නව වගාක්‍රම භාවිතයෙන් ඔබේ අස්වැන්න වැඩි කරගන්න – තෙවන දිගහැරුම

ලෝකයේ බොහෝ රටවල කෘෂිකර්මාන්තය සිදු කෙරෙන ආකාරය අද වනවිට ඉතා දියුණු තත්වයක පවතින අතර එය තව තවත් දියුණුවෙමින් පවතින බවත් දැකගන්න පුළුවන්. සාම්ප්‍රදායික ක්‍රමයකට හුරුවූ අප රටේ කෘෂිකර්මාන්තයට දියුණු තාක්ෂණික ක්‍රම හරහා සංවර්ධනය කරගැනීම තුලින් අනෙකුත් රටවල් ඇතිකර තිබෙන තරගකාරීත්වයට මුහුණදීමට  හැකියාව ලැබෙනවා. ඒ සඳහා දැනට ලෝකය තුල යොදා ගන්නා සහ ශ්‍රී ලංකාව තුල යොදා ගන්නා නමුත් වැඩි වශයෙන් ගොවීන් අතර ජනප්‍රිය නොවුණු තාක්ෂණික ක්‍රමයන් ජනතාව අතරට ගෙන ඒම මේ ලිපි පෙලෙහි මුලික අරමුණයි.

මෙම ලිපියෙන්ද එවැනි තවත් නව ක්‍රමයක් වන කාබනික කෘෂිකර්මාන්තය හා එහි වර්තමාන තත්වය පිළිබඳව විස්තර කෙරෙනවා.

සරුවට වැවුණු කාබනික වගාවක් (biodiversita.info)

මොකක්ද මේ කාබනික කෘෂිකර්මාන්තය කියන්නේ?

වායුගෝලීය හානිය, පසට වන හානිය, පාරිසරික අසමතුලිතතාවය හා ජිවින්ට වන හානිය අවම කරගනිමින් කරනු ලබන වගා ක්‍රමයක් කාබනික වගාව ලෙස හැඳින්වෙනවා. මෙහිදී කෘතීම අමුද්‍රව්‍ය වෙනුවට කෘෂිකාර්මික ක්‍රම, පාරිසරික හා යාන්ත්‍රික ක්‍රම යොදාගැනෙනවා.

මෙම ක්‍රමය මෙරට අද පවතින වගා ක්‍රමයෙන් තරමක් වෙනස් වන්නේ මෙහිදී කාබන් අඩංගු පොහොර, කෘමිනාශක හා වල්නාශක වර්ග භාවිත නොකිරීම නිසායි. දැනට අපේ රටේ පවතින වගා සියල්ලේම පාහේ කෘත්‍රීම හා ජලයේ වැඩි වශයෙන් දියවන පොහොර වර්ග, කෘත්‍රීම කෘමිනාශක හා වල්නාශක භාවිතය නිතරම දකින්න පුළුවන්. නමුත් කාබනික වගා ක්‍රමයේදී නව තාක්ෂණය, අතීතයේ යොදාගත් ක්‍රමයන් එකට එක්කොට භාවිත කරනවා.

කාබනික කෘෂිකර්මාන්තයේ අතීත තොරතුරු

ඈත අතීතයේ සිටම මිනිසා කෘෂිකර්මාන්තයට හුරුවූ අතර අතීතයේ තම වගාවන් පරිසර හිතකාමී ආකාරයෙන් සිදුකරනු ලැබුවා. නමුත් දියුණු වූ තාක්ෂණය හා ජනගහන වර්ධනයට මුහුණදීමට සිදු වූ නිසා විවධ ක්‍රමයන් අත්හදාබැලීමට මිනිසා යොමුවූවා. මේවා හරහා වැඩි අස්වැන්නක් ලබාගැනීම, අඩු ඉඩක් තුල වගා කිරීමට හැකියාව ලැබීම සහ ඉතා ඉක්මනින් අස්වැන්න ලබා ගැනීමට හැකිවීම හේතුවෙන් පරිසරය පිළිබඳව සැලකීමක් නොකරම ලාභය උදෙසා පමණක් වගාකටයුතු කිරීම අාරම්භ වුණා.

