Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නව වගාක්‍රම භාවිතයෙන් ඔබේ අස්වැන්න වැඩිකරගන්න – සිව්වන දිගහැරුම

මීට කලින් ලිපි තුනකින්ම අලුත් වගාක්‍රම ගැන ඔබව දැනුවත් කලා. හරිතාගාර තාක්ෂණය, ජලමාධ්‍යයේ වගාකිරීම, කාබනික කෘෂිකර්මාන්තය ඒ ලිපි තුනයි. මේ ලිපියත් ඒ වගේම අලුත් වගාකිරීමේ ක්‍රමයක් ගැනයි. වගාවට අවශ්‍ය තරම් ඉඩක් නැතිනම් ඔබට සිරස් කුළුණු ක්‍රමය හරහා හොද වගාවක හිමිකාරයෙක් වෙන්න පුළුවන්. නාගරික මෙන්ම ග්‍රාමීය පරිසරයක ජිවත්වන ඔබටත් මේ ක්‍රමය ගෙදරදී වුනත් අත්හදා බලන්න පුළුවන්.

සිරස් කුළුණුවල වගාකිරීම

අද වනවිට ලංකාව මෙන්ම ලෝකයද මුහුණදී ඇති ප්‍රධාන ගැටළුවක් විදියට වගාබිම් අඩුවීම හදුන්වන්න පුළුවන්. දිනෙන් දින මිනිස් ජනගහනය වර්ධනයවීම, භූමිය​ කාන්තාර බවට පත්වීම, පසේ ගුණාත්මකභාවය අඩුවීම, ජලය හිගවීම ආදී මෙකී නොකී බොහෝ කරුණු මේ ගැටලුවට මුලික හේතුවෙනවා. මෙලෙස වගාබිම් අඩුවීම නිසා අනාගතයේ අහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් ඇතිවීම නිසාම මිනිසා ඉදිරි අනාගතයට මුහුණදීමට විවිධ අත්හදාබැලීම් සිදුකරන බව ඔබ අප සැවොම දන්නා කරුණක්. ඉතින් මේ ලිපියෙහිද එලෙස අත්හදාබැලු සාර්ථක වගා ක්‍රමයක්වන සිරස්ලෙස වගාකිරීමේ ක්‍රමය පිලිබදව කරුණු ඇතුලත්වනවා.

මොකක්ද මේ සිරස් ලෙස වගාකිරීම කියන්නේ?

සාමාන්‍යයෙන් අප රටේ වගාකටයුතු කිරීමේදී තිරස් භුමිය යොදාගෙන වගාකටයුතු කරනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ වගාකිරීමේදී කුළුණු යොදාගෙන සිරස් වගාවක් සිදුකිරීමයි. පහත ඡායාරූපයෙන් එය වඩා හොදට දැකගන්න පුළුවන්. මේ ක්‍රමය එලිමහනේ, නිවාස ඇතුලත වගේම හරිතාගාර තුලත් අද වනවිට යොදාගන්නවා. මෙහිදී වගා මාධ්‍ය විදියට පස් හෝ ජල මාධ්‍ය යොදාගන්න පුළුවන්. නමුත් ලෝකයේ බොහෝ මහාපරිමාණ වගාවන් සදහා මේ ක්‍රමය  යොදාගැනීමේදී ජලමාධ්‍ය වගාව යොදාගන්නවා.

සිරස් ලෙස වගා කරනලද වගාවක ඡායාරූපයක් (www.digitaltrends.com)

සිරස් වගා ක්‍රමයේ ඉතිහාසය දෙස බලනවිට පළමු සිරස් වගාවේ හිමිකම ආර්මෙනියාවට හිමිවනවා. 1951 වර්ෂයේ පමණ ඔවුන් පළමු සිරස් වගාවක් සිදුකල බවට සාක්ෂි පවතිනවා.

සිරස් වගාවක වාසි මොනවාද?

සාමාන්‍ය වගාවකට වඩා සිරස් ලෙස වගාකිරීමේදී ඇති වාසි පිලිබදව දැනුවත් වීම මෙවැනි තාක්ෂණයක් පිලිබදව සොයාබැලීමේදී වැදගත්ම කරුණක්. සාමාන්‍ය වගාවකට වඩා මේ ක්‍රමයේ ඇති වාසි පහත පරිදි දක්වන්න පුළුවන්.

