Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ කොරෝනා රැල්ල ඉහළ යාම ලංකාවටත් බලපායි ද?

අපගේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව තුළ මේ වන විට කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව අපි කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. පසුගිය ජූලි 14 වැනිදා වන විට කොරෝනාවෛරසය ආසාදනය වුණු ඉන්දියානුවන් ප්‍රමාණය ලක්ෂ 9 ඉක්මවා තිබුණා. ඒ අනුව ඉන්දියාව තවමත් පවතින්නේ අකර්මණ්‍ය තත්ත්වයේ යි. ඉන්දියාව කොරෝනා වසංගතයෙන් බැට කන විට එහි බලපෑම ඉදිරියේ දී අප රටටත් දැනෙන්නට ඉඩ තිබෙනවා.

ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය

විශාල ජනගහනයක් සිටින ඉන්දියාව වැනි රටක කොරෝනා වැනි වසංගතයක් දරුණු ලෙස පැතිර යාම ඉතාමත් භයානක තත්ත්වයක්. පසුගිය ජූලි 14 වැනිදා වන විට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් ලක්ෂ 9 ඉක්මවා වාර්තා වී තිබුණේ ලොව තෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයින් සිටින රට බවට පත්වෙමින්. 

ඉන්දියාවට කොරෝනා පැමිණි හැටි 

ඉන්දියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ ජනවාරි 30 වැනිදා යි. එහි දී රෝගයට ගොදුරුව තිබුණේ චීනයේ වූහාන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිට ඉන්දියාවට පැමිණි කේරළයේ සිසුවියක්.

කොරෝනා සීඝ්‍රයෙන් වර්ධනය වුණු කාල සීමාව 

අප්‍රේල් 27 වැනිදා වන විට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 29,451ක් පමණ වාර්තා වී තිබුණා. ඉන් පසුව ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් කොරෝනා වසංගතය පැතිරී ගිය නිසා මැයි 11 වැනිදා වන විට වාර්තා වුණු කොරෝනා රෝගීන් ප්‍රමාණය 70,768ක් ලෙසින් සටහන් වුණා. ඒ අනුව සති 2ක කාලයක් තුළ ඉන්දියාවෙන් වාර්තා වුණු කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය 40,000කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබුණා.

අවසන් දින 30 තුළ ආසාදිතයන්ගේ ප්‍රමාණය ලක්ෂ 9 ඉක්මවා යයි 

මැයි මාසයේ මුල් සති 2ක තුළ ඉන්දියාවේ ව්‍යාප්ත වුණු කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම ජූනි මස දෙවන සතියේ සිට තදින්ම දැනෙන්නට පටන් ගත්තා. එම නිසා ජූනි 14 වැනිදා වන විට 332,783 ලෙසින් සටහන් වුණු කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය ජූලි 14 වැනිදා වන විට 911,606ක් දක්වා වැඩි වී තිබුණා. එලෙස අවසන් දින 30 තුළ කොරෝනා ආසාදියන් ගණන ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවීමත් සමගම ඉන්දියාව ලොව තෙවනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වුණු රට බවට පත් වුණා.

කොරෝනා මරණ ප්‍රමාණයත් වේගයෙන් ඉහළට 

පසුගිය ජූනි 14 වැනිදා වන විට ඉන්දියාවෙන් වාර්තා වුණේ කොරෝනා මරණ 9,520ක් පමණ යි. නමුත් අවසන් දින 30 තුළ දී 14,000කට අධික කොරෝනා මරණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වුණා. ඒ අනුව පසුගිය ජූලි 14 වැනිදා වන විට ඉන්දියාවෙන් වාර්තා වුණු සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය 23,777ක් බවට පත්ව තිබුණා. ඉන් පැහැදිලි වන්නේ ඉන්දියාව තුළ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව යි.

ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

අසල්වැසි රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දිගු කාලයක සිට මිත්‍රශීලීව කටයුතු කළා. එම නිසාම ඉන්දියාව තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වුණු විට එහි බලපෑම විවිධ ආකාරයෙන් ශ්‍රී ලංකාවටත් දැනෙනවා. පහත දැක්වෙන්නේ ඉන්දියාව තුළ කොරෝනා වසංගතය පැතිර යාම අප රටට වක්‍රාකාරව බලපාන ආකාරය පිළිබඳව යි.