කෘත්‍රීම රසායනික වර්ග හඳුන්වාදීම 19 වන සියවසේ මැද භාගයේදී පමණ සිදුවූ අතරම එමගින් වැඩි ලාභය, ක්‍රියාකාරීත්වය ඉතා ප්‍රබල වීම, විශාල ප්‍රමාණයක් වුව පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි වීම, කෙටි කාලයකින් ප්‍රතිපල ලබාගත හැකි වීම නිසාම මෙම ක්‍රමය ගොවීන් අතර ඉක්මනින් ජනප්‍රිය වුණා. නමුත් කල්යත්ම මෙම ක්‍රමයෙහි අතුරු ප්‍රතිපල ලෙස පාංශු දුෂණය, අධික බලශක්ති අවශ්‍යතාව, පස නිසරු වීම, යොදාගත් විෂ වර්ග ආහාර හරහා ශරීරයට ඇතුල්වීම බහුලව සිදු වුණා.

මේ නිසා මිනිසාට හා පරිසරයට හිතකර කාබනික වගාක්‍රමය 1940 වර්ෂයේ පමණ ලෝකයට හඳුන්වාදීමට කාබනික කෘෂිකර්මාන්තයේ පියා ලෙස හැඳින්වෙන හොවර්ඩ්ට හැකියාව ලැබෙනවා.

කාබනික කෘෂිකර්මාන්තයේ ඇති වාසි

වර්තමානයේ බහුලව සිදු කෙරෙන කෘත්‍රීම ද්‍රව්‍ය පාදක කරගත් කෘෂිකර්මාන්තයකට වඩා කාබනික කෘෂිකර්මාන්තය අපිට ලැබෙන ප්‍රධාන වාසි කීපයක් පහත දැක්වෙනවා.

  • ජීවී ක්‍රියාවලිය සමතුලිතව පවත්වා ගැනීම
  • දිගුකාලීනව පසේ සරුබව රැක ගැනීම
  • අමුද්‍රව්‍ය නැවත නැවත භාවිතය
  • සෞඛ්‍යයට හිතකර ආහාර නිෂ්පාදනය
  • නුතන වගාක්‍රමය හරහා අැති විය හැකි විවිධ ලෙඩරෝගවලින් අාරක්ෂාව ලැබීම
  • ආහාරවල පෝෂණ ගුණය ආරක්ෂා වීම
  • විෂ වර්ග ආහාරවල අඩංගු නොවීම
  • නිවැරදි ක්‍රම භාවිතයෙන් දී අවශ්‍ය පිරිවැය අවම වීම
  • පාංශු ජීවින් ආරක්ෂා වීම
  • සාම්ප්‍රදායික දැනුම වඩාත් හොඳින් යොදාගත හැකිවීම
  • කාබනික අස්වැන්නට අැති ඉහළ ඉල්ලුම නිසා වගාකරුවන්ට හොඳ අාදායමක් ලැබීම
  • පාරිසරික හානිය අවම වීම

කාබනික වගාවක් ආරම්භ කරන අාකාරය

අද වනවිට බොහෝ සෙයින් දියුණු වී ඇති, ඉහළ ඉල්ලුමක් පවතින වගා ක්‍රමයක් විදියට කාබනික වගා ක්‍රමය හඳුන්වන්නට පුළුවන්. දේශීය දැනුම හා නව තාක්ෂණය එක්කොට අනාගත මිනිස් පරිභෝජනයට අවශ්‍ය සියලුම ආහාර වර්ගයන් අද වන විට කාබනික වගා ක්‍රම භාවිතයෙන් වගා කරන අතරම ඒ හරහා ගොවීන්ට ඉහළ ආදායමක්ද ලබාගන්නටත් හැකිවී තිබෙනවා. කොහොම නමුත් දැනට සිදුකරන වගා ක්‍රම හරහා විනාශවී ඇති පරිසර පද්ධතිය මේ වගාවන්ට සුදුසු වන ආකාරයෙන් නැවත සකසා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් පහත දැක්වෙන ලෙස නිවැරදිව තම වගා ක්‍රමය පවත්වාගෙන යාම වැදගත් වෙනවා.

වාණිජ වශයෙන් සාර්ථක කාබනික වගාවක් අාරම්භ කිරීමේ ප්‍රධාන පියවර තුනක් දක්වන්න පුළුවන්.

  1. වගා භූමිය සකසා ගැනීම
  2. වගාව නඩත්තුව
  3. අවශ්‍ය පුහුණුව හා තත්ව සහතිකයක් ලබාගැනීම

දැන් මේ එකින් එක සලකා බලමු.

