Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවය පිලිබඳ හැඳින්වීමක්

ලෝකයේ රහස් ඔත්තු සේවාවන් අතර ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ඇතැමුන් විසින් මොසාඩ් සංවිධානය යනු ‘ඝාතන මැෂිමක්’ (Killing Machine) ලෙසත් හඳුන්වනවා. අප විසින් මිට පෙර පලකළ මොසාඩ් ඔත්තු සේවයේ රහස් මෙහෙයුම් පිලිබඳ තොරතුරු අඩංගු වූ ලිපි පෙළට ඔබගෙන් ඉතා ඉහල ප්‍රතිචාරයක් ලැබුණා. ඒ නිසා අපි තීරණය කළා මොසාඩ් සංවිධානයේ ව්‍යුහය පිලිබඳ මෙතෙක් ලෝකය හමුවේ හෙළිදරව් වී ඇති තොරතුරු අළලා කෙටි ලිපියක් ඉදිරිපත් කරන්නට.

මොසාඩ් යනු හීබෲ බසින් ‘ආයතනය’ යන්නට කියන නාමයයි. සාමාන්‍යයෙන් එය හඳුන්වන නම මොසාඩ් වූවත් මෙහි නිල නාමය ‘බුද්ධි තොරතුරු සහ විශේෂ මෙහෙයුම් සඳහා වූ මධ්‍යම ආයතනය’ (Central Institute for Intelligence and Special Operations) වනවා. එය හිබ්රු බසින් හැඳින්වෙන්නේ Mossad’ Merkazi le-Modiin ule-Tafkidim Meyuhadim ලෙසිනුයි. ඊශ්‍රායල රහස් ඔත්තු සේවාව Mossad යනුවෙන් නම් දරා ඇත්තේ ඇයි යන්න දැන් ඔබට පැහැදිලි වන්නට ඇති.

මොසාඩ් නිල ලාංඡනය/The Jewish Press

මෙය ඊශ්‍රායලය විසින් පවත්වාගෙන යන බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා වූ ආයතන තුනෙන් එකක්. මොසාඩ් සේවයට අමතරව අමාන් නම් වූ හමුදා බුද්ධි තොරතුරු වෙනුවෙන් පිහිටා ඇති ආයතනය සහ ෂින් බෙට් නම් අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් පිහිටවූ තවත් ආයතනයක් ඊශ්‍රායලය සතු වනවා.

මේ ආයතන ත්‍රිත්වය අතරින් මොසාඩ් සංවිධානයට පැවරී ඇති වගකීම් වන්නේ පුද්ගල බුද්ධි තොරතුරු රැස් කිරීම, රහස් මෙහෙයුම් සිදු කිරීම සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමයි. සිරියාවේ, ඉරානයේ සහ ඉතියෝපියාවේ ජිවත් වූ යුදෙව් සරණාගතයන් ඊශ්‍රායලය වෙත ගෙන ඒමේ රහස් මෙහෙයුම්වලට මූලිකත්වය දැරුවේත් මොසාඩ් සංවිධානයයි.

අවස්ථානුකූලව ඊශ්‍රායලය තුල බලපැවැත්වෙන සාමාන්‍ය නිතියෙන් බැහැරව කටයුතු කිරීමට මොසාඩ් සංවිධානයට බලය තිබෙනවා. එහි අධ්‍යක්ෂකවරයා සෘජුවම වගකියනු ලබන්නේ ඊශ්‍රායල අගමැතිවරයාටයි. මොසාඩ් සංවිධානයේ මූලස්ථානය ටෙල් අවිව් (Tel Aviv) නගරයේ පිහිටා තිබෙනවා.

ආරම්භය

දෙවන ලෝක යුද්ධයේ දී සිදු වූ මහා යුදෙව් සංහාරයෙන් පසුව, යුදෙව් ප්‍රජාතාන්ත්‍රික ජනපදයක් ලෙස ඊශ්‍රායලය පිහිටුවනු ලැබුවේ 1948 මැයි 14 වන දිනයි. මොසාඩ් ආයතනය පිහිටුවන්නේ ඊශ්‍රායලයේ ප්‍රථම අගමැති ඩේවිඩ් බෙන් ගුරියන්ගේ උපදෙස් අනුවයි. නිල වශයෙන් 1949 දෙසැම්බර් 13 වන දින පිහිටවනු ලැබූ මෙය එවකට හැඳින්වූවේ සමායෝජනය සඳහා වූ මධ්‍යම ආයතනය (Central Institute for Coordination) ලෙසයි.

ඊශ්‍රායලයේ ප්‍රථම අගමැති ඩේවිඩ් බෙන් ගුරියන්/The Jewish Press

මෙම ආයතනය පිහිටුවන්නේ ඇයි ද යන්න පැහැදිලි කරමින් අගමැති බෙන් ගුරියන්, “අපගේ රාජ්‍යය එය පිහිටුවීමේ සිට මේ දක්වාම පවතින්නේ සතුරු අවදානමකයි. ඒ නිසා අපේ රාජ්‍යය ආරක්ෂා කරගන්න වගේම අප අවට සිදුවන්නේ කුමක්ද යන්න දැනගැනීමට බුද්ධි තොරතුරු අංශයක් අවශ්‍යයි.” යනුවෙන් පවසා සිටියා.

මොසාඩ් සංවිධානයේ ආදර්ශ පාඨය ලෙස යොදාගෙන ඇත්තේ බයිබල පාඨයකුයි. මුල් කාලයේදී  “For by wise guidance you can wage your war” යන පාඨය යොදාගනු ලැබුණා. මෙය දළ වශයෙන් පරිවර්තනය කළ විට ‘යුද්ධයකදී ඔබව ජයග්‍රහණය කරා මෙහෙයවිය හැක්කේ බුද්ධිමත් මගපෙන්විමටයි’ යනුවෙන් පැවසිය හැකියි.

පසුකාලයේ මෙය අත්හැර දමා ඒ වෙනුවට “Where there is no guidance, a nation falls, but in an abundance of counselors there is safety” යන පාඨය යොදාගැනීමට ආයතනය ක්‍රියා කළා. මෙහි දළ අදහස වන්නේ ‘මග පෙන්වීමක් නොමැති ජාතිය විනාශය කරා ඇදෙයි. නමුත් උපදේශකයන් බොහොමයක් සිටින විට ආරක්ෂාවක් ඇත’ යන්නයි.

අධ්‍යක්ෂකවරුන්

2011 වසර දක්වා සිටි මොසාඩ් අධ්‍යක්ෂකවරුන්/The Jewish Press

මොසාඩ් සංවිධානයේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා ලෙස පත්වන්නේ ඊශ්‍රායලය පිහිටුවීමට පෙර සිටම යුධමය කටයුතු සහ රහස් මෙහෙයුම්වල ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ රූවෙන් ෂයිලෝ යි. මුල්කාලයේදී මොසාඩ් සංවිධානයට ඇතැම් රාජ්‍ය අංශවල අත පෙවීම් නිසා සිය කටයුතු කරගෙන යාමේ අපහසුතාවන් ඇති වූ බව පැවසෙනවා. මේ හේතූන් නිසා සිය මෙහෙයුම් කටයුතු අරඹන්නට එයට හැකිවන්නේ පිහිටුවීමෙන් වසරක් පමණ කාලයක් ගෙවී ගිය පසුවයි.

මේ දුෂ්කරතාවලට අමතරව මොසාඩ් සංවිධානයට 1951 වසරේදී ජාත්‍යන්තර වශයෙන් දැඩි අපකීර්තියකට මුහුණ දීමටත් සිදු වුණා. ඒ ඉරාකයේ බෑග්ඩෑඩ් නුවරදී මොසාඩ් ඔත්තුකරුවන් පිරිසක් පිලිබඳ අනාවරණය වීම සහ ඔවුන් ඉරාකයේ අත්අඩංගුවට පත්වීමත් සමඟයි.

ෂයිලෝගේ ධුර කාලය අවසන් වීමත් සමඟ 1952 දී එම තනතුරට පත් කරනු ලැබුවේ අයිසර් හැරල්වයි. 1952 සිට 1962 දක්වා දිවුණ ඔහුගේ ධුර කාලය මොසාඩ් සංවිධානයේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්විය හැකියි. දෙවෙනි ලෝක යුධ සමයේ සිදුවූ යුදෙව් සංහාරයට සෘජු වගකීමක් දැරූ නාසි හමුදා නිලධාරි ඇඩොල්ෆ් අයික්මාන් ආර්ජන්ටිනාවෙහි රැඳී සිටින විට ඔහු පැහැරගෙන ඊශ්‍රායලයට ගෙන ඒමේ මෙහෙයුම සිදු වූවේ අයිසර් හැරල්ගේ ධුර කාලයේදීයි.

මොසාඩ් අධ්‍යක්ෂක ටමීර් පාදෝ (2011 -2016)/Alchetron

එදා මෙදා තුර ගෙවුණ කාලය තුල අධ්‍යක්ෂකරුන් ලෙස 11 දෙනෙකු මොසාඩ් සංවිධානය වෙනුවෙන් සිය නොමසුරු සේවය සපයා ඇති අතර වත්මන් අධ්‍යක්ෂකවරයා ලෙස යොසී කොහෙන් කටයුතු කරන්නේ 2016 වසරේ සිටයි.

වත්මන් මොසාඩ් අධ්‍යක්ෂක යොසී කොහෙන්/The Times of Israel

පිහිටීම

මොසාඩ් මූලස්ථානය ටෙල් අවිව් නුවර පිහිටා ඇති බව පැවසුණ ද එය නිශ්චිතව පිහිටා ඇත්තේ කෙසේදැයි යන්න තවමත් රහසක්. එය රාජ්‍ය රහසක් ලෙසයි ඊශ්‍රායලය පවසන්නේ. කෙසේ නමුත් මෙම මූලස්ථානය ටෙල් අවිව් හි සිනමා සහ සාප්පු සංකීර්ණයක් සහ ග්ලිලොට් (Glilot) අධිවේගී මාර්ගයේ ඇරඹුමට මැදිකර ඉතා සාමාන්‍ය ආකාරයේ ගොඩනැගිලි ආකාරයට පවත්වාගෙන යන බව විශ්වාස කළ හැකියැයි මාධ්‍යවේදී පැට්‍රික්  ටයිලර් ඔහුගේ ‘Fortress Israel’ නම් කෘතියේ සඳහන් කර තිබෙනවා.

පහත දැක්වෙන ගූගල් සිතියම එම විස්තරයට ආසන්න යැයි සැලකුනත් එය සත්‍ය වශයෙන්ම මොසාඩ් මූලස්ථානය බව තහවුරු කිරීමට කිසිවෙකු සමත්ව නැහැ.

මොසාඩ් මූලස්ථානය පිහිටා ඇතැයි සැලකෙන පෙදෙස/Google Maps

මොසාඩ් දෙපාර්තමේන්තු

මේ පිලිබඳ ඇතැම් තොරතුරු තවමත් ලෝකයට අබිරහසක්ව පවතින අතර දැනට මූලික වශයෙන් මොසාඩ් සංවිධානය යටතේ දෙපාර්තමේන්තු 06ක් ඇතැයි පැවසෙනවා. මොසාඩ් සංවිධානය විසින් වරින් වර පල කරන බඳවා ගැනීම වෙනුවෙන් වූ දැන්වීම් පාදක කරගෙන​ මේ තොරතුරු ගොනු කරගන තිබෙනවා. මොසාඩ් හි දෙපාර්තමේන්තු නම්

  • තොරතුරු එකතු කිරීමේ දෙපාර්තමේන්තුව (Collection Department) – ඔත්තු බැලීම සහ ඒ තොරතුරු එක් රැස් කිරීම මූලික කාර්යය වන මෙය මොසාඩ් සංවිධානයේ විශාලම දෙපාර්තමේන්තුව ලෙසයි සැලකෙන්නේ.මෙහි සේවය කරන පිරිස් ලොව පුරා විසිරි සිටිනවා.
  • දේශපාලන ක්‍රියාකාරකම් සහ සබඳතා පිලිබඳ දෙපාර්තමේන්තුව (Political Action and Liaison Department) – මිත්‍ර රටවල් හා සම්බන්ධතා පවත්වාගෙන යාම මෙම දෙපාර්තමේන්තුවට බාරව තිබෙනවා.
  • විශේෂ මෙහෙයුම් අංශය (Special Operations Division) – මෙය Metsada යනුවෙන් ද හැඳින්වෙනවා. ඝාතන, විනාශ කිරීම්, නිල නොලත් හමුදා ඛණ්ඩ ආදිය පවත්වාගෙන යන්නේ මෙම අංශයයි.
  • LAP (Lohamah Psichologit) දෙපාර්තමේන්තුව- මොසාඩ් සංවිධානය විසින් කරන මානසික මෙහෙයුම් සහ ප්‍රචාරණ කටයුතු කරන්නේ මෙම දෙපාර්තමේන්තුවයි.
  • පර්යේෂණ දෙපාර්තමේන්තුව (Research Department) -තමන් වෙත ලැබෙන තොරතුරු විශ්ලේෂණය කර වාර්තාවන් පිළියෙළ කිරීම මෙයින් සිදු කරයි. ලෝකය කලාප 15කට​ බෙදා ඒ එක් එක් කලාපය වෙනුවෙන් විශේෂිත අංශ මෙම දෙපාර්තමේන්තුවේ ඇති බව පැවසෙනවා.
  • තාක්ෂණික දෙපාර්තමේන්තුව (Technology Department) – මොසාඩ් මෙහෙයුම් සඳහා උපකාර කරගැනීමට සිදුවන තොරතුරු තාක්ෂණික සහය සපයන්නේ මෙම දෙපාර්තමේන්තුවයි.

ලෝ ප්‍රකට මොසාඩ් සංවිධානය පිළිබඳ​ ඔබට දැනගැනීමට උවමනා වී තිබූ  මූලික කරුණු මේ ලිපියේ අන්තර්ගත වේ යැයි අපි සිතනවා. මොසාඩ් සංවිධානය විසින් කරනු ලැබූ විශිෂ්ට මෙහෙයුම් කිහිපයක් පිළිබඳව තොරතුරු ‘Roar – සිංහල’ අඩවිය විසින් මේ වන විටත් ඔබ වෙත ගෙනැවිත් තිබෙන අතර ඉදිරියේදීත් එවන් මෙහෙයුම් කිහිපයක් පිලිබඳ විස්තර ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වනවා.

Cover Photo – The Jewish Press

Related Articles