Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිසරදයක්ව ඇති ලංකාවේ මොණර ගහණය

මොණරා ඉතාමත්ම අලංකාර පක්ෂියෙක්. මීට දශක ගණනාවකට පෙර වියළි කලාපයේ ගම්මාන ආශ්‍රිතව මොණරුන් සුලබව දක්නට ලැබුණේ නැහැ. නමුත් එම ප්‍රදේශවල කැලෑ බිම් ක්‍රමයෙන් එළි පෙහෙළි වන විට මොණරා ගම්මාන කරා නිතරම පැමිණෙන්නට වුණා. එලෙස ගම් වදින මොණරුන් ගොවියන්ගේ වගාවන් විනාශ කිරීම නිසා ගොවියන් අසරණ වීම පසුගිය කාල සමයේ දී නිතර අසන්නට ලැබුණු දෙයක්. ලංකාවේ මොණර ගහණය ක්‍රමයෙන් වැඩි වීම නිසා මෙම ප්‍රශ්නය වර්තමානය වන විට වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබෙනවා. 

ලංකාවේ මොණරුන් බහුලව වෙසෙන ප්‍රදේශ 

මීට දශක කිහිපයකට පෙර අප රට තුළ මොණරුන් බහුලවම දක්නට ලැබුණේ වියළි කලාපයේ ලඳු කැලෑ ආශ්‍රිතව යි. නමුත් පසුගිය කාලයේ ලංකාවේ තෙත් කලාපයේ වනාන්තර තුළත් මොණරුන් ගැවසෙන ආකාරය දක්නට ලැබුණා. එලෙස ක්‍රමයෙන් තෙත් කලාපයට ද මොණරුන් සංක්‍රමණය වීමට හේතු වී ඇත්තේ අප රට තුළ සිදුවුණු දේශගුණික විපර්යාසය විය හැකි බවට මතයන් පලව තිබෙනවා. තෙත් කලාපයේ සමහර ප්‍රදේශවලට ක්‍රමයෙන් වැටෙන වර්ෂා ප්‍රමාණය අඩු වීමත් සමගම එම ප්‍රදේශවල වියළි කලාපයේ ලක්ෂණ මතුවෙමින් පවතිනවා. මොණරුන් තෙත් කලාපයේ ඇතැම් ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙන් බව යි ඇතැමුන් පවසන්නේ. 

වනාන්තරයක සිටින මොණරෙක් (gettyimages)

ලංකාව තුළ මොණර ගහණය වැඩි වී ඇත්තේ ඇයි?

ඕනෑම පරිසර පද්ධතියක ආහාර දාමයන් නිර්මාණය වී තිබෙන්නේ සත්ත්ව ගහණය අනවශ්‍ය ලෙස වැඩි වීම වැලැක්වීමට යි. එය සොබාදහම මඟින්ම නිර්මාණය කර තිබෙන අපූරු තත්ත්වයක්. නමුත් විවිධ හේතූන් නිසා මෙම ආහාර දාමයන් බිඳ වැටුණොත් සමහර සත්ත්ව කොට්ඨාශයන්වල ගහණය පාලනය කළ නොහැකි ආකාරයට වැඩි වන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. 

අතීතයේ ලංකාවේ මොණරුන්ගේ ගහණය පාලනය කළ ප්‍රධාන විලෝපිකයෙකු වුණේ හිවලා යි. නමුත් වර්තමානය වන විට හිවලුන් අපගේ පරිසර පද්ධතීන් තුළ දී බහුලව දක්නට ලැබෙන්නේ නැහැ. කැලෑ ප්‍රදේශයන් එළි වීම, වගාවේ දී යොදන විවිධ රසායන ද්‍රව්‍යය නිසාත්, උගුල්වලට හසුවීමෙනුත් මිය යාම වැනි හේතූන් නිසා අප රට තුළ හිවලුන්ගේ ගහණය විශාල ලෙස අඩු වී තිබෙනවා. වනාන්තර තුළ සිටින හිවලුන්ගේ ගහණය අඩු වීම නිසා මොණරුන්ට නිදහසේ පරිසරය තුළ ජීවත් වීමට හැකියි. එම නිසා අප රට තුළ මොණර ගහණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. එසේම වර්තමානය වෙද්දී මිනිසුන් මොණරුන් මස් පිණිස දඩයම් කිරීම අවම වීමත් මෙයට හේතුවක් විය හැකියි. 

වනාන්තර ආශ්‍රිතව හමුවන නරියෙක් (gettyimages) 

මොණරා ගොවියන්ට කරන හානිය 

අතීතයේ දී මොණරුන් නැරඹීම සඳහා වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවලට යෑමට සිදුවූ මිනිසුන්ට, දශකයක පමණ කාලයක සිට ගම්මාන ආශ්‍රිතවත් මොණරුන්ව දැක බලාගත හැකියි. වනාන්තර එළි පෙහෙළි වීමත් සමගම ඔවුන්ගේ වාසස්ථාන සහ ආහාර මාර්ග අහිමිවීම එලෙස ගම් වැදීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. 

