ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සමඟ සංවාදයක්

ඔහු නාට්‍යකරුවෙකු, සිනමාකරුවෙකු ලෙස ප්‍රකට ප්‍රවීණ කලාකරුවෙකි. ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ සහ ආකෘතියේ නිර්මාතෘවරයා ඔහුය. සිරිමැදුර, අයෝමා සිනමාපට සහ චරන්දාස්, මැටි කරත්තය, සෙක්කුව වැනි වේදිකා නාට්‍ය ඔහුගේ නිර්මාණාවලියේ සුවිශේෂී සංධිස්ථානයන්ය. ජනකරළිය ආකෘතිය පිළිබඳවත්, සෙක්කුව වේදිකා නාට්‍යය පිළිබඳවත් ප්‍රවීණ නාට්‍යවේදී සහ සිනමාවේදී පරාක්‍රම නිරිඇල්ල සමගින් සිදු කළ සාකච්ඡාවකි මේ… ජනකරළිය ආරම්භ කිරීමට හේතුපාදක වුණේ මොකක්ද කියන කාරණාවෙන් අපි මේ සාකච්ඡාවට අවතීර්ණ වෙමු…

ඕනම කලාකාරයෙකුට නිර්මාණය කිරීමේ නිදහස සහ අවකාශ සැපයීමට රජය බැඳිලා ඉන්නවා. ඒක යුනෙස්කෝ ප්‍රඥප්තියක්. ඒ එක්කම ඒවා රසවිඳින්න රටක ඉන්න සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා. ඒ පැත්තෙන් ගත්තාම  ඕනෑම ප‍්‍රදේශයක සිටින ජනතාවකට කොළඹ නිර්මාණය කරන නාට්‍යයක් හෝ වෙන  ඕනම කලාකෘතියක් රසවිඳීම සඳහා අවකාශය සැපයෙන්න  ඕනෙ. නමුත් එහෙම එකක් අපේ රටේ නැහැ. මේක ආණ්ඩුවෙන් කරන්නෙ නැත්නම් හැකි අවස්ථාවල කලාකරුවෝ ඒ සඳහා  ඕන කරන අවකාශය සකස් කරනවා. අන්න ඒ කාර්යය තමයි අපි ජනකරළිය හරහා සිදු කරමින් ඉන්නෙ.

විශ්ව නාට්‍ය කලාව ඇතුළෙ මේ එළිමහන් වේදිකාව ගොඩනැගීම සහ එය විකාශනය වීම සම්බන්ධයෙන් ඔබේ මතකය කොයි වගේද ?

න්‍යායාත්මක නාට්‍ය කලාව වෙනම අරගත්තාම ඒකෙ එක පොදු ලක්ෂණයක් තිබෙනවා. ඒ තමයි රංග භූමිය කියන එක. ඒක හැදුනෙ ජනතාව මැද්දෙ. එතන තමයි නිරූපණයන් කළේ. ගෝත‍්‍රික යුගයේ තිබුණු ඔය රවුම ග‍්‍රීක් වේදිකාව දක්වා එනවා. ඒක පිළිවෙලකට කිසියම් ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව තාක්ෂණ නිර්මාණ ශිල්ප පාවිච්චි කරළා ඒ ස්පේස් එක ක‍්‍රමවත් විදියට හැදෙනවා. අපි පස්සෙ තමයි ඒකට ග‍්‍රීක් තියටර් කියලා කියන්නෙ.  ඕක එන්න එන්නම ක‍්‍රමක‍්‍රමයෙන් තහවුරු වෙනවා ප්‍රොසීනියම් වේදිකාව දක්වා. රෝමයට යනකොට වාණිජමය ස්වභාවයක් ආදේශ වෙනවා.  ටිකට් වලට නාට්‍ය පෙන්වන තත්ත්වයක්. ඊට පස්සෙ නාට්‍ය ශාලා හැදෙනවා. රොමානු කතෝලික ආගමෙන් නාට්‍ය කලාව තහනම් කරනවනෙ නවසිය ගණන්වල. ඒ තහනම් වුණු කාලෙ පවා ගම් වල නාට්‍ය පෙන්නුවා.

