Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහ උළුගෙදර ජීවිතේ

1877 අංක 16 දරන බන්ධනාගාර පනත මඟිනි, මෙරට බන්ධනාගාර පද්ධතිය විධිමත් ලෙසින් සකස් වන්නේ. ඉන්ස්පෙක්ටර් ජෙනරාල් මේජර් බී. බිල්ටන් මහතා යි, බන්ධනාගාර පද්ධතියේ මුල් ම ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ.

එල්ලුම් ගහ

ශක්තිමත් බාල්කයෙහි හරි මැදට වන්නට යකඩ බොලොක්කයකි. මරණ දණ්ඩනයට නියම වූ පුද්ගලයෙකුගේ ගෙලට වැටෙන තොණ්ඩුව සහිත තේඩා ලණුව ඇතුල් කෙරෙන්නේ මේ බොලොක්කය හරහා යි. බාල්කයේ තේඩා ලණුව යොදන බොලොක්කයට සමාන්තර ව බිම ලෑලි ආවරණයක් වන අතර, එහි මැද එල්ලුම් ගස් යවන පුද්ගලයාගේ දෙපා තැබීමට සටහන් කළ කළු කොටුවකි.

(go-naminori.com) එල්ලුම් ගහ

මරණ දණ්ඩනය ලබන්නා බිම කළු කොටු ස්ථානය මත සිටුවා ඔහුගේ ගෙලට තොණ්ඩුව සිර කෙරේ. පෝරකය භාර ව සිටින ජේලර්වරයා විසින් එල්ලා මැරීම සඳහා දෙනු ලබන සංඥාව ලබා දීමෙන් අනතුරුව යි, අලුගෝසුවා විසින් පෝරකයේ දෙපා තබා සිටින ලී පුවරුවට සම්බන්ධ කර ඇති ලීවරය පහත හෙලන්නේ. එසේ කළ විගස ලී පුවරුවේ දොර පියන් දෙක පහතින් පිහිටි වල නිරාවරණය කරමින් දෙපසට විවර වන අතර, එයයි චුදිතයාගේ මරණිය අවස්ථාව.

මේ ආකාරයෙන් මුල් වරට එල්ලුම් ගහ ක්‍රියාත්මක වී ඇත්තේ 1812 පෙබරවාරි 10 වන දින යි. ඉංගිරියේ කළු අප්පු නැමැත්තා යි, මෙලෙස එල්ලුම් ගස් ගිය පළමු ලාංකිකයා වන්නේ.

අපරාධකරුවෝ

බන්ධනාගාරය තුළ සිරකරුවන් වර්ග කිහිපයක් ම දැකගත හැකියි.

තාවකාලික අපරාධකරුවන් (Casual Offenders)

මොවුන් තාවකාලික පදනම මත සිරගෙට ආ රැඳවියන් ය. බීමත් ව, කළහ කිරීම මත, රථ වාහන හැසිරවීමේ දී සිදුවන වැරදි මත සිරගත කළ රැඳවියන් මේ යටතට ගැනේ. දඬුවම් කළ පසු අපරාධය තේරුම් ගෙන නැවත වැරදි නොකරන්නේ යැ යි ඔවුන් ගැන විශ්වාසය තබයි.

උන්මත්තක අපරාධකරුවන් (Episodic Criminals)

මොවුන් නම්, උග්‍ර මානසික පීඩනය හේතුවෙන් වැරදි කරන්නන් ය.

(kp.kz) සිරකුටිය තුළ

සුදු කරපට අපරාධකරුවන් (White Collar Criminals)

ප්‍රභූ සමාජයේ, ව්‍යාපාරික ලෝකයේ නීතියට පටහැනි ව කටයුතු කරන්නන් ය. මොවුන් වැඩි වශයෙන් බන්ධනාගාර ගත කරන්නේ සිවිල් උසාවි මඟින් දෙනු ලබන නියෝග මත යි.

පුරුද්දක් සේ බන්ධනාගාර ගතවන අපරාධකරුවන් (Habitual Offenders)

මංකොල්ලකරුවන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, මිනීමරුවන්, ජිවනෝපාය ලෙස වැරදි කරන්නන් මේ යටතට ගැනේ.

