ජලය පිරි වැව් තලය (photospear.blogspot.com  – Ramith)

පොළොන්නරුවට යන කවුරුත් පරාක්‍රම සමුද්‍රයේ බැස නාගන්නට හෝ පිහිනන්නට කැමතියි. තවත් සමහරු මේ මහා ජලාශයේ සුන්දරත්වය විඳගන්නට වැව් බැම්ම දිගේ සිසිල් සුළං පහස විඳිමින් ඇවිදිනවා.  මහා සාගරයක් වන් මේ වැව කෘෂිකර්මාන්තයට වගේම නගරයේ උණුසුම අඩු කිරීමටත් උපකාරී වෙනවා. ඒ වගේම පොළොන්නරුවේ සොබා සුන්දරත්වය ඉහළ නැංවීමටත් මින් විශාල පිටුවහලක් ලැබෙනවා.  කුඩා දූපත් රාශියක්  මෙම ජලාශයේ පිහිටා තිබෙනවා. ඒ අතරින් සමහරක පැරණි නටබුන් දැකගත හැකියි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම ජලාශය පාලනය කරනවා.

වැව හැදුවේ කොහොමද?

ජලාශයේ තරම කියන නාම පුවරුව (4bp.blogspot.com)

පොළොන්නරුව පැරණි නගරයට නුදුරින් ඉදිකළ පරාක්‍රම සමුද්‍රය ඊට පෙර පැවැති තෝපා වැව, දුඹුටුලු වැව හා එරමුදු වැව යන වැව් තුන ද එක්‌ කරමින් තැනවූවක්. මෙයට ජලය රැගෙන ඒමට අඹන් ගඟ අංගමැඩිල්ලේ දී හරස්‌ කර වේල්ලක් බැඳ ආකාස ගංගාව නමැති ඇළ ඉදි කර තිබෙනවා. අදත් පැරණි කළුගල් අමුණේ නටබුන් දැකගැනීමට පුලුවන්. මේ මහා ජලාශය මහා පරාක්‍රමබාහු රජු (1153-1186) ගේ කාර්යයක්. මෙම වැව ඉදිකිරීමට මුල්කරගත් තෝපාවැව කරවා තිබෙන්නේ හතරවැනි සියවසේ දී උපතිස්ස රජු විසින්. දුමුටුලු වැව සහ එරමුදු වැවත් එකල ගොවිතැනට ජලය ලබාදුන් කුඩා වැව් දෙකක්.

වැව් බැම්ම උඩින් දිවයන මාර්ගය (polonnaruweapi.com)

මෙහි වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38ක් වන අතර උසින් මීටර් 9.45ක්. ජලාශයේ ජලධාරා ප්‍රදේශය වර්ග කි.මී.71.71 ක් වන අතර ජල පැතුරුම හෙක්ටයාර 2539.5ක් විශාලයි. ජලාශයෙහි ජල ධාරිතාව ඝන මීටර් දසලක්ෂ 134.07ක් වෙනවා.

වැවට සම්බන්ධ නටබුන්

වැව හා සම්බන්ධ නටබුන් ස්ථාන කිහිපයක් අද අපට දකින්න ලැබෙනවා. ඒ දීප උද්‍යානය, වසන්ත මාලිගය  සහ සීතල මාලිගයයි.

පරාක්‍රම සමුද්‍රය  උතුරින්  හබරණ ප්‍රදේශය, සින්නකුලම් හා දිවුලන්කඩවල වැව දක්වාද නැගෙනහිරින් – පොළොන්නරු නගරය, ගොනාගොල්ල, ගලවච්චිකුලිය දක්වාද  දකුණින් – කලහගල ගම්මානය, කලහගල වැව, කුකුරු මහවෙල, අංගමැඩිල්ල, කොටවැල්ල වැනි ගම් තෙක් ද බටහිරින් – සුදුකන්ද හා නැබදිල්ල කඳුවැටිය තෙක්ද විහිදී යනවා.  මෙහි වැව් තාවල්ල සම්පූර්ණයෙන් පැතිර යන්නේ අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයට මායිම් වෙමින්. පරාක්‍රම සමුද්‍රයට අඹන් ගඟේ ජලය හරවන පැරණි අමුණ වැව් ඉහත්තාවේ අංගමැඩිල්ල වනෝද්‍යානය තුළ පිහිටා තිබෙනවා.

පරාක්‍රම සමුද්‍රයේ වූ සොරොව් 7 ක නම් හා ඉන් නික්‌මෙන ඇළ මාර්ග 8 ක නම් මහාවංසයේ සඳහන් කරනවා. මින් සොරොව් 3 ක්‌ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන තිබෙනවා.

