය

ගණිතය ප්‍රචලිත වීමට ග්‍රීසියෙන් විශාල අනුබලයක් ලැබුණා. ලෝකය අද පවා කතා කරන බොහෝමයක් ගණිතඥයන් බිහි වී තිබෙන්නේ ග්‍රීසියෙනුයි. අතීත ග්‍රීක්වරුන් විසින් ජ්‍යාමිතික මූලධර්මවල සිට විධිමත් සාධනය දක්වා වූ විවිධ අංශවලින් ගණිත ක්ෂේත්‍රය වෙත සැළකිය යුතු දායකත්වයක් දක්වා තිබෙනවා. එමෙන්ම අංක ගණිතය, ගණිතමය විග්‍රහයන්,ව්‍යවහාරික ගණිතය ආදී බොහෝ දේ ඔවුන් ලෝකයට දායාද කරනු ලැබුවා. π (/paɪ/) නම් නියතයට නිවැරිදීම ආසන්න කිරීම ලබා දුන් ආකිමිඩීස් , අරිත්මෙටිකා (Arithmetica) නම් අතීත ගණිතය පිළිබඳව ඇති කෘතිය රචනා කල ඩයෝෆැන්ටස් යන ගණිතඥයන් ඉන් ප්‍රධානයි. ලොවට අක්ෂාංශ හා දේශාංශ හඳුන්වා දුන් හා ලොව මුලින්ම භූගෝලය භාවිතා කල එරාටොස්ටනීස් ද ග්‍රීකයෙක්.

එමෙන්ම ජ්‍යාමිතිය හෙවත් රේඛා ගණිතයේ පියා ලෙස සැලකෙන යුක්ලීඩ් ද ග්‍රීකයෙක් වෙනවා. ඔහුගේ මූලධර්මය ගණිතයේ ඉතිහාසය ඉගැන්වීම හා සම්බන්ධව මෑතක් වෙන තුරුම භාවිතා කෙරුනා. හිපාකස් යන නමත් ඔබට බොහෝම හුරු පුරුදු ඇති. හිපාකස් ව සැලකෙන්නේ අතීත ග්‍රීසියේ තාරකා විද්‍යාඥයකු, භූගෝල විද්‍යාඥයකු හා ගණිතඥයකු ලෙසයි. ත්‍රිකෝණමිතිය මොහුගේ සොයා ගැනීමක්. එමෙන්ම ලෝකයම භාවිතා කරනු ලබන පයිතගරස් ප්‍රමේය සොයා ගන්නා ලද පයිතගරස් ද ග්‍රීකයෙක්.

පයිතගරස් – (fixquotes.com)

කලාව හා ග්‍රීසිය

මෙතෙක් ලිපිය කියවූ ඔබට ග්‍රීසියේ ඉතිහාසයේ තිබෙන ප්‍රෞඩත්වය පිළිබඳව මනා වැටහීමක් ලැබෙන්නට ඇති. ගණිතයෙන් පමණක් ම නොව කලාව අතින්ද ලොවට විශාල සේවයක් ග්‍රීසිය විසින් කර තිබෙනවා.

ගෘහ නිර්මාණය

ක්‍රි.පූ. 450 පමණ කාලයේ ඇතැන්ස් හි ජෙනරාල්වරයෙකු ව සිටි පේරික්ලීස් (Pericles) ව සැලකෙන්නේ මහජනතාවගේ මුදලින් තමන්ගේ බලය තර කර ගැනීම වෙනුවෙන් වෙහෙසුණු පාලකයෙක් ලෙසයි. එමෙන්ම ඒ ලබා ගත් මුදල් වලින් ඔහු නගරයේ සිටි කලාකරුවන්ට වියදම් කල බවද වාර්තා වෙනවා. එයින් බොහොමයක් ඔහු විසින් ඇතැන්ස් නගරයේ ගොඩනැගිලි හා දේවාල නිර්මාණය වෙනුවෙන් ලබා දුන්නා. එමෙන්ම ඔහු මෙම නිර්මාණවලට ඇතැන්ස් හි පදිංචිකරුවන් සේවකයන් ලෙස යොදා ගත්තා. තවද එකල ඉතා උසස් පොදු ස්මාරක ද ඔහු විසින් නිර්මාණ කරනු ලැබුවා. ඒවා නැරඹීම වෙනුවෙන් දුර පෙදෙස් වල සිට ජනතාව ද පැමිණ තිබුණා. මේ හරහා ඔහු ඇතැන්ස් නුවර මෙන්ම තමන්ගේ ද කීර්තිය ඉහළ නංවා ගෙන තිබුණා.

