උණ්ඩයට බිලි වූ භාරත කුසුම

බලය ලැබූ ඇතැමුන්ට ලෝක දේශපාලනයේ උරුම වූයේ අවාසනාවන්ත මරණයකි. එයට යුරෝපය ද , ආසියාව ද නැතිනම් අප්‍රිකාව ද යන්න බල නොපෑ සාධකයකි. ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ ද  එවැනි ඝාතන සමූහයක් සිදු වූ අතර  අසල්වැසි ඉන්දියාවට ද මෙම මරණිය නැවතුම් ආගන්තුක  නොවිණි. මෙම සටහන ඉන්දියාවේ ප්‍රථම කාන්තා අගමැතිනිය වූ ඉන්දීරා ගාන්ධි ඝාතනය හා බැඳුණු සිදුවිම් දාමය පිළිබඳ යි. ඒ පිළිබඳ ව ලිපියක් අපි ඔබ වෙත මීට පෙර දී ගෙන ආ බව සිහිපත් කරමු.

ඉන්දිරා ගාන්ධි කුඩා දැරියක් සමයේ මහත්මා ගාන්ධි සමඟ
ඉන්දිරා ගාන්ධි කුඩා දැරියක් සමයේ මහත්මා ගාන්ධි සමඟ-www.gettyimages.com

අගමැතිනියට එල්ල වූ සික් ජාතික විරෝධය

ඉන්දියාවේ පන්ජාබයේ වැඩිම ජන ව්‍යාප්තියකට වගකීම දරන්නේ “සික්” ජාතිකයන් ය. වර්තමාන ඉන්දියාව තුළ පවා සමස්ත ජනගහනයෙන් 1.7% පමණ සික් ජාතිකයන් ජිවත් වේ.  සංඛ්‍යාත්මවක එම ප්‍රමාණය මිලියන 20.8 කි. ඉන්දීය ආරක්ෂක අංශයේ 15% පමණ නියෝජනය කරන්නේද මෙම සික් ජාතිකයන් ය.  

අසූව දශකයෙ මැද භාගයේ දී ඉන්දියාවේ ඇතැම් අන්තවාදි සික් ජාතිකයන් පිරිසක් ඉන්දියාව තුළ  ස්වාධීන ස්වෛරී  රාජ්‍යයක් පිළිබඳ අරමුණෙන් කැරලි කෝලාහල පැවැත්විණි. එහි මූලිකත්වය ගෙන කටයුතු සිදු කළේ  Jarnail Singh Bhindranwale විසිනි. ඔවුන්ගේ අවශ්‍යතාව වූවේ “කාලිස්ථානය”  නමින් වෙනම රාජ්‍යයක් බිහිකිරිම යි.  ඒ වෙනුවෙන් පන්ජාබයේ රන් දෙවොල මූලස්ථානය කොට සටන් කිරිම ඔවුන් ඇරඹී ය.

“රන් දෙවොල ” නොහොත් Sri Harmandir Shaib නම් ආගමික ස්ථානය සියලුම සික් ජාතිකයන්ගේ ගරු බුහුමනට ලක්වූ ස්ථානයකි. එම ස්ථානය දහසයවන  සියවසේ සිට “සික්” ආගමික සිද්ධස්ථානයක් ලෙස ද නඩත්තු වී තිබිණි. බොහෝ අවස්ථාවන් හි දී මෝගල් අධිරාජ්‍යය  සහ ඇෆ්ගනිස්තාන් ආරක්ෂක අංශ “රන් දෙවොලට ” පහර දුන් අතර ඒ සෑම අවස්ථාවකම ඔවුහු නැවත එම සිද්ධස්ථානය පෙරටත් වඩා හොඳින්  ගොඩනැගී ය.

