Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

122 වියැති ජීන් කැල්මන්ට්ට ලෝක වාර්තාව අහිමි වේ ද?

ප්‍රංශයේ ජීවත් වූ ජීන් කැල්මන්ට් නිල වශයෙන් තහවුරු කරන ලද ලොව වැඩිම කලක් වාසය කළ තැනැත්තිය ලෙස සැලකෙනවා. 1875 වසරේ පෙබරවාරි මස 21 වන දා උපන් ඇය 1997 වසරේ අගෝස්තු මස 4 වන දා මියයන විට 122 හැවිරිදි වුණා. මිනිසා ගේ පරම ආයුෂ ලෙස සැලකෙන වසර 120 ද අභිබවා ජීවත් වූ, තහවුරු කළ හැකි සාක්ෂ්‍ය සහිත එකම පුද්ගලයා ලෙස වාර්තා පොත්වල ඇගේ නම ලියැවී තිබෙනවා. කෙසේ නමුත් දැන් ඇයගේ වාර්තාවට විශාල අභියෝගයක් එල්ල වෙලා.

ජීන් කැල්මන්ට්- Georges Gobet/ AFP

වර්තමාන ජීන් කැල්මන්ට් යනු සැබෑ ජීන් කැල්මන්ට්ගේ දියණිය ද?

ජීන් ලුවී කැල්මන්ට් ප්‍රංශයේ ආර්ල්හි දී ඉපිද එහිදීම මියයන විට වසර 122කුත් දින 164ක් දිවි ගෙවා තිබූ බැව් වාර්තා පොත්වල සඳහන් වෙනවා. ඇය මිනිසෙකුට ජෛව විද්‍යාත්මකව ළඟාවිය හැකියැ යි පිළිගැනෙන උපරිම වයස් සීමාව වන එකසිය විසි විය ඉක්මවා වසර 2ක්ම ජීවත්ව තිබීම නිසා, මෙම අසාමාන්‍ය සිද්ධිය පිළිබඳව ලොව විද්වතුන් රැසකගේ අවධානය යොමු වුණා. සමහරු මෙය ඇත්තෙන්ම සොබාදහමේ ‘වරදකින්’ සිදු වූ සැබෑ හා සත්‍ය තත්ත්වයක් ලෙස සලකද්දී තවත් සමහරෙක් අදටත් ඒ පිළිබඳව සැක පළ කරනවා.

ජීන් කැල්මන්ට්ගේ උපත පිළිබඳව නිල වාර්තා සියල්ලම නිවැරදිව පැවතිනවා. එසේනම් මෙය අසත්‍යයක් විය හැක්කේ කෙසේ ද? කැල්මන්ට් වසර 122ක් ජීවත් වූවායැ යි යන්න බැහැර කරන රුසියානු විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ ඇත්තෙන්ම ජීන් කැල්මන්ට් ලෙස පසුකාලීනව පෙනී සිට ඇත්තේ ඇගේ දියණිය බව යි. ඔවුන් පවසන අන්දමට සැබෑ ජීන් කැල්මන්ට් 59 හැවිරිදිව සිටිය දී 1934 වසරේ මියගොස් තිබෙනවා. අනතුරුව හිමිකම් ඔප්පු පවරාගැනීමේ දී ගෙවිය යුතු බදුවලින් බේරී සිටීම සඳහා ඇගේ දියණිය වන ඉවෝන් සිය මව මෙන් සමාජයේ පෙනී සිට ඇති බැව් ඔවුන් පවසනවා. මෙනයින් 1997 වසරේ දී ඇය මිය යන විට සැබවින්ම සපුරා සිට ඇත්තේ 122 විය නොව 99 වන විය විය යුතු බැව් තවදුරටත් ඔවුන් පවසනවා.

ජීන් කැල්මන්ට් තුරුණු වියේ දී (1895)- Wikimedia Commons

මතය තහවුරු කරන සාක්ෂ්‍ය

ජීන් කැල්මන්ට්ගේ වයස සාවද්‍ය බැව් පවසන රුසියානු විද්‍යාඥ කණ්ඩායමේ නිකොලායි සැක් පවසන ආකාරයට ජීන් කැල්මන්ට් පෙනී සිටින සම්මුඛ පරීක්ෂණ අධ්‍යයනය කිරීමේ දී ඒවායේ නොගැලපෙන තැන් රාශියක් පවතිනවා. ඒවායේ ඉදිරිපත් කෙරුණු ජීන් හා ඇගේ මවගේ ඡායාරූපවල විශාල සමානකම් ඇති අතර, ජීන් කැල්මන්ට්ට 1930 වසරේ දී ලබාදෙන ලද විදෙස් ගමන් බලපතක සඳහන් ඇගේ ඇස්වල වර්ණය පසුකාලීනව ජීවත් වූ ජීන්ගේ ඇස්වල වර්ණයට වඩා වෙනස් බව ද, උසෙහි වෙනසක් ඇති බව ද හෙළි වී තිබෙනවා.