  • කාබනික අස්වැන්නක් ලබාගැනීමට සුදුසුම ක්‍රමයක්වීම
  • ගොඩනැගිලි තුල වුවත් වගාව පහසුවෙන් සිදුකළහැකි නිසා පරිසර විපර්යාසවලින් වගාවට හානි අවමවීම
  • වෙළදපල ආශ්‍රිතව වුවත් වගාකලහැකි නිසා ප්‍රවාහන වියදම් අවමවීම තුලින් පරිසර දුෂණය අවමවීම
  • කාර්යක්ෂම ක්‍රමයක්වීම
  • සාමාන්‍ය වගා ක්‍රමයකට වඩා 40% ත් 30% අතර ප්‍රමාණයක ජල ප්‍රමාණයක් මේ හරහා ඉතිරිකරගතහැකිවීම
  • වාර්ෂිකව වර්ග අඩියකින් ලබාගතහැකි අස්වැන්න සාමාන්‍ය වගා ක්‍රමයට වඩා ඉහලවිම
  • වගාකරුවන්ට හදිසි අනතුරු අවම ආරක්ෂා සහිත ක්‍රමයක්වීම
  • පරිසර දුෂණය අවමවීම
  • ගෙවතු වගාවකට සුදුසු ක්‍රමයක්වීම
  • වගාව නඩත්තු කිරීමේ පහසුව
  • අවශ්‍ය වගාබිමේ ප්‍රමාණය අවමවීම
  • අඩු ශ්‍රමික පිරිවැය
  • නිවාස අලංකාර කරගැනීමට යොදාගතහැකිවීම

සිරස් ලෙස  කරන වගාවක  යොදාගන්නා තාක්ෂණය

ලංකාව තුල වුවත් මල් වර්ග වගාවේදී, ගෙවතු වගාවේදී මේ ක්‍රමය යොදාගත්තත් මහාපරිමාණ වගාකටයුතු වලට යොදාගැනීම ඉතා අඩුතත්වයක පවතිනවා. නමුත් ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ ආහාර නිෂ්පාදනය කරගැනීමට මෙම ක්‍රමය යොදාගන්නවා. විදෙස් රටවල පවතින දේශගුණ තත්වයන් සමග හරිතාගාර තුල වගාව යොදාගත්තත් ලංකාව වැනි රටකට එලෙස හරිතාගාර තුලම වගා කිරීම අත්‍යවශ්‍ය නොවනු ඇත.

මෙම ක්‍රමයේදී කුළුණක් සාදා එහි වගා කටයුතු සිදුකිරීම මුලික සිද්ධාන්තයවනවා. අද වනවිට තාක්ෂණය සමග වගාව සිදුකරන කුලුනේ හැඩය අනුව විවිධවූ කුළුණු වර්ග නිෂ්පාදකයන් නිපදවා තිබෙනවා. මෙහිදී පැල වලට අවශ්‍ය හිරුඑළිය, ජලය ලබාදීමේ පහසුවත් වැඩි ඉඩක් ලබාගැනීමේ පහසුවත් යන කරුණු සලකා විවිධ හැඩයෙන් කුළුණු නිර්මාණය කර තිබෙනවා.

විවිධ හැඩයෙන් යුතු කුළුණු වර්ගවල ඡායාරූපයක් (www.pinterest.co.uk)

වර්තමානය වනවිට සිරස් වගාක්‍රමයේ තාක්ෂණය ගෘහාශ්‍රිතව වගාකිරීමත්, පරිසර පද්ධතිය​ පාලනය කර වගාකිරීමත් කෙරෙහි යොමුවී තිබෙනවා. මෙහිදී හිරු එළිය, තෙතමනය, උෂ්ණත්වය වැනි සාධක පාලනය කරනු ලබනවා.

සිරස් වගාක්‍රමයේදී දැනට වගාකරන ශාක වර්ග

මුලිකවම මෙම ක්‍රමය යොදාගෙන වගා කටයුතු කිරීමේදී සුදුසු පැලැටි වර්ග තෝරාගත යුතුයි. මෙහිදී හොද වෙළදපලක් තිබෙන ඒ වගේම වැඩි ආර්ථික වාසි ගෙනෙන ශාකවර්ගයක් තෝරාගත යුතුයි. දැනට ලෝකයේ වගාකරුවන් වගා කරන ශාකවර්ග පහත පරිදි දක්වන්න පුළුවන්.

බෝංචි, ඖෂධ, සලාද, මල් වර්ග, බෙල් පෙපර්, ඔක්රා, ගෝවා, කැරට්, ග්‍රීන් අනියන්, ස්ට්‍රෝබෙරි, පිපිඤ්ඤා, තක්කාලි

ලෝකයේ සිරස් වගාක්‍රමයේ භාවිතය

ලෝකයේ රටවල් තුල මෙම ක්‍රමය යොදාගෙන ඉතා සාර්ථකව වගාකටයුතු කරන අතර අපට සමීපම රටවන ඉන්දියාවේත් මේ ක්‍රමය යොදාගෙන ගෙවතුවල වගා කටයුතු කරනවා. දැනට මේ ක්‍රමය පරීක්ෂණ මට්ටමින් සාර්ථකව ඔවුන් අත්හදාබලා තිබෙනවා. ඉන්දීය කෘෂිකර්ම පරීක්ෂණ ආයතනය මගින් සාර්ථකව වම්බටු, තක්කාලි හා අල මේ ක්‍රමය හරහා වගාකර තිබෙනවා.

