පසුගිය වසරේ සැප්තැම්බර් මස කොටදෙනියාව ප්‍රදේශයේ සිදුවු පස් හැවිරිදි සේයා සදෙව්මි දැරියගේ කුරිරු ඝාතනය රටම කැළඹු ඛේදවාචකයක් මෙන්ම පුවත් මැවු සිද්ධි දාමයකට මුල පිරිමක්ද වුනා. ඇගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද 17 හැවිරිදි පාසල් ශිෂ්‍යායා හට මුහුණ පැමට සිදුවුණ අනපේක්ෂිත අත්දැකිම් පෙලද රටේ බෝහෝ දෙනා අතර දැඩි අවදානයට ලක් වීමද ඉන් එක් සිදුවීමක්. මෙකී පාසල් ශිෂ්‍යායා සතුව පැවතුන ලැප්ටොප් පරිඝණකය තුල පැවති අසභ්‍ය දර්ශන රැගත් විඩියෝ පට පොලිසිය විසින් සොයා ගැනිමත් සමගම රට තුළ ඉමහත් අන්දෝලනයක් ඇති වූ බව නොරහසකි. අසභ්‍ය දර්ශන රැගත වීඩියෝ පට ආදිය මෙරට තුළ තහනම් කරන ලෙස බල කරමින් උද්ඝෝෂණ කිරීමටද ඇතැම් සිවිල් සංවිධාන පෙළඹී තිබුණේ ද මෙවැනි වීඩියෝ දර්ශන නැරඹීමට ඇබ්බැහි වීමෙන් තරුණ මනස විකෘති වීම වැළක්වාලීමේ අරමුණිනි.

(shutterstock.com)

කෙසේ වෙතත් මේ සමගම ඇතිවුණ අනෙකුත් කතිකාවත නම්, තමා සතුව අසභ්‍ය දර්ශන රැගත් වීඩීයෝ පට තිබුණ පමණින්ම තමා වරදකරුවෙකු බවට පත්වන්නේද යන්නයි. මේ සම්බන්ධව පවතින නීතිමය තත්වය Roar පාඨක ඔබට පහදා දීමට මා සිතුයේ, එකි පාසල් ශිෂ්‍යයයා මුහුණ පෑ අනපේක්ෂිත සිදුවීම හේතුකොටගෙන ඇතිවුණ නෛතික සහ සමාජීය කතිකාවත තුලින් මෙවැනි නෛතික කරුණු පිළිබඳව ජනතාවගේ දැනුවත් විම කොතරම් වැදගත් දැයි පසක් වු හෙයිනි.

මුලික නෛතික පදනම

අසභ්‍ය ප්‍රකාශ ලඟ තබාගැනීම පිළිබඳ මුලික නෛතික පදනම ලිඛිතව සැපයෙනුයේ 1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥාපනත මඟිනි. වර්ෂ 2005 දී සංශෝධනයට ලක්ව ඇති මෙම ආඥාපනත මඟින් අසභ්‍ය ප්‍රකාශන සඳහා වන නෛතික පසුබිම හා නෛතික තත්වය පිළිඹිබු කෙරේ.

මෙකී පනතෙහි 02 (02) (ආ ) වගන්තියට ප්‍රකාරව, යම්කිසි අසභ්‍ය දර්ශනයක් රැගත් ලියවිල්ලක්, පෝස්ටරයක්, චිත්‍රයක්, යනාදිය විකිණිම, කුලියට දිම, ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය මාධ්‍යයන් තුලින් ප්‍රසිද්ධියට පත්කිරිම හෝ එවැනි ක්‍රියාවන්ට අනුබල දැක්විම රුපියල් 2,500කට වැඩි දඩයක් හෝ මාස හයකට නොවැඩි සිර දඩුවමක් හෝ මෙම දඬුවම් ද්විත්වයටම දඩුවම් ලැබිය හැකි වරදක් වේ.

(personalinjurylawyer-nyc.com)

කිසිදු පුද්ගලයෙකු සතුව අසභ්‍ය දර්ශන රැගත් ප්‍රකාශන තිබු පමණින්ම ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. අසභ්‍ය වීඩීයෝ පටයක් හෝ එම දර්ශන රැගත් වෙබ් අඩවියක් නරඹමින් සිටියදි හසුවුවද එම වීඩීයෝ පට හෝ පරිගණකය පොලිස් භාරයට ගැනිමට ද කිසිදු හැකියාවක් නොමැත. නමුත් මෙවැනි අසභ්‍ය දර්ශන රැගත් වෙබ් අඩවි වලට එරෙහිව පියවර ගැනිමට අදාල බලධාරින් සතුව හැකියාවක් ඇත.

කෙසේ වෙතත්, ආඥාපනතෙහි සඳහන් කිසිදු ප්‍රකාශන වර්ගයක් ප්‍රසිද්ධියේ හුවමාරු කිරිමක් හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමක් යමෙකු විසින් සිදු කරයි නම් , එම පුද්ගලයා සාක්ෂි සහිතව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසිය සතුව පවති.

අපරාධ නීතිමය තත්වය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දණ්ඩ නීති සංග්‍රහයට 1995 වර්ෂයේ අංක 22 දරන 286 (අ) වගන්තියද මේ පිළිබඳ වැඳගත්වේ. එම වගන්තිය ප්‍රකාරව අසභ්‍ය ලිංගික දර්ශන රැගත් ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය මාධ්‍ය කුලියට ගෙන බෙදා හැරිම, එවැනි රැකියාවක නිරතවීම හෝ එවැන්නකට අනුබල දීමද දඬුවම් ලැබිය හැකි වරදක් බව පැහැදිලිව දක්වා සිටි. විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි හරහා මෙවැනි ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කිරිම හා සංස්කරණය විම වැලැක්වීම සඳහාද මෙම නිති උපයෝගි කරගත හැකිවේ.

