වී වගාව සමඟ මසුන් ඇති කරන අමුතු ම කෘෂි ක්‍රමවේදය

 ශීඝ්‍ර ජනගහන වර්ධන වේගය නිසා ගෝලීය ප්‍රජාව අර්බුද රැසකට මුහුණ පාමින් සිටිනවා. ආහාර හිඟය, මන්දපෝෂණය, ජල සැපයුම් සීමා සහිත වීම, පාරිසරික ගුණාත්මක භාවය පිරිහීම, භූමි සම්පත් හැකිළීම, වශයෙන් එම අර්බුද හඳුනාගත හැකි යි. ආහාර සහ පරිසරය මත දිනෙන් දින එල්ල වන පීඩනය කළමනාකරණය කිරීමේ ක්‍රම සොයා බැලීම හෝ අත්හදා බැලීමේ අවශ්‍යතාවත් ඒ අනුව මතු වෙනවා. විශේෂයෙන් ම සහල්, තිරිඟු, බඩ ඉරිඟු, සෝගම් වැනි ලෝක ආහාර අවශ්‍යතාව වැඩියෙන් ම සපුරාලන ධාන්‍ය වර්ග වගා කිරීමේ තිරසාර ක්‍රමවේද ගැන කෘෂි තාක්ෂණවේදීන් සොයා බලමින් සිටිනවා.

 සහල් පමණක් ලෝක ආහාර අවශ්‍යතාව සඳහා 50% ක දායකත්වයක් ලබාදෙන අතර, බිලියන 3.5 කට වැඩි ජනතාවගේ දෛනික කැලරි ඉල්ලුමෙන් 20% ක් සැපිරීමටත් සමත් වෙනවා. මෙම අති විශාල පරිභෝජනයට සරිලන සහල් සැපයුමෙන් 90% ක වගකීම දරන්නේ ආසියාව යි. එවැනි අධික ඉල්ලුමක් පවතින බෝගයක් වගා කිරීම සඳහා අවශ්‍ය වන සම්පත් ප්‍රමාණයත් ඉතා ඉහළ යි. නමුත්, වැඩි වන ජනගහනය හමුවේ සම්පත් සීමිත වෙමින් පවතින අතර, එම අභියෝගය ජය ගනිමින් තිරසාර කෘෂි කාර්මික පද්ධති කෙරෙහි යොමු වීම කාලීන අවශ්‍යතාවක් බවට පත් වෙනවා. “රයිස්-ෆිෂ් ෆාමින්” හෙවත්, වී වගාව සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඒකාබද්ධ කෙරූ වගා ක්‍රමවේදය එවැනි තිරසාර කෘෂි කාර්මික පද්ධතියක් ලෙස සැලකිය හැකි යි.

වී-මත්ස්‍ය ඒකාබද්ධ ක්‍රමය යටතේ සැකසුණු කුඹුරක දර්ශනයක් – www.mdpi.com 

ගොයම අතරින් පිහිනන මාළු

කුඹුරුවලට ජල‍ය සැපයීම සඳහා වෙල් යාය අසළින් ගලා බසින කුඩා ඇළ මාර්ගවල මත්ස්‍යයන් ඇතුළු විවිධ ජලජ ජීවින් වාසය කිරීම සාමාන්‍යයෙන් අප දැක ඇති දර්ශනයක්. නමුත්, ගොයම් පැළ අතරින් නිදහසේ පිහිනන දහස් ගණනක මත්ස්‍ය ගහණයකින් යුතු කුඹුරු ඔබ දැක තිබෙනවා ද?  “රයිස්-ෆිෂ් ෆාමින්”, එහෙමත් නැත්නම්, වී-මත්ස්‍ය ඒකාබද්ධ වගා ක්‍රමවේදයේ ඇති විශේෂත්වය වන්නේත් එය යි. චීනය, බංග්ලාදේශය, මැලේසියාව, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය සහ ඉන්දියාව තුළ මෙම වගා ක්‍රමවේදය වඩාත් ප්‍රචලිත ව පවතිනවා.

