Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

න්‍යෂ්ටික අවි භාවිතය නිත්‍යනුකූල ද?

කාශ්මීරය මුල් කර ගනිමින් ඉන්දියාව හා පාකිස්තානය අතර මේ දිනවල උද්ගත වෙමින් පවතින අර්බුදකාරී වාතාවරණයත් සමග න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ යළිත් සමාජය තුළ කතාබහක් මතුව ඇත. ඊට හේතුව ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයන් වීම යි. පාකිස්තානය යුරේනියම්වලින් පොහොසත් නිසාවෙන් න්‍යෂ්ටික අවි නිපදවීමේ හැකියාව ඉහළ ය. වර්තමානය වන විට පාකිස්තානය සතුව න්‍යෂ්ටික අවි 110-130ත් අතර ප්‍රමාණයක් ඇති බවට විශ්වාස කෙරේ. එයට සමගාමීව ඉන්දියාව තුළ න්‍යෂ්ටික අවි 130-140ත් අතර ප්‍රමාණයක් ඇති බව හාන්ස් ක්‍රිස්ටෙන්සන් සහ මැට් කෝර්ඩා පවසා සිටී. ඒ අනුව යම් ලෙසකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය කලාපයට පමණක් නොව සමස්ත ලෝකයටම බලපෑම් කරනු ඇති. නෂ්ටික අවි භාවිතය පිළිබඳ පවතින නෛතිකභාවය පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ලිපියේ බලාපොරොත්තුව යි.

න්‍යෂ්ටික අවි භාවිතය ඇත්තටම නිත්‍යනුකූල ද?

නෂ්ටික අවි භාවිතය පිළිබඳව පිළිගත් නෛතික ප්‍රකාශනයක් නොමැත. 1996 දී න්‍යෂ්ටික අවි භාවිතයන් හි නෛතිකභාවය පිළිබඳව ජාත්‍යන්තර යුක්ති අධිකරණයෙන් විමසන ලදී. එහි දී ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ මතය වූයේ, නෂ්ටික අවි භාවිතා කිරීම ජාත්‍යන්තර මානුෂවාදී නීතියට පටහැනි බව යි. නමුත්  නිශ්චිතව න්‍යෂ්ටික අවි භාවිතය නීත්‍යනුකූල නොවන බව දක්වා නොමැත. නමුත් ඔවුන් කොන්දේසියක් ඉදිරිපත් කරමින් දක්වනු ලැබුවේ, රාජ්‍යයකට තම ආත්ම ආරක්ෂාවට දැඩි තර්ජනයක් පවතී නම් තම පැවැත්ම අවදානමකට ලක් නොවී ආරක්ෂා කරගැනීම උදෙසා න්‍යෂ්ටික අවි භාවිතා කළ හැකි බව යි. නමුත් මෙහි ඇති දුර්වලතාවය වන්නේ ‘දැඩි තර්ජනයක්’ යනු කුමක්දැ යි අර්ථකථනය කර නොතිබීම යි. මේ නිසා සෑම රාජ්‍යයක්ම තමාට පැමිණෙන අර්බුද ‘දැඩි තර්ජනයක්’යැ යි අර්ථකථනය කරමින් න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සාධාරණීකරණය කිරීමට පෙළඹිය හැකි ය.

ජාත්‍යන්තර මානුෂවාදී නීතිය (International Humanitarian Law) යටතේ නෂ්ටික අවි භාවිතය සාධාරණීකරණය කළ නොහැකි ය. මානුෂවාදී නීතිය යනුවෙන් හඳුන්වනු ලබන්නේ, යුද්ධයක් අතරතුර සිවිල් වැසියන්ට අදාළ වන්නා වූ නීතිය යි. මෙම ජිනිවා ගිවිසුම සම්මුති 4කින් ද ප්‍රොටෝකෝල 3කින් ද සමන්විත වේ. ජිනිවා සම්මුතිය 1949 දී සම්මත කරගත් අතර පළවෙනි සහ දෙවන ප්‍රොටෝකෝල 1977 දී ගෙන එනු ලැබී ය. මෙම ප්‍රොටෝකෝලය හරහා සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂිත අවධානයක් යොමු කරන ලදී. මෙහි පළවෙනි ප්‍රොටෝකෝලය (protocol) තුළ දක්වා ඇත්තේ; ‘අධික ලෙස තුවාල හෝ අනවශ්‍ය වේදනා ඇති කරන ආයුධ භාවිතය පරිසරයට පුළුල් ලෙස හා දීර්ඝ කාලීන ලෙස දැඩි හානි සිදුකරන යුද වර්ග තහනම්’ බව යි.

මෙයට අමතරව ජිනීවා සම්මුතිය තුළ ප්‍රධාන මූලධර්ම දෙකක් හඳුනාගත හැකියි.

වෙනස හඳුනාගැනීමේ මූල ධර්මය

යුද්ධයක දී සිවිල් වැසියන් ආරක්ෂා කර ගැනීමටත්, සටන්කරුවන් හමුදාමය නොවන ඉලක්ක වෙත පහර දීම වැළැක්වීමටත් ක්‍රියා කළ යුතු යි.