සිර කුටිය

(newuthayan.com) එළිමහනට පැමිණි සිරකරුවන්

සිරකරුවන් අතරින් දරුණු නොවන පිරිස දහවල් කාලයේ එළිමහනේ කාලය ගත කළත්, සියලුම සිරකරුවෝ රාත්‍රී කාලයේ සිර කුටි තුළට ඇතුළු කර දොරගුළු දමයි. සාමාන්‍යයෙන් සිර කුටියක දිග පළල අඩි 6×8 පමණ ය. මෙවැනි සිර කුටියක් සාමාන්‍යයෙන් සෑහෙන්නේ සිරකරුවන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකුට ය. නමුත් සිරකරුවන් හය හත් දෙනෙකු වුවත් මේවාට ඇතුළු කර සිරකර තබන අවස්ථා ද නැතුවා ම නොවේ. රාත්‍රී කාලයේ තම ශරීර කෘත්‍යයන් හරි හැටි ඉටු කරගැනීමට පවා ඔවුන්ට හැකියාවක් නැත. අධික දුර්ගන්ධයෙන් යුතු වන සිර කුටි තුළ ඔවුන් වැතිරී සිටිති.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ හා මරණීය දණ්ඩනයට යටත් වූ රැඳවියන් සඳහා දැඩි ආරක්ෂාවක් ලබා දී ඇත. දැඩි ආරක්ෂාව සහිත විශේෂ සිර කුටිවල යි, ඔවුන් රඳවා ඇත්තේ. දිනකට පැය භාගයකට නොවැඩි අවස්ථා දෙකක දී පමණි, ඔවුන් එළිමහනට ගෙන එන්නේ.

මාස 6ට වඩා අඩු සිර දඬුවම් විඳින සිරකරුවන් රඳවා තබන්නේ වෙනස් ම තැනක ය. එය ශාලාවක් වැනි ය. ඒ සිර මැදිරි අනෙකුත් සිර මැදිරිවලට වඩා විශාල වේ. එක ම දොරකින් සමන්විත වන මෙවැනි සිර මැදිරියක් තුළ රැඳවියන් 450ක් පමණ එකවර සිරගත කර තැබිය හැකියි.

(ujirppu.com) ශාලාවක් වැනි සිර මැදිරි

මේවාට අමතර ව තවත් සිර මැදිරි කිහිපයක් දැකගත හැකි වන අතර, මේවා ඇත්තේ සිර මැදිරිය තුළ විනය කඩ කරමින් කටයුතු කරන සිරකරුවන් වෙනුවෙන් ය. දඬුවම් කළුවර කුටි යන නමින් ය, ඒවා හඳුනා ගන්නේ.

සිරකරුවන්ට ම ආවේණික වූ උප සංස්කෘතිය

සිරකරුවන්ගේ වාග් කෝෂය විස්මිත ය. ඔවුන්ට ම ආවේණික වූ උප සංස්කෘතියකි, එය. ඔවුන් බන්ධනාගාරය හඳුන්වන්නේ මහ උළු ගෙදර, ගල් පල්ලිය, ආණ්ඩුවේ බෝඩිම යන වචනවලින්. සිරකරුවන්ගේ බසින් පොලිස් නිලධාරියා “පංචි” යනුවෙන් ද, කාන්තාව “ඔසරිය” යන නමින් ද, හඳුන්වයි. යමෙක් සොරකමක් කරන විට එය බලා සිටින්නෙක් සොරාගෙන් අල්ලසක් ඉල්ලා සිටින්නේ නම් එය, “ඇස් කුලිය” නමින් ද, කිසිවෙකුට දෙන පගාව හෝ අල්ලස “ඉස්ම දෙනවා” යනුවෙන් ද හඳුන්වයි. “ආතල් එක” යනුවෙන් ඔවුන් පවසන්නේ විනෝදයක් ගැන ය. කිසියම් දෙයක් වසන් කිරීම “මොත්තේ දානවා” යනුවෙන් හඳුනා ගනී.

බන්ධනාගාරගත කිරීමේ පරමාර්ථ

යම්කිසි වරදක් කළ තැනැත්තෙක් බන්ධනාගාර ගත කරන්නේ ප්‍රධාන පරමාර්ථ තුනක් මුල් කරගනිමින්. එකී පරමාර්ථ අතර භාරකාර පරමාදර්ශය, පුනුරුත්ථාපන පරමාදර්ශය, සහ නැවත සමාජ ගත කිරීමේ පරමාර්ථය වැදගත්.

සිරකරුවාගේ චර්යාවන් පාලනය කරමින්, විනයානුකූල ව කටයුතු කරන පුද්ගලයෙක් බිහිකිරීම තුළින් මුළු මහත් සමාජයට ම ආරක්ෂාව සැලසීම යි භාරකාර පරමාදර්ශය තුළින් බලාපොරොත්තු වන්නේ.

පුනුරුත්ථාපන පරමාදර්ශය තුළින් සිරකරුවාගේ මානසිකත්වය ගුණාත්මක ලෙසින් සංවර්ධනය කිරීම අපේක්ෂා කරයි.   

සිර ගෙදරින් පිටවුණු පසු යහපත් සමාජ සම්බන්ධතා පවත්වා ගනිමින් කටයුතු කරන යහපත් සමාජ ජීවියෙක් බිහිකිරීම යි, නැවත සමාජ ගත කිරීමේ පරමාර්ථය තුළින් අපේක්ෂා කරන්නේ.

 

කවරයේ පින්තූරය: scrollreport.com

මූලාශ්‍රයයන්:

aljazeera.com

thesundayleader.lk

Related Articles