එමෙන්ම, “රයිස්-ෆිෂ් ෆාමින්” ක්‍රමවේදය තවත් එක කෘෂි නිෂ්පාදන භාවිතයකට වඩා කෘෂි සංස්කෘතික රටාවක් ලෙස හැඳින්විය හැකි යි. එහි දී ලැබී ඇති අවම භූමිය සහ ජල සම්පත උපරිම ලෙස භාවිත කරමින් ධාන්‍ය සහ සත්ත්ව ප්‍රෝටීන් යන අවශ්‍යතා දෙක ම සපුරා ගැනීම සිදු වෙනවා. මත්ස්‍යයන් පමණක් නොව මිරිදිය බෙල්ලන්, ඉස්සන්, කකුළුවන්, තාරාවන් වැනි සතුන් පවා ඒ සඳහා භාවිත කළ හැකි යි. වගා භූමිය ආශ්‍රිත ව ඉහළ සෞන්දර්යාත්මක වටපිටාවක් ගොඩනැඟීමටත් මෙම වගා ක්‍රමවේදය ඉවහල් වෙනවා.

ලෝක සහල් නිෂ්පාදනයේ වැඩි වගකීම දරන්නේ ආසියාව යි – www.mapsofworld.com 

 

වී වගාව සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඒකාබද්ධ කළ මේ නවත ම සංකල්පය හරහා අත් වන කෘෂි ප්‍රතිලාභ විස්තර කිරීමට පෙර එහි ඇති පාරිසරික වටිනාකම තේරුම් ගැනීම වැදගත්. ගෝලීය දේශගුණික විපර්යාස කෙරෙහි කෘෂි කර්මාන්තය විශාල බලපෑමක් එල්ල කරනවා. ප්‍රධාන හරිතාගාර වායු දෙකක් වන මීතෙන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් කෘෂි භූමි ආශ්‍රිත ව වැඩියෙන් නිෂ්පාදනය වීම ඊට හේතුව යි. විශේෂයෙන් ම වී වගාවේ දී ඉහළ ජල ධාරිතාවක් වගාව සඳහා අවශ්‍ය වන අතර, යම් කිසි කාලයක් අදාළ කෘෂි භූමිය ජලයෙන් ආවරණය වී පවතිනවා. එවිට ඔක්සිජන් හිඟ ජලජ පරිසරයක් නිර්මාණය වන නිසා කාබනික පොහොර, ශාක අපද්‍රව්‍ය, සත්ත්ව අපද්‍රව්‍ය, වැනි කාබනික සංකීර්ණ නිර්වායු හායනයකට ලක් විය හැකි යි. මූලික ව ම මීතේන් වායුව විමෝචනය සඳහා මෙම නිර්වායු හායනය ඉවහල් වෙනවා.

මිනිස් ක්‍රියාකාරකම් හරහා වායුගෝලයට නිකුත් වන මීතෙන් ප්‍රමාණයෙන් 10%-20% ක දායකත්වය ලැබෙන්නේ වී වගාව ආශ්‍රයෙන් බව සඳහන්. ගෝලීය උණුසුම සැලකීමේ දී මීතේන්වල ගෝලීය උණුසුම් විභවය, කාබන් ඩයොක්සයිඩ්වලට වඩා 25 ගුණයකින් වැඩි හෙයින්, මෙය සැලකිල්ලට ගත යුතු කාරණාවක් බවට පත් වෙනවා.

මීතේන් අඩු කරන හැටි

 වී-මත්ස්‍ය ඒකාබද්ධ වගා ක්‍රමවේදය හරහා කුඹුරුවලින් සිදුවන මීතේන් සහ අනෙකුත් හරිතාගාර වායු විමෝචනය අවම කළ හැකි බව පර්යේෂණ මඟින් තහවුරු කොට තිබෙනවා. ජලජ පරිසරයේ පතුළ ආශ්‍රිත ව ජීවත් වන කකුළුවන්, කාප් වැනි සතුන්ගේ සංචරණය සහ ආහාර සෙවීමේ උත්සායන් නිසා පාංශු ස්ථරයට බාධා පැමිණෙනවා. එවිට ජලය සහ පසෙහි ඔක්සිජන් සංචරණය හොඳින් සිදු වන අතර, කාබනික ද්‍රව්‍යවල ජීර්ණ ක්‍රියාවලිය නිර්වායු පරිසරයක සිට සවායු පරිසරයකට මාරු වීමකුත් සිදු වෙනවා. අවසාන ප්‍රතිඵලය වන්නේ මීතේන් විමෝචනය අවම වීම යි. ඒ අනුව සාමාන්‍ය කුඹුරකින් නිකුත් වන මීතේන් ප්‍රමාණයට වඩා මිරිදිය මත්ස්‍ය වගාව ඒකාබද්ධ කළ කුඹුරකින් නිකුත් වන මීතේන් ප්‍රමාණය 34.6% න් වන අඩු බව ඇස්තමේන්තු කර තිබෙනවා.