නමුත් නැවත විශාල නාට්‍ය ශාලා හැදිලා ශත වර්ශ ගණනාවක් යනකොට කාර්මික විප්ලවය සිද්ධ වෙන කාලෙ වෙනකොට මේ ප්‍රොසීනියම් කියන එක ඇති වෙනවා මිනිස්සුන්ට. නාට්‍යකරුවන්ට සහ කලාකරුවන්ටත් ඒක ඇති වෙනවා. ඔය කාලෙ පෙරදිගට එනවා සමහර කලාකරුවො ඉන්දියාවට චීනයේ ජපානයේ ගියාම ඒගොල්ලන්ට තේරෙනවා සාමාන්‍ය ජනතාවට නාට්‍ය රඟ දක්වන වෙනම නිරූපන ක‍්‍රමයක් තිබෙනවා කියන එක. නැටුම් ගැයුම් වැයුම් මේ ආසියාවට පොදු වුණු එක ලක්ෂණයක්නෙ. මේවා භාවිතා කරළා නාට්‍ය පෙන්වන ක‍්‍රමවේදයක් තිබෙන බව ඔවුන් දකිනවා. ඔවුන් ඒවා පාවිච්චි කරන්න පටන් ගන්නවා.  ඕඩියන්ස් එකට නාට්‍යයවල අඩංගු ගීත සහිත කොළ බෙදුවා. නාට්‍යය වේදිකා ගත වෙද්දි නලු නිලියොත් එක්ක  ඕඩියන්ස් එකත් සිංදු කිව්වා. ස්ටේජ් එක  ඕඩියන්ස් එක පැත්තට වඩා නෙරළා හැදෙන්න වෙනම කොටස් හැදුවා.

jana-karaliya

දැන්  ඕවා වෙනස් කරන්න  ඕනෙකම එනකොට තමයි අපේ රටේ ප්‍රොසීනියම් එක තහවුරු කරන්න පටන් ගන්නෙ. එක්දහස් නවසිය එකොළහේ යුරෝපය තමන්ගෙ ස්ටේජ් එක වෙනස් කරනකොට අපිට ටවර්හෝල් එක ගෙනැල්ලා ඒක එස්ටැබ්ලිෂ් කළා. එදා ඉඳලා අපේ රටේ ප්‍රොසීනියම් එක තහවුරු වුණා. තව වෙනකල් එහෙමයි. යුරෝපය මේ රංග භූමිය ඊට පස්සෙ වෙනස් කරනවා. ඔවුන්ගෙ එජෙස්ටබල් තියටර් එක හැදෙනවා. රවුම් වේදිකාව හැදෙනවා. ඔය ආකාරයට එක එක විදියට රංගශාලා හැදෙනවා. සමහර වෙලාවට ඔවුන් එළිමහනට ගිහිල්ලා රෝමියෝ ඇන්ඩ් ජුලියට් පෙන්වනවා. එළිමහන් රංග භූමිය කියන එක වඩාත්ම පේ‍්‍රක්ෂකයන් අතරට යන ක‍්‍රමවේදයක් බවට පත් වෙනවා එවැනි නාට්‍ය නිෂ්පාදනය කර පෙන්වීම හරහා.

ප්‍රොසීනියම් වේදිකාවට වඩා එළි මහන් රංග භූමියේ තිබෙන වාසිදායක තත්ත්වය කුමක්ද ?