සමානුපාතිකත්ව මූල ධර්මය

සටන් කරන පාර්ශව සතුරා පරාජය කිරීමට අවම බලය භාවිතා කිරීමට වගබලා ගත යුතු යි.

මේ අනුව ජිනීවා සම්මුතිය යටතේ න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සාධාරණීකරණය කළ නොහැකි බව පැහැදිලි ය. එම  සම්මුතියට අමතරව පහත සඳහන් ගිවිසුම් මඟින් ද න්‍යෂ්ටික අවි භාවිතය නීති විරෝධී බව හඳුනාගත හැකිය.

1868 ශාන්ත පීටර්ස්බර්ග් ප්‍රකාශය

මේ හරහා සිවිල් ජීවිත අහිමි වීම අවම විය යුතු බව අවධාරණය කළේ ය. 

නමුත් න්‍යෂ්ටික අවි භාවිතා කළහොත් එමඟින් විශාල ජිවිත, දේපළ හානි සිදු වේ. ජීවිත අහිමි වීම අවම කර ගත නොහැකි ය.

1907 හේග් සම්මුතිය

මධ්‍යස්ථ ජාතීන් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු ය. 

නමුත් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වීම හරහා මධ්‍යස්ථ ජාතීන් හෝ ත්‍රස්තවාදීන්යැ යි වෙන්කර හඳුනාගෙන ප්‍රහාර එල්ල කළ නොහැකි ය. 

අදාළ ප්‍රහාරයේ බලපැම විශාල ප්‍රදේශයකට පැතිර යයි.

1948 එක්සත් ජාතීන් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය

මෙහි මිනිසාගේ සෞඛ්‍යමය අයිතීන් පිළිබඳව අවධාරණය කර ඇත.

නමුත් මෙහි දී නිකුත් කරන විකිරණ මඟින් ජනතාවගේ සෞඛ්‍යයට දරුණු ප්‍රතිවිපාක ඇති කරනු ලබයි.

ජපානයේ හිරෝෂිමා හා නාගසාකිවලට එල්ල කරන ලද ප්‍රහාරයන් හි බලපෑම පරම්පරා ගණනාවක්ම පැවතුණි. .

ඒ අනුව අලුතෙන් උපත ලද දරුවන් ද විවිධ ආබාධ සහිතව ඉපදුණි.

මෙයට අමතරව න්‍යෂ්ටික අවි විස්තාරණය වීම වැළැක්වීම සම්බන්ධව 1968 දී Non -Proliferation Treaty  ගෙන එන ලදී. මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූයේ 1970 සිට ය.

මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ වූයේ; න්‍යෂ්ටික අවි තාක්ෂණය ව්‍යාප්ත වීම වැළැක්වීම, න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිතා කිරීමට රාජ්‍යයන් යොමු කරවීම සහ නිරායුධකරණය දිරිමත් කිරීම යි. 

නමුත් එමඟින් ද අපේක්ෂිත අරමුණ ඉටුනොවුණු අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සාමාජිකයන් පස්දෙනා හැර අනෙක් රාජ්‍යයන් ද න්‍යෂ්ටික බලය වර්ධනය කර ගැනීමට පෙළඹෙන ලදී. වර්තමානයේ  න්‍යෂ්ටික බලය සහිත රාජ්‍ය නමයක් දැකගත හැකිය. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රාජ්‍යයන් 5ට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, ඊශ්‍රායලය හා දකුණු කොරියාවට න්‍යෂ්ටික බලය පවතී.

2017 දී ද නැවතත් න්‍යෂ්ටික අවි තහනම් කිරීම සම්බන්ධයෙන් ගිවිසුමක් (Treaty on the prohibition of nuclear weapons) ගෙන එන ලදී. නමුත් මෙයට න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයන් අත්සන් නොකිරීම විශේෂත්වයකි.

එසේම 2017 නොබෙල් සාම ත්‍යාගය හිමි වූයේ න්‍යෂ්ටික අවි නිරෝධායතනය වෙනුවෙන් ක්‍රියා කරන ලද, න්‍යෂ්ටික අවි අහෝසි කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයට යි. මොවුහු නෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුම (Treaty on the prohibition of nuclear weapons) ක්‍රියාත්මක කිරීම හා ප්‍රවර්ධනය කිරීමට පූර්ණ කාලිනව ක්‍රියා කරති. නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමෙන් පසුව ඔවුන් ප්‍රකාශ කළේ; න්‍යෂ්ටික අවි නිපදවීමත්, ළඟ තබා ගැනීමත්, වර්ධනය කිරීමත් යන සියල්ල ම නීති විරෝධී වන බව යි.

න්‍යෂ්ටික අවි භාවිතය නෛතිකව තහනම් කර නොමැත. නමුත් එයින්, එය අනුමත කර ඇති බව ද නොකියැ වේ. න්‍යෂ්ටික අවි අවරෝධනය උදෙසා භාවිතා කිරීම ගැටළුවක් නොවේ. නමුත් යම් දිනෙක න්‍යෂ්ටික  ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවහොත් එහි ප්‍රතිවිපාකය සමස්ත ලෝකයටම අත්විඳීමට සිදුවනු ඇත.

න්‍යෂ්ටික ප්‍රහාරයක් නිසා ඇති විය හැකි බලපෑම් ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

Related Articles