ආහාර අහේනි කාලෙට මතක් වෙන බත් ගස

බත් ගස ලෙස හඳුන්වන කොස්‌ ගස ශ්‍රී ලාංකිකයන්ට කිසි දා ආහාර අහේනියකට ඉඩ නො තබන පලදාවක් ලබාදෙන ගසක්. අද බොහෝ ප්‍රදේශවලින් කොස් ගස සමුගෙන ඇත්තේ ඉඩම් කුඩාවීම නිසා කපා දැමීම හින්දා යි. කොස් ගස් කැපීමට බලපත්‍ර අවශ්‍යතාවක් හඳුන්වා දී ඇත්දේ ද කොස් ලී ප්‍රවාහනයට දැඩි නීති දමා ඇත්තේ ද මේ ගසේ ඇති වටිනාකම නිසා යි. 2020 කොවිඩ් ඇඳිරි නීති කාලේ වගේම, මේ අවුරුද්දේ රට වහල තිබෙන කාලවල දීත් ගම්පළාත්වලට කොස් ගෙඩියේ අගේ දැනුණා.

තේරවිලි

පලබර කොස් ගසක් – wikipedia.org

ජන සාහිත්‍ය යේ තේරවිලි අතර කොස් ගස හඳුන්වා දී ඇත්තේ මෙහෙම යි:

ගසට නමකි මල පිපුණම වෙන                  නමකි

ගැටයට නමකි ලොකු වෙන කොට වෙන      නමකි

ගෙඩියට නමකි ගෙඩි ඉදුණම වෙන            නමකි

මෙතුන් පදේ තෝරාලා කියන්                    සකී

බත් ගස

 

බත් ගස – wikipedia.org

 

කොස් ගසට “බත් ගස” නමින් නාමයක් පටබැඳී ඇත්තේ වර්ෂ 1940-1950 යන දශකවල ලෝක යුද සමයේ ඇතිවූ ආහාර අහේනියට මහත් පිටිවහලක් වූ හෙයින් බව පැවසෙනවා.

මෙම කාල වකවානුවේ දී සහල් ප්‍රවාහනය තහනම් වී තිබුණා. මඟියෙකුට ගෙන යා හැකිව තිබුණේ සහල් සේරු 2ක් පමණක් වුණා. එම නිසා දිළිඳු පවුල්වලට අතිරේක ආහාර වශයෙන් අල, බතල, මඤ්ඤොක්කා, දෙල්, කොස්, රුකුලක් වුණා. 1970 සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ හාල් පොලු දැමූ විටත් ජනතාවට කොස් ගස තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමට උපකාරී වුණා.

ඉන්දියාව නිජබිම් කරගත් මෙය මල්බෙරි, අත්තික්කා ආදිය අයත්වන පවුලේම ගස් වර්ගයක්. දකුණු ආසියාවේ රටවල බහුලව පැතිරී තිබෙනවා.  එය නිවර්තන කලාපයේ පහත බිම්වලට වඩාත් යෝග්‍ය වූ ගසක් ලෙස සැලකෙනවා . එහි හටගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, දැනට ලෝකයේ ගසක හටගන්නා විශාලතම ඵලයන් වෙනවා. මෙම ගෙඩි බරින් කි. ග්‍රෑම් 36 දක්වා වර්ධනය වෙනවා.

කොස් ගසේ ඉතිහාසය

කොස් ලාබයි- hindustantimes.com

Artocarpus heterophyllus යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොස් ගස මොරාසියේ ශාක කුලයට අයත්. ඉන්දියාවේ කෘෂිකර්මාන්තයේ ශතවර්ෂ ගණනාවක් පුරා වැදගත් මෙහෙයක් ඉටුකළ ශාකයක් ලෙස කොස් හැඳින්වෙනවා. පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව ඉන්දියාවේ අවුරුදු 3000-6000 පෙර සිටම කොස් ගසේ ඵල භාවිතකර තිබෙනවා.   අශෝක අධිරාජයාගේ කාලයේ උයන් වතු සැදීමේ දී යොදාගත් පලතුරු ගස් අතර කොස් ගස ද වූ බව සඳහන් වෙනවා. ඉන්දියානු තාරකාවිද්‍යාඥයකු, ගණිතඥයකු වූ වරහමිහිර විසින් රචිත බ්‍රාත් සංහිතා කෘතියේ ද කොස් ගැන ලියැවී තිබෙනවා.  

