Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ ද පතල වූ ඉන්දීය සාහිත්‍යකරුවෝ

ලංකාවේ සාහිත්‍ය කලාවට ඉන්දියාවෙන් ලැබූ ආභාෂය දිගු කලෙක පටන්ම පැවති එකකි. වර්තමාන ලංකාවේ කියවන්නන් අතර ද ඉන්දීය කතා කරුවෝ කිහිප දෙනෙකු ජනප්‍රිය වී සිටිති.

කුශ්වන්ත් සිං

ඉන්දියාව සහ පාකිස්ථානය වෙන්වීම පිළිබඳ පහළ සමාජයේ සිද්ධියක් අලලා ලියවුනු “අන්තිම දුම්රිය” තුළින් එම දෙකඩ වීමේ ශෝකාන්තයෙන් බිඳක් ලෝකය හමුවේ දිගහැරීමට කුශ්වන්ත් සිං සමත්විය. කුශ්වන්ත් සිං යනු 1947 දී වෙන් වූ පාකිස්ථානයේ විසූ සික් ජාතිකයෙකි. ඔහු විසින් ඉංග්‍රීසි බසින් ලියූ තීරු ලිපි අන්තවාදී හින්දු ජනයාගේ ඇහේ කටු අනින්නාක් මෙන් විය. එහෙත් නිර්භීතව නිර්මාණකරණයේ යෙදුනු කුශ්වන්ත් සිං ඉහළ පෙලේ ඉන්දීය දේශපාලන තන්ත්‍රය සමග ද ගනුදෙනු තිබූ ලේඛකයෙකි. නවකතා සියයකටත් වඩා ලියූ ඔහු විසින් බැඳි කෙටිකතා ද රැසකි. 99 වසක් ආයු වැළඳූ ඔහු තීරු ලිපි රචනය මියෙන තෙක්ම කරගෙන ගියේ ය. දකුණු ආසියාවට ආගන්තුක වූ නිරාගමික, සහ අන්තවාදී නොවන අදහස් වලින් පිරිපුන්ව සිටි කුශ්වන්ත් සිං රන්දෙවොල සම්බන්ධ සිද්ධිය නිසා ඉන්දිරා ගාන්ධි වෙතින් ඔහුට ලැබුණු රන් සම්මානය පවා වරක් ප්‍රතික්ෂේප කළේ ය.

dfordelhi.in

වාල්මිකී

දකුණු ආසියාව මෙන්ම තායිලන්තය, ඉන්දුනිසියාව ආදී අග්නිදිග ආසියාතික රටවල ද රාමායනය යනු ජනප්‍රිය වීර කාව්‍යයකි. එම කතාවේ දී ලංකාව යනු දුෂ්ඨ රාවණගේ දේශය වේ. සංස්කෘත භාෂාවෙන් ලියවුනු රාමායනය කාව්‍යමය භාෂාවකින් යුක්ත වේ. “වාල්මිකී” යනු කවියා යන අර්ථ දෙන නමක් වන අතර, ඔහුගේ නියම නම රත්නකාර ලෙස පුරාණ පොත පත වල දැක්වේ. නිශ්චිත පුරාවිද්‍යාත්මක සාධක නැතත්, රාවනා සිටියේ මෙතැන ය, රාමා නම් මෙතැන යුද්ධ කරන ලද්දේයැ කෘතියක වූ සිද්ධියක් සැබෑයැ යි විශ්වාස කරන්නෝ අදත් ලංකාවේ ද ඉන්දියාවේ ද විරල නොවෙති. එහෙත් ඒ කිසිවක් නිවැරදි කාල නිර්ණයකින් විද්‍යාත්මකව සනාථ කරගත් සිදුවීම් නොවේ. සාහිත්‍ය නිර්මාණයක් කාලාන්තරයක් තිස්සේ ජනප්‍රවාදයන්ට එකතු වී ජන මනසට කෙතරම් කා වැදී ඇතිදැ යි කිවහොත්, මිනිසුන් රාම-රාවණා-සීතා යනු සැබෑම ඓතිහාසික  චරිතම බවට අදටත් විශ්වාස කරන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ද රහිතව ය.