අගමැතිනිය සිය පුතුන් දෙදෙනා සමඟ
ඉන්දිරා ගාන්ධි සිය පුතුන් දෙදෙනා සමඟ-www.gettyimages.com

“කාලිස්ථානි” අරගලයේ අවසන් අදිරයේදි   Jarnail Singh සහ ඔහූගේ අනුගාමික සටන්කාමීන් සිය අවසන් සටන සඳහා තෝරා ගත්තේ ද මෙම ස්ථානයයි. භූ ගෝලීය වශයෙන් මෙහි පිහිටිම පිළිබඳ පැහැදිලි කිරිමක දි එය දිල්ලියේ සිට සැතපුම් 250 පමණ වයඹ දිශාවෙන් අම්රිත්සාර් පුරවරයේ පිහිටා තිබේ. එය පාකිස්තාන දේශ සීමාවන්ට ආසන්න භූමියකි.

  1984 ජුලි මස පළමුවන දින සිට අන්තවාදී සටන්කරුවන් සහ ආරක්ෂක අංශ අතර දරුණු සටන් ඇරඹුණු අතර අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධිගේ දැනුම්දීම මත ඉන්දීය ආරක්ෂක අංශ, ජුලි මස 5 වන දින රාත්‍රීයේ  සික් ජාතිකයන්ගේ ශුද්ධභූමිය වූ  “රන් දෙවොල” තුළට ඇතුළු විය. 

මෙම ක්‍රියාන්විත මෙහෙයුමට ඉන්දීය ආරක්ෂක අංශ ලබාදුන් සංකේත නාමය වූවේ Operation Blue Star යන්නයි. ඒ වන විට දේශපාලනිකව  ස්ථාවර වී සිටි  සෝවියට් දේශයෙන් සහ එක්සත් රාජධානියෙන් මෙහෙයුම සඳහා බුද්ධි තොරතුරු සැපයූ අතර  ඊශ්‍රායලය මෙහෙයුම් පුහුණුව සපයා තිබිණි.


සික්වරුන්ට එරෙහි රන් දෙවොලේ සටන – ඔපරේෂන් බ්ලූස්ටාර් ගැන දැන ගන්නට වුවමනානම් එම ලිපියට මෙතනින් පිවිසිය හැකියි.


 දරුණු සටනකින් පසුව 1984 ජුලි 7 වන දින උදෑසන වන  විට සික් අන්තවාදීන්  500 ආසන්න ප්‍රමාණයකට දිවි අහිමි කරමින්  සහ ඉන්දීය ආරක්ෂක නිලධාරීන් 100 ට අධික ප්‍රමාණයක් මිය යමින් ද Operation Blue Star මෙහෙයුම අවසන් විය. මෙහිදි මිය ගිය සික් සටන්කාමීන් සංඛ්‍යාව පිළිබඳ එකිනෙකෙහි වෙනස් අදහස් පළ වූ අතර බොහෝ දෙනෙකුගේ අදහස වූවේ මියගිය සටන්කාමීන් ප්‍රමාණය දහස ඉක්මවන බවත් පන්දහසකට  ආසන්න සාමාන්‍ය සික් ජාතිකයන් මෙහෙයුම අතරතුර මියගිය බවයි. මෙම සිදුවීම් මාලාව උක්ත ඉන්දිරා ගාන්ධි  ඝාතනයට ඍජුව ම හේතු පාදක වූ සිදුවීමයි. “සික් ” ජාතිකයන් අවමානයට ලක් කිරිම , “රන් දෙවොල ” නම් ශුද්ධ භූමිය ආරක්ෂක අංශ යොදවා කෙළෙසිම සහ Jarnail Singh ඇතුළු තම සටන්කාමී නායකයන් ඝාතනය කිරිම හේතුවෙන් ඔවුහු අගමැතිනියගෙන් පළිගැනිමට තීරණය කළහ.