වරකා අලෙවියට  තබා ඇති අයුරු – thebetterindia.com

ලංකාවේ කොස් ගස් වර්ග දෙකකින් දැක්විය හැකිය. ඒ වැල සහ වරකා වශයෙන්. ගසක උස අඩි 60-80ක් වන අතර වසරකට වරක් ඵලදාව හට ගන්නවා. හොඳට වැඩුණු කොස් ගසකින් වරකට ගෙඩි 40-60 දක්වා ලබා ගත හැකියි. අපේ රටේ නම් කොස් ගෙඩියක බර කිලෝ 15-20ත් අතර වෙනවා. සෑම වසරකම යල් කන්නයේ අපේ‍්‍රල් සිට ජූලි දක්වා වාරය කොස් වාරය යි.

කොස් ගස වියළි කලාපයේ වැවුණත් පහතරට තෙත් කලාපයේ හියුමස් සහිත පසේ සරුවට වැඩෙනවා. මෙය බීජ මඟින් ව්‍යාප්ත වන අතර ලේනුන්, කපුටන්, රිලවුන් වැනි සතුන් මඟින් බීජ ව්‍යාප්ත කෙරෙනවා. මුදුන් මුලක් සහිත පාර්ශ්ව මුල් සමූහයකින් යුක්ත මෙම ශාකයට හොඳින් හිරුඑළිය අවශ්‍ය යි.

විටමින් බහුල යි

කොස් වෙළෙඳාම- thebetterindia.com

විටමින් ඒ, බී. සී, ඩී, ඊ, සහ කේ යන පෝෂ්‍ය පදාර්ථ මෙන්ම ඛනිජ ලවණ, පොටෑසියම්, මැග්නීසීයම් ආදියෙන් ද කොස් සමන්විත යි. දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව එහි පස් පංගුවම ඔසු ලෙස භාවිත කරනවා.

කොස් ගෙඩියෙන් ආහාර රැසක්

පොලොස් ව්‍යාංජනය- facebook

පොළොස්‌ ගැට සම්බෝලය, පැහිය, පොළොස්‌ මැල්ලූම, ගෙඩිය ළපටි අවස්‌ථාවන්හි පිළියෙල කළ හැකි ආහාර වර්ගයන් වෙනවා. කොස්‌ තැම්බුම, මැල්ලූම, කිරිකොස්‌, කොස්‌ නියඹලාව, කොස්‌ මදුලූ පුරවා බැදුම, කොස්‌ ගෙඩිය පැසුණු අවස්‌ථාවේ දී සකස්‌ කළ හැකි ආහාර යි. කොස්‌ ඇට බැදුම, මැල්ලුම, කළුපොල් මාළුව කොස්‌ ඇටවලින් සකස්‌ කළ හැකි යි. කොස්‌ ඇට කබලේ බැද වංගෙඩියේ කොටා, පොල් (සීනි කලවම් කර හෝ නො කර) යොදා අග්ගලා මෙන් ද සකසාගත හැකි වෙනවා. කොස්‌ මදුලු හීනියට ඉරා තෙලේ බැද සීනි දමා හෝ නො දමා තේ වේලාවට පිළියල කරගත හැකි යි. කොස් ඇට ද තෙලේ බැද ස්නැක් එකක් ලෙසත් ආහාරයට ගත හැකියි.