ලෝකයේ විශාලම සිරස් වගාව විදියට නිව්යෝක් නුවර පිහිටි වර්ගඅඩි 70,000 වන ගෘහස්ථ​ වගාභුමිය හදුන්වන්න පුළුවන්. එහි නිෂ්පාදකයින් එම වගාව හරහා සලාද රාත්තල් මිලියන 2 වාර්ෂිකව අස්වැන්න ලෙස බලාපොරොත්තුවනවා. මෙහි සාමාන්‍ය වගාවකට වඩා 95% ක ජල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට ඔවුන් බලාපොරොත්තුවනවා. මෙහි ජල සැපයුම ස්වයංක්‍රීයව සිදුවන අතර ශාකවල වර්ධනය සංවේදක උපකරණ හරහා සොයාබැලිය හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

ලෝකයේ විශාලම සිරස් වගාවේ ඡායාරූපයක් ( dispatchweekly.com)

ලංකාවතුල සිරස් වගාක්‍රමය කොහොමද අද වනවිට භාවිතා කරන්නේ?

අද වනවිට ලංකාවේ ගෙවතු තුල මෙම වගාක්‍රමය බහුලව භාවිතා කරනවා. අඩු ඉඩක නිවසේ පරිභෝජනයට අවශ්‍ය සියලු එළවලු වර්ග මේ ක්‍රමයෙන් නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් තිබීම එයට හේතුවයි. නමුත් මහාපරිමාණ වගාවන්ට තවමත් ලංකාව මේ ක්‍රමය යොදානොගැනීම මුලික අඩුපාඩුවක් වෙනවා. ඒවගේම මල් වගාවේදීත් බහුලව මේ ක්‍රමය ලංකාව තුල භාවිතා කරනවා.

ලංකාවේ භාවිතා කරන සිරස් වගාවක ඡායාරූපයක් (www.exportagridept.gov.lk)

ලගදීම ලංකාවේ මේ ක්‍රමයේ නවවෙනසක් සිදුකිරීමට මිල්රෝයි පෙරේරා සහ සමාගම හා මාගා ආයතනය එක්ව දැනට නිර්මාණය කරගෙන යමින් පවතින ක්ලියර්පොයින්ට් රෙසිඩන්ස් නිවාස සංකීර්ණය හදුන්වන්න පුළුවන්. නිර්මාණකරුවන්ට අනුව එය ලංකාවේ පළමු සිරස් වගාසංකීර්ණයත් ලෝකයේ  උසම සිරස් වගාවත් බවට පත්වීමට නියමිතයි. මෙය කෝට්ටේ ප්‍රදේශයේ දැනට ගොඩනගමින් පවතින අතර එය මේ වසර තුල නිර්මාණය අවසන් කිරීමට​ සැලසුම්කොට තිබෙනවා.

දැනට නිර්මාණයට සැලසුම්කර ඇති ක්ලියර්පොයින්ට් රෙසිඩන්ස් නිවාස සංකීර්ණයේ සිතුවමක ඡායාරූපයක් (www.lankapropertyweb.com)

සිරස්ලෙස වගාකිරීමේදී දැනට මුහුනපාන අභියෝග

දැනට තාක්ෂණික මට්ටමෙන් දියුණුවෙමින් පවතින තාක්ෂණයක් නිසාවෙන් මේ තාක්ෂණය තවදුරටත් දියුණුකරගත යුතුයි. යම් කෙනෙකු මේ තාක්ෂණය පිළිබද යම් උනන්දුවක් ඇතිනම් පහත සදහන් දුර්වලතා දැනගැනීම අනාගතයේ නව නිර්මාණකරණයට යම් අත්වැලක්වනු නොඅනුමනයි.

  • අවශ්‍ය පිරිවැය අධිකවීම
  • වගාකළහැකි ශාක වර්ග ප්‍රමාණය අවමවීම
  • අවශ්‍ය තාක්ෂණික දැනුම ඉහලවීම

මුලාශ්‍ර :

whatis.techtarget.com/definition/vertical-farming

www.countryfarm-lifestyles.com/vertical-farming.html#.WbBPT7KGPIU

www.agricultureguide.org/vertical-farming-advantages-and-disadvantages

www.cropsreview.com/vertical-farms.html

කවරයේ පින්තූරය : සිංගප්පූරුවේ SkyGreen සිරස් ගොවිපල (Reuters)

Related Articles