එක් ඝාතකයකු වූ බීනත් සිං
අගමැතිනියට රිවෝල්වරයෙන් වෙඩි තැබි බීනත් සිං- : google.com

අඳුරු ඔක්තෝබර් 31

අගමැතිනිය ඝාතනයෙන් මාස දහ අටක් ගෙවුණු  පසු ඉන්දීය රජය බලාත්මක කෙරූ පසු එනම්  1989 වසරේදි නිකුත් වූ “තක්කාර්” කොමිෂන් වාර්තාව අනුව 1984 වසරේ ඔක්තෝබර් මස 17 වන දින සික් ත්‍රස්තවාදීන් ඉන්දිරා ගාන්ධි ඝාතනය කිරීමට අවශ්‍ය අවසන්  තීරණය ගෙන ඇත.

මුල සිටම ඒ සඳහා අගමැතිනියගේ  ආරක්ෂක භටයන් දෙදෙනකු වූ සත්වනත් සිං සහ බීන්ත් සිං සුදානම් කොට තිබිණි. ඔවුන්ගේ සැලසුම වූයේ අගමැතිනියගේ නිවස වැනි ස්ථානයකදී ම  විශාල කලබලයකින් තොරව ඇය ඝාතනය කිරිමයි.

ඝාතනය සඳහා ඔක්තෝබර් 25 දිනයක් ලෙස මුලින්ම සැලසුම් කළද සත්වනත් සිං ගේ යම් අතපසු වීමකින් එම සැලසුම ව්‍යාර්ථ විය . ඉන්පසු ඔවුන් එම දිනය ඔක්තෝබර් 31 වන දිනට යොදා ගත්තේය.

ඔක්තෝබර් මස 30  දින අගමැතිනියට පූර්ව මැතිවරණ ප්‍රචාරක රැළියක් ඇමතිමට තිබිණි. ඈ භුබනෙස්වර් හි එම  අවසන් රැළිය ද  අමතා පලාම් ගුවන්තොටුපළට රාත්‍රී 9 පැමිණි අතර රාත්‍රී 10 වන විට දිල්ලියේ සෆ්දාර්ජාන් මාවතේ සිය නිවසට පැමිණියා ය.

උදෑසනම අවදි වූ ඈ  සිය දෛනික කටයුතුවලින් පසුව පෙරවරු 7 ට නෙතුරාම් නම් ඇගේ සමීපතම සේවකයාට පවසා තිබුණේ කරණවැමියකු ගේ සේවය ඈට  අවශ්‍යය බවයි. එයට හේතුව එදින උදෑසන  සුප්‍රකට බ්‍රිතාන්‍යය අධ්‍යක්ෂවරයකු වූ පීටර් උස්ටිනෝඩ් (Peter Alexander Ustinov) සමඟ ඇයට සම්මුඛ සාකච්ඡාවක් සුදානම්ව තිබිමයි. එකී සියලූ කටයුතුවලින් පසුව ඉන්දිරා ගාන්ධි සිය කාර්‍යාලයට යෑම සඳහා ගෙවත්ත හරහා පෙරවරු 9 ටඇවිද යමින් සිටියා ය. ඒ වනවිට බීනත් සිං සහ සත්වන්ත් සිං රාජකාරිය වාර්තා කර තිබූ අතර ඔවුන් අගමැති ආරක්ෂක අංශයට අනුයුක්ත කර තිබුණේ ද  මීට මාස හයකට පමණ පෙරයි.