කොස් කොත්තු – facebook

කොස් වාරයට වැඩිපුර සෑදෙන කොස් අව්වේ හෝ දුමේ දමා වෙලා අටු කොස් ලෙස තැන්පත්කර තබන වා. ඒවායින් කොස් හිඟ කාලයට ප්‍රනීත රසකින් යුතු වෑංජනයක් පිළියෙළ කර ගත හැකියි. කොස් ඇට වැලිවල දමා වැලිකොස් ඇට ලෙසත් මාස කිහිපයක් කල්තබා ගත හැකියි. කොස් ගෙඩිය පමණක් නොව කොස් ගසේ අතු රිකිල්ලේ සිට මූලය දක්වාම සෑම කොටසක්ම මිනිසාගේ ප්‍රයෝජනය පිණිස යොදා ගත හැකි වෙනවා.

වරකා ද පළතුරක් ලෙස කල්තබා ගැනීමේ උපක්‍රම තිබෙනවා. කොස් සහ පොළොස් මෙන්ම වරකා ද විදෙස් රවටලට අපනයනය කිරීම සිදුවෙනවා.

කොස් පැළ වර්ග

කොස් පැළ තවානක්-indiamart.com

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දෙමුහුන් කරන ලද කොස් වර්ග කිහිපයක් තිබෙනවා. ඒවා සියල්ලම වරකා වර්ග යි.

කොත්මලේ වර්ගය

මෙහි මදුලූවල පැහැය සාමාන්‍ය තැඹිලි කහ පැහැති යි. මෙම වර්ගයේ වරකා ප්‍රණීත යි. ඵලය තුළම බීජ පැළවීමේ ලක්‍ෂණය අඩු අතර මෙම වර්ගය එළවළුවක්‌ ලෙස පිළියෙල කිරීමටත්, පලතුරක්‌ ලෙස කෑමටත් හැකි යි. සාමාන්‍යයෙන් ගෙඩියක බර‌ කි. ග්‍රෑ. 8-10ක්‌ පමණ වෙනවා.

ෆාදර්ලෝන්

විශාල තද කහ පැහැති මදුලු පිහිටන අතර මේ වර්ගයේ ද වරකා ඉතාම ප්‍රණීත රසයකින් යුක්ත යි. ගෙඩි විශාලත්වයෙන් තරමක්‌ වැඩි යි. සාමාන්‍ය බර කි. ග්‍රෑ. 10-15ක්‌ පමණ වෙනවා. එළවළුවක්‌ ලෙසටත් වරකා ලෙසත් ආහාරයට ගත හැකි යි.

මහරගම වර්ගය

මෙම වර්ගයේ මදුලු තැඹිලි පැහැති වන අතර ගෙඩියක බර ද කි. ග්‍රෑ.10-15 අතර වෙනවා.

හිරෝසා (රෝස) 

තැඹිලි කහ පැහැති විශාලත්වයෙන් වැඩි මදුලු ප්‍රණීත රසයෙන් යුක්‌ත යි. මදුල තුළ පවතින “සිවිඩ්ඩ” කොටස රෝස පැහැති යි. ගෙඩියක බර කි. ග්‍රෑ. 10-15 අතර වෙනවා.

මන්ඩූර්  

මෙම වර්ගයේ මදුලූ කහ පැහැති යි. ගෙඩියක්‌ සාමාන්‍යයෙන් කි. ග්‍රෑ. 8-10 පමණ බර යි. මදුලු ප්‍රණීත යි.

පූජනීය කොස් ගස්

උග්ගල් අලුත්නුවර කොස් ගස – facebook

බලංගොඩ උග්ගල් අලුත්නුවර දේවාලයේ ඇති කොස් ගසක් අදටත් පූජනීයත්වයෙන් සලකනවා. මහ පෙරහර වතාවත්වල දී මේ වෘක්ෂයට විශේෂ වත් පිළිවෙත් නියමව ඇති අතර, මේ ස්ථානයට දේවාභරණ වැඩමවා තබා පූජා නැටුම් පැවැත්වීම ද පෙර සිරිත අනුව වර්තමානයේ කරනවා. මේ අවස්ථාව “කොස් උරුප්පයට ගෙවැදීම” ලෙස  හැඳින්වෙනවා.