දීප උද්‍යානය

දීප උයනේ නාන පොකුණක් (dreamstime.com)

වැව් ඉවුරට නුදුරින් වර්තමාන තානායම අසල මෙම නටබුන් භූමිය පිහිටා තිබෙනවා. මෙය මුලන්ම මහාපරාක්‍රමබාහු රජු සිය විනෝද උයන වශයෙන් යොදාගත්  ස්ථානයයි. එහි අලංකාර පොකුණු රාශියක් ඉදිකළ බව මහාවංශය සදහන් කරනවා. පසුව නිශ්ශංකමල්ල රජ සමයේ මෙම උද්‍යානයේ අලුත් ගොඩනැගිලි කිහිපයක්ම ඉදිකර තිබෙනවා. දීප උයනේ පැරකුම් රජු කරවූ ගෙඩනැගිලි ගැන මහාවංශයේ සඳහන් වෙනවා. සම්පූර්ණ හුණුගලින් නිමවූ ධවලඝරය, විද්‍යා මණ්ඩපය, ඕවිලි මන්දිරය හෙවත් දෝලා මණ්ඩපය, ක්‍රීඩා මණ්ඩපය, මයුර මන්දිරය, ශනි මන්දිරය, ආදස මණ්ඩපය, සිව්මහල් ගෘංගාර විමන. අනන්ත පොකුණ, චිත්‍ර පොකුණ ඒවායි. මේ ගොඩනැගිලිබහුරයක්  කුමක්දැයි හඳනා ගැනීමට අපහසුයි. නමුන් රාජසභා මණ්ඩපය සහ ස්නානය කළ පොකුණ හඳුනාගැනීමට පුලුවන්.

ස්නාන තටාක සහ ස්නානාගාර

එදා රජවරු ස්නානය කළ ස්නානාගාරයක්  (linkffiles.wordpress.com)

දීප උයනේ නැගෙනහිර පැත්තේ වැව් බැම්ම අසලම මේවා ඉදිකර තිබෙනවා. තානායමට නුදුරින් ඒ නාන තටාක දෙකක් දැකගත හැකියි. ඒවාට ජලය සැපයෙන්නේ පරාක්‍රම සමුද්‍රයේ සිට නල මාර්ගයෙන්. ඉහළින් ඇති වක්‍රාකාර නාන තටාකය අනන්ත නා රජුගේ දරණය සිහිපත් කරවන අනන්ත පුෂ්කරණිය යයි සැලකෙනවා. මෙහි ජලය හිසට වැත්කෙරෙන සේ සැකසි ස්නානාගාර ද දක්නට ලැබෙනවා.

මඟුල් මඩුව

දීප උයනේ නැගෙනහිර දෙසින් පිහිටා ඇති කුලුනු සහිත ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජුගේ මඟුල් මඩුවයි.  දෙපසින්ම දොරටු සහිත එය විවෘත ශාලාවකින් සහ වේදිකාවකින් යුක්තයි. එහි විවිධ රංග පවත්වන්නට ඇති.

රාජසභා මණ්ඩපය

නිශ්ශංකමල්ල රාජ සභාවේ සිංහ මූර්තිය  (Wikipedia.org)

නිශ්ශංකමල්ල රජුගේ රාජසභාව පැවැත්වූ මෙය සෘජු කෝණාකාර ගොඩනැගිල්ලක්. එහි කුලුනු පේළි හතරක් දක්නට පුලුවන්. ඒවායේ කුලුනු හිස්වල චාම් කැටයම් දක්නට ලැබෙනවා. මේ කුලුනුවල රාජසභාවට පැමිණි නිලධාරින්ගේ නම් ද කොටා තිබෙනවා. එහි අන්තයක තිබෙන්නේ රජු හිඳගත් සිංහාසනය සැරසූ සිංහ රුවයි.