මැෂින් තුවක්කුවෙන් එක දිගට වෙඩි

පෙරවරු 9.08 ට පමණ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පසුකරන විට මුලින්ම බීනත් සිං සිය රිවෝල්වරයෙන් අගමැතිනියට තෙවරක් වෙඩි තැබුවේ ය. ඇය ඊට මොහොතකට පෙර ආරක්ෂකයන් දෙපළට “නමස්තේ ” නමින් ආචාර කළ බව පැවසේ. ඒ වනවිට අගමැතිනිය සහ නිලධාරීන් අතර පරතරය අඩි දහයක්වත් නොවිණි. වෙඩි පහරින් බිම ඇද වැටුණු අගමැතිනියට සත්වන්ත්  සිං සිය මැෂින් තුවක්කුවෙන් එක දිගට වෙඩි තැබු අතර  තත්පර කිහිපයක් තුළ අවසන් වූ සිද්ධි දාමයෙන් අනතුරුව සන්සුන් වූ ඝාතකයන් අවි දෙක බිම තබා ආරක්ෂක අංශ වෙත භාර වූහ. එහිදි සත්වනත් සිං සිය මැෂින් තුවක්කුවේ උණ්ඩ 25 ම අවසන්කොට තිබූ අතර ඉන් බොහෝමයක් ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ සිරුර හරහා ගොස් තිබිණි. ඈ අසල සිටි විශේෂ සහායක ආරක්ෂක නිලධාරී වූ ආර්.කේ.  ධවාන්ට ද වෙඩි පහර එල්ල විය. වෙඩි තැබිමෙන් පසුව  බීනත් සිං නම් තරුණ ඝාතකයා පවසා තිබුණේ :

” මම ඉටුකළ යුතු දේ ඉටු කළා ,දැන් උඹලාට අවශ්‍ය දෙයක් කරපල්ලා .”

යනුවෙනි. පසුව  ඔවුන් දෙදෙනා ම ප්‍රධාන මුර කුටියට රැගෙන යන විට කලබලයක් සිදු කෙරු විසි පස් හැවිරිදි බීනත් සිං  ආරක්ෂක අංශයේ අවියක් උදුරා ගැනීමට තැත් කළ අතර සන්වනත් සිං තම තලප්පාවේ සඟවා තිබූ කිනිස්සකින් පහර දීමට සැරසිණි. ඒ මොහොතේ එල්ල වූ වෙඩි පහරකින් බීනත් සිං මිය ගිය අතර සත්වන්ත් සිං බරපතල තුවාල ලැබිය.

අගමැතිනිය වෙඩි පහරට ලක්වන මොහොතේ රජීව් ගාන්ධි දිල්ල්ලියේ නිවසේ නොසිටි අතර ඔහුගේ බිරිය වූ, කොන්ග්‍රස් පක්‍ෂයේ මුල් පුටුව දැරු සෝනියා ගාන්ධි සිය නැන්දණිය දිල්ලි වෛද්‍ය පිඨයේ රෝහලට රැගෙන ගියා ය. වෛද්‍ය වාර්තාව අනුව ඇගේ ශරීර අභ්‍යන්තරයේ වූ වෙඩි උණ්ඩ හතක් ඉවත් කර අතර කෘතිමව පෙනහැල්ල සහ හදවත ක්‍රියාත්මක විමට අවශ්‍යය උපකරණ සම්බන්ධ කොට සැත්කම ඇරඹිණි. ශරීරයේ අතිශය වැදගත්ම  ඉන්ද්‍රියයන් සිදුරු කොට ගොස් තිබූ වෙඩි උණ්ඩ ඉවත් කිරිමට වෛද්‍යවරුන් විශාල පරිශ්‍රමයක් දැරීය. බාහිරින් විශාල රුධිරය ප්‍රමාණයක්ද ඇයට ලබා දුන්නේ ය.ඉතා සමීපයේ සිට එල්ල වූ වෙඩි පහර නිසා ඇගේ තත්වය ඉතාමත්ම  බරපතල විය.

වෙඩි ප්‍රහාරයෙන් පැය හතරකට පමණ පසුව ප.ව 1.45 ඇගේ මරණය ඉන්දීය ප්‍රවෘත්ති සේවයෙන් ප්‍රකාශයට පත්කළේ ය. “සික්”ජාතිකයන්ගේ දිවුරුමට අනුව රන් දෙවොල කෙළෙසිමේ පළිගැනිම ඔවුන් අගමැතිනියගෙන් ලබා ගෙන තිබිණි.