“පර්තනොන්” සැලකෙන්නේ එම ව්‍යාපෘතියේ ප්‍රථිපලයක් ලෙස නිර්මාණය වූ සුවිශේෂී දේවාලයක් ලෙසයි. ක්‍රි.පූ. 5 වන සියවසේ පමණ නිර්මාණය වුන මෙය වසර 2500 ට අධික කාලකයට පසුවත් ලොව වැඩිම දෙනෙක් නැරඹීමට එන පුරා විද්‍යාත්මක ස්ථාන අතරින් එකක් ලෙස සැලකෙනවා. එය නිර්මාණය වුනේ ඇතැන්ස් හි ආරක්ෂණ දෙවඟන වූ “ඇතීනා” වෙනුවෙයි.

“පර්තනොන්” – (shawana.blogspot.com)

අද දක්වා සුරැකිව තිබෙන හුණු ගල් පර්වතයක් මත නිර්මිත “අක්‍රොපොලිස්  ප්‍රාසාදයත්” ඔහුගේම කාලයේ නිර්මාණ වුවක්. භූ චලන, බෝම්බ හෙලීම් හා කලා වස්තූන් කෙලෙසීම් ගණනනාවකට මුහුණ දුන් පසුත් තවමත් මෙය සුරැකිව පවතිනවා.

එමෙන්ම ඔහු විසින් එකල තවත් නිර්මාණකරුවන්ට පැමිණ තමන්ගේ නිර්මාණ ඇතැන්ස් හි කිරීමට ඉඩකඩ ලබා දී තිබුණා.

මෙම දේවාලවල ගෘහ නිර්මාණ ශිල්පය සැලකීමේ දී ඒවාටම ආවේනික වූ විශේෂතා තිබෙනවා. ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය ලොව විශිෂ්ටතම​ ගෘහ නිර්මාණ ශිල්පයක් වන්නේ ඒ නිසා යි. අතීත ග්‍රීකයන් අද අප කරන ආකාරයෙන් දේවාල තුලට ගොස් දෙවියන් නැමදීම සිදුකර තිබුනේ නෑ. ඒ වෙනුවට එම දේවාලයේම නිර්මාණය කර තිබූ කුඩා කුටියක් ඔවුන් එය වෙනුවෙන් භාවිතා කර තිබුණා. එමෙන්ම අතීත දේවාල සියල්ලම පාහේ එකම ආකෘතියකට අනුව නිර්මාණය කර තිබුණා.

