Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙරට ආබාධ සහිත පුද්ගලයන්ගේ අන්තර්ග්‍රහණය වැඩිදියුණු කරන්නේ කෙසේද?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, (ලෝක ජනගහනයෙන් 15%කට ආසන්න ප්‍රමාණයක් වූ) ආබාධ සහිත පුද්ගලයින්ගෙන් 2-4%ක් පමණම ජීවත් වන්නේ දුර්වල තත්ත්වයන් යටතේ යි. බිලියනයකට අධික ජනතාවක් නොසලකා හැරීම කනගාටුදායක බවක් පෙනෙන්නට තිබුණත්, අවාසනාවකට මෙන්, ආබාධ සහිත බොහෝ පුද්ගලයින් මුහුණ දෙන තත්ත්වය එය යි.

අධ්‍යාපන හා රැකියා ක්‍ෂේත්‍රයන්හි සමානාත්මතාවය වෙනුවෙන් කාන්තාවන් දැනටමත් සටන් වැදුණත්, ආබාධ සහිත කාන්තාවන්ට ඒ වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුවී තිබෙනවා.

සමාජ පද්ධතියේ තිබෙන විවිධ දුර්මතයන් නිසා, ආබාධ සහිත අයට සම මට්ටමේ තබා සැලකීමට දක්වන මැළිකම හේතුවෙන් ඔවුන්ට ශ්‍රම බලකාය තුළ දී ලැබෙන්නේ අසමාන සැලකිල්ලක්.

ආබාධ සහිත පුද්ගලයින්ට දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් ඇති බැවින්, ආර්ථිකයට ක්‍රියාශීලීව දායක වීමට අවස්ථාව ලබා දී නැහැ. අධ්‍යාපන සුදුසුකම් ප්‍රමාණවත් නොවීමත්, සමාජය තුළ කොන් කර තිබීමත්, ඉහළ මට්ටමේ දරිද්‍රතාවත් ඔවුන්ට විඳ දරා ගන්නට සිදුව තිබෙනවා. UN Women ගෙන ආ 2019 ශ්‍රී ලංකාවේ ආබාධ සහිත කාන්තාවන් පිළිබඳ වාර්තාව එය තහවුරු කරනවා.

මෙම ගැටළුව තවදුරටත් ගවේෂණය කිරීම සඳහා, මොරිෂස් හි මානව හිමිකම් සහ තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සඳහා මුල්‍ය යෙදවීම පිළිබඳ විශේෂඥයෙකු වන, සමාජ ආර්ථික විද්‍යාඥයෙකු හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය විශ්ලේෂකයෙකු වන නලිනී බර්න් සමග අපි කතා කළා. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා විශේෂඥවරියක වන ඇය, ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනුවෙන් අයවැය සැකසීමේ දී ආබාධ සහිත අයව ද ඇතුළත් කර ගත යුතු බවට වන එක්සත් ජාතීන්ගේ කාන්තා ප්‍රයත්නයට සහාය දැක්වීම ඇතුළු විවිධ රටවල විවිධ වැඩසටහන් සඳහා දායක වී තිබෙනවා.

Kat Jayne from Pexels
  • ආබාධ සහිත පුද්ගලයින්, විශේෂයෙන්, ආබාධ සහිත ගැහැණු ළමයින් සහ කාන්තාවන් සවිබල ගැන්වීම වැදගත් වන්නේ ඇයි?

එක් එක් පුද්ගලයාට අයිතිවාසිකම් තිබෙනවා. ඒවාට ගරු කිරීම, ආරක්ෂා කිරීම සහ සාක්ෂාත් කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒත්, ගෝලීය මානව හිමිකම් පිළිබඳව රටවල් අන්තර්ජාතික සම්මුතීන් අත්සන් කර තිබුණත්, ආබාධ සහිත පුද්ගලයින්ට මෙම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න සිද්ධ වෙලා තිබෙනවා.