වැවේ දීප මන්දිරය

මාලිගයේ අනුරුව පිහිටි දීප මන්දිර දූපත  (anglefire.com – Nishan weerasooriya)

රාජ සභා මණ්ඩපයට නුදුරින් වැවේ ඉවුරට ආසන්න කුඩා දූපතක දීප මන්දිරය ඉදිකර තිබෙනවා. වැවේ ජලය අඩු කාලවල පාගමනින් එයට ගමන් කළ හැකියි. මෙය ඉදිකර තිබෙන්නේ පරාක්‍රමබාහු රජුයි. එය ඔහුගේ මාලිගයේම කුඩා අනුරුවක් බව හෙළිවී තිබෙනවා. ඍජුකෝණාකාර වේදිකාවක් මත පිහිටි මෙම ගොඩනැගිල්ලට පිවිසීමට ඉවුරේ සිට පියගැට පෙළක් ඉදිකර තිබෙනවා. මණ්ඩපයෙහි කුඩා ශාලාවකින් ද කාමර වටකර පිහිටි ආලින්දවලින්ද එම ගොඩනැගිල්ල සමන්විතයි. මෙය කළුගල් කුලුනුවලින් යුක්ත ගඩොල් ගොඩනැගිල්ලක්. මෙම දූපත අද ගස්වැල්වලින් වැසී අලංකාර දර්ශනයක් මවා පානවා. ජලාශය තරණය කළ යුතු හෙයින් මෙම පුරාවිද්‍යා ස්මාරකය නැරඹීමට සංචාරකයන් යන්නේ ඉතා කලාතුරකින්.

සීත මාලිගය

සීත මාලිගය ඈතට පෙනෙන්නේ මෙහෙමයි  (anglefire.com – Nishan weerasooriya)

වැව මැද පිහිටි මෙම දූපත තුළ පොළොන්නරු යුගයට අයත් ගොඩනැගිල්ලක් දක්නට ලැබනවා. දූපත වටා යන සේ ඉදිකළ ගඩොල් ප්‍රාකාරයක් තනා වේදිකාවක් සකස් කර එය මැද ගොඩනැගිල්ල තනා තිබෙනවා. ගඩොල්වලින් බැඳ හුණු බදාම යෙදූ බිත්ති සහිත මෙම ගොඩනැගිල්ල කළුගලින් කළ පාදමකින් යුක්තයි. එහි පියස්සට උළු සෙවිලි කර තිබෙන්නට ඇති. එය පරාක්‍රමබාහු රජු උණුසුම් කාලයට  විවේක ගැනීමට තැනූ සීත මාලිගය බව ජනප්‍රවාද පවසනවා.

සීත මාලිගා නටබුන් (exploremytrip.com)

එහි බිත්තිවල එකල අලංකාර බිතුසිතුවම් ඇඳ තිබූ බවට සාධක තිබෙනවා. පුරාවිද්‍යා රක්ෂිතයක් වුවත් එය ජලාශය මැද තිබෙන නිසා බොහෝ ගැහැටවලට ලක්වන ගොඩනැගිල්ලක් වෙලා. වර්ෂ 2011 වියළි කාලයකදී මෙම දූපතේ පඳුරුවලට කිසියම් පිරිසක් ගිනි තැබීම නිසා එහි පැරණි ගොඩනැගිල්ලට විනාශයක් වුණා. 2012 දී නිදන්හොරු එහි කළුගල් ගලවා නිදන් හාරා තිබෙනවා.

මාලිගය පිහිටි දූපත ගුවනින්  (ingram.org – Samal Bandara)

2013  වියළි කාලයකදී එයට පැමිණි දී චිත්‍ර ශිල්පියෙක් එහි කෘත්‍රිම සායම්වලින් බිත්තිවල අලුතින් චිත්‍ර කිහිපයක් ඇඳීමක් ගැනත් වාර්තා වුණා. ඉඳහිට අංගම්මැඩිල්ල වනයේ සිට අලිඇතුන්ද මෙම දූපතට පැමිණෙනවා. ඔරුවක් හෝ බෝට්ටුවකින් ඔබටත් මෙම දූපතට පිවිසිය හැකියි. මේ ප්‍රදේශයේ මිරිදිය ධීවරයන් සතුව ඇති ඔරුවක් ඒ සඳහා සපයාගත යුතු වෙනවා. නැත්නම් අධික නියඟ කාලයට වැවේ ජලය බොහෝ දුරට හිඳෙන නිසා පයින් මේ වෙතට ගමන් කිරීමට ඉඩ ලැබෙනවා.

කොක් දූව

පර්වතයක පිහිටි කොක් දූව (photospear.blogspot.com  – Ramith)

විශාල ගල් පර්වතයක් පැතිර තිබෙන මෙම දූපතේ නටබුන් කිසිවක් නැහැ. එහි උස් ගස්වැල් දකින්න නැතත් පඳුරු ශාක පැතිර තිබෙනවා.  ජලාශයට පැමිණෙන කොකුන් ඇතුළු පක්ෂින් එහි ගැවසෙන නිසා කොක් දූව නමින් හඳුන්වනවා.

කවරයේ පින්තුරය – නිස්සංක රාජ සභාව (aniccasight.blogspot.com)