-මුර්ති කලාව-

අතීත ග්‍රීක මුර්ති හෝ ප්‍රතිමා නම් අද වනවිට විශාල වශයෙන් දකින්නට ලැබෙන්නේ නෑ. ශෛලමය ප්‍රතිමා බොහෝමයක් කැඩී ඇති අතර ලෝහමය ඒවා නැවත උණුකොට වෙනත් වැඩ වෙනුවෙන් භාවිතා කර තිබුණා. නමුත් ෆිඩියස්, පොලික්ලිටස් වැනි ක්‍රි.පූ. 5 වන සියවසේ සිටි මූර්ති ශිල්පීන් හා ක්‍රි.පූ. 4 වන සියවසේ සිටි නිර්මාණකරුවන් වන ප්‍රැක්ටලිස් (Praxiteles – මොහුව සැලකෙන්නේ ලොව ප්‍රථම ජීවමාන ප්‍රමාණයේ කාන්තා නිරුවත් මූර්තිය නිර්මාණය කරන ලද ශිල්පියා ලෙසයි) , ස්කොපාස්, ලයිසිපස් වැනි ශිල්පීන්ද එකල ප්‍රසිද්ධ මූර්ති නිර්මාණ ශිල්පීන් වුනා. මනුෂ්‍ය ශරීරයේ පිහිටීම ගොඩනැගිලි වලට ආදේශනය කිරීම පිළිබඳව මොවුන් විශිෂ්ඨයන් වුනා. මුල් කාලින ග්‍රීක මූර්ති නුහුරු හා ව්‍යාජ බවක් ගනු ලැබුවා. නමුත් සම්භාව්‍ය සමයේ නිර්මාණ ස්වාභාවික හා ශාන්තිමත් බවක් ගනු ලැබුවා. එමෙන්ම ඒවා බොහොමයක් යථානුරූපී හා භාවාත්මක හැඟීම් හොදින් උත්පාදනය කර තිබුණා.

“The Aphrodite of Cnidus (Knidos)” – ක්‍රි.පූ. 350 –  සම්භාව්‍යය මූර්තිකරණයේ පළමු කාන්තා නිරුවත් මූර්තිය – (www.pinterest.com)

අතීත ග්‍රීසියේ කවිය

අතීත ග්‍රීක ඉතිහාසය තුල පවත්වනු ලැබූ කවි තරග​ පිළිබඳව පවා අසන්න ලැබෙනවා. අතීත ග්‍රීක කාව්‍ය එහෙම නැත්නම් සංගීතය තුල වීර කතා, දෙවියන්ට හා වීරයන්ට කරන ලද ස්ත්‍රෝත‍්‍ර ගායනා, මත් වූ විට ගීත ගායනය, ආගමික ගීතිකා, අවමංගල ළතෝනි, විවිහා මංගල ගීත වැනි ඩේ පිලිබඳවත් වාර්තා වෙනවා. එමෙන්ම අද අප භාවිතා කරනු ලබන lyrical යන වචනය ද ග්‍රීක භාෂාවෙන් නිර්මාණය වෙලා තියෙනවා. අතීත ග්‍රීක ඉතිහාසයේ ජිවත් වූ ප්‍රකට කවීන් හා ගායකයන් දෙදෙනෙකු ලෙස සිමොනිඩේස් හා සීයෝස් සැලකෙනවා. එමෙන්ම මේ කාලයේ සිටි තවත් ප්‍රසිද්ධ කිවිඳියක් ලෙස සැෆෝ (Sappho) සැලකෙනවා. ඇය කාන්තාවන් අතර පවතින ආදර සම්බන්ධතා පිළිබඳව වැඩිපුර කවි ලියා තිබුණා. ඇය උපන්  “Lesbos” නම් වූ දිවයින පදනම් කරගෙන අද අප භාවිතා කරන “lesbian” යන වචනය නිර්මාණය වී තිබෙනවා. සැෆෝ උපත ලබා තිබුනේ ක්‍රි.පූ. 630යි. ඇය රචනා කර තිබූ කවි ප්‍රමාණය 500කට ආසන්නයි.  

කවියට පමණක් ම නොව ග්‍රීකය සම්බන්ධව විශිෂ්ඨ නාට්‍ය හා රංග කලා ඉතිහාසයකුත් පවතිනවා. එමෙන්ම දර්ශනය ආදී විෂයන් වලට ද ඔවුන් දක්ෂයන් වුනා. තරු හා ග්‍රහාලෝක පිළිබඳ ඔවුන්ගේ දැනුමද විශිෂ්ට​ එකක්. ඉතින් ඒ පිලිබඳ ඔබට තවත් ලිපියකින් විස්තර ගෙන එන්නම්. මේ ලිපිය පිළිබඳ​ ඔබේ අදහස් හා ඔබ දන්නා තවත් දේවල් අපිත් එක්කත් බෙදා ගන්න අමතක කරන්න නම් එපා.

කවරය – focus.ua

Related Articles