ලංකාව තුළ සැලකිය යුතු පිරිසක් කෘෂිකර්මාන්තයේ නිරත වනවා. බොහෝ විට එම ගොවියන් දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ වගා කටයුතු සිදුකරනු ලබන්නේ සිය ජීවිකාව ගෙන යාම සඳහා වෙන මඟක් නොමැති නිසා යි. ඉතාමත් අපහසුවෙන් මුදල් වියදම් කර බීජ වර්ග, පොහොර, කම්කරු ශ්‍රමය, සහ යන්ත්‍ර සූත්‍ර සපයාගෙන සිය වගා කටයුතු සිදු කරන ගොවියා අවසානයේ දී සරු සාර අස්වැන්නක් බලාපොරොත්තු වනවා. එලෙස ලබාගන්නා අස්වැන්න සාධාරණ මිලකට විකුණා සියලු ණය තුරුස් ගෙවා දැමීමෙන් පසුව හොඳ ජීවිතයක් ගත කිරීම ඕනෑම ගොවියෙකුගේ සිහිනයක්. 

ලංකාවේ වගා බිමක් (gettyimages)

ගොවියන් අහස උසට බලාපොරොත්තු තබාගෙන සිය වගාව සිදු කරනු ලැබුවත් සත්ත්ව හානි නිසා අස්වැන්න විනාශ වීම සුලභවම අසන්නට ලැබෙන දෙයක්. එලෙස ගොවියාට දැඩි ලෙස වින කරන සත්වයන් කිහිපදෙනා අතරට මොණරා ද අයත් වනවා. සාමාන්‍යයෙන් වගා බිම්වලට රංචු වශයෙන් පැමිණෙන මොණරුන් සුළු කාලයක් තුළ වගා බිම විනාශ කරන බව ගොවියන් පවසා සිටිනවා. එසේම මොණර රංචු නිරන්තරයෙන්ම කිරි වැදුණු ගොයම් සහිත කුඹුරුවලට වැදී ගොයම කා දමන බව ගොවියන්ගෙන් නැගෙන තවත් චෝදනාවක්. වගා බිම්වලට පැමිණෙන මොණර රංචු සමහර ගෙවතුවලට ද වැදී මිරිස් කරල්, දළු මෑ කරල්, ළපටි කොළ වර්ග ආදිය කා දමන බව එම ප්‍රදේශවල වැසියන් නිතරම පවසන දෙයක්. මොණරා විවිධ සර්පයන් වර්ග ආහාරයට ගනු ලබනවා. එමඟින් සර්ප ගහණය අඩු වීම නිසා මීයන්ගේ ගහණය වැඩි වනවා. සාමාන්‍යයෙන් මීයා වගාවට හිතකර සත්ත්වයෙකු වන්නේ නැහැ. මීයන්ගේ ගහණය ක්‍රමයෙන් වැඩිවීමත් සමගම ඔවුන්ගෙන් වගාවලට සිදුවන හානිය වැඩි වනවා. මොණරා වක්‍රාකාරයෙන් ගොවියාගේ වගාවට තවදුරටත් හානි කරන්නේ එසේ යි.  

වග බිමකට පැමිණ සිටින මොණරෙක් (Youtube)

ඉන්දීය ගොවීන්ටත් මොණරුන් හිසරදයක් වී තිබෙනවා 

ඉන්දියාවේ ජාතික පක්ෂියා වන්නේ මොණරා යි. ඉන්දියාව මොණරුන් බහුලවම දක්නට ලැබෙන රටක්. ඉන්දියාවේ බහුලවම වනාන්තර පිහිටා තිබීමත්, වියළි දේශගුණයක් තිබීමත් නිසා මොණරුන්ට එහි වාසය කිරීමට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙනවා. ඉන්දියාව තුළ කෘෂිකර්මාන්තයෙන් යැපෙන සැලකිය යුතු ජනගහනයක් සිටිනවා. පසුගිය කාල සමයේ ඔවුන්ගේ වගා බිම්වලටත් මොණරුන් හානි කළ බව නිතරම අසන්නට ලැබුණු දෙයක්. එය දරාගත නොහැකිව සමහර ප්‍රදේශවල මොණරුන්ව මරා දමා තිබුණු බවත් සමහර රූප රාමු තුළින් දැකගන්නට ලැබුණා. ඒ අනුව වර්තමානය වන විට අප අසල්වැසි ඉන්දියාවත් මොණර ගහණය වැඩි වීම නිසා පීඩා විඳිනවා.

ඉන්දියාවේ වගා බිමක ඝාතනය කර සිටි මොණරුන් කිහිපදෙනෙක් (newindianexpress.com)

ලංකාවේ මොණර ගහණය පාලනය කළ යුතු යි 

ලංකාවේ මොණර ගහණය පාලනය කිරීම සඳහා මොණරුන් මරා දැමීම මානුෂික වන්නේ නැහැ. නමුත් ගොවියෙකුට සිය ජීවිකාව ගෙනයාමට තිබෙන වගාව මොණරුන් විසින් විනාශ කිරීම නිසා ඇතිවන කෝපය සහ වේදනාව ඉතාමත් සාධාරණ හැඟීමක්. එම නිසා මොණරුන් තව දුරටත් බෝවීම සහ පැතිරීම වැලක්වීමට ක්‍රමයක් සෙවීම වඩාත් ප්‍රයෝගික සහ මානුෂික වනවා.  

කවරයේ ඡායාරූපය- gettyimages  

Related Articles