ශාලාවක් තුළ තිබෙන වේදිකාවක් කියන්නෙ තවත් එක රංග භූමියක් විතරයි. එහෙම නැත්නම් එතන රැස්වීම් පවත්වන්නත් පුළුවන්නෙ. දැන් කේරළයට ගියාම එක ප්‍රොසීනියම් තියටර් එකක් පමණයි තිබෙන්නෙ. නමුත් නාට්‍යකරුවො තමන්ට  ඕන රංග භූමිය තැන් තැන්වල හදාගෙන නාට්‍ය පෙන්වනවා. පෙළක් වෙලාවට ප්‍රොසීනියම් ශාලාවෙ නාට්‍ය පෙන්වද්දි  ඕඩියන්ස් එක වේදිකාව උඩට යවලා ශාලාවේ නාට්‍යය පෙන්වනවා. ඉතින් ඒ වගේ බොහොම නම්‍යශීලී විදියට මේ රංග භූමිය භාවිතා කරනවා. එළිමහනේ භාවිත කළොත් තමයි වැඩි පේ‍්‍රක්ෂකයන් පිරිසක් වෙත යන්න පුළුවන් වෙන්නෙ. උදාහරණයක් විදියට චරන්දාස් නාට්‍යය අපි ලයනල් වෙන්ට්ඞ් එකෙත් පෙන්වලත් තියෙනවා එලිෆින්ස්ටන් එකේ බිෂොප් එකේ පදවියේ පරාක‍්‍රම විද්‍යාලයේ ළමයින්ට ගස් දෙකක් යටත් පෙන්වලා තිබෙනවා. ඒ වගේම එළිමහන් පිට්ටනිවල භූමිවල පෙන්වලා තිබෙනවා. ඉතින් ඒ වගේ නාට්‍යවල තිබෙන ස්වභාවය ප්‍රොසීනියම්ද එළිමහනෙද කියන එක මත නෙමෙයි තීරණය වෙන්නෙ. වැඩි පේ‍්‍රක්ෂක පිරිසක් මේක නරඹන එක වැඩි පේ‍්‍රක්ෂක පිරිසක් අතරට යන එක සහ ඒ නාට්‍යය කොතන පෙන්නුවත් එහි තිබෙන ජීව ගුණය සහ එහි හරය නොනැසී පවත්වා ගෙන යායුතුයි. ඒකට  ඕන විදියට නම්‍යශීලී ක‍්‍රමයක් නාට්‍යයකට පාවිච්චි කළ යුතුයි.

ජනකරළිය ආරම්භ කිරීම සම්මත වේදිකාවට සහ සමාජයට යම් බලපෑමක් එල්ල වුණා කියලා ඔබ හිතනවද ?

ප්‍රොසීනියම් තියටර් එකට ජනකරළිය අභියෝගයක් වුණා. ලංකාවෙ ගොඩක් නාට්‍යය ජනකරළියේ පෙන්නුවා. එතකොට ප්‍රොසීනියම් ද මේකද කියන එක නෙමෙයි නාට්‍ය. ප්‍රොසීනියම් එක විතරක් නෙමෙයි තවත් ක‍්‍රමවේදයන් තිබෙනවා නාට්‍ය රඟදක්වන්න කියන එක ආකල්පමය වෙනසක් ඇති කරන්න අපට පුළුවන් වුණා. ඊට පස්සෙ මිනර්වා නාට්‍ය වල සිංහල දෙමල මුස්ලිම් බර්ගර් අය හිටියා. නමුත් ඒ තත්ත්වය වෙනස් වෙලානෙ තිබුනෙ. කාලාන්තරයකට සිංහල නාට්‍යක දෙමළ කෙනෙක් ඇක්ට් කළේ නැහැ. දෙමළ නාට්‍යයක සිංහල කෙනෙක් ඇක්ට් කළේ නැහැ. අපිට යාපනෙන් ආවද නලුවා දෙමළද සිංහලද මුස්ලිම්ද  කියන එක නෙමෙයි වැදගත්. එහෙම වෙන්න  ඕන නැහැනෙ. පොදුවේ නාට්‍යය. එවැනි තත්ත්වයකට එන්න වාතාවරණයක් ආරම්භයක් ඇති කළා. ඒක හුගක් අය භාවිතා කළා. සමහරු අද පවා දෙමළ නළු නිලියො හොයලා දෙන්න කියලා කියනවා. නාට්‍ය කලාව කොච්චර දුරට භාවිතා කරන්න පුළුවන් ද සමාජ සංහිඳියාවක් ඇති කරන්න? මෙවලමක් විදියට. ඒක ප‍්‍රචාරාත්මක මෙවලමක් විදියට නෙමෙයි. නමුත් කලා භාවිතය තුළින් ඒක කරන්න පුළුවන්.