අගමැතියට වෙඩි තැබු මාර්ගය අද
අගමැතිනියට වෙඩි තැබු මාර්ගයේ අද ස්භාවය – google.com/imgres

ඝාතනයෙන් පසු

ඇය මිය යන මොහොත වනවිටත් පුත්‍රයා වූ  රජීව් ගාන්ධි දිල්ලිය කරා පැමිණ නොතිබිණි. ඔහූ එදින උදෑසන බටහිර බෙංගාලයේ සිය අවසන් මැතිවරණ රැළිය ඇමතිමට යෑමට සූදානමින් සිටි අතර දිල්ලියෙන් ලද

” නිවසේ හදිසි අනතුරක් .වහාම පැමිණෙන්න ”

පණිවිඩය සමඟ ඔහූ කල්කටාව හරහා දිල්ලියට පැමිණියේ ය. රජීව් මවගේ මියයෑමේ පුවත දැන ගන්නේ කල්කටාවේ විශේෂිත හෙලිකොප්ටර් යානයක් පැමිණෙන තුරු රැඳි සිටින විටයි. ඔහු එදින පස්වරුවේ  දිල්ලියට පැමිණෙන විට ආරක්ෂාව දැඩිකොට තිබූ අතර එදිනම සැන්දෑවේ කොන්ග්‍රස් පක්ෂයේ නායකයා ලෙස රජීව් ගාන්ධි නම් විය. ඒ අනුව  ඉන්දීය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනූව යමින්  ඔහු නිදහස් ඉන්දියාවේ සත්වන අගමැති ලෙසද දිවුරුම් දුන්නේ ය.
එම දිවුරුමත් සමඟ  නිදහස් ඉන්දියාවේ  අගමැති ධූරයට “නේරු ” නිවසින් තේරිපත් වූ තුන්වන පුද්ගලයා ලෙසට රජිව් ගාන්ධි ඉතිහාසගත විය.


ඉන්දියානු දේශපාලනයේ නේරු-ගාන්ධි පරපුර ගැන දැන ගන්නට වුවමනානම් එම ලිපියට මෙතනින් පිවිසිය හැකියි.


ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ඝාතනය වන මොහොතේ හැඳ සිටි සාරිය
ඝාතනය වන මොහොතේ හැඳ සිටි කහපැහැති සාරිය-: images.app.goo.gl

ඉන්දිරා ගාන්ධිගේ නිසල දේහය ඇගේ පියා වූ ජවහල්ලාර් නේරු සිය නිල නිවාසය ලෙස භාවිත කළ  “තීන්මූර්ත”  හි තැන්පත් කර තිබූ අතර අතිවිශාල ජනතාවක් සිය අගමැතිනියට අවසන් ගෞරව දැක්විමට එහි පැමිණියහ. නොවැම්බර් 3 වන දින ඉන්දීය චාරිත්‍රානුකූලව ඇගේ ආදාහන කටයුතු සිදුකිරිමට නේරු පවුල තෝරාගෙන තිබුනේ යමුනා ගං තෙරයි. එයට ආසන්නම හේතුව වුවේ ඉන්දිරා ගාන්ධිගේ සැමියාගේ සහ බාල පුතනුවන් වන සන්ජේ ගාන්ධිගේ ආදාහන කටයුතු ද මෙම ස්ථානයේම සිදුකිරීමයි.

මේ සියල්ලක්ම අතරේ අගමැතිනියගේ  ඝාතනය සැලවූ පන්ජාබයේ සික් ජාතිකයන් ප්‍රීති ඝෝෂා පවත්වමින් ඔවුන්ගේ පළිගැනිමේ සතුට සමරන්නට විය. ඒ සිදුවීම  සමඟ ම ප්‍රකෝප වූ භාරත  ජනතාව ඉන්දියාවේ අනෙක් ප්‍රදේශයන් හි ජිවත් වූ  බොහෝ සික් ජාතිකයන්ගේ දේපළ මෙන්ම ජිවිතද විනාශ කරන්නට විය. අගමැතිනියගේ අවමංගල්‍යය අතරතුර ඉන්දීය ආරක්ෂක අංශවලට  මෙම කලකෝලාහල  මර්ධනය කිරිමටද විශාල පරිශ්‍රමයක් දැරිමට සිදුවිය.

