2019 පෙබරවාරි මාසයේ දී එක්සත් ජාතීන්ගේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මෙරට කොරියානු තානාපති කාර්යයාලය සමග එක්ව රජයේ ප්‍රතිපත්ති, අයවැය සහ සැලසුම් සහ විශේෂයෙන් ආබාධිත කාන්තාවන්ට ඒවා බලපාන ආකාරය පිළිබඳ ප්‍රථම විමර්ශන වාර්තාව එළිදක්වන්නට සමත් විය.

‘ආබාධ සහිත කාන්තාවන් සහ ආර්ථික අවස්ථාවන් වෙත ඔවුන්ගේ ප්‍රවේශය - අයවැය ඇසුරින්’ මැයෙන් යුත් මෙම වාර්තාව දිස්ත්‍රික්ක හතරක් පුරා ආබාධිත පුද්ගලයින් 400ක් යොදාගෙන කළ අධ්‍යයනයක් මත පදනම්ව ඇති අතර, ශ්‍රම බලකායට ඇතුළුවීමේ දී හා වෘත්තීන්හි යෙදීමේ දී ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවන් පිළිබඳව මනා පිළිඹිබුවක් ගෙන එයි.

රජයේ සැලසුම්, ප්‍රතිපත්ති, සහ අයවැය මෙන්ම ආබාධ සහිත කාන්තාවන්ට එහි බලපෑම පිළිබඳව සොයා බැලීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අයවැය රාමුවක් භාවිතා කළ පළමු අවස්ථාව ද මෙය යි.

ආබාධ සහිත කාන්තාවන්ට ස්ත්‍රී පුරුෂ භාවය හා ආබාධිතභාවය යන දෙඅංශයෙන්ම බාධාවන් එල්ලවන බව මෙම අධ්‍යයන ප්‍රතිඵලවලින් පැහැදිලි විය.

ස්ථානීය විශ්ලේෂණය

ලොව පුරා බිලියනයක ජනතාවක්, එනම් ලෝකයේ මුළු ජනගහනයෙන් 15%ක්, ආබාධිතව ජීවත් වෙති. එසේම, කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ආබාධිත තත්ත්වයක් පවතී. ශ්‍රී ලංකාවේ ආබාධිතතා ව්‍යාප්ති අනුපාත ප්‍රතිශතය කාන්තාවන් 19.2%ට පිරිමින් 12%කි.

ශ්‍රී ලංකාවේ 2012 ජාතික සංගණනය අනුව, සියලු වයස් කාණ්ඩවල ආබාධ සහිත කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ට වඩා වැඩි ය. එහෙත් රටේ ශ්‍රම බලකාය නියෝජනය කරන්නේ ආබාධිත පුද්ගලයින්ගෙන් 15%ක් පමණි.

ශ්‍රම බලකාය තුළ ඇති මෙම අසමාන නිරූපණය, අනෙකුත් කාන්තාවන්ට හෝ ආබාධ සහිත පිරිමින්ට මෙන් ආබාධිත කාන්තාවන්ට ද සමාන අවස්ථා ලබා ගැනීම වළක්වන සහජ නැඹුරුවෙහි ප්‍රධාන දර්ශකයකි.

ආබාධිතතා අයිතිවාසිකම් සහ ජාතික සැලැස්ම

“පසුගිය වසරවල දී (ශ්‍රී ලංකා) රජය සෑම කෙනෙක්ටම අවස්ථා සැලසීම සඳහා සම්පත් යොදාගෙන තිබෙනවා,” ස්ත‍්‍රි පුරුෂ සමාජභාවී සමානාත්මතාව සහ කාන්තා සවි බලගැන්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අංශය (UN Women) පවසයි.

මේ සඳහා වූ පළමු පියවර වශයෙන් ශ්‍රී ලංකා රජය 2007 මාර්තු මාසයේ දී ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (CRPD) අත්සන් තැබීය. පසුව මෙය 2016 පෙබරවාරි මාසයේ දී අනුමත කරන ලදී.

අනතුරුව අදාළ ප්‍රතිපත්තිය, නෛතික හා ආයතනික ක්‍රියාමාර්ග ඇතුළුව ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සමග මූලික වාර්තාවක් නිකුත් කරන ලදී.