2016 දී ශ්‍රී ලංකා රජය සිදු කරන ලද ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සංවර්ධනය කිරීම හා අනුමත කිරීම සඳහා ගාමක බලවේගය වුණේ ඔවුන්. ‘අපේ සහභාගීත්වය නොමැතිව අපට කිසිවක් එපා’ යන ප්‍රබල ආදර්ශ පාඨය ආබාධ සහිත පුද්ගලයින්ගේ පුද්ගලික හා සාමූහික සවිබල ගැන්වීම පිළිබඳ විචිත්‍රවත් සහතිකයක් ලබා දෙනවා.

සාමාන්‍යයෙන් තීරණ ගැනීමේ දී සහ මහජන ක්‍රියාකාරකම්වල දී ආබාධ සහිත කාන්තාවන් සහ ආබාධ සහිත දරුවන් සැලකිල්ලට ගැනෙන්නේ බොහොම අඩුවෙන්. ඔවුන්ගේ අභිලාෂයන් වෙනුවෙන් හඬ නඟන්නට, ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන්නට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට සහභාගී වීමට ඔවුන්ට අවස්ථාව සාදා දිය යුතු යි. 

  • වත්මන් රජය ආබාධ සහිත පුද්ගලයින්ට වෙනස් ලෙස සැලකීම වැළැක්වීම සහතික කරන්නේ කෙසේ ද?

රජය, නීති හා ප්‍රතිපත්ති මට්ටමින් ගත්කල, අන්තර්ජාතික හා කලාපීය මට්ටමින් අන්තර් රාජ්‍ය වැඩසටහන්වලට සහභාගී වෙනවා. ආබාධ සහිත පුද්ගලයින්ගේ ආසියානු පැසිෆික් දශකය (2013-2022) සඳහා රජය එක්වී තිබෙනවා.

මීට පෙරත්, 2003 දී ආබාධිතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරුණා. ආබාධිතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට 2014 දී ආබාධිතභාවය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NAPD) සම්මත කළා. 2016 දී ශ්‍රී ලංකා රජය ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අනුමත කර තිබුණා.

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පිළිබඳ ආරම්භක ජාතික වාර්තාවක් පසුගිය වසරේ දී ඉදිරිපත් කෙරුණා. මේ ආරම්භක වාර්තාව එම පුද්ගලයන් වෙන් කොට සැලකීම වැළැක්වීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් දක්වා තිබෙනවා.

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අනුමත කර, එම පුද්ගලයින් වෙනස් කොට සැලකීම පිළිබඳ ගැටළුව මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර තිබෙනවා. 2017-2023 මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ එය වඩාත් සවිස්තරාත්මකව දක්වා තිබෙනවා.

ආබාධ සහිත පුද්ගලයින්ව වෙනස් කොට සැලකීම වැළැක්වීම සහතික කිරීම සඳහා වෙනම ඉලක්ක 15 ක් තිබෙනවා. එහෙත් එහි තවමත් අඩුපාඩු තිබෙනවා. වෙනස් කොට සැලකීම නීතිමය වරදක් බවට පත් කිරීම සඳහා ආබාධිත පනත් කෙටුම්පතක් අනුමත කිරීමට තවමත් කටයුතු කෙරෙමිනුයි පවතින්නේ.

  • ග්‍රාමීය ප්‍රදේශවල ආබාධ සහිත පුද්ගලයින් සඳහා තිබෙන රැකියා සහ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව ඔබගේ අදහස් මොනවා ද?

ශ්‍රී ලංකාවේ වෙනත් බොහෝ රටවල වගේම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ අතර විශාල අසමානතා පවතිනවා. ඊට අමතරව, විවිධ ග්‍රාමීය ප්‍රදේශ තුළ සහ පළාත් සහ දිස්ත්‍රික්ක අතරත් දැඩි විෂමතාවයක් පවතිනවා. මිනිසුන් දුප්පත් වෙද්දි, කුඩා වෙළඳාම් සහ සේවාවන්වලින් ඔබ්බට යමින් ව්‍යාපාර කිරීම සීමා වෙනවා.

මෙයට හේතුව පාරිභෝගිකයින්ගේ මිල දී ගැනීමේ ශක්තිය සීමිත වීම යි. ග්‍රාමීය ප්‍රදේශවල රැකියා අවස්ථා සහ පහසුකම් අඩු යි. අවම වශයෙන් කොන්ත්‍රාත් පදනම යටතේවත් ස්ථිර රැකියාවක් සොයා ගන්නට හැකියාවක් නැහැ.