අතීත වාර්තාවල සඳහන් ආකාරයට ජීන් හට ඉවෝන් නම් දියණියක සිට ඇති අතර ඇය 1934 වසරේ දී මියගොස් තිබෙනවා. ඒ නිව්මෝනියාව හේතුවෙනුයි. ඉවෝන් හට පුත්‍රයෙක් සිට ඇති අතර, අනතුරුව ජීන් ජීවත්ව තිබෙන්නේ මේ දරුවා හා ඉවෝන්ගේ සැමියාගේ නිවස්නයේ යි. සිය බිරිය මියයන විට 42 වන වියෙහි පසු වූ ඉවෝන්ගේ සැමියා සිය නැන්දණිය හා පුත්‍රයා හොඳින් බලා හදාගෙන ජීවත්ව ඇත්තේ යලි විවාහයක් ගැන නොසිතමිනුයි. මෙය අසාමාන්‍ය තත්ත්වයක් බව පවසන සැක් ඇත්තෙන්ම ඔහු විසින් නැවත විවාහයක් කරගන්නට නොපෙළඹුණේ සිය බිරිය ඉවෝන් ඔහු සමග සිටි නිසා බවට මතයක් ගොඩනගා තිබෙනවා. ඔහුට අනුව 1934 වසරේ දී සැබවින්ම මියගොස් ඇත්තේ 59 හැවිරිදි ජීන් කැල්මන්ටුයි. මේ වන විට ඉවෝන් 36 වියැතිව සිට තිබෙනවා.

කැල්මන්ට් සිය 122 වන උපන්දිනය දා- traffic-club.info

ජීන් ගේ සම්මුඛ සාකච්ඡාවල අඩංගු තවත් මතභේදාත්මක කරුණක් වන්නේ ඇය කුඩාකල එක්තරා කාන්තාවකගේ අතේ එල්ලී පාසල් ගිය බව යි. නිවසේ සේවිකාවකව සිටි ඇය තමන් පාසලට නිතිපතා ඇරළූ බව පවසා තිබුණා. කෙසේ නමුත් වාර්තා පරීක්ෂා කිරීමේ දී හෙළි වී ඇත්තේ ඇත්තෙන්ම එම සේවිකාව 1875 වසරේ උපන් ජීන් කැල්මන්ට්ට වඩා දස වසක් වයසින් අඩු තැනැත්තියක බව යි. මීට අමතරව ඉවෝන්ගේ මරණ සහතිකය ද අත්සන් කර තිබෙන්නේ වෛද්‍යවරයෙකු හෝ මරණ පරීක්ෂකයෙකු නොවන කාන්තාවක් විසින්.

වෛද්‍ය විද්‍යාත්මක සාධක

රුසියානු විද්‍යාඥයෙකු වන වැලෙරි නොවොසෙලොව් පවසන්නේ තමන් ජීන් කැල්මන්ට්ගේ වෛද්‍ය වාර්තා පිරික්සූ විට අතිශය පුදුමයට පත් වූ බව යි. සියවස ඉක්මවා ජීවත් වන්නන් පිළිබඳව පර්යේෂණ රාශියක් සිදු කර ඇති ඔහු පවසන්නේ ජීන් කැල්මන්ට්ගේ සමහර සාධක සියවස ඉක්මවා ජීවත් වූ අනෙක් අයගෙන් ‘ඉතාමත් වෙනස්’ වන බව යි. ඇයගේ සමෙහි තත්ත්වය හා හැකියාවන් කිසිසේත්ම 122 වියැති අයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි බවත්, කිසිවෙකුගේ ආධාරයක් නොමැතිව සිටගැනීමට හැකිවීමට තරම් හොඳ තත්ත්වයේ මාංශපේෂි හා සාමාන්‍ය මට්ටමේ හෝ හොඳ මතකයක් තිබීම ඇගේ සත්‍ය වයස පිළිබඳව සැක සංකා ජනනය කරන බවත් ඔහු තවදුරටත් පවසා තිබුණා.