වී වගාව සහ ඉස්සන් වගාව ඒකාබද්ධව කරගෙන යන කෘෂි භූමියක් – vovworld.vn 

වගා ක්‍රමවේදයේ තිරසාර අරමුණු

පාරිසරික සමතුලිතතාව පමණක් සලකමින් වගා සංස්කෘතියක් හෝ ක්‍රමවේදයක් හඳුන්වා දීම කාලෝචිත නැහැ. වර්තමාන ගෝලීය ප්‍රවණතා හමුවේ නිෂ්පාදන ධාරිතාව සහ පිරිවැය යන සාධක සැලකිල්ලට ගනිමින් අලුත් කෘෂි කාර්මික පිළිවෙත් කරා යා යුතු වෙනවා. “රයිස්-ෆිෂ් ෆාමින්” ක්‍රමවේදයේ දී අරමුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කොට තිබෙනවා. ඒ අරමුණුවලට ළඟා විය හැකි විභවය මත වගා ක්‍රමවේදයේ වාසි අවාසි තීරණය වේවි.

1. තනි වගාවක් ලෙස පවත්වා ගෙන යාමට වඩා වී වගාවත් සමඟ මත්ස්‍ය වගාව ඒකාබද්ධ කිරීමෙන් කොපමණ ලාභයක් ඉපැයිය හැකිදැ යි විමසීම.

2. තනි වගාවට සාපේක්ෂ ව අස්වැන්න, පිරිවැය, මත්ස්‍ය පරිභෝජනය සහ ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව බලපාන ආකාරය නීර්ණය කිරීම.

3. ඒකාබද්ධ වගාව සිදු කිරීමේ දී පැන නඟින මූලික ගැටලු හඳුනාගෙන විසඳුම් යෝජනා කිරීමේ හැකියාව ගැන සොයා බැලීම.

4. ඒකාබද්ධ වගා ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් මත්ස්‍ය පරිභෝජනයට දැක්විය හැකි දායකත්වය විමසා බැලීම.

මෙම අරමුණු වෙනවා.

සමස්තයක් වශයෙන් “රයිස්-ෆිෂ් ෆාමින්” ක්‍රමවේදය ඉහත අරමුණු සාර්ථකව දිනා ඇති බවක් පෙනී යනවා. අග්නිදිග ආසියාව තුළ මෙම වගා ක්‍රමය වඩාත් ප්‍රචලිතව ඇත්තේ ඒ නිසා යි.

වී-මත්ස්‍ය ඒකාබද්ධ වගා භූමියක සරල හරස්කඩක් – romneymanassa.com 

ගොවියන්ට වාසි රැසක්!

 වී වගාවට සමගාමී ව මත්ස්‍ය ගහණයක් පවත්වා ගෙන යෑමෙන් අත්වන ප්‍රධානත ම වාසිය වන්නේ පොහොර සහ පළිබෝධනාශක සඳහා යන වියදම අවම වීම යි. ජලජ ජීවි ප්‍රජාව පළිබෝධකයන් ඉදිරියේ ස්වභාවික විලෝපිකයන් ලෙස ක්‍රියා කරන අතර, ඔවුන්ගේ මල ද්‍රව්‍ය පොහොරක් ලෙස වගාවට යොදාගත හැකි යි. “රයිස්-ෆිෂ් ෆාමින්” ක්‍රමවේදයට යොමු වූ ගොවීන්ගේ ආර්ථික කාර්යක්ෂමතාවත් වැඩි වී ඇති බව පැවසෙනවා.