එනිසා, ස්වයං රැකියාවලින් සැපවත් ජීවිතයක් ගත කිරීම අපහසු කටයුත්තක්. එහෙත් ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් බොහෝ විට නිර්දේශ කරන්නේ ස්වයං රැකියා ක්ෂේත්‍රය වන අතර ඔවුන්ට පුහුණුව ලබා දෙන්නේ ද ඒ ආශ්‍රිතව යි. කොහොම නමුත්, ආබාධ සහිත පුද්ගලයින් වැඩි දෙනෙක් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීමට සාමාන්‍ය අයට වඩා වැඩි බාධක ප්‍රමාණයකට මුහුණ දෙනවා.

2013 ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණයට අනුව, පිරිමින්ගෙන් 12.9%ක්, සහ කාන්තාවන්ගෙන් 3.8%ක් ප්‍රකාශ කළේ “ආබාධිත හෝ දුර්වල” නිසා තමන් ආර්ථික වශයෙන් අක්‍රිය බව යි. පිරිමින් හා සසඳන විට කාන්තාවන්ගේ බෙහෙවින් අඩු ප්‍රතිශතයක් දකින්නට ලැබුණත්, කාන්තාවන් අතර ආබාධිත බව වැඩියි. ඒ වගේම සාමාන්‍යයෙන් ගෙදරදොර වැඩපළේ බහුලවම යෙදෙන්නේ කාන්තාවන් නිසා, ඔවුන් මුහුණ දෙන අපහසුතාවයන් ප්‍රමාණය තවත් වැඩියි. සමස්තයක් වශයෙන්, කාන්තාවන්ගෙන් 62.1%ක් ගෘහස්ථ කාර්යයන් නිසා තමන් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් නොවන බව ප්‍රකාශ කර තිබෙනවා. එසේ කී පිරිමින්ගේ ප්‍රතිශතය  5.9% ක් පමණ යි.

  • 4.සේවායෝජකයින් සැමට පොදුවේ අවස්ථාව ලබා දෙන බව සහතික කරන්නේ කෙසේ ද?

ආබාධ සහිත පුද්ගලයන්ට සහ කාන්තාවන්ට රැකියා අවස්ථාවන් සැපයීමේ දී ආයතනවල අභ්‍යන්තර ව්‍යුහය වෙනස් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ගමනාගමන පහසුකම්, කාර්යාල පිවිසුම් ස්ථාන, තොරතුරු ලබා ගැනීමට ඇති මාර්ග, තාක්ෂණික උපාංග, සනීපාරක්ෂක පහසුකම් යනාදිය මෙහි ලා සැලකිල්ලට ගත යුතු වෙනවා.

රැකියා ස්ථානය සහ පරිසරය ආබාධ සහිත පුද්ගලයන්ට උචිත ද? ඒ කියන්නේ, අනෙක් සේවකයන් ආබාධ සහිත අයව කොන් නොකළ යුතු බව යි. ඒ වගේම, විවිධාංගීකෘත රැකියා ස්ථානයක් වශයෙන් ඔවුන් ආබාධ සහිත කාන්තාවන්ගේත්, පුරුෂයන්ගේත් විශේෂ අවශ්‍යතා සඳහා සංවේදීව සිතා බලමින් කටයුතු කළ යුතු වෙනවා. සිල්ලර හා සේවා කර්මාන්තවල දී, පාරිභෝගිකයින් දැනුවත් කිරීම මඟින් සැමට අවස්ථාව ඇති සේවා ස්ථාන ප්‍රවර්ධනය කළ හැකියි.

රාජ්‍ය අංශයේ මෙය ආබාධිතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ සහ සාමාන්‍ය සිවිල් සේවා නියමයන් හා කොන්දේසිවල කොටසක් ලෙස කළ හැකියි. පෞද්ගලික අංශයේ දී, සේවා යෝජකයින් සඳහා වන සම්මතයන්, ප්‍රමිති සහ මාර්ගෝපදේශ සකස් කිරීමේ දී සේවා යෝජකයන්ගේ සංගම්වලට මැදිහත් විය හැකියි.