thoughtco.com

චේතන් භගත්

ඉංග්‍රීසියෙන් ලියන චේතන් ගේ පොත්, ඉන්දියාවේ ඉංග්‍රීසියෙන් පොත් ලියූවන් අතර වැඩියෙන්ම අලෙවි වූ පොත් විය. ඔහුගේ පොත් අතර Five Point Someone, One night at Call center, 3 Mistakes of my life, 2 states, Revelution 2020, What young india wants, Half Girlfriend ආදී පොත් ජනප්‍රිය ඒවා වේ. එයින් කිහිපයක් සිංහලට පරිවර්ථනය වී සිංහල පාඨකයාට ද සමීප විය. චේතන්ගේ කතා චිත්‍රපටවලට ද යොදාගැනුනි. සුප්‍රකට ත්‍රී ඉඩියට් සහ හාෆ් ගර්ල්ෆෙන්ඩ් චේතන්ගේ කතා අනුසාරයෙන් සැදුනු චිත්‍රපට වේ. ඔහු ඉන්දියාවේ සම්භාව්‍ය සාහිත්‍ය නියෝජනය නොකළත්, වඩාත් සරල බසකින් යෞවන ඉන්දියානු පාඨකයාට සමීප වන්නට චේතන්ගේ පොත පතට හැකි විය.

dnaindia.com

ආර්. කේ. නාරායන්

“ටානා නා නනේ නනේ නා..” යන තේමා වාදනය ද සමග කලකට පෙර ජාතික රූපවාහිනියෙන් විකාශනය කෙරුණු කතා මාලාව අපේ මතකයට එන්නේ  මල්ගුඩි දවස ය. ආර් කේ නාරායන් ගේ ස්වාමි සහ මිත්‍රයෝ ජනප්‍රිය කතා විය. නාරායන්ගේ කතා ඉන්දීය ගමට වඩා නගරයට ඇළුම් කළ ආකර්ශනීය කතා වස්තූන් විය. අපට ආසන්න චෙන්නයි හෙවත්, එකල මදුරාසියේ හැදී වැඩුනු නාරායන් මදුරාසියේ නාගරික ජන ජීවිතය සිය කතා ඔස්සේ ලෝකයාට විවර කරන්නට උත්සාහ කළේ ය. ඒ මදුරාසිය යම් පමණකින් එකල අපේ රටේ නාගරික ජීවිතයට මදක් සමාන ය. එබැවින් නාරායන්ගේ කෘති ද අපේ රට ජනයා අතර වඩාත් ප්‍රචලිත විය. නාරායන් එවකට ඉන්දියාවේ අඩුවක්ව පැවති ළමා කතා කලාවට ද මෙහෙයක් කළ ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයෙකි.

biography.com

අරුන්දතී රෝයි

අරුන්දතී රෝයි ආප්ප බානවා වැනිව ඉක්මනින් නවකතා ලියන්නියක් නොවේ. ඇය 1997 දී ලියූ The God of Small Things ඒ වසරේ බුකර් සාහිත්‍ය සම්මානය දිනා ගති. එයින් වසර විස්සකට පසු ඇය 2017 දී ලියූ නවකතාව ද බුකර් සදහා නිර්දේශ විය. ගෝඩ්ස් ඔෆ් ස්මෝල් තිංග්ස් ඉන්දියානු සමාජයේ ජාති ආගම් කුල ගැටුම මනාව නිරූපනය කරන්නක් විය. එම පොත හැට ලක්ෂයක් පමණ ඉන්දීය පාඨකයින් අතර විකිණී තිබේ. ලේඛිකාවක් ලෙස ඉන්දියානු මහා ඉදිකිරීම් ව්‍යාපෘති වලින් සිදුවන හානි නොබියව විවේචනය කිරීමට අරුන්දතී රෝයි සමත් විය. ජම්මු කාශ්මීර ප්‍රශ්ණයේදී ද අරුන්දතීගේ හඬ ඉන්දියානු රජයේ මතයට විරුද්ධ එකක් විය. ප්‍රබල සමාජ ක්‍රියාකාරීනියක් වූ අරුන්දතී අප රට කාන්තා ක්‍රියාකාරිනියන්ටද ආදර්ශයකි.