ජනකරළිය වේදිකාවේ නාට්‍ය දර්ශනයක්

බලාපොරොත්තු වුණාට වැඩිය ප‍්‍රබල තත්ත්වයකින් සූරාකෑම සිද්ධ වෙමින් තිබෙනවා

ඔබේ නිර්මාණවලිය තුළ ඉතාම වැදගත් සංධිස්ථානයක් තමයි ‘සෙක්කුව’ වේදිකා නාට්‍යය. මෙය මුල් කාලයේ ප්‍රොසීනියම් වේදිකාවේ පෙන්වනවා. නමුත් පසුකාලීනව ජනකරළිය හරහා එළිමහන් වේදිකාවේ සෙක්කුව රඟ දක්වනවා. සෙක්කුව නාට්‍යයේ කතා කරන්නෙ ශ‍්‍රම සූරාකෑම පිළිබඳව. ඇත්තටම මීට අවුරුදු හතලිහකට පෙර තිබුණු සූරාකෑම පිළිබඳවයි ඔබ සෙක්කුව හරහා කතා කරන්නෙ. නමුත් අද තිබෙන්නෙ මීට අවුරුදු හතලිහකට පෙර තිබුණු සූරාකෑමේ ක‍්‍රමවේදය නොවෙයි නේද ?

ඒ කාලයේ අනාගතය කියන එක තමයි අපි දැන් පහුකරමින් ඉන්නෙ. නමුත් බලාපොරොත්තු වුණාට වැඩිය ප‍්‍රබල තත්ත්වයකින් ඒ සූරාකෑම සිද්ධ වෙමින් තිබෙනවා. සූරාකෑම පමණක්ම නෙමෙයි. සූරාකෑමේ උපක‍්‍රමත් ඉතා ප‍්‍රබලයි. ඒ හැම දෙයක්ම වෙනස් වෙලා තිබෙනවා. ඒක අපි දකිනවා. ඒක නිසා අවසාන වරට සෙක්කුව නිෂ්පාදනය කරනකොට නාට්‍යයේ අවසානයේ ඔය තත්ත්වය පෙන්වන්න අපට අවශ්‍ය වෙලා තිබුණා. නමුත් ඒක වුණත් ප‍්‍රමාණවත් නැහැ. එහෙම නම් අපිට තව නිර්මාණයක් කරන්න  ඕනෙ වත්මන් තත්ත්වය පෙන්වන්න.

උදාහරණයක් විදියට, අපි ඒ කාලෙ බලාපොරොත්තු වුණේ නැහැ ගෝලීයකරණය කියන දේ. විවිධ රටවල් තමන්ගෙ වෙළඳපල සඳහා සහ අවශ්‍ය ශ‍්‍රමය සඳහා ආයෝජනය කරමින් ඒ අවශ්‍ය ශ‍්‍රමය සඳහා සහ ඒ පරිභෝජනය සඳහා ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වෙන මහා පරිමාණ පරිභෝජනය සඳහා ණය වෙමින් ඒවා භුක්ති විඳිමින් සිටිනවා. නමුත් අපේ රටේ ඒ ගැන හිතන්නෙ නැති ජනතාවක් තමයි සිටින්නෙ. ඒක ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. අපිට සෙක්කුව අවසාන නිෂ්පාදනයේ යම්තාක් දුරකට ඒ අවසානයේ ඒක පෙන්වන්න පුළුවන් වුණා. නමුත් ඒක ගැන මම සෑහීමකට පත් වෙන්නෙ නැහැ. ඒ කියන්නේ අර කලින් සෙක්කුව කරන කාලෙ තිබුණු සූරාකෑම ට වඩා මහා පරිමාණ සූරාකෑමකට ලක් වෙලා ඉන්නවා. සූරාකෑම කියන දේ සිද්ධ වෙන්නෙ ශ‍්‍රමයෙන් විතරක් නෙමෙයි. අපේ චින්තන රටාව සූරාකෑම. එතනින් ගියාම ජනතාව ණයකාරයො කරලා එතනින් කරන සූරාකෑම. ඒ ආදී වශයෙන් අපි ගැලවීමක් නැති තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මම හිතන්නෙ අවුරුදු ගණනාවකට මේ තත්ත්වයෙන් ගොඩ එන්නත් බැහැ.