අනවසර සංක්‍රමණිකයන් මෙහි පැමිණීමට ඉඩ තිබෙනවා 

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වන විට එහි සිටින ජනතාවට අවදානම් සහගත තත්ත්වයකට මුහුණදීමට සිදුවනවා. මේ හේතුවෙන් දකුණු ඉන්දියා වැසියන් අනවසරයෙන් ලංකාවට පැමිණීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ රාමේෂ්වරම් සිට ලංකාවට ළඟා වීම ඉතාමත් පහසු නිසා ඉදිරියේ දී එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. එමඟින් කොරෝනා වසංගතය මෙරට තුළ තවදුරටත් ව්‍යාප්ත වීය හැකියි. නමුත් ශ්‍රී ලංකා නාවිකා හමුදාව නිරන්තරයෙන්ම අපගේ මුහුදු සීමාව ආරක්ෂා කරන නිසා අනවසර සංක්‍රමණිකයන්ට මෙහි පැමිණීමට තිබෙන ඉඩකඩ ඇහිරී තිබෙනවා. මෙම ගැටලුව නිසාම පසුගිය මාස කිහිපය තුළ ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව තර කරනු ලැබුවා. ඉදිරි මාස කිහිපය තුළ දීත් ලංකාවේ මුහුදු සීමාවට දැඩි ආරක්ෂාවක් ලබා දීම අත්‍යවශ්‍ය යි.

ඉන්දු-ලංකා ධීවර ගැටලුව 

දිගු කලෙක සිට පවතින ඉන්දු-ලංකා ධීවර ගැටලුව නිසා රටවල් දෙකේම ධීවරයන් විවිධ ගැටලුවලට මුහුණ දීම සුලභවම සිදුවන දෙයක්. එහි දී වැඩි වශයෙන් සිදුවන්නේ ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ධීවර කර්මාන්තයේ නිරත වීමයි. එලෙස අනවසරයෙන් ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණොත් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා නාවික හමුදා සෙබලුන්ට කොරෝනාවෛරසය ආසාදනය වීමට ඉඩ තිබෙනවා. 

ඉන්දීය ධීවරයන් (gettyimages)  

ඉන්දියාවෙන් මෙරටට භාණ්ඩ රැසක් ආනයනය කරනවා 

2019 වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධාන ආනයනකරුවා බවට පත් වී තිබෙන්නේ අප අසල්වැසි ඉන්දියාව යි. ශ්‍රී ලංකාව එරටින් කළ ආනයන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3,899ක මුදලක් වැයකර තිබෙනවා. එය අප රට 2019 වසරේ දී සිදු කළ සම්පූර්ණ ආනයනයන්ගෙන් 19.6%ක ප්‍රතිශතයක්. රෙදිපිළි, ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන, ගොඩනැගිලි ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර ඇතුළු උපකරණ හා රසායනික ද්‍රව්‍ය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව වෙත ආනයනය කළ ප්‍රධානම ආනයන භාණ්ඩ ලෙස දැක්විය හැකියි. එසේම ඉන්දියාවෙන් මෙරටට ඖෂධ වර්ග රැසක් ද ගෙන්වනු ලබනවා. ඊට අමතරව ලොකු ළූණු, අල, පරිප්පු, කුළුබඩු වර්ග, රටකජු වැනි ආහාර ඉන්දියාවෙන් අප රටට ආනයනය කරනවා. ඉන්දියාව තුළ තවදුරටත් කොරෝනා වසංගතය පැතිරී ගියොත් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන භාණ්ඩවල හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. 

ඉන්දියාවේ අල සහ ලොකු ළූණු වෙළඳාම (gettyimages)  

මෙරටින් විවිධ භාණ්ඩ ඉන්දියාවට අපනයනය කරනවා 

2019 වසර තුළ දී ශ්‍රී ලංකාවේ තෙවන විශාලතම අපනයනකරුවා බවට පත් වුණේ ඉන්දියාව යි. එහි දී ශ්‍රී ලංකාව විසින් සිදුකරන ලද මුළු අපනයනවලින් 6%ක් සිදු කළේ ඉන්දියාව සමග යි. නමුත් ඉන්දියාව තුළ තවදුරටත් කොරෝනා වසංගතය පැතිරී ගියොත් මෙරටින් ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩ ප්‍රමාණය අඩු වීමට ඉඩ තිබෙනවා. එමඟින් ලංකාවේ ආර්ථික වර්ධනයට සුළු වශයෙන් හෝ බලපෑමක් සිදුවීමට ඉඩ තිබෙන බව පැහැදිලිවම පෙනී යන කරුණක්. එම නිසා කොරෝනා වසංගතය හමුවේ අප රටේ ආර්ථිකය බිඳ වැටීම වලක්වා ගැනීම මෙරට ආර්ථික ක්ෂේත්‍රය තුළ සිටින විශේෂඥයන් සතු වගකීමක්.

කවරයේ ඡායාරූපය- gettyimages

මූලාශ්‍රයයන්- worldometer  

Related Articles