සෙබළුන්ගේ දිවි රැක දුන් යාපනය බලකොටුව

වසර 30කට අධික කාලයක් යුද්ධයේ රුදුරු ප්‍රතිවිපාකවලට මුහුණ දුන් යාපනය අවශේෂ වී ගිය නටබුන් ගොඩක් යනුවෙන් හැඳින්වුවද එහි වරදක් නැත. එහෙත් එම බිහිසුණු අඳුරු මතකයන්ට එහා ගිය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන යාපනය ප්‍රතාපවත් බලකොටුව, විනාශයන් අභිමුව සියවස් ගණනාවක් නොසැලී නැගී සිටින්නේ සියලු අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමිනි.

යාපනය පුරවරයේ ප්‍රෞඩත්වය විදහා දැක්වෙන ස්ථානවලින් ප්‍රධාන තැනක් උසුළනු ලබන්නේ යාපනය බලකොටු වයි. මෙය ලන්දේසීන් විසින් ඉදිකරන ලද දෙවන විශාලතම බලකොටුව ලෙස සැලකුණ ද, මෙය ඉදිකිරීමේ අඩිතාලම පෘතුගීසීන්ගේ ය.

අද වන විට යාපනය බලකොටුව නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ නිමක් නොමැත. සොබා සෞන්දර්යයෙන් අනූන පරිසරයක යාපනයේ බලකොටුවේ පිහිටීමත්, එහි පෞරාණික වටිනාකමත් සංචාරක ආකර්ෂණය වැඩි වන්නට හේතු වී ඇතැයි අනුමාන කළ හැකිය.

srilankatravelandtourism.com

යාපනය කොටුවේ ඇතුළත පිහිටීම   

ලන්දේසීන් විසින් ඉදි කරනු ලැබුවේ පංචාශ්‍රාකාර බළකොටුවකි. එම බළකොටුව ඇතුළු කොටුව සහ පිටත කොටුව ලෙස කොටස්‌ දෙකකින් සමන්විත විය. ඇතුළත පිහිටි කොටුව පංචාශ්‍රාකාර හැඩයක් ගනු ලබන අතර, වෙනත් බළකොටුවක දැකගන්නට නොහැකි තමාට විශාල දිය අගලක්‌ කොටුව වටේට වෙයි. පිටත කොටු පවුර ඉදිකොට ඇත්තේ දිය අගල වට කරමින්ය. ඇතුළත කොටුව පළමුවත් දෙවනුව පිටත කොටුවත් වශයෙන් යාපනය බළකොටුව ඉදිකරන්නට ඇතැයි පුරාවිද්‍යා සාධකවලින් පැහැදිලි වේ.

පංචාශ්‍රාකාර ඇතුළත කොටු පවුරෙහි මුර අට්‌ටාල පහක්‌ ද ස්‌ථාපිත කොට තිබිණි. ඒවා සීලන්ඩ්, හොලන්ඩ්, ජෙල්ඩර්ලන්ඩ්, අට්රෙච්ට, සහ ෆේ‍රස්‌ලන්ඩ් යනුවෙන් ලන්දේසීන් විසින් නම් කොට තිබිණි.

යාපනය බළකොටුවට පිවිසිය හැකි ප්‍රධාන දොරටු දෙකකි. එම පිවිසුම් දොරටු දෙක දිය ගේට්‌ටුව සහ ගොඩබිම් ගේට්‌ටුව නමින් හැඳින්විය. එහි දිය ගේට්‌ටුව භාවිත කළේ විශේෂ අවස්‌ථාවල දී ය. සාමාන්‍ය කටයුතු සඳහා ගොඩබිම් දොරටුව වැඩි වශයෙන් භාවිත විය. එහි දොරටුවේ ඉහළින් ANNO 1680 ලෙස සටහන් කොට ඇත. එය බළකොටුවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද වර්ෂය විය හැකි බව පුරාවිද්‍යාඥයින් අනුමාන කරයි.