ඒ අනුව, “ගෞරවය, උසස් බව සහ පුද්ගල ස්වාධීනත්වය” සහතික කරමින් ආබාධිත පුද්ගලයින් වෙනස් කොට සැලකීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාමය සහතිකයක් දැන් ක්‍රියාත්මක වේ. ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය 2016 දී අනුමත කිරීමෙන් පසු, ඔවුන්ගේ අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කරන්නට ඉන් සහාය ලැබේ.

මෙම අසමතුලිතතාව විසඳීම සඳහා රජය 2014 දී ආබාධිතයන් සඳහා වූ ක්‍රියාකාරී ජාතික සැලැස්මක් ඉදිරිපත් කළේ ය. මෙම සැලැස්මේ අරමුණ ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම ය. ආබාධිත ප්‍රජාවට අධ්‍යාපනය හා රැකියාව යන දෙකටම සමාන අවස්ථා ලබා දෙන ක්‍රියාකාරී වැඩසටහන් ආරම්භ කිරීම ය. රජය මෙය සලකන්නේ සමාජයේ ආබාධ සහිත පුද්ගලයින්ට පූර්ණ වශයෙන් සමාන අවස්ථාවන් ලබා දීමේ පියවරක් වශයෙන් වන අතර, ඔවුන්ගේ දැනුම, අත්දැකීම් සහ කුසලතා ජාතික සංවර්ධනයට දායක කර ගනු ලබනු ඇත.

මෙම සැලැස්ම ප්‍රධාන අංශ හතක් කෙරෙහි අවධානය යොමු කරයි; සවිබල ගැන්වීම, සෞඛ්‍යය සහ පුනරුත්ථාපනය, අධ්‍යාපනය, රැකියාව සහ සේවා නියුක්තිය, සමාජ දෘෂ්ඨීන් නිවැරදි කිරීම හා සමාජ පසුබිම ගොඩනැගීම, දත්ත සහ පර්යේෂණ, සහ සමාජ ආයතනික සහජීවනය යනු එම අංශයන් 7 යි.

මෙම සැලැස්ම සාක්ෂාත් කර ගැනීම සඳහා රජය විසින් පශ්චාත් කැබිනට් අනුමැතියෙන් රු. බිලියන 65ක් එහි මධ්‍යකාලීන අයවැය රාමුව (2014-2016) වෙත යොදන ලදී. එසේ තිබිය දීත්, ආබාධිත කාන්තාවන් ශ්‍රම බලකායට එකතු කර ගැනීමේ දී ඇතැම් බාධක පැවතිණි. ස්ත්‍රී පුරුෂභාව අයවැයකරණය මුදුන් පත් වන්නේ මෙහි දී ය.

ස්ත්‍රී පුරුෂ භාව අයවැයකරණය යනු කුමක් ද?

සමාජ ක්‍රමය පුරුෂවාදී බවින් යුක්ත වන බැවින්, STEM වැනි ක්ෂේත්‍රවල ශ්‍රම බලකාය වෙත කාන්තාවන් යොමු කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වී තිබේ. (AFP)

ස්ටොට්ස්කිට (2016) අනුව, ස්ත්‍රී පුරුෂ භාව අයවැයකරණය යනු “ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවයට පිළියම් යෙදීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ පරිපාලන ක්‍රියා පටිපාටි ව්‍යුහගත කර, එය වැඩිදියුණු කළ හැකි අයවැයකරණ ප්‍රවේශයකි”.

ශ්‍රම බලකාය තුළ සේවයේ යොදවා ඇති පුරුෂයින් හා ස්ත්‍රීන් සංඛ්‍යාව අතර ඇති විෂමතාවයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඊට අදාල පරාමිතීන් නැවත අර්ථ දැක්වීමට සිදු විය.

