සකීර් මූසා හෙවත් සකීර් රෂීඩ් භාත් යනු ඉන්දියානු රජයට අවශ්‍යම සිටි ලැයිස්තුවේ සිටි ප්‍රධානම ත්‍රස්තයෙක්. සකීර් මූසා නම් මේ කැරලි නායකයාව ඝාතනය කිරීමට ඉන්දියානු හමුදාව පසුගිය 23 වන දා සමත් වෙනවා. ඒ, ඉන්දියානු පාලනය යටතේ පවතින දකුණු කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේ දී යි.

සකීර් මූසා ඉන්දියානු රජයට අවශ්‍යම ත්‍රස්තයෙකු ලෙස නම් කර ඝාතනය කර දැමූවත්, බහුතර මුස්ලිම් ජනතාවක් වාසය කරන කාශ්මීරයේ ඇතැම් ප්‍රදේශවල එම ඝාතනයට විරුද්ධව උද්ඝෝෂණ සමූහයක් ඇති වී තිබෙනවා.

දකුණු කාශ්මීරයේ ඉන්දියානු පාලිත ප්‍රදේශයේ මුස්ලිම්වරුන් වැඩි පිරිසක් වෙසෙන අතර, ඔවුන්ව ත්‍රස්තයන් ලෙස නම් කර ඉන්දියානු හමුදා විසින් කෘර වද හිංසාවලට ලක් කෙරෙන බව පසුගිය දිනක විදෙස් මාධ්‍ය සේවයකින් වාර්තා කර තිබුණා. පවතින මේ තත්ත්වය හේතුවෙන් කාශ්මීරයේ ක්‍රියාත්මක වන අන්තවාදී කණ්ඩායම්වලට සාමාන්‍ය ජනතාවගේ සහාය ද හිමිවෙනවා.

දිගු කලක් තිස්සේ කාශ්මීරයේ ඇවිලෙන ගින්න

කාශ්මීරයේ උද්ඝෝෂකයන් පළවා හරින ඉන්දියානු හමුදා (www.thenews.com.pk)

1989 සිට කාශ්මීරයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයින් 70,000කට වඩා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඊට අමතරව තවත් විශාල ගණනාවක් තුවාල ලබා තිබෙනවා. 1990 වසරේ දී සන්නද්ධ කැරලිකරුවන් කාශ්මිරයේ ඉන්දියානු හමුදාවට හා සිවිල් හින්දු වැසියන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනවා.

මේ සඳහා සියලු අනුග්‍රහය ලබා දෙන්නේ පාකිස්ථාන රජය බව පවසමින් ඉන්දියාව පාකිස්ථානයට චෝදනා එල්ල කරන නමුත්, එම චෝදනා පාකිස්ථානු රජය තරයේ ප්‍රතික්ෂේප කරනවා.

බුර්හාන් වානි ඝාතනයෙන් පසුව ඉන්දියානු හමුදා ලබාගත් විශාල ජයග්‍රහණය

බුර්හාන් වානි ඝාතනයට විරෝධය පළ කරන කාශ්මීර ඉස්ලාම්වරුන් (Outlook India)

මීට පෙර ඉන්දියානු හමුදාවන් 2016 වසරේ දී  තරුණ කැරලි නායක බුර්හාන් වානි ඝාතනය කළ අතර, ඉන් පසුව කාශ්මීරය පුරා විරෝධතා ව්‍යාපාර හටගත්තා. මෙම විරෝධතා ව්‍යාපාර මර්දනය කිරීම සඳහා ඉන්දියානු රජය දැඩි පියවර ගනු ලබනවා. එහිදී ඇති වූ ගැටුම් හේතුවෙන් සාමාන්‍ය ජනතාව ද මිය යන අතර එම ගැටුම් මේ වන තුරුත් අවසන් වී නෑ.

කාශ්මීරයේ ප්‍රමුඛ කැරලි කණ්ඩායමක් මෙන්ම ගරිල්ලා ප්‍රහාර හා මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කරන කණ්ඩායමක් ලෙස ද ප්‍රසිද්ධ හිස්බ්-උල්-මුජහිදීන් (ශුද්ධ වූ සටන්කාමීන්ගේ පක්ෂය​) සංවිධානයේ අණ දෙන්නා ලෙසයි බුර්වාන් වානි ඝාතනය වන විට කටයුතු කරන්නේ. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 22ක්.

එම ඝාතනය ඉන්දියානු හමුදා ලබාගත් විශාල ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වුණු අතර ඔහුගේ ඝාතනයෙන් පසුව ඉන්දියානු හමුදා ලබාගත් ප්‍රධාන ජයග්‍රහණය ලෙස පසුගිය 23 දා සිදුකළ සකීර් මූසා ඝාතනය හදුන්වා දී තිබෙනවා.

ත්‍රස්තවාදියෙකු වූ ඉංජිනේරු සිසුවා

මූසා මරා දැමීම පිළිබඳව විරෝධතාව ප්‍රකාශ කරන දකුණු කාශ්මීර් ජනතාව ([email protected])

ඉන්දියාවේ දකුණු කාශ්මීරයට අයත් ප්‍රදේශයක 1994 වසරේ දී උපත ලබන සකීර් මූසා සාමාන්‍ය හා ද්විතික අධ්‍යාපනය අවසන් කර, අනතුරුව ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සඳහා උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙනවා. 2013 වසරේ දී තම අධ්‍යාපනයට සමුදෙන ඔහු තම යහළුවන්ගේ මාර්ගයෙන් හිස්බ්-උල්-මුජහිදීන් ((HuM)ශුද්ධ වූ සටන්කාමීන්ගේ පක්ෂය) සංවිධානයට එකතු වෙනවා. එම සංවිධානයේ මූලික අරමුණ වන්නේ තමන්ට පාකිස්ථානයට එක් වීමට ඉඩ දෙමින්, ඉන්දියානු හමුදා කාශ්මීරයෙන් ඉවත් විය යුතුය යන්න ය.