එම සංගම්වලට ආදර්ශමත් චරිත පිළිබඳව ප්‍රවර්ධනය කළ හැකි අතර ආබාධ සහිත පුද්ගලයන් සේවයේ යෙදවීමට කැමති ආයතන සාමාජිකයින්ට පොදු පහසුකම් මෙන්ම සේවා නියුක්තිය සහ විශේෂිත කුසලතා වෙනුවෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකියි. එහිදී ලාභය ගැන පමණක්ම බලන්නේ නැතිව ආබාධ සහිත පුද්ගලයන් සේවයේ යොදවා ගෙන, ඔවුන්ගේ අමතර හැකියාවන්, නිපුණතාවන් හරහා වැඩි වටිනාකමක් ආයතනයට එක් කර ගැනීම ගැන සලකා බැලෙනවා.

අවසාන වශයෙන්, රජයට සක්‍රීය ප්‍රතිපත්තිමය වාතාවරණයක් සහ සැමට අවස්ථාව ලැබෙන ආයතනික රාමුවක් සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙනවා. එය ආබාධිත අයිතිවාසිකම් සංවිධානවල දායකත්වයෙන් සංවර්ධනය කළ හැකියි.

 Agnieszka Kowalczyk on Unsplash
  • ආබාධ සහිත පුද්ගලයන් සවිබල ගැන්වීමේ දී අධ්‍යාපන පද්ධතිය ඉටු කරන කාර්යභාරය කුමක්ද?

පවුල් සහ සමාජයීය වශයෙන් වෙනස් කොට සැලකීම වැළැක්වීමට සහ ඒවාට එරෙහිව කටයුතු කිරීමට අධ්‍යාපන ක්‍රමයට දායක විය හැකියි. එමඟින් තරුණ ගැහැණු ළමයින් සඳහා වැඩි අවස්ථාවන් ලබා දිය හැකියි. එහිදී මම කලින් රැකියා ස්ථාන ගැන කියපු ආකාරයටම අධ්‍යාපන ආයතනවලටත් ප්‍රවේශය, ගුණාත්මකභාවය සහ පිළිගැනීම යනාදී දේවල් අදාළ වෙනවා.

පාසල්, වෘත්තීය හා, තෘතීයික ආයතන සැමට අවස්ථාව ලබා දෙන පරිදි සකස් කිරීමෙන් ආබාධ සහිත පුද්ගලයන්ට එරෙහි අදහස් හා අගතීන් අවම වෙනවා. එයට පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය වන අතර අධ්‍යාපන ක්‍රමයට සහ ඉන් ඔබ්බටත් එහි ප්‍රතිඵල ලැබෙනවා.

  • ප්‍රතිපත්ති හා අයවැයකරණය තුළ සංශෝධනය කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර මොනවාද?

ප්‍රතිපත්ති මට්ටමින් අවධානය යොමු කළ යුතු හිඩැස් තවමත් පවතිනවා. ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පිළිබඳ මූලික වාර්තාව මඟින්, ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුගත වීම සඳහා ආබාධිතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කළ යුතු බව පෙන්වා දෙනවා. එය 2017-2021 මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ එක් ක්‍රියාමාර්ගයක් වන නමුත් මෙම ප්‍රතිපත්ති රාමුව ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීම සහ සාක්ෂාත් කර ගැනීම සඳහා කලාපීය රාමු සමගත්, තිරසර සංවර්ධන ඉලක්ක සමගත් අනුකූල විය යුතු යි.