උදාහරණයක් ලෙස බංග්ලාදේශයේ තනි වගාවක් ලෙස වී ගොවිතැනේ නියුතු ගොවීන්ට වඩා ඒකාබද්ධ ක්‍රමයට යොමු වූ ගොවියන්ගේ ආදායම 50% න් පමණ වර්ධනය වී තිබෙනවා. ඉහළ අස්වැන්නත් සමඟ මත්ස්‍ය වගාවෙන් අතුරු ආදායම් මාර්ග බිහි වීම ඊට හේතුව යි. ඒකාබද්ධ ක්‍රමයෙන් ලබාගත් අස්වැන්න සාම්ප්‍රදායික වී වගාවට වඩා 10%-26% ප්‍රමාණයකින් වර්ධනය වූ අතර, ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව 19%-22% න් පමණ අවම වුණා. වගාව සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත්වල භාවිතයත් 7% න් පමණ අවම වුණා. ඉන්දුනීසියාවේ සංඛ්‍යාලේඛනවලට අනුව ඒකාබද්ධ ක්‍රමයට යොමු වූ ගොවියන්ගේ ආදායම පෙරට වඩා 27% න් වැඩි වී ඇති බවත් අනාවරණය වුණා.

වී වගාව සමඟ තාරාවන් ඇති කරන ඒකාබද්ධ ගොවිපළක් – www.equatorinitiative.org 

නව අදහස්වලට ප්‍රවේශයක්

 “රයිස්-ෆිෂ් ෆාමින්” හරහා ජලජීවි වගා කර්මාන්තය සහ මහා පරිමාණයෙන් වගා කරන බෝගයක් මත පදනම් වූ කෘෂි තාක්ෂණය එකිනෙකට සම්බන්ධ වීමක් සිදු වෙනවා. එය එක්තරා ආකාරයක සම-සංස්කෘතික වැඩසටහනක් ලෙසත් හැඳින්විය හැකි යි. එමඟින් ගොවීන්ට නව අදහස් සොයා ගැනීමට සහ ඔවුන්ගේ අත්දැකීම්, දැනුම බෙදාහදා ගැනීමට අවස්ථාව උදා වෙනවා. අවසානයේ දී ලෝක ආහාර අවශ්‍යතාව වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටු කරන කර්මාන්ත දෙකක් සඳහා පොදු වේදිකාවක් නිර්මාණය වීම සිදු වන අතර, කර්මාන්ත ද්විත්වය සමඟ සම්බන්ධ වූ විවිධ පාර්ශවකරුවන් සමඟ සබඳතා පැවැත්වීමට ගොවියන්ට අවකාශ ලැබෙනවා.

වගා කටයුතු තව තවත් දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුමේ ප්‍රවාහයට එම සහයෝගීතාව ඉතා වැදගත්. විශේෂයෙන් ම කෘෂි කර්මාන්තය හරහා දළ දේශීය නිෂ්පාදිතයට හතරෙන් එකක පමණ දායකත්වයක් ලබා ගන්නා ඉන්දියාව වැනි රටකට මෙවැනි ඒකාබද්ධ වැඩසටහන් ඉතා ප්‍රයෝජනවත්.

වගාවට උචිත භූමිය

 වී-මත්ස්‍ය ඒකාබද්ධ වගාව සඳහා විශේෂිත අන්දමකින් කුඹුර හෝ භූමිය සකසා ගත යුතු වෙනවා. ජලජ ජීවින්ට ජීවත් වීම සඳහා ප්‍රමාණවත් ජලය වගා භූමිය තුළ පවත්වා ගැනීමත් සිදු කළ යුතු යි. මේ සඳහා ජලය පහසුවෙන් ඕනෑම අවස්ථාවක ගලා ඒමට හැකි වන පරිදි සකස් කළ පහත් බිම් වඩාත් උචිත වෙනවා. ශ්‍රී ලංකාවේ පහත රට ප්‍රදේශවල තිබෙන සාමාන්‍ය වී වගා ක්‍රමවේදය ඒකාබද්ධ වගාව සඳහා පහසුවෙන් යොදාගත හැකි යි.