nhpr.org

රබීන්ද්‍රනාත් තාගෝර්

බංග්ලාදේශය ඉන්දියාවෙන් වෙන් වීමට පෙර කාලයේ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ විසූ රබින්ද්‍රනාත් තාගෝර් එවකට හින්දුස්ථානයේ මහා ලේඛකයෙකු විය. සාහිත්‍ය සදහා වූ නොබෙල් ත්‍යාගය පළමු වරට ආසියාවට හිමි කළේ ඔහු ය. ඉංග්‍රීසියෙන් රචනා කළ තාගෝර්ගේ කෘති එකල හිරු නොබසින අධිරාජ්‍යය ලෙස විරුදාවලි ලත් බ්‍රිතාන්‍ය යටත් විජිත වල ද ජනප්‍රිය විය. ශාන්ති නිකේතනය, සිරි නිකේතනය රබින්ද්‍රනාත් ඉන්දීය බිමට ජාතක කළ මහා තක්සලාවෝ වෙති. ඔහු ලියූ ගීතාංජලිය ලොවෙන්ම පැසසුම් ලැබූ ග්‍රන්ථයක් විය. සැබෑම කලාකාමියෙකු වූ තාගෝර් ලංකාවේ හොරණ ශ්‍රීපාලි කලා මණ්ඩපය ඇති කිරීමට ද මූලිකත්වය දුනි. අධ්‍යාපනය, දේශපාලනය, කලාව ගැන ඒ කාලයට යුග ගණනකින් ඉදිරියෙන් සිටි තාගෝර්ගේ මතවාද සැබැවින්ම සමාජය වෙනස් කරන විකල්ප රැඩිකල් මත විය.

flipkart.com

බිභූතිභූෂන් බන්දෝපාද්‍යාය

චින්තා ලක්ෂ්මී සිංහාරච්චි විසින් සිංහලට පරිවර්ථනය කරන ලද මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක්, සහ අපූගේ ලෝකය බෙංගාලි බසින් කෙලින්ම සිංහලට පරිවර්ථනය කරන ලදුව ලාංකික පාඨකයින් අතර ජනප්‍රිය වූ කෘති තුනකි. බිභූතිභූෂන් බන්දෝපාද්‍යාය බෙංගාලි සාහිත්‍යයේ නූතන පරපුරේ ප්‍රමුඛතමයා ලෙස සැලකේ. ග්‍රාම්‍ය ජීවිතය ඉතාම සෙමෙන් විස්තරාත්මකව විස්තර කෙරෙන බිභූතිභූෂන් ගේ කතාන්දර, ලාංකික සමාජයට වඩාත් සමාන බෙංගාලයෙන් උපත ලද නිසාදෝ හෝ අපට වඩාත් සමීප විය. ලාංකික අපිට සමීප වූ අපූගේ කතා ත්‍රිත්වය සත්‍යජිත් රායි විසින් සිනමාවට ද ගෙනගොස් වඩාත් ආලෝකයක් ලබා දෙනු ලැබී ය.

wikimedia.org

ලෝකය පුළුල්ව දැකීමට කියවීම තුලින් මනා පිටිවහලක් ලැබේ. අපට ආසන්න විශාලතර ගොඩබිම තුළ වූ බිලියනයකට ජනකායකගේ විවිධාකාර ජීවන රටාවන් ග්‍රහණය කරගැනීමට ඉන්දියානුන්ගේ ලේඛන හොඳ මාර්ගෝපදේශයකි.

Cover image courtesy: pinsdaddy.com

Related Articles