විශේෂයෙන් තාක්ෂණය, විද්‍යාව, ඉංජිනේරු ශිල්පය, ගණිතය (STEM) වැනි ක්ෂේත්‍රවල කාන්තාවන් ශ්‍රම බලකායට බැඳීම උත්ප්‍රේරණයට ප්‍රචාරණ ව්‍යාපාර සහ අසමානතාව පිළිබඳ දැනුවත් කිරීම පමණක් ම ප්‍රමාණවත් නොවී ය. සම්ප්‍රදායිකව කාන්තාවන්ට වෙත එල්ල වූ ගැටළු තිබෙන නමුදු කුඩා ප්‍රතිපත්ති වෙනස් කිරීම් මඟින් කාන්තාවන්ගේ රැකියා ස්ථාන පසුබිම වැඩිදියුණු කිරීමට හැකි බව ඔවුහු දුටුවෝ ය. ස්ත්‍රී පුරුෂ භාව අයවැයකරණය මඟින් සමාජයීය ගැටළුකාරක හඳුනාගෙන ඉවත් කළ හැකි ය.

එවන් එක් කාරණයක් වන්නේ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ දුර්මත දුරු කරමින්, සම්පත් හා අරමුදල් සමානව බෙදාහැරීම සහතික කිරීම යි. පිරිමින්ගේ මෙන්ම කාන්තාවන්ගේ ද විවිධ අවශ්‍යතා හඳුනා ගැනීමෙන්, සමාන ආකාරයකින් සම්පත් බෙදා හැරීම තීරණය කිරීම සඳහා, මහජන අරමුදල් වෙන් කිරීමේ දී සාක්ෂ්‍ය මත පදනම් වූ තීරණ ගැනීමේ හැකියාව මෙය ලබා දෙයි.

නමුත් ස්ත්‍රී පුරුෂභාව අයවැයකරණයට අදාළ වන එකම ක්ෂේත්‍රය ප්‍රතිපත්ති පමණක්ම නොවේ. සේවා යෝජකයන්ට ද ඉන් ලද හැකි බොහෝ වාසි ඇත.

නිදසුනක් ලෙස, එය වැඩබිම තුළ සිටින සියලුම සාමාජිකයින්ට උචිත සේ රැකියාව කිරීම සඳහා ඉලක්ක, අරමුණු සහ ක්‍රියාවලීන් දැන් ප්‍රශස්ත කරනු ලබන බැවින්, අධ්‍යක්ෂ මණ්ඩලය හරහා ආයතනික ප්‍රගතිය සහ ප්‍රතිදානය වැඩි දියුණු කරගත හැකිවේ.

ස්ත්‍රී පුරුෂ භාව අයවැයකරණ රාමුව

2002 දී, කොරියානු ජනරජය ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල අයවැයකරණයක් (GRB) ආරම්භ කළ පළමු ආසියානු රටවලින් එකක් බවට පත්විය. මෙය 2012 දී හඳුන්වා දුන් ඉන්චියොන් ක්‍රමෝපාය සමග බැඳී ඇති අතර, එය ආබාධිත පුද්ගලයින් සඳහා ප්‍රවේශවීමේ හැකියාව සහ අවස්ථාවන් ලබාදීම ඉලක්ක කරයි.

මෙම උපායමාර්ගය “ආසියාව සහ පැසිෆික් කලාපය සඳහා කලාපීයව එකඟ වූ ආබාධිත පුද්ගල සංවර්ධන ඉලක්ක”වල පළමු අදියර වන අතර, එය එක්සත් ජාතීන්ගේ ආසියානු - පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ ආධාරයෙන් ක්‍රියාවට නැංවිය හැකි විය.

‘ආබාධ සහිත කාන්තාවන් සහ ආර්ථික අවස්ථාවන් වෙත ඔවුන්ගේ ප්‍රවේශය’ වාර්තාව බෙහෙවින් වැදගත් වන්නේ එබැවිනි. දකුණු කොරියාවේ පූර්ව පියවරයන් මාර්ගෝපදේශයක් ලෙස යොදාගන්නා මෙම වාර්තාව ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ආබාධිත පුද්ගල දෘෂ්ටිකෝණයකින් රාජ්‍ය ප්‍රතිපත්ති සහ අයවැය විමසා බැලීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල අයවැයකරණය භාවිතා කරයි. මෙහි ලා වඩාත්ම වැදගත් දෙය වන්නේ, රැකියා හා ආර්ථික අවස්ථාවන් සැපයීම ය.

