සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය”. 

බේස්ලයින් පාරේ බොරැල්ල පසුකර දෙමටගොඩ පැත්තට යනකොට ඉදිකර ඇති සුවිශාල තාප්පයක එහෙම ලියැවීලා තියෙනවා. ඒ තාප්පයෙන් මායිම් වෙන්නේ ඔබ අප දන්නා වැලිකඩ බන්ධනාගාරය යි. වර්තමානය වන විට 3000කට අධික රැඳවියන් ප්‍රමාණයක් මෙහි සිර දඬුවම් විදිමින් සිටිනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, සුළු අපරාධකරුවන්, මිනීමරුවන්, හා මූල්‍ය වංචාවන්ට වැරදිකරුවන් වූ විශාල සිරකරුවන් ප්‍රමාණයක් මේ අතර වෙනවා.

“සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය” කියා ලියා තිබුණත් මේ බන්ධනාගාරයේ දී සිරකරුවන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවන් පවා සම්පූර්ණ නොවන බව ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය බවට පත් වී තිබෙනවා. විශේෂයෙන් කාන්තා රැඳවියන්ට මේ බන්ධනාගාරය තුළ විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවෙන බව ඒවායේ සඳහන්.

විවේකය අතරතුර (Dulanjan Watagoda/ Roar Media)

බන්ධනාගාර ගතවූවෙකුට විඳීමට වන්නේ සාමාන්‍ය අත්දැකීම්වලට වඩා දරුණු හා කටුක අත්දැකීම් සමූහයක්. නමුත් අද අපි මේ කතා කරන්න යන්නේ බන්ධානාගාර ගතවූවන්ට තමන්ගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් බිඳදමා ගැනීමට අවශ්‍ය නොවන බන්ධනාගාර පරිශ්‍රයේ ක්‍රියාත්මක වෙන විශේෂ ව්‍යාපෘතියක් පිළිබඳව යි. මේ සඳහා වෙහෙස මහන්සිව කටයුතු කරන්නේ බන්ධනාගාරයේ සිටින කුඩා නමුත් ශක්තිමත් කණ්ඩායමක් වන පුනරුත්ථාපන නිලධාරීන් සමූහය යි. 

පුනරුත්ථාපන නිලධාරින් මොකද කරන්නේ 

බන්ධනාගාර ජීවිතය ගැන සිවිල් සමාජය හරිම පටු විදියට හිතන්නේ. අපට වැරදිකරුවන් හොඳින් පුනරුත්ථාපනය කරන්න පුළුවන්. ඒ වුනාට අපට තියෙන විශාලම අභියෝගය වෙන්නේ සමාජය සිරකරුවන් දිහා බලන විදිහ වෙනස් කරන එක”. එහෙම අපට කිව්වේ වැලිකඩ පුනරුත්ථාපන නිලධාරී I. R. සුදර්ශන යි.

අප පුනරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ කරන්නේ රැඳවියෙක් බන්ධානාගාර ගත වූ මොහොතේ සිටම යි. පළමුවෙන්ම ඔවුන් කර ඇති වරදේ ස්වභාවය, පවුල් පසුබිම ඔවුන්ගේ මූල්‍යම තත්ත්වය හා එකිනෙකා සතු හැකියාවන් පිළිබඳව අප විසින් වාර්තාවක් ලබා ගන්නවා. මරණ දඬුවම, දිගු කාලීන හා කෙටි කාලීන දඬුවම් හිමි රැඳවියන් අතරින් දිගු කාලීන දඬුවම් හිමි රැඳවියන්ව විවිධ වෘත්තීය පුහුණුවීම්, හැකියාව අනුව නිර්මාණාත්මක ක්‍රියාවන්වලට ද යොමු කරනවා. 

කෙටි කාලීන සිර දඬුවම් හිමි රැඳවියන් කුඩා රාජකාරීන් සඳහා අනියුක්ත කරනවා. අප, එක් එක් සිරකරුවා අධීක්ෂණය කරන අතරම ඔවුන්ගේ චර්යාවේ දියුණුව සටහන් කරගන්නවා. එය සිරගතව සිටින කාලය අඩුකර ගන්නත් උපකාර වෙනවා”, සුදර්ශන් එසේ පවසනවා.

රැඳවියාගේ අවශ්‍යතා ද පුනරුත්ථාපන නිලධාරීන් විසින් සොයා බැලෙන අතර, ඔවුන් ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ඉදිරිපත් කරනවා. උදාහරණයක් විදිහට රැඳවියා, පවුලේ එකම උපයන්නා ද, ඔහුට පාසල් යන වයසේ යන දුවා දරුවන් සිටී නම් දරුවන් පාසල් යැවීමට සුබසාධන අරමුදලෙන් මුදල් වෙන් කර දීමට කටයුතු කරනවා.