Sri Lanka – Travel Diaries

යාපනය බළකොටුවේ පිටත පවුරෙන් සතුරෙකුට ඇතුළු විය හැකි වුව ද ඇතුළත කොටු පවුරු තරණය කිරීම පහසු කටයුත්තක්‌ නොවේ. එය අඩි 50කටත් වඩා උසකින් යුතු ය. දිය අගල ද එවැනිම පළලකින් යුතු ය. එම දිය අගලෙහි යකඩ උල් සිටුවා තිබිණි.

දිය අගල අසල ඇති පාලම (Draw Bridge)

දිය අගල අසල ඇති පාලම අද නොමැති ය. මෙය ගේට්ටුව සහ දිය අගල අතර හැකිලීමට හැකි පාලමක් වූ අතර හදිසි අවස්ථාවක දී බලකොටුවට ඇතුළුවීම සඳහා එය භාවිත කර තිබුණි. එවැනි පාලමක් ඉදිකොට තිබුණේ ආරක්ෂක උපක්‍රමයක් වශයෙනි. තව ද බලකොටුවේ දොරටුවලට ඉහළින් බිත්තිවල යකඩ උල් සිටුවා තිබී ඇත. යුද අවස්ථාවක දී අලි ඇතුන්ට ඇතුළුවීමටවත් ඒ නිසා නොහැකි විය.

“කෲෂ් කර්ක්‌” පල්ලිය

රෙපරමාදු ආගමට අයත් දෙවස්ථානයක්ද මෙහි ඉදිකොට තිබූ අතර අද ඇත්තේ එහි සුන්බුන් ගොඩක් පමණි. මෙය ප්‍රථමයෙන් පෘතුගීසින් විසින් ඉදිකර ඇති අතර ලන්දේසීන් එය ග්‍රීක කුරුසය හැඩයෙන් යුතුව වෙනස්කම් සහිතව යලි ඉදි කළ අතර, ඒ සඳහා මෙරටින් සපයා ගත් කොරල් සහ හුණු ගල්වලට අමතරව එරටින් ගෙන්වා ගත් ගඩොල්ද භාවිත කර ඇත. මෙහි බිත්තිවල ඝනකම අඩි 4ත් 5ත් වන අතර එකවර 600දෙනෙකුට පමණ රැස්විය හැකි පරිදි නිර්මාණය කර ඇත. එහි නිර්මාණකරු වන්නේ මාර්ටින් ලෙව්කෙම නමැති සිංහල අයෙකි. පල්ලියේ ආගමික කටයුතු සඳහා ප්‍රයෝජනයට මෙන්ම පැයෙන් පැයට වේලාව සටහන් කිරීම මෙහි දොරටුවට ඉහළින් ඝණ්‌ඨාරයක්‌ ද සවි කොට තිබිණි.

රැජිණගේ නිවස

යාපනයේ ලන්දේසි බළකොටුව පරිපාලන මධ්‍යස්‌ථානය, ප්‍රභූ නිවාස, අවි ගබඩාව ආදී අංගවලින් ද සමන්විත වූවකි. කොටුව ඇතුළත පිහිටි සුවිශේෂීම ගොඩනැඟිලි අතර පල්ලිය හා ප්‍රභූන්ගේ නිල නිවාසය ද කැපී පෙනෙයි. මෙහි ප්‍රභූවරුන් සඳහා ඉදි කරන ලද නිවාසය රැජිණගේ නිවස ලෙස හැඳින්විණි. ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී ඉදිකිරීමක්‌ වූ එය ආලින්දයක්‌ ද සහිත සුඛෝපභෝගී නිවසක්‌ විය.

ක්වීන් පැලස් ගොඩනැගිල්ල අනෙක් ගොඩනැගිලිවලට සාපේක්ෂව සැලැස්ම හඳුනාගත හැකි මට්ටමකින් පවතී. මෙහි උපරි ව්‍යුහය සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත. ඉතිරි වී ඇති බිත්තිවල ඇසතු වර්ගයේ ශාක විශාල වශයෙන් රෝපණය වී ඇති බැවින් බිත්ති විනාශයට පත් වෙමින් පවතී.