අපේ රටේ රසවින්දනය කියන දේ අවශ්‍යයි කියන ජනතාවක් නෑ

ශ‍්‍රම සූරාකෑමකට අමතරව චින්තන සූරාකෑමක් පිළිබඳව ඔබ සඳහන් කළා. එය වැඩිදුරටත් පැහැදිළි කරන්න පුලුවන්ද ?

අපේ රට ඇතුළෙ නව සංකල්පයන් බිහි වෙන්න පුළුවන්. මේ සංකල්ප දිය කර හරින තත්ත්වයක් ඇති වෙනවා. මේක එක්තරා ආකාරයක සූරාකෑමක් හැටියට තමයි මම දකින්නෙ. රසවින්දනය පැත්තෙන් ගත්තත්  ඕක තමයි තිබෙන්නෙ. තමන්ගෙ ජීවිතයට රසවින්දනය  ඕනෙයි කියලා හිතන ජනතාවක් බිහි නොවීමට මග පෑදීම තුළ ඔවුන්ගේ රසවින්දනය  වෙන පැත්තකට යොමු කරලා ලොකු සූරාකෑමක් කරනවා. මේක කරන්නෙ රූපවාහිනී නාලිකා හරහා. ඉතින් ඒවා කොහෙන්ද හැදෙන්නෙ ? ඒකට මග පාදන්නෙ කවුද ? එවැනි රසවින්දනයකට මග පාදන ජනතාවක් කලාව තුළින් ඇති කරන චින්තන රටාවන් වලින් ඈත් කරලා. ලතින් ඇමරිකානු රටවල් එතනින් ගියාම සමහර වෙලාවට ඔය මැලේසියාව වගේ රටවල් වලත් තියෙනවා ජනමතය අවුලුවාලන්න යහපත් ජනමතයක් ඇති කරන්න ඉවහල් වන කලා කණ්ඩායම්. සංගීත කණ්ඩායම් එතනින් ගියාම නාට්‍ය කණ්ඩායම් වීදි නාට්‍ය ෆෝරම් තියටර් වගේ දේවල් තමයි ඒ රටවල් වල ජනමතය අවුලුවාලන්න යහපත් ජනමතයක් ඇති කරන්න භාවිතා කරන්නෙ.

ඕස්ටේ‍්‍රලියාව වගේ රටක ඇබොරිජිනල්ස්ලා ට වෙන අසාධාරණකම් වලට එරෙහිව ඔවුන්ට යහපත් ජීවන රටාවක්, යහපත් ජීවන පරිසරයක් අත්පත් කරළා දෙන්න ජනමතයක් ඇති කරන්න මේ  නාට්‍ය කණ්ඩායම් විවිධ නිර්මාණ ජනතාව අතරට අරගෙන යනවා. එක නාට්‍ය කණ්ඩායමක ශිල්පියෙක් මට හමුවුණා. ඔහු කියනවා  ඕස්ටේ‍්‍රලියාවෙ කලා මණ්ඩලයෙන් අවුරුදු පතා ඔවුන්ට ආධාර හම්බවෙනවලු. ඔවුන් යැපෙන්නෙ ආණ්ඩුවේ සල්ලි වලින්ලු. ඒ දෙන්න හේතුව තමයි ඒ නාට්‍ය වලින් ඔවුන් පෙන්වා දෙන දේවල් නිලධාරීන්ව පොළඹවනවා ඒ ජනතා ප‍්‍රශ්න අධ්‍යයනය කරන්න. ඒක තේරුම් අරගෙන ඒ ප‍්‍රශ්නය ඇති නොවෙන්න කටයුතු කරන්න ඒ බලධාරීන් ට පුළුවන්කම ලැබනවා. එහෙම රටවලුත් තