Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බඳින එකට වඩා බැඳෙන්න ඉඩ හැරියා නම් හොඳයි- ලේඛා මදරසිංහ

පොත් එළිදැක්වීමක් සබැඳි ඉවෙන්ටුවක ලින්කුවක් සමග “මල්ලි, පුළුවන්කමක් තියේ නම් එදාට එන්ඩෝ…” කියා, පෞද්ගලිකව නොදත් ෆේස්බුක් මිතුරියකගෙන් ඉන්බෝක්ස්ගත ඇරයුමකි. හැඳිනුව ද නැති ද වුව ඉඩ ලැබෙන පරිදි Roar සිංහල කණ්ඩායම එවන් කලා හා සාහිත්‍ය කටයුතුවලට සහභාගී වීම පුරුද්දක් බැවින් “නොකීවත් එමි” යැයි ඈ වෙත පිළිතුරු දුනිමි. දවස හරියට ම තහවුරු කරගැනීම පිණිස නැවතත් මා “31 නේ?” කියා පැනයක් නැගූ අතර, “ඔව් ඔව්.. හවස 03.00ට මහවැලියේ” යන්න ඇයගේ පිළිතුර විය. “වැඩේ වෙනුවෙන් එහෙනම් පොඩි ඉන්ටවීව් එකක් කරමු අපියැ”යි පසුව මවිසින් ඇයට යෝජනාවකි. “අනේ… මට තේරෙන්නෙ නැහැ ඒව නම්, මං මොනවා කියයි ද දන්නෙ නැහැ.” ලෙස ඈ මඳක් අවිනිශ්චිතභාවයක් පෑ නිසා ම ඇය හා සංවාදයක් ගොඩනැගීමට අවැසි විය. පසුව ඒ කතාබහ මෙසේ සිදුවිණි.

ලේඛා මදරසිංහ (සේයාරුව- මේනකා ඉඳුනිල් සමරකෝන්)

මේ ‘බාරිගෙ ඩයරිය’, හැම බාරියකගේ ම ඩයරියට ළඟ යි ද?

සියයට සියයක්ම නැතත් ගොඩක් දුරට ළඟ යි. මොකද අපි එකිනෙකා රැකියාව, ජාතිය හෝ සමාජීය වටපිටාව වගේ භෞතික කරුණුවලින් බොහෝ දුරට එකිනෙකාට වෙනස් වුණාට ඇතුළේ ඉන්න ගැහැණිය එක යි. ඒ ගැහැණියට ලැබුණ භාරකාරයා ඇතුළේ ඉන්න පිරිමියා එක යි.

හැම පිරිමියාම එහෙමයි කියලා තක්කෙටම කියන්න තරම් විශ්වාසයක් ගොඩනැගුණේ කොහොමද?

මම මගේ සීමාව ඇතුළේ දැකලා තියෙන පියා, සහෝදරයා, ස්වාමියා කියන චරිත තුන ගත්තත් සමස්තයක් විදියට එයාලගේ හැසිරීම, ප්‍රතිචාර දැක්වීම සමාන යි. ඒ හැරුණාම මම දන්න කියන හැම පිරිමියෙක්ම ඒ සමාන ගතිගුණවලින් යුක්ත යි, මඳක් අඩු වැඩි වශයෙන්. උදාහරණයක් විදියට ‘බාරියක් එකදිගට කියවන්න ගත්තහම එයාලගේ කන් දෙක ඇහෙන්නෙ නැතුව යනවා. දිගම දිග ප්‍රශ්නයක් ඇහුවම ‘හ්ම්’ වගේ බකමූණු ප්‍රතිචාර ලැබෙනවා. අපි හෙට අඳින ගවුමෙ පාට ගැන වදවෙද්දි, එයාලා යුරෝපා සංගමය රැස්වෙලා මෙදාපාර මොන විදියෙ තීන්දු තීරණ ගනී ද කියලා වදවෙනවා’.

කුටුම්බගත වීමත් එක්ක ගැහැණු, පිරිමි එහෙව් පොදු අවකාශයකට කොටු වෙන්නෙ ඇයි?