ආයතනවල පද්ධතිමය දුරස්ථභාවය (Silo approach) අඩු කිරීම සඳහා ජාතික මට්ටමින් ප්‍රතිපත්ති සකස් කිරීමට අවශ්‍ය වෙනවා. ප්‍රතිපත්ති සමාලෝචනයේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී අපි පසුගාමී වීමට එයත් එක් හේතුවක්. ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීමේදී ආබාධිත ගැටලු සැලකිල්ලට ගන්නේ නැති නම්, ප්‍රාදේශීය මට්ටමටත් එහි බලපෑම එල්ල වෙනවා. එවිට සමාජ ආරක්ෂණ හා ආබාධිත අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යාංශයට ප්‍රාදේශීය මට්ටමට බලපෑම් කරන්න ප්‍රමාණවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ආබාධිතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ආබාධිතභාවය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් බවට පරිවර්තනය කිරීමට මෙතරම් කාලයක් ගතවී තිබීමත් සැලකිලිමත් විය යුතු කරුණක්. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ පැහැදිලි අධීක්ෂණයක් නොමැති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. 

  • සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීමට ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය ඉතා වැදගත් වන්නේ ඇයි?

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැය කියන්නේ කාන්තාවන්ගේ සවිබල ගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහ තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා වන මුදල් වෙන්කිරීම, සහ ඒවායේ ප්‍රතිඵල; ජාතික සැලසුම් සහ ප්‍රතිපත්ති සමග පෙළගැස්වීම යි. රජය සම්පත් රැස් කරන්නේ කෙසේ ද, කොපමණ ප්‍රමාණයක් ද, සහ කුමක් වෙනුවෙන් ද යන්න පිළිබඳව මූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීමට හා අධීක්ෂණය කිරීමට පුළුල් පාර්ශ්වකරුවන් පිරිසකට සහභාගී විය හැකි බව සහතික කිරීම ද ඉන් සිදුවෙනවා.

එය විනිවිදභාවයටත් වැදගත් වෙනවා. ගෙවන්නේ කවුද සහ ප්‍රතිලාභ ලබන්නේ කවුද කියන එක ඒකෙන් පේනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධති වඩාත් විනිවිද පෙනෙන හා ප්‍රතිචාරාත්මක වන්නේ කෙසේ ද සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන මූල්‍ය ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන්නේ කෙසේ ද, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රජය මූල්‍ය අවකාශය නිර්මාණය කරන්නේ කෙසේ ද, ඉහත දක්වා ඇති රාමුව තුළ නීති සහ ප්‍රතිපත්තිවල ප්‍රතිඵල ලබා ගැනීමට ගෙන ඇති උත්සාහයන් මොනවා ද යනාදිය නිරූපණය වෙනවා.

  • ආබාධ සහිත කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට සමාන අවස්ථා ලබා දීම සහතික කිරීම සඳහා අපට කුමක් කළ හැකි ද?

එයට පුළුල් ප්‍රවේශයක් (ස්ත්‍රී පුරුෂ සමාජභාවීය, ජාතිය, ආගම වැනි සියලුම සමාජ හා දේශපාලන අනන්‍යතා ඒකාබද්ධ කිරීම හා සලකා බැලීම) අවශ්‍ය යි. එමඟින් අන්තර් සම්බන්ධීකරණය සහ දුරස්ථභාවය අඩු කරන්න පුළුවන්. ඊට අමතරව, බොහෝ ඉලක්ක සහ දර්ශකයන් රැකියා ක්ෂේත්‍රය තුළ ආබාධ සහිත පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කරනවා. ඉලක්කගත කොටසක් වෙනුවෙන් විවිධ අංශ සඳහා සාමූහිකව අයවැය සැකසීමට, තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුකූලව ගොඩනැගීමට, සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අයවැයකරණයක් ඇති කිරීමට ආයතනික යාන්ත්‍රණ සහ සම්පත් ගොඩනැගීමට ඒ හරහා හැකි වෙනවා.

තිරසර සංවර්ධන ඉලක්කවල ආදර්ශ පාඨය වන ‘කිසිවකුත් නොසලකා නොහරිමු’ යන්න සිහියට ගනිමින් ආබාධ සහිත කාන්තා සහ ගැහැණු ළමයින්ට සමාන අවස්ථා සහ සමාන ප්‍රතිලාභ ලැබෙන පරිදි කටයුතු කළ යුතු වෙනවා.