සංවිධානයට ඇතුළත් වෙන ඔහු ත්‍රස්ත සංවිධානය වෙත තරුණ බඳවාගැනීම් ඉතා ඉහළ අගයකට ගෙන ඒමට සමත් වෙනවා. ඒ සඳහා තොරතුරු තාක්ෂණය මෙන්ම සමාජ ජාලා ද භාවිතා කරනවා. මේ වන විටත් කාශ්මීරයේ ඉස්ලාම් තරුණ ප්‍රජාව ඇදී යන ප්‍රධානම ත්‍රස්ත සංවිධානය වන්නේත් මෙය යි. 2016 වසරේ දී සංවිධානයේ අණදෙන නිලධාරී බුර්හාන් වානි ඉන්දියානු හමුදා අතින් ඝාතනය වූ පසු හිස්බ්-උල්-මුජහිදීන් සංවිධානයේ අණදෙන නිලධාරියා බවට පත්වන්නේ සකීර් මූසා යි.

අන්සාර් ඝස්වත් උල් හින්ද්හි නායකයා

මෙහෙයුමෙන් පසු ප්‍රදේශයේ ඉන්දියානු හමුදා (Moneycontrol)

2017 වසරේ දී මත ගැටුමක් හේතුවෙන් හිස්බ්-උල්-මුජහිදීන් සංවිධානයෙන් ඉවත්වෙන මූසා පසුව අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉන්දියානු ජම්මු කාශ්මීර අනුඛණ්ඩයක් ලෙස නිර්මාණය කෙරෙන අන්සාර් ගස්වත් උල් හින්ද්හි (Ansar Ghazwat-ul-Hind) නායකයා ලෙස පත්වෙනවා. ඒ 2017 වසරේ දී යි.

දකුණු කාශ්මීරයේ දී ඉන්දියානු හමුදාවට එල්ල කරන ලද බොහොමයක් ප්‍රහාර සඳහා වගකිව යුතු ත්‍රස්ත නායකයෙක් ලෙසත්, මහජන ප්‍රසාදය දිනා ත්‍රස්‌තවාදය ව්‍යාප්ත කරන පුද්ගලයෙක් ලෙසත් ඔහුව ඉන්දීය බුද්ධි අංශ විසින් හඳුනා ගන්නවා.  2019 වසරේ පෙබරවාරි මාසයේ 14 වන දින දකුණු කාශ්මීරයේ ක්‍රියාත්මක වෙන ජායිෂ්-ඊ-මුහමද් නම් ත්‍රස්ත කල්ලිය විසින් පුල්වාමාහි දී පොලිස් කණ්ඩායමකට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. එම ප්‍රහාරයත් සමග කාශ්මීරයේ ක්‍රියාත්මක වන සියළු ත්‍රස්ත කණ්ඩායම් විනාශ කිරීමේ අරමුණෙන් ඉන්දියානු හමුදා නව මුහුණුවරකින් සිය මෙහෙයුම් ආරම්භ කරනවා.

මෙහෙයුමට සහභාගී වූ ඉන්දීය හමුදා කණ්ඩායම (OTV)

එහි ප්‍රතිඵලයක් ලෙසයි අන්සාර් ඝස්වත් උල් හින්ද්හි නායක සකීර් මූසා සිටින ස්ථානය පිළිබඳව ආරක්ෂක අංශවලට හමුදා බුද්ධි තොරතුරක් ලැබෙන්නේ. මෙහිදී ඔහු සැඟවී සිටි දකුණු කාශ්මීරයේ  නිවාසය සම්පූර්ණයෙන්ම වටලන ඉන්දියානු රජයේ හමුදා ඔහුට යටත්වෙන ලෙස දන්වා සිටිනවා. නමුත් එහිදී ත්‍රස්තයන් යටත් නොවූ බවත් දෙපාර්ශවය අතර ඇති වූ වෙඩි හුවමාරුවෙන් මූසා මිය ගිය බවත් ඉන්දියානු හමුදා ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහුගේ ඝාතනයත් සමග එම ප්‍රදේශයේ වාසය කරන සාමාන්‍ය ඉස්ලාම් ජනතාව විදී බැස රජයේ හමුදාවලට විරුද්ධත්වය පළ කළ අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ඇදිරි නීතිය පැනවීමට රජය විසින් කටයුතු කරනවා. ඊට අමතරව සියලුම දුරකථන ජාලා අවහිර කිරීමත් සිදුවෙනවා.

ඉන්දියානු හමුදාව විසින් මෙම ඝාතනය, ඔවුන් ලබාගත් ජයග්‍රහණයක් ලෙස හඳුන්වන නමුත් මේ සිදුවීම් කාශ්මීර් අර්බුදය තවත් උග්‍ර අතට හරවනවා මිස අවසානයක් කරා යෑමක් නොවන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

කවරයේ පින්තූරය: TRT World

මූලාශ්‍රයයන්:

easternmirrornagaland.com

bbc.com