උක්ත කාරණාවලට අමතරව ජීන් කැල්මන්ට් විසින් සිය පැරණි පෞද්ගලික බඩු බාහිරාදිය විනාශ කර තිබීම ද සැකයට තුඩු දෙන්නක්. තවත් විශේෂතම කාරණාවක් වන්නේ ජීන් කැල්මන්ට්ගේ දිවියෙහි අවසන් සමයේ එක්තරා රක්ෂණ සමාගමක් ඇය ඇත්තෙන්ම නියම ජීන් කැල්මන්ට්ගේ දියණිය බවට සැක කොට, ඇයට එරෙහි වංචා චෝදනා ගොනු කොට නඩු පවරන්නට සූදානම් වීම යි. ඇය ප්‍රංශයට ගෞරවයක් ගෙන දෙන්නියක බැව තේරුම් යාමත් සමග ඔවුන් ඒ අදහස පසෙක දමා තිබෙනවා. මේ කරුණු සියල්ල අනුව 1997 වසරේ ඇත්තෙන්ම මියගියේ 1875 වසරේ උපන් ජීන් නොව 1898 වසරේ උපන් ඉවෝන් වීමේ වැඩි ඉඩක් පවතිනවා.

කැල්මන්ට් මිනිසෙකුගේ පරම ආයුෂ සීමාව වන එකසිය විසි විය සැපිරූ දා- Reuters/Jean-Paul Pelisser

මතයට එරෙහි මත

ජීන් කැල්මන්ට් ගේ නියම වයස අවුරුදු 122ක් නොවන බවට සමහරෙක් මත පළකරද්දී, ඒවාට විරුද්ධව තවත් සමහරෙක් එම මතවලට විරුද්ධව ද මත පලකරනවා. 1990 දශකයේ දී ජීන්ගේ වයස තහවුරු කරන්නට දායක වූ ජීන් මාරි රොබින් පවසන්නේ ජීන් උපන් නගරයේම ජීවිත කාලයම ගත කර තිබීම නිසා ඉවෝන්ට කිසිදු ලෙසකින් සිය අනන්‍යතාව වෙනස් කොට වංචා කිරීමේ හැකියාවක් නොපැවතුණු බව යි. අනෙක් අතට එක් රැයෙකින් සිදු වූ මේ අනන්‍යතා මාරුව පිළිබඳව එහි වැසියන්ගෙන් කිසිවෙකු ප්‍රශ්න නොකෙරුවා වන්නට ද නොහැකියි.

විශේෂම කාරණාවක් වන්නේ ජීන් විසින් සිය අවසන් කාලයේ දී ඉවෝන් කිසි ලෙසකින් දැනුවත්ව සිටිය නොහැකි ප්‍රශ්න කිහිපයකට නිවැරදිව පිළිතුරු දී තිබීම යි. ජීන්ගේ පළමු ගණිත ගුරුවරිය පිළිබඳව ඇය පවසන විස්තරය එවැන්නක්.

ඉහත මතවලට පිළිතුරු සපයන සැක් පවසන්නේ ජීන් හා දියණිය 1930 දශකයේ වැඩි කාලයක් ගතකොට ඇත්තේ ආර්ල් නගරයෙන් පිටත බව යි. ඒ කාලයේ තිබූ හිතකර නොවන පරිසරය මධ්‍යයේ මෙවැනි ‘අනන්‍යතා මාරුවක්’ සිදුකිරීම පහසු බව ඔහු පෙන්වා දෙනවා.

පසුවදන

සාරා ක්නස්- amazing.zone

1997 වසරේ දී මියගියේ ඇත්තෙන්ම ජීන් කැල්මන්ට් ද නැතිනම් ඇගේ දියණිය ඉවෝන් ද යන්න නිසියාකාරවම තහවුරු කොට ගන්නට පර්යේෂණ රාශියක් සිදුකළ යුතුව තිබෙනවා. යම් හෙයකින් ඒවා අවසන ඇයට ‘ලොව වැඩිම කලක් ජීවත් වූ පුද්ගලයා’ යන වාර්තාව අහිමි වුවහොත් එය 1880 වසරේ සැප්තැම්බර් මස 24 වන දා ඉපිද 1999 වසරේ දෙසැම්බර් මස 30 වන දා මියගිය සාරා ක්නස් නම් ඇමෙරිකානු ජාතික කාන්තාවට හිමි වනු ඇති. මියයන විට ඇගේ වයස වසර 119කුත් දින 97ක්.

Related Articles