ඊට පෙර කාලය ගත්තොත් අපි අපව දකින්නෙ දවසෙ ටික වෙලාව යි. සමහරක් විට ඒ කාලය සතියකට දවසක්, මාසයකට දවස් දෙකක් වෙන්නත් පුළුවන්. ඒත් කුටුම්බයකට හිරවුණ දවසක ඉඳලා අපි අපේ පෞද්ගලික සීමාව ඉක්මවා එකිනෙකාව දකිනවා. ඉතින් ඔන්න එතකොට අපට තවත් අපේ සැබෑ ස්වරුපය සඟවාගෙන ඉන්න අමාරු වෙනවා. අංගසම්පූර්ණ පෙම්වතා හෝ පෙම්වතියගේ චරිතය තවදුරටත් රඟපාන එක අමාරුයි කියල දැනෙන්න ගන්නවා. ඉතින් අපි අපිට පුරුදු රටාවට සුවපහසු විදියට ජීවත් වෙන්න පටන් ගන්නවා. එයාට සෝදන්න කම්මැලි නම් එයා ඇඟපත නොසෝදා කිලිටි ඇඳුමෙන්ම ඇඳට වැටෙනවා. මට හිතෙනව නම් ඒක දැකලා යකා නටන්න මම ඒක කරනවා. අපි අපිම වෙලා අපේ ඇත්ත දැක්ක මුල් කාලය ජීවත් වෙන්න හරි අමාරු වෙනවා. 

ලේඛා මදරසිංහ විසින් රචිත ‘බාරිගේ ඩයරිය’ (සයුර ප්‍රකාශනයකි)

විවාහය කියන්නෙ ‘බඳින’ එකට ද? 

විවාහය කියන්නෙ බඳින එකට තමයි කියල අපි හිතාගෙන ඉන්නවා. මේ කියන මමත් විවාහයෙන් අවුරුදු හතරක්ම පහුවෙනකල් එහෙම හිතාගෙන හිටියා. ඒත් බඳින එකට වඩා බැඳෙන්න ඉඩ හැරියා නම් හොඳයි කියලා මම හිතනවා. අපි එයාව බැන්දා කියලා, එයා පස්සෙන් එල්ලිලා එයා මත්තෙම අපේ සතුට හොය හොයා ඒ මනුස්සයගෙ ඔළුව කන එක ඇත්තටම එයාටත්, මටත් වදයක් වෙනවා. අපි අපේ සේරම අමතක කරලා එයාගෙන්ම සතුට ඉල්ලනවා. ඉතින් එයාව බැඳගන්නෙ නැතුවම ඒත් එයා අපිටම බැඳිල ඉන්න විදියට උපායශීලී වෙන්න පුළුවන් නම් ඒක සාර්ථක විවාහයක් කියලා කියන්න පුළුවන් වෙයි.

අපිට එයා එක්ක තරහ ගිහින් ඔළුවට පොල්ලකින් පතබාන්න තරම් හිතිලා තියෙනවනම්, ඒ වෙලාවට එයා අකමැති දෙයක් කරල බලන්න පුළුවන්. උදාහරණයක් විදියට කෑ ගහලා සිංදුවක් කියන්න, එහෙම නැත්නම් කේන්තිය නිවෙනකල් නාන්න. හිතන්නකො, එයාලට අපි කෑ ගැහුවා කියලා ඇහෙන්නෙත් නැති එකේ ඇයි අපි අපේ ලේ ටික පුච්චගන්නෙ?

ලේඛා මදරසිංහ (කලකට පෙර)

වර්තමානයේ පෙම්වත්තු අතර ගොඩනැගිලා තියෙනවා ‘පෙම්වතිය, පෙම්වතා කියන්නෙ තමන්ගෙ අනාගත බිරිඳ, ස්වාමිපුරුෂයා’ ම යි කියලා. තවත් විදියට කිව්වොත් ‘ප්‍රේම කිරීම කියන්නෙ හුදෙක්ම විවාහයේ පූර්ව අවධිය’ කියලා. ඒ ගැන ලේඛාගේ අදහස?