පෝරකය

ලන්දේසි කොටු පවුරේ පෝරකය පිහිටා තිබෙන්නේ යාපනය නගරයට පෙනෙන පරිදි ය. වැරදිකරුවන් ප්‍රසිද්ධියේ එල්ලා මරණ ලද්දේ එහි ය. එය තවමත් විනාශ නොවී පවතියි. සියවසකට අධික කාලයක්‌ උතුරේ පාලනයේ කේන්ද්‍රස්‌ථානය වූ යාපනය ලන්දේසි බළකොටුව 1795 සැප්තැම්බර් 28 වැනිදා ඉංග්‍රීසීන් යටතට පත්විය. එහෙත් ඔවුන් එහි තිබූ පල්ලියේ ආගමික කටයුතු සිදු කිරීමට ද රෙපරමාදු භක්‌තිකයන්ට අවස්‌ථාව ලබා දෙන ලදැයි පැවසේ.

විනාශ වී ගිය ස්ථාන

මීට අමතරව වන අනෙකුත් ගොඩනැගිලි වන පැරණි බන්ධනාගාර ගොඩනැගිලි, රෝහල හා අවශේෂ ගොඩනැගිලි බොහෝ සෙයින් විනාශයට පත්ව ඇත. ඇතුළු කොටු පවුරේ දක්නට ලැඛෙන ඝණ්ඨාර කුළුණ අනෙකුත් ලන්දේසි බලකොටු තුළ වන ඝණ්ඨාර කුළුණුවලට ඛෙහෙවින් සමාන වේ. වර්තමානයෙහි එහි තාප්පය දක්නට නොලැබේ.

මෙයට ඉදිරියෙන් නිර්මාණය කර තිබූ ලන්දේසි වාස්තු විද්‍යාත්මක ශෛලියට අයත් කෙටි තාප්පය අවම විනාශයකින් යුතුව පවතී. මෙම ගොඩනැගිල්ලට පිටුපසින් කොටු පවුරට ප්‍රවේශ වීම සඳහා අලංකාර ගරාදි වැටකින් යුතු මාර්ගයක් දක්නා ලැබේ. එය ලන්දේසි අවධියේදී කොටු පවුර වෙත ආයුධ ප්‍රවාහනය සඳහා භාවිත කරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. මෙම කුවීන්ස් ගොඩනැගිල්ලෙහි ඉදිරිපස ලන්දේසි වාස්තු විද්‍යා ශෛලියට අයත් නිර්මාණ ලක්ෂණවලින් යුතු යුගළ රවුම් කුළුණු සහිත බරාදයක් පැවති බවට සාධක දක්නට ලැබේ.

යාපනය කොටුවට මෑත කාලීනව යුද්ධයෙන් එල්ල වූ බලපෑම

ලන්දේසි යුගයට අයත් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම බලකොටුව වන යාපනය කොටුව පසුගිය 30 වසරක යුධමය වාතාවරණයට සෘජුවම බලපෑමට ලක් වූ පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් හැඳින්විය හැක. එල්ටීටීඊ ප්‍රහාරයනට ලක් වූ කොටු පවුරේ මුහුදුබඩ මුහුණතේ කොටසක් විනාශයට ලක් වී ඇතත් සමස්ථයක් ලෙස සැලකීමේදී කොටු පවුර දැඩිව විනාශයට පත් වී නොමැත. උමං පද්ධතිය මේ වන විටත් යහපත් ආකාරයෙන් ආරක්ෂා වී ඇති නමුත් මේවායෙහි දොරටු අද දක්නට  නොමැත. එනමුත් මේවායෙහි උමං දොර තිබූ බවට සාධක දක්නට ලැබේ.

Sri Lanka – Travel Diaries

කොටු පවුරෙහි ඇතුළත භූමියේ පවතින ස්මාරක සියල්ල යුධ වාතාවරණය හේතුවෙන් විනාශයට පත්ව ඇත.

කොටු පවුර ඇතුළත භුමියේ පිහිටි පැරණි ලන්දේසි පල්ලිය මුළුමණින්ම පාහේ බෝම්බ ප්‍රහාර හමුවේ විනාශයට පත්ව ඇත. මෙම ගොඩනැගිල්ල විධිමත් ලේඛනගත කිරීමක් තුළින් එහි පැරණි ව්‍යුහය හඳුනාගත හැකි වේ.