වගාභූමිය සකසා ගැනීම

පළමුව ඔබේ වගා භූමියෙහි තිබෙන පස්වල තත්වය පරික්ෂා කර ගත යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ පිළිගත් ආයතනයක් වන ශ්‍රී ලංකා තත්ව සහතික ආයතනය හරහා කරගන්න පුළුවන්. මෙහිදී මුලිකව බලාපොරොත්තු වන්නේ ඔබේ වගා භූමිය තුළ කෘත්‍රීම පොහොර වර්ග නොමැතිව වගාව පවත්වාගන්න හැකිද යන්නයි. තවද ඔබේ භූමියට අවශ්‍ය අනෙකුත් පෝෂක ද්‍රව්‍ය මොනවද යන්නත් සොයා ගන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා.

මෙහිදී ඔබේ පසට සුදුසු වන භෝග වර්ග මොනවාද යන්නත් සොයා ගන්න පුළුවන්. මේ අවස්ථාවේ ඔබේ අස්වැන්න සඳහා වෙළඳපොළෙහි ඇති ඉල්ලුම ගැනත් සලකා බැලීම අත්‍යවශ්‍ය කාරණයක්. වගාව පටන් ගන්න කලින් අනෙකුත් ගොවීන් හා ගැනුම්කරුවන් සමග සබඳතාවක් ඇති කර ගැනීම තුලින් ඔබේ ගැටලුවලට විසඳුම් ඉක්මනින් සලසා ගන්නත් පුළුවන් වේවි.

මේ සියල්ලට පසු වගාබිම සකස් කර ගැනීම කළ යුතු අතර ඒ සඳහා තාක්ෂණික දැනුම ප්‍රදේශයේ ගොවි නියාමක මහතා හරහා වුවත් ලබාගන්න පුළුවන්.

වගාව නඩත්තු කිරීම

මෙහිදී ප්‍රධාන වශයෙන් ශාකවලට අවශ්‍ය පෝෂක ලබාදීම කළ යුතුයි. කාබනික වගාවකදී යොදා ගන්නේ කොම්පෝස්ට් පොහොර පමණයි. මේවා අද වන විට වෙළඳපොළෙන් අඩු මිලකට ලබාගන්න පුළුවන් වුණත් අපට නිවසේදී ම වුවත් එ්වා සාදා ගන්න පුළුවන්.

නිවැරදි අාකාරයේ ජල සැපයුමක් ලබාදීමෙන් ශාකයේ නඩත්තුව සිදු කළ යුතු අතර විවිධ ශාකවලට අවශ්‍ය ජල ප්‍රමාණය එකිනෙකට වෙනස් වන නිසා ඒ පිළිබඳව දැනුවත් වී සිටීමත් ඉතා වැදගත්. වල් පැළෑටි මර්ධනය හා කෘමි මර්ධනයත් හොඳ අස්වැන්නක් ලබාගන්න හේතු වෙනවා.

පුහුණුව හා තත්වසහතිකයක් ලබාගැනීම

නිසි පුහුණුව කියන්නෙත් වගාවක් පටන් ගැනීමට පෙර මෙන්ම කරගෙන යන අතරතුරදීත් ලබා ගත යුතුම දෙයක්. වගාව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන්ම නිෂ්පාදන වෙළඳපොළට ලබාදීමේදී අනුගමනය කළ යුතු දේවල් පිළිබඳවත් පුහුණුවේදී කරුණු දැන කියා ගන්න පුළුවන්.

තමන්ගේ නිෂ්පාදනය කාබනිකව නිෂ්පාදනය කර ඇති බව පාරිභෝගිකයන් දැනුවත් වීමත් අත්‍යවශ්‍ය කාරණයක්. ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිගතකරන ආයතනය හරහා නිෂ්පාදනවලට තත්ත්ව සහතිකයක් ලබාගන්න පුළුවන්.

ප්‍රමිතිගත කිරීමෙන් පසු නිෂ්පාදනවලට භාවිත කළ හැකි ලාංජනයක් (growlanka.com)

කාබනික කෘමිනාශක හා වල්නාශක

කාබනික වගාවකදී භාවිතයට ගත හැකි කෘමි හා වල් මර්ධන ක්‍රම කිහිපයක් පහත පරිදි දක්වන්න පුළුවන්.

  • කෘමි විකර්ෂක ශාක වර්ග වගා බිම අවට සිටුවීම
  • කෘමින් ආහාරයට ගන්නා සතුන් වගාබිමෙහි ඇතිකිරීම
  • වගා බිම පිරිසිදුව තබාගැනීම හා හානි වූ ශාක හැකි ඉක්මනින් ඉවත්කිරීම
  • ඔයිල් වර්ග, ෂැම්පු වර්ග, මිරිස්කුඩු, සුදු ළුෑණු වැනි විෂ නොවන ද්‍රව්‍ය යොදාගැනීම
  • උගුල් ඇටවීම හා මිනිස් ශ්‍රමය යොදාගෙන කෘමින් ඉවත් කිරීම
  • හරිතාගාර තුල වගාකිරීම
  • කාබනික වගාවන්ට යොදාගන්නා කෘත්‍රීම පොහොර හා කෘමිනාශක වර්ග භාවිතය, මේවා පරිසරයට හානි නොවන සේ නිපදවා ඇත.
  • මිශ්‍ර භෝග වගාව

මෙවැනි විවිධ ක්‍රම ඔස්සේ වල් හා කෘමි මර්ධනය කරන්න පුළුවන්. නමුත් යම් වළක්වා ගත නොහැකිම අවස්ථාවක යම් පලිබෝධ නාශක හෝ කෘමිනාශක භාවිතා කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක පිළිපැදිය යුතු නිතීන්ද තිබෙනවා.

  • මිනිසාට අහිතකර නොවිය යුතුයි
  • හිතකර කෘමීන්ට හානිකර නොවිය යුතුයි
  • යොදා ගන්නා ද්‍රව්‍ය නිෂ්පාදනයේදී පරිසරයට හානියක් නොවිය යුතුයි
  • යෙදීම නිසා පරිසරයට කිසිදු බලපෑමක් නොවිය යුතුයි

ලෝකයේ කාබනික වගාවේ භාවිතය

2016 වර්ෂයේ සිදු කරන ලද සමීක්ෂණවලට අනුව ලෝකය තුල කාබනික වගාවේ ප්‍රමාණයන් පහත සඳහන් අාකාරයට දක්වන්න පුළුවන්.

ලෝකයේ කාබනික වගාවේ තොරතුරු (www.fibl.org)

ශ්‍රී ලංකාවේ කාබනික වගාව භාවිතය

ශ්‍රී ලංකාවේ කාබනික වගාවක් (ft.lk)

දැනට ශ්‍රී ලංකාව තුල ප්‍රධාන වශයෙන් තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, ගම්මිරිස්, කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, කුරුඳු, ඉඟුරු, වැනිලා, බෙහෙත් පැළෑටි, ඔයිල් වර්ග, එළවලු, කෝපි, කොකෝවා, පළතුරු, අන්නාසි, ගස් ලබු, කෙසෙල්, අබ, දොඩම්, සහල්, මීපැණි ආදී නිෂ්පාදන කාබනික වගා ක්‍රමයෙන් නිපදවනු ලබනවා. මෙලෙස කරන ලද වගාවන්ගේ ප්‍රමාණයන් මෙසේයි: 2008 දී හෙක්ටයාර 19,191 , 2010 දී හෙක්ටයාර 31,585 ක්; මේ අනුව මෙරට කාබනික අස්වනු නිපදවීම සැලකිය යුතු ලෙස වැඩිවී තිබෙනවා. 2010 දී මෙගාටොන් 41,128.3ක් (මෙට්‍රික් ටොන් බිලියන) නිෂ්පාදනය කර තිබෙනවා.

ඔබත් ඔබේ වගා කටයුතු කාබනික පැත්තට හරවා ගැනීමෙන් ඒ සඳහා ලැබෙන ඉහළ ඉල්ලුම ප්‍රයෝජන ගැනීම තුළින් ආර්ථික වාසියක් මෙන්ම වසවිස නැති ආහාර වර්ග කාගෙත් පරිභෝජනය වෙනුවෙන් දායක කිරීමේ ආධ්‍යාත්මික වාසියද ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ ලිපිය කියවන ඔබ වගා කටයුතුවලට සෘජුව දායක වුණත් නොවුණත් එය වැදගත් විය හැකි තවත් කෙනෙකු වෙනුවෙන් share කරන්නත් කාරුණික වන්න.

කවරයේ පින්තූරය : thethreewisemonkeys.com

මුලාශ්‍ර:

  1. http://www.fao.org/organicag/oa-faq/oa-faq1/en/
  2. http://www.omafra.gov.on.ca/english/crops/facts/09-077.htm
  3. http://www.omafra.gov.on.ca/english/crops/facts/09-077.htm
  4. http://www.agricultureguide.org/advantages-and-disadvantages-of-organic-farming-methods/
  5. http://www.wikihow.com/Farm-Organically
  6. http://slab.lk/
  7. http://www.srilankabusiness.com/organic/

Related Articles