අගමැතිනියගේ නිසල දේහයා අදාහනය කරමින්
යමුනා නදිය අසළ අගමැතිනියගේ දේහය ආදාහනය කරමින්.හිස් වැස්මක් පැළඳ සිටින්නේ රජීව් ගාන්ධි-images.app.goo.gl

වළක්වා ගැනිමට තිබූ ඝාතනය

“රන් දෙවොල ” ප්‍රහාරයෙන් දින දෙකකට කලින් ඉන්දීය බුද්ධි අංශ අගමැතිනියට දැනුම් දී තිබුනේ ඈ අසල සිටින සියලූම සික් ජාතික ආරක්ෂකයින් ඉවත් කරන ලෙසයි. මක්නිසාදයත් ඒ වනවිටත් ප්‍රහාරයක් පිළිබඳ බුද්ධි අංශ තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබිමයි. ඔවුන් මෙම දැනුවත් කිරිම 1984 වසරෙ ජුනි 10 වන දින ලිඛිතව දක්වා තිබුණ ද අගමැතිනිය එය ප්‍රතික්ෂේප කර තිබිණි. ඇගේ තර්කය වී ඇත්තේ එවන් තීරණයක් ගැනිම මඟින් සියලූ ජාතීන් වෙනුවෙන් තමාගේ සමව සැලකිමේ ප්‍රතිපත්තිය පළුදු වන බවයි. අවාසනාවකට ඉන් මාස තුනකට පසුව එම තීරණාත්මක  තීරණය ඇයටම පාරාවළල්ලක් විය.

ඝාතනය සිදු කෙරූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පිළිබඳ ද බොහෝ තොරතුරු පසුව අනාවරණය විය. ඔවුන් දෙදෙනාම විශාල වාර සංඛාවක් නොමනා හැසිරිම නිසාවෙන් සේවයෙන් පහකොට තිබූ දෙදෙනෙකි. එයින් බීනත් සිං පමණක් 37 වරක් සේවයෙන් නෙරපා තිබිණි. අනෙක් විශේෂිත සිදුවීම නම්  ඝාතනය සිදූවු දා උදෑසන බීනත් සිං ( අගමැතිනියට මුලින්ම රිවෝල්වරයෙන් වෙඩි තැබූ පුද්ගලයා.) වෙඩි තැබිම සිදුවු  ස්ථානයේ රාජකාරි සඳහා යොමු කර නොතිබුණ ද ඔහූ එහි උදෑසන සිට රැඳී ඇති බවයි.  මෙම අස්වාභාවික රාජකාරි පිළිවෙත උදෑසන පැමිණිමේ ලේඛනය පරීක්ෂා කරන  ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්වී නොතිබිණි.

මෙවැනි ගතයුතුව තිබූ සුළු පියවර වගකිවයුතු ආයතනවලින් ගෙන නොතිබූ නිසා මෙම ඛේදවාචකය සිදූවූ බව “තක්කාර්” කොමිෂන් වාර්තාව උපුටා දක්වමින් සඳහන් කොට තිබිණි. ඇගේ ඝාතනයෙන් වසර හතකට පසුව ඇගේ වැඩිමහලු පුත්‍රයා වූ රජීව් ගාන්ධි ද බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වන්නේ මෙලොව දේශපාලනික ඝාතන සඳහා නිමා වී නොමැති බව විදහා දක්වමිනි.

කවරයේ ඡායාරූපය : තරුණ ඉන්දිරා ගාන්ධි: britannica.com 

මූලාශ්‍ර:

 www.hindustantimes.com 

www.freepressjournal.in

 

Related Articles