පුනරුත්ථාපන නිලධාරීන් රට පුරා සිටින සිරකරුවන් සඳහා “පෞරුෂත්ව සංවර්ධනය” වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. වැඩසටහන දින දහයක් පුරාවට පැවැත්වෙන අතර එහිදී  සාරධර්ම, සංජානනය හා තම හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා අවධානය යොමු කෙරෙනවා.

රැඳවියන් නර්තන අභ්‍යාසවල නිරතවෙමින්. බන්ධනාගාර නිලධාරීන්ගේ සහයෝගය මත නර්තන උපදේශකවරයෙක් විසින් මෙහෙයව යි. (Dulanjan Watagoda/ Roar Media)

ඔවුන්ගේ දඬුවමේ කාලසීමාව අනුව රැඳවියන් විවිධ කාර්යයන් සඳහා යොමු කරනු ලබනවා. මෙහිදී විශේෂ කුසලතා අවශ්‍ය නොවන කාර්යයන් සඳහා කෙටිකාලීන රැඳවියන් ද, දිගු කාලීන සිර දඬුවම් හිමි රැඳවියන් සඳහා වඩුවැඩ, ලෝකුරු වැඩ වැනි කර්මාන්තයන් හඳුන්වා දෙනවා (ඔවුන් අතින් නිෂ්පාදනය කෙරෙන බොහෝ භාණ්ඩයන් ප්‍රදර්ශනයන් සඳහා ඉදිරිපත් කෙරෙන අතර යම් යම් පෞද්ගලික සමාගම් ද මේ භාණ්ඩ මිල දී ගැනීම සඳහා යොමු වී සිටිනවා). ඊට අමතරව විනෝදාංශ ලෙස නැටුම්, චිත්‍ර හෝ වෙනත් කලාවන් ඉගෙනගැනීමේ අවස්ථාව ද රැඳවියන්ට හිමිවෙනවා.

කලාව සහ අත්වැඩ ප්‍රගුණ කිරීම පුනරුත්ථාපනයේ පහසුම මඟ බව අප විසින් අවබෝධ කරගෙන තිබෙනවා”. එසේ පවසන්නේ ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරී පියසිරි වටගොඩ යි. මූර්ති ශිල්පය, සාම්ප්‍රදායික නැටුම්, සංගීතය හා ගායනයට සම්බන්ධ වීම සඳහා රැඳවියන් දිරිමත් කරවන අතරම මේවා ඉගෙනගැනීමට අවශ්‍ය සෑම පහසුකමක්ම බන්ධනාගාරය විසින් ලබා දෙනවා. 

නමුත් මේ සෑම පහසුකමක්ම කාන්තා රැඳවියන් සඳහා හිමිවන්නේ නෑ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය වෙන වෙනම කොටස් දෙකකයි රඳවා තැබෙන්නේ. දෙපාර්ශවයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදුවෙන්නේත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන යි. විවීම්, මැසුම් මෙන්ම සාහිත්‍ය සංගම් ඔවුන් වෙනුවෙන් පැවතියත් පුරුෂයන්ට මෙන් විධිමත් වැඩපිළිවෙලක් එහි ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඊට ප්‍රධානම හේතුව වන්නේ ප්‍රමාණාත්මකව කාන්තා රැඳවියන්, පුරුෂ රැඳවියන්ට වඩා ඉතා අඩු අගයක් ගැනීම යි.

පාටි හා පින්ගෝ

රැඳවියන්ගේ ශ්‍රමය වෙනුවෙන් මුදලක් ලැබෙන අතර බන්ධනාගාරයෙන් නිදහස් වන දිනයේ එම සම්පූර්ණ මුදල ඔවුන්ගේ අතට පත්වෙනවා.( Dulanjan Watagoda/ Roar Media)

බන්ධනාගාරවල සුවිශේෂි උප සංස්කෘතියක් ඇති අතර ඔවුන්ටම විශේෂ වචන සමුදායක් එහි අන්තර්ගත වෙනවා. පාටි, පින්ගෝ කියන්නේ ඒ වගේ වචන දෙකක්. පාටි ලෙස තමන්ගේ වැඩ කරන කණ්ඩායම හඳුන්වනවා. මැහුම් කාර්යයයේ නිරතවෙන කණ්ඩායම මැහුම් පාටිය ලෙසත්, මුද්‍රණ කටයුතුවල නිරතවන කණ්ඩායම මුද්‍රණ පාටිය ලෙසත්, කම්මල් කාර්යයේ නිරත කණ්ඩායම කම්මල් පාටිය ලෙසත්, මේ සියලු වැඩපොල පිහිටි ස්ථානය පින්ගෝ ලෙසත් හඳුන්වනු ලබනවා. සෑම පාටියක්ම උදේ 7.30ට ආරම්භවෙන අතර සවස 5ට අවසන් වෙනවා. විවේක කාල තුනක් ඒ සඳහා ඇතුළත්.