අපි හැදුණු වැඩුණු සමාජය, වටපිටාව එක්ක එදා මෙදාතුර හැම පෙම්වතෙක්ම පෙම්වතියක්ම හිතුවේ එහෙමයි කියලයි මට හිතෙන්නෙ. වංචනික සම්බන්ධයක් නෙමෙයි නම් අපි සම්බන්ධයක් පටන් ගත්ත දවසෙ ඉඳන්ම පෙරුම් පුරන්නෙ එක වහලක් යටට යන්න. ඒක සාධනීය විදියට වෙනවනම් ඇත්තටම සාර්ථක යි. අනාගත පොදු අරමුණකින් දෙන්නට එකතු වෙලා ඉගෙනගන්න, රැකියාවල හෝ ව්‍යාපාරයක යෙදෙන්න, ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන්නම් හොඳයි. ඒත් කවදමහරි ‘මේ මගේ ස්වාමියා’ය, ‘මේ මගේ බිරින්දෑය’ කියලා එයාලාව තමන්ට රිසි ආකාරයට බැඳලා තියාගෙන එකිනෙකාට වදයක් නොවෙන තාක් ඒ විදිය සාර්ථක යි. ‘එයා මට ඕනෑ විදියට ඉන්න ඕනේ’ කියලා නොහිතනවා නම් පමණක් සාර්ථක යි.

පෙම් කරන කාලෙ එකිනෙකාගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් වැනි එකී මෙකී නොකී කාරණා කොතෙක් නොගැලපෙන නමුත් ‘කරන්න දෙයක් නෑ. දැන් යාළුවෙලත් කොච්චර කල් ද? බඳින්නම වෙනවනෙ.’ කියලා හිතලා විවාහ වෙලා, විවිධ කාරණා මත එවන් විවාහයන් දෙදරා ගිය අවස්ථා අපි දැකලා තියෙනවනෙ. එහෙම වෙන්න ඕනි ද පෙම්වතුන්?

නැහැ! අපි ආපහු හැරෙන්න ඕන වෙලාව හරියටම අඳුනගන්න ඕන. ඒ හඳුනාගැනීම නිවැරදි යි කියලා හිතෙනවා නම් දෙපාරක් නොහිතා හැරෙන්න ඕන. කසාද බැඳලා බබාලා දෙතුන් දෙනෙකුත් මැද්දට ආවට පස්සෙ හැරෙන්න වුණොත් ඒක ජීවිත ගානකටම බලපානවනෙ.

‘බාරිගේ ඩයරිය’ පෙරලා බලන්න ඔබටත් ආරාධනා!

හොඳයි, එහෙම හිතන මේ ‘බාරිගෙ ඩයරිය’ අපිට පෙරලලා බලන්න ලැබෙන ඒ දවස ගැන කතා කරලාම අපි කතාබහ අදට නිමා කරමු.

අගෝස්තු 31 හවස 03.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවනාගාරයේ දී ‘බාරිගෙ ඩයරිය’ පෙරලලා බලන්න හැමකෙනෙක්ටම පුළුවන්. එතැන් පටන් ඒ ඩයරිය ‘සමස්ත බාරියාවන්ගේ හා භාරකාරයන්ගෙ ඩයරිය’ වෙයි කියලත් මම බලාපොරොත්තු වෙනවා. ජීවිතේ අන්තිම බලාපොරොත්තුවත් ගිලිහිලා තමන් දුකෙන් දුකටම වැටිලා ඉන්නවා කියලා හිතෙන කෙනෙක්ට වුණත්, තව එකපාරක් නැගිටලා බලන්න මේ ඩයරියේ එක පිටුවක් හරි උදව් වෙනවා නම් මගේ මහන්සිය සාර්ථක යි කියලා මම විශ්වාස කරනවා.

අනිත් එක, මේ ඩයරියේ කුටුම්බයෙන් පිට රටේ සිද්ධ වෙන දේවල්, දේශපාලනය, විවාහක ගැහැණියකට බාහිරින් එල්ල වෙන ගැටළු වගේ දේවල් ගැනත් කතා වෙනවා. බාරියක් වුණාම හැමදේටම හොම්බ දානවනෙ!

කවරය: Roar Media

Related Articles