2016 දී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් “ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික සංවර්ධනය සඳහා ව්‍යාපෘති ආයෝජනයෙන් අවම වශයෙන් 25%ක්” වෙන් කිරීමට නියම කරන ලදී.
අනතුරුව 2018 දී, විශේෂ අයවැය චක්‍රලේඛයකින් “ජාතික අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී ස්ත්‍රී පුරුෂ භාවය අයවැයකරණය සහ ආබාධිත අයිතිවාසිකම් යොදාගැනීම” සඳහා කටයුතු සම්පාදනය කෙරිණි. 

මෑත වසරවල දී “රජයේ ප්‍රතිපත්ති සහ අයවැය ප්‍රමුඛතා තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය” සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල අයවැයකරණය ඵලදායී දායකත්වයක් සපයන බව ඔප්පු වී ඇති බව එම වාර්තාව සඳහන් කරයි.

ලොව පුරා රටවල් 90කට අධික සංඛ්‍යාවක ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල අයවැයකරණය සංස්ථාගත කර ඇති අතර, ඉන් 65ක් වෙත එක්සත් ජාතීන්ගේ කාන්තා අංශය සහාය වේ. ආසියානු-පැසිෆික් කලාපයේ රටවල් 29 ක් ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල අයවැයකරණය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. 1980 දශකයේ මැද භාගයේදී ඕස්ට්‍රේලියාවට එය ප්‍රථමයෙන් හඳුන්වා දුන්න ද, ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල අයවැයකරණ උපාය මාර්ගය පසුගිය වසර කිහිපය තුළ සෙමින් නමුත් ස්ථාවර පිළිගැනීමක් ලබා ගෙන ඇත.

විසඳුම් ලබා දීම

ලොව පුරා බිලියනයක ජනතාවක් එනම්, ලෝකයේ මුළු ජනගහනයෙන් 15% ක් ආබාධ සහිතව ජීවත් වෙති <Source: Mostafa Meraji>

එය කාන්තාවන් ඉලක්ක කරගත් වෙනම අයවැයක් ලෙස නොව, ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල අයවැයකරණය’ යනු කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රාජ්‍ය සම්පත් ඵලදායී ලෙස වෙන් කිරීම සිදු කරන බවට සහතික වීමකි. නැගී එන ගැටලුවකට ප්‍රමාණවත් විසඳුම් ලබා දීම සඳහා ගැඹුරු විශ්ලේෂණයක් එය සිදු කරනු ලබයි.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කිරීම ප්‍රමාණවත් ලෙස සංශෝධනය කළ යුතු බැවින්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ඉදිරිදර්ශන ඇතුළත් කිරීම සියලු ජනතාවට සහ විශේෂයෙන් සමාජයේ වඩාත් ආන්තික කණ්ඩායම්වලට ප්‍රයෝජනවත් විය හැකිය.

උදාහරණයක් ලෙස ආබාධිත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට එරෙහි බව සැලකිල්ලට ගනිමු. අධ්‍යාපනය හා රැකියාව යන දෙකෙහිම වෙනස් කොට සැලකීම වැළැක්වීම මෙන්ම කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන සලසා ඇති බව සහතික කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් විශාල කොටසක් වෙත ධනාත්මක බලපෑමක් කළ හැක. ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල අයවැයකරණ වි‍ශ්ලේෂණය හරහා ප්‍රතිපත්තිමය සහ නෛතික වශයෙන් එවන් වෙනස් කොට සැලකීම් සිදුවීම වැළැක්වීමට කටයුතු යෙදිය හැකිය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දැක්විය හැකි අයවැය හඳුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාව ප්‍රගති මාවතක ගෙන යමින් දියුණුවට පත් කළ හැකිය. එය වැඩි විනිවිදභාවයක්, සවිබලයක්, ඔරොත්තු දෙන ආර්ථිකයක් සහ සියලු පුරවැසියන්ට වඩා හොඳ අයිතිවාසිකම් කරා මෙරට සමාජ පද්ධතිය රැගෙන යනු ඇති බව නිසැක ය.

කවරය: Reuters/දිනුක ලියනවත්ත