හඟුරන්කෙත පැණි වරකා ගස

ඓතිහාසික පැණි වරකා ගස-amazing lanka.com

හඟුරන්කෙත විෂ්ණු දේවාල බිමේ පිහිටා ඇති පැණි වරකා ගස වටා දෙවැනි රාජසිංහ රජුට සම්බන්ධ ජනප්‍රවාද ගෙතී තිබෙනවා. මෙහි රජුගේ භෝජනයට වෙන්කළ වරකා ගෙඩියක් අනුභව කළ වැසියකු හා සම්බන්ධ එම කතාවට අනුව රජු පසුව ඔහුට සමාව ලබාදෙනවා.

වටිනා දැවයක්

කොස් ලී බහුල වශයෙන් ජනෙල් දොරවල් සෑදීමට, නිවාස ඉදිකිරීමට මෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට ද යොදා ගන්නවා. මීට අමතරව, කොස් ගසේ අරටුව බෞද්ධ ආරණ්‍යවාසී භික්ෂුන්ගේ සිවුරු පඬු ගැසීමට අවශ්‍ය ඩයි වර්ග නිපදවා ගැනීමට ද පුරාණයේ පටන් යොදා ගන්නවා. සිවුරු සම්ප්‍රදායික ක්‍රමයට මුට්ටියකට කොස් ලී කැබලි දමා වතුර උණුකර කහ පැහැය නිපදවා ගැනීම සිදු වෙනවා.

කොස් මාමා

පානදුර කොස් මාමාගේ ප්‍රතිමාව -dinamina.lk

ඉංග්‍රීසි පාලන සමයේ 1930 දශකයේ පයන් ලංකාවේ කොස් ගස ව්‍යාප්ත කිරීමට උත්සාහ කළ ජාතික නායකයෙක් ලෙස සැලකෙන්නේ ආතර් වී. දියෙස් හෙවත් කොස් මාමා යි. පානදුරේ ධනවත් පවුලක් වූ ජෙරමියෙස් දියෙස්ගේ පුතා ලෙස උපන් ඔහු මියගියේ 1960 ජූනි 31 දා යි. කොස් ඇට නොමිලේ තැපෑලෙන් යැවීමටත්, මාර්ග දෙපස කොස් ගස් වැවීමටත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඔහු ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප වෙනවා. එනිසා ඔහු පෞද්ගලිකව කොස් ගස ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා. පසුව සර් ජෝන් කොතලාවල අමැතිවරයා ඔහුගේ යෝජනාවට සහයෝගය දක්වනවා.

කොස්වලින් විවිධ ආහාර – good market.global

18 මාසයෙන් පල දරන කොස් ඇට රට පුරා ව්‍යාප්ත කරමින් කෑම හිඟයකින් තොරව සිටිමට ජනතාව පුරුදු කළ ඔහු පාසල් ඉදිකිරීමටත් මුල් වෙනවා. ඒ වගේම අප රටේ නිදහස් ව්‍යාපාරයටත් ඔහු දායක වෙනවා. දෙවැනි ලෝක සංග්‍රාම කාලයේ බොහෝ ගම්වලට ආහාර අහේනියක් ඇති නොවුණේ කොස් මාමාගේ කොස් ව්‍යාපාරය නිසා බව පැවසෙනවා.

තම  මිණිපිරියගේ මංගල දිනයේ දී තෑග්ගක් ලෙස ඇයට ලබාදෙන්නේත් කොස් ඇට පාර්සලයක්. ඒ වගේම තම දියණියගේ මංගල කේක් ගෙඩිය කොස් ගෙඩියක හැඩයට හැදූ බව ද පැවසෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Vidusara.com

Silumina.lk

Subasetha.lk

සිරිලක ගස් කොළන් අත්පොත- මාක් ඈෂ්ටන්, නීලා ද සොයිසා සහ තවත් අය පරි. අතුල විජයසිංහ

උඩරට විත්ති- පී. ඇම්. පී. අභයසිංහ

කවරය- අහේනි කාලෙ නැතුවම බැරි කොස්-medium.com

Related Articles