නමුත් ඔවුන්ගේ පාටි තිබෙන ස්ථාන බොහෝ දුරට දුහුවිල්ලෙන් පිරුණු හා ආලෝකයෙන් තොර ස්ථාන යි. අවශ්‍ය එළිය හෝ වාතාශ්‍රය ලැබෙන්නේ ඉතා අඩුවෙන්. නමුත් සංගීත හා නර්තන අභ්‍යාසයන් සඳහා අලුතෙන් තීන්ත පිරියම් කරන ලද, හොඳින් වාතාශ්‍රය ලැබෙන, හා විවිධ කලාකෘතීන්ගෙන් සමන්විත ශාලාවක් තිබෙනවා. පවතින අවම පහසුකම යටතේ වූවත් රැඳවියන් පුනරුත්ථාපනය කර යහමඟට ගැනීම පුනරුත්ථාපන නිලධාරිගේ ප්‍රධාන අරමුණ යි.

නව රැඳවියෙක් ආ දා පටන් ඔහුගේ අධ්‍යාපනය විධිමත් හා අවිධිමත් ක්‍රම දෙකෙන්ම ඉහළ නැංවීමට අප උත්සාහ කරනවා. වෘත්තීය පුහුණුවක් ලබා දීමටත්, ඒ ඔස්සේ NVQ 3 වන මට්ටමේ සහතිකයක් ලබා ගැනීමටත් අපි විසින් ඔවුන්ව දිරිමත් කරනවා” යි වටගොඩ මහතා ප්‍රකාශ කරනවා.

පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ රැඳවියන් වෙනුවෙන් තව බොහෝ දේවල් කිරීමට ඇති බව වටගොඩ මහතා පවසනවා. විශේෂයෙන් මනෝවිද්‍යාව සම්බන්ධයෙන් අවශ්‍ය මානව සම්පත් නොමැති වීම හා පුනරුත්ථාපන නිලධාරීන්ගේ හිඟය විශාල ගැටළුවක් බව ඔහු ප්‍රකාශ කරනවා. 

දැනට ලංකාව පුරා 100ක් පමණ පුනරුත්ථාපන නිලධාරීන් සිටින අතර ඉන් 11 දෙනෙක් වැලිකඩට අනියුක්තව කටයුතු කරනවා. සිරකරුවන් 3000කට වඩා සිටින වැලිකඩ බන්ධනාගාරයේ එක් පුනරුත්ථාපන නිලධාරියෙකුට 300කට වඩා රැඳවියන් ප්‍රමාණයක් අයත් වෙනවා. එය ඉතා විශාල අගයක් බැවින් අධීක්ෂණය කිරීමේදී විවිධ ගැටළු පැන නගිනවා. දියුණු රටවල මෙන් මෙම අගය වැඩි කළොත් සිරකරුවන්ගේ ප්‍රගතිය මීට වඩා යහපත් අතට හැරවීමට හැකි බව වටගොඩ මහතාගේ අදහස යි.

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි රැඳවියන් යම් කාලයකට පසුව ක්‍රියාවෙන් ප්‍රගතියක් පෙන්නුම් කරයි නම් ඔවුන් නිදහස් කළ යුතු බව වැලිකඩ පුනරුත්ථාපන නිලධාරීන්ගේ පොදු මතය යි. 

අපි රැඳවියන් සඳහා ඉලක්ක ලබා දෙනවා. ඒ කාලසීමාවේ දී ඔවුන් එම ඉලක්ක සම්පූර්ණ කරයි නම් ඔවුන්ට මින් පිට වී යාමට හැකියි”යි වටගොඩ මහතා එලෙස ප්‍රකාශ කරනවා.

ඇත්තෙන්ම මරණ දඬුවම ලබන රැඳවියන් වසර පහක පමණ කාලයකින් පසුව සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයන් බවට පත්වෙනවා. ඔවුන්ගේ ආකල්ප සම්පූර්ණයෙන් වෙනස් වී ඉතා හොඳ පුද්ගලයන් බවට පත්වෙනවා. නමුත් මේ අය නිදහස් කරන්න කියලා අපි යෝජනා කළොත් බන්ධනාගාරයෙන් එපිට සිවිල් සමාජය අපේ යෝජනා අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කරනවා,” අවසානයේ සුදර්ශන එලෙස පවසනවා.

පරිවර්තනය - ලසන්ත කුලරත්න