යාපනය බලකොටුව විශේෂත්වය

ශ්‍රී ලංකාවේ පුරාණ බලකොටු වන බලන බලකොටුව, මාපාගල බලකොටුව, සීගිරිය බලකොටුව, සීතාවක බලකොටුව, විජිතපුර බලකොටුව, යාපහුව බලකොටුව හැරුණු විට අනෙක් බලකොටු ඉදි කරන ලද්දේ යටත් විජිත සමයේදී ය.

පෘතුගීසීන් ලන්දේසීන් සහ බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ඉදිකරන ලද බලකොටු ගණන 36කි. දිවයින පුරා ඉදි කරන ලද එම බලකොටු බොහොමයක නෂ්ටාවශේෂ පවා අද දැකගන්නට නොමැත. එවන් තත්ත්වයක් තුළ යාපනය ලන්දේසි බලකොටුව නරඹන්නට හෝ අපට අවස්ථා උදා වී තිබීම පිළිබඳව ඇති වන්නේ සතුටකි.

පෘතුගීසින් විසින් යාපනය නගරයේ සාගරයට සමීපව මුලින්ම ඉදි කරන ලද්දේ හතරැස් හැඩැති කුඩා බලකොටුවකි. මේ පිළිබඳව සොයාගත හැකි ඉතිහාස ගත සාධකයක් වන්නේ 1672 දී බාර්දියක් නම් පෘතුගීසි ජාතිකයා විසින් අඳින ලද සිතුවමකි. යාපනය කොටුව සිතුවමට නැගීම ඔහු සඳහන් කර ඇත්තේ යාපන කොටුව බහාවියේ කොටුවට වඩා විශාල බව ය. පෘතුගීසීන් විසින් උතුරේ පාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන ලද්දේ එම බලකොටුවයි.

එල්.ටී.ටී.ඊ. ය සමඟ පැවතී යුද්ධයේදීත් සෙබළුන්ගේ දිවි බේරා දීමේ ගෞරවය

ඉංග්‍රීසීන් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව 1890 යාපනය ලන්දේසි බළකොටුව ආරක්‍ෂිත ස්‌මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය. 1971 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට්‌ පත්‍රයකින් එය ආරක්‍ෂිත පුරා විද්‍යාත්මක ස්‌ථානයක්‌ ලෙසට ද ප්‍රකාශයට පත්විය.

යාපනය කොටුව තුළ 1983 දක්‌වා සිවිල් පරිපාලන කටයුතු සිදුකරන ලදී.

එහෙත් ඉන්පසුව ඇති වූ ත්‍රස්‌තවාදී ගැටුම් හමුවේ සෙබළුන් 400ක් සහිත යුද හමුදා කඳවුරක්‌ ලෙස ද භාවිත කර ඇත. 1990 දී එල්. ටී. ටී.ඊ. ය විසින් කොටුවට එල්ල කරන ප්‍රහාරය නිසා එහි සිටි යුද හමුදාවට සැපයීම් මාර්ග අවහිර වී ගොස්‌ ඒ තුළ සිරවීමට ද සිදුවිය. මාස 3ක්‌ තිස්‌සේම එලෙස සිටි යුද හමුදාව, 1990 සැප්තැම්බර් 14 වැනිදා හමුදා නායකයෙකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ නායකත්වයෙන් “ත්‍රිවිධ බලය” මෙහෙයුම අරඹා සෙබළුන් 300 දෙනකුගේ දිවි රැකගත්තේ ගුවන් යානා මඟිනි.

යාපනය කොටුවෙන් එලෙස හමුදාව ඉවත් වීමත් සමඟ එහි බලය එල්. ටී. ටී. ඊ. ය (1990-1995) යටතට පත්විය. යළි එය මුදා ගැනුණේ ජය සිකුරු මෙහෙයුමේ දී යි. සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ විවිධ බාධක හමුවේ ජාතියට උරුමයක්‌ ලෙස ශේෂ වී පවතින යාපනය ලන්දේසි කොටුව යළි ප්‍රතිසංස්‌කරණය කොට අනාගත පරම්පරාවට බාරදිය යුතුව තිබේ.

Cover –   millenniumpost.in

(2- 8 ඡායාරූප රචකයාගෙනි)

Related Articles