කෙසේ නමුත්, මෙවැනි විඩීයෝපට හෝ ප්‍රකාශන ළඟ තබා ගැනීම හෝ තම පුද්ගලික පරිගණක යන්ත්‍ර තුල රඳවා තබාගැනීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් නොවේ. තමා සතු අසභ්‍ය ප්‍රකාශන වෙනත් පුද්ගලයකු වෙත ලබා නොදෙන තෙක්, එවැනි කිසිවක් තමා සන්තකයේ තබා ගැනිම වරදක් නොවේ.

නඩු විභාගයකදි මෙවැනි දර්ශන හුවමාරු කරගැනිමක් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කල හැක. සාක්ෂි ආඥාපනතට සමගාමිව පවතින 1995 අංක 14 දරණ (විශේෂ ප්‍රතිපාදන) සාක්ෂි පනතට අනුව මෙම සාක්ෂි නඩුවිභාගය අතරතුර ඉදිරිපත් කළ හැක.

වැඩිහිටි පුද්ගලයකු මෙම දර්ශන නැරඹිමට එරෙහිව ගතහැකි නිතිමය පියවර කිසිවක් නොමැති නමුත් වයස අවුරුදු 18ට අඩු දරුවෙකු මෙම දර්ශන නරඹා හසුවුවහොත් එම දරුවාගේ භාරකරුට එරෙහිව නිතිමය පියවර ගැනිමට, එනම් භාරකරුට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනු කිරිම සිදු කල හැක. දරුවෙකු මෙවැනි දර්ශන නැරඹිමට පෙළඹීම යනු වරදකි.

(wendellodom.com)

සමාජ ජාල වෙබ් අඩවි හරහා මෙරට තරුණ පරපුර හට මෙන්ම දරු පරපුරටද, සිදුවන අගතීන් බොහෝමයක් පැවතුනද වර්තමානයේ එම වෙබ් අඩවි තහනම් කළ නොහැක්කක් සේම මෙවැනි නිල් චිත්‍රපට ආදිය රැගත් වෙබ් අඩවිද (Pornography Sites) සම්බන්ධයෙන් තහනම් කිරිමද කළ නොහැක. තාර්කිකව ගත් කල එවැනි වෙබ් අඩවි තහනම් කිරිම හා වාරණය කිරිම කළහැකි වුවද, ලොව ඉහළම අන්තර්ජාල ආරක්ෂණ පද්ධතීන්ගෙන් සමන්විත වන රටවල පවා මෙම වෙඩ් අඩවි නැරඹිමේ කූටක්‍රමවේද මේ වනවිට නැතුවා නොවේ. තාක්ෂණය විසින් සිදු කරනා අකටයුතුකම් වලක්වාලීමට තාක්ෂණයේම පිහිට පැතිමට අපට සිදුව ඇත.

විද්වත් මතය

මේ පිළිබඳව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි නෛකික විද්වතුන් දරන මතය නම්, චීනය වැනි රටවල් විසින් ක්‍රියා මාර්ග ගෙන ඇති අකාරයට ශ්‍රී ලංකාවටද කටයුතු කළ හැකි බවයි. එනම් මෙවැනි වෙබ් අඩවි පෙරනයකට (Filtering) ලක් කළ යුතු බවයි. නමුත් මෙහිදි ඇතිවිය හැකි මුලික නෛතික ගැටඵවක් වනුයේ, එවැනි තීරණයකට එරෙහිව සිය භාෂණයේ සහ ප්‍රකාශනයේ මුලික අයිතිවාසිකම ඉල්ලා මහජනයාට අධිකරණයෙන් පිහිට පැතීමට පෙළඹෙනු ඇතැයිද යමෙකුට ප්‍රකාශ කළ හැකි බවයි.

මේ පිළිබද කතිකාවක් අවැසි ඇයි?

අවසාන වශයෙන් කිව හැකි වන්නේ, හුදෙක් තම වින්දනය උදෙසා පමණක් මෙවැනි වීඩීයෝ පට නරඹන වැඩිහිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත නොහැකි බවත්, ඔහු එම දර්ශන කිසිවක් වෙනත් කිසිදු පුද්ගලයෙකු සමඟ බෙදා නොගන්නාතාක් ඔහු නීතිය ඉදිරියේ වරදකරුවෙකු නොවන බවත්ය.

නමුත් මෙවැනි දර්ශන නැරඹිමෙන් සිය මානසිකත්වයට, විශේෂයෙන්ම තරුණ මනසට ඇතිවිය හැකි බලපැම් මෙන්ම ඊට ඇබ්බැහි විමෙන් ඇතිවන මානසික ආබාධ සහ මානසික රෝගී තත්ව මෙන්ම, ඒවා නැරඹිමෙන් පසුව ඇතැමුන් විසින් කිරිමට පෙළඹෙන පිළිකුල් සහගත ක්‍රියා කාම අපරාධ හේතුවෙන්, පවතින නිති තත්වය යටතේ පවා මෙවැනි ගැටලු සම්බන්ධව තාර්කික කතිකාවතක් ගොඩනැගිමේ අවශ්‍යතාව දිනෙන් දින වැඩිවෙන තත්ත්වයක පවතින බවද අමතක කළ නොහැකි කරුණකි.

කවරයේ රූපය – india.com