සහල් පරිභෝජනය ලෝකය පුරා පැතිරී ඇති අන්දම – nyaspubs.onlinelibrary.wiley.com 

මත්ස්‍ය ප්‍රභේද තෝරා ගැනීම

සුදුසු මත්ස්‍ය ප්‍රභේදයක් තෝරා ගැනීමේ දී කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු යි.

1. ඉහළ වර්ධන වේගයක් ඇති මත්ස්‍ය ප්‍රභේදයක් වීම.

2. නොගැඹුරු ජල ධාරිතාවකට හුරු වීමට ඇති හැකියාව.

3. ඉහළ උෂ්ණත්වයක් සහ අඩු ඔක්සිජන් මට්ටම දරා ගැනීමට ඇති හැකියාව.

4. වී පැළ වලට හානි නොකරන ප්‍රභේදයක් වීම. ( අනෙක් මත්ස්‍ය විශේෂ කෙරෙහි විලෝපිකත්වයක් නොදක්වන මාංශ භක්ෂකයන් හෝ මළ ශාක-සත්ත්ව ද්‍රව්‍ය මත යැපෙන්නන්)

5. වෙළඳපොළේ සාධනීය ඉල්ලුමක් සහිත ප්‍රභේදයක් වීම සහ සුලබතාව ඉහළ ප්‍රභේදයක් වීම.

 යන කරුණු මෙහිදී සැලකිල්ලට ගත යුතු වෙනවා.

 තිලාපියන් විශේෂ, සාමාන්‍ය කාප් මසුන්, ඉහත අවශ්‍යතා සපුරන වඩාත් සුලබ මත්ස්‍ය විශේෂයන් වෙනවා.මත්ස්‍යයන් පමණක් නොව, ආර්ථික වැදගත්කමක් ඇති මිරිදිය කකුළුවන්, ඉස්සන් සහ බෙල්ලන් විශේෂ වගා කිරීමේ හැකියාවත් එහි පවතිනවා. ඉන්පසු සුදුසු වී ප්‍රභේදයක් සමඟ තෝරා ගත් මත්ස්‍ය ප්‍රභේදය ඒකාබද්ධ කළ යුතු යි. වී ක්ෂේත්‍රය තුළට මසුන් ඇතුළත් කිරීමේ ක්‍රමය අනුවත් වී-මත්ස්‍ය ඒකාබද්ධ වගාව වෙනස් වෙනවා.

The Captural System

 කුඹුරට ජලය ලබා ගන්නා ජල මාර්ගය දිගේ ම අවශ්‍ය මාළුන් කුඹුරට ලබා ගැනීම මෙහිදී සිදු වෙනවා. නමුත්, මෙම ක්‍රමය යටතේ ලබාගත හැක්කේ ප්‍රදේශයේ ඇළ මාර්ග තුළ ස්වභාවිකව ම වෙසෙන මසුන් වර්ග පමණ යි. වියදම සහ කම්කරු ශ්‍රමය සැලකීමේ දී මෙම ක්‍රමය වාසි සහගත වුවත්, අදාළ මත්ස්‍ය විශේෂවල ආර්ථික වැදගත්කම ගැනත් එහිදී සැලකිලිමත් විය යුතු යි.

මත්ස්‍ය අස්වැන්න නෙළන වී ගොවියන් – www.fao.org

The Concurrent System

මෙහිදී මුල සිට ම වී වගාවට සහ මත්ස්‍ය වගාවට උචිත වන පරිදි වගා ක්ෂේත්‍රය සැකසීම සිදු වෙනවා. ඒ සඳහා වැඩි වියදමක් සහ වැඩි කම්කරු ශ්‍රමයකුත් අවශ්‍ය වෙනවා. පිටතින් හඳුන්වා දුන් ඉලක්කගත මත්ස්‍ය විශේෂයක් වගා කරන නිසා වී වගාවට සහ මත්ස්‍ය විශේෂයට එකසේ ගැළපෙන පරිසරයක් කුඹුර තුළ නිර්මාණය කළ යුතු වෙනවා. ජලය කාන්දු වීම, නියරේ උස, පාංශු ඛාදනය, විලෝපිකයන්ගේ පැමිණීම, කුඹුරට ජලය ඇතුළු වන වේගය, යන සාධක මෙහි දී සැලකිල්ලට ගැනෙනවා. අනෙක් වැදගත් කාරණය වන්නේ පළිබෝධනාශක භාවිතය යි.