ඒ වගේම, ‘වඩාත් ආන්තිකරණයට ලක්වූ අයට මූලිකත්වය ලබාදීම’ යන්න සිත්හි තබාගෙන මූල්‍ය අවකාශය පුළුල් කිරීම සඳහා අරමුදල් සහ සම්පත් ලබා ගැනීමේ දී ප්‍රමුඛතා නිර්ණය කරමින් ආබාධ සහිත කාන්තාවන් සහ ගැහැණු ළමයින් කෙරෙහි අවධානය යොමු කළ යුතු යි.

මෙම ප්‍රමුඛතා දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, ආබාධ සහිත ජනතාව සම්බන්ධ දත්ත ලද හැකි නම්, එහිදී ප්‍රදේශය අනුව වඩාත් යුක්ති සහගත ප්‍රවේශයක් ලබා ගත හැකි වෙනවා.

එයට ශක්තිමත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ආබාධිත ප්‍රතිපත්තිය, සැලසුම් කිරීම සහ ජාතික මට්ටමින් ආයෝජනය කිරීම යන ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සහ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ සම්මුතිය මත පදනම් වූ ක්‍රියාමාර්ග තුළින් පොදු කළමනාකරණ පද්ධතිවලින් යහපත් ප්‍රතිඵල ලබා ගන්නට හැකි වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, (ලෝක ජනගහනයෙන් 15%කට ආසන්න ප්‍රමාණයක් වූ) ආබාධ සහිත පුද්ගලයින්ගෙන් 2-4%ක් පමණම ජීවත් වන්නේ දුර්වල තත්ත්වයන් යටතේ යි. බිලියනයකට අධික ජනතාවක් නොසලකා හැරීම කනගාටුදායක බවක් පෙනෙන්නට තිබුණත්, අවාසනාවකට මෙන්, ආබාධ සහිත බොහෝ පුද්ගලයින් මුහුණ දෙන තත්ත්වය එය යි.

අධ්‍යාපන හා රැකියා ක්‍ෂේත්‍රයන්හි සමානාත්මතාවය වෙනුවෙන් කාන්තාවන් දැනටමත් සටන් වැදුණත්, ආබාධ සහිත කාන්තාවන්ට ඒ වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුවී තිබෙනවා.

සමාජ පද්ධතියේ තිබෙන විවිධ දුර්මතයන් නිසා, ආබාධ සහිත අයට සම මට්ටමේ තබා සැලකීමට දක්වන මැළිකම හේතුවෙන් ඔවුන්ට ශ්‍රම බලකාය තුළ දී ලැබෙන්නේ අසමාන සැලකිල්ලක්.

ආබාධ සහිත පුද්ගලයින්ට දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් ඇති බැවින්, ආර්ථිකයට ක්‍රියාශීලීව දායක වීමට අවස්ථාව ලබා දී නැහැ. අධ්‍යාපන සුදුසුකම් ප්‍රමාණවත් නොවීමත්, සමාජය තුළ කොන් කර තිබීමත්, ඉහළ මට්ටමේ දරිද්‍රතාවත් ඔවුන්ට විඳ දරා ගන්නට සිදුව තිබෙනවා. UN Women ගෙන ආ 2019 ශ්‍රී ලංකාවේ ආබාධ සහිත කාන්තාවන් පිළිබඳ වාර්තාව එය තහවුරු කරනවා.

මෙම ගැටළුව තවදුරටත් ගවේෂණය කිරීම සඳහා, මොරිෂස් හි මානව හිමිකම් සහ තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සඳහා මුල්‍ය යෙදවීම පිළිබඳ විශේෂඥයෙකු වන, සමාජ ආර්ථික විද්‍යාඥයෙකු හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය විශ්ලේෂකයෙකු වන නලිනී බර්න් සමග අපි කතා කළා. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා විශේෂඥවරියක වන ඇය, ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනුවෙන් අයවැය සැකසීමේ දී ආබාධ සහිත අයව ද ඇතුළත් කර ගත යුතු බවට වන එක්සත් ජාතීන්ගේ කාන්තා ප්‍රයත්නයට සහාය දැක්වීම ඇතුළු විවිධ රටවල විවිධ වැඩසටහන් සඳහා දායක වී තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Related Articles