ජලයේ පලිබෝධනාශක දිය වුවහොත්, මත්ස්‍ය ගහණයට සෘජුව ම එය බලපාන නිසා ඒකාබද්ධ ක්‍රමයේ දී පළිබෝධනාශකවල සහාය පැතිය නොහැකි යි. නමුත්, මත්ස්‍ය විශේෂය හරහා පළිබෝධ පාලනයට යම් රුකුලක් ලැබෙන අතර, පළිබෝධ සහ වල් පැළෑටි නාශනය සඳහා සාම්ප්‍රදායික ක්‍රමවල පිහිට ලබා ගත හැකි යි. එමඟින් පරිසර හිතකාමී කෘෂි කාර්මික රටාවකට ගොවියා අනුගත වීමත් සිදු වෙනවා.

ද්වීතික ආදායම් මාර්ගයක් සපයන මෙම වගා ක්‍රමවේදය ගොවියන්ගේ දුප්පත්කමට ලබා දිය හැකි හොඳ පිළිතුරක් වශයෙන් සහල් නිෂ්පාදනය කරන රටවල් බොහෝමයක් දැන් භාවිත කරනවා. ඒ හරහා තිරසර පාරිසරික අරමුණු මුදුන් පත් කර ගැනීමත් සිදු වෙනවා. නමුත්, මෙම ක්‍රමවේදය එකවර ස්ථාපනය කළ හැකි දෙයක් නොවෙයි.

වී-මත්ස්‍ය ඒකාබද්ධ වගා ක්‍රමය

එකම බෝගය වුවත්, සහල් නිෂ්පාදනයේ දී රටින් රටට කෘෂි කාර්මික පිළිවෙත්, වෙළඳපොළ, පාරිසරික සාධක, වන ජීවින්ගේ බලපෑම, කෘෂි කර්මයත් සමඟ බැඳුණු සංස්කෘතිය සහ ආකල්ප, භාවිතා කරන ශාක ප්‍රභේද, වෙනස් වෙනවා. ඒවා සියල්ල සැළකිල්ලට ගනිමින් වී-මත්ස්‍ය ඒකාබද්ධ වගා ක්‍රමය රටකට හඳුන්වා දිය යුතු යි. සරලව ම, ඒකාබද්ධ වගා ක්‍රමය හරහා ඉහත සඳහන් අරමුණු ඉටු කරගැනීමේ ශක්‍යතාවක් රටකට පවතිනවා ද යන්න සොයා බැලිය යුතු යි.

 නිසි ප්‍රතිපත්ති සහ සැලසුම්, පරිපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ ප්‍රායෝගිකත්වය, ගොවීන් සඳහා අවශ්‍ය තොරතුරු සහ පුහුණුව නොමිලේ ලබාදීමට ඇති හැකියාව, ඒ වෙනුවෙන් අවශ්‍ය වෙනවා. මේ සියලු දේ වෙනුවෙන් සාධාරණ කාලයක් ලබා දීම අත්‍යාවශ්‍යයෙන් ම සිදු කළ යුත්තක්. චේතනාව කොතරම් යහපත් වුවත්, රටක කෘෂි කාර්මික රටාව එකවර වෙනස් කිරීමට ප්‍රයත්න දැරීම විශාල අවදානමකට අත වැනීමක්. සහල් නිෂ්පාදනයේ පතාක යෝධයන්, වී-මත්ස්‍ය ඒකාබද්ධ වගා ක්‍රමය හසුරවන්නේ මේ සියල්ල සිහියේ තබා ගනිමින්.

කවරයේ ඡායාරූපය: වී-මත්ස්‍ය ඒකාබද්ධ වගා ක්‍රමය නිසා වගා බිමට සෞන්දර්යාත්මක අගයකුත් එකතු වෙනවා - greenarea.me මූලාශ්‍ර:

www.downtoearth.org.in

krishijagran.com

ricepedia.org

www.nature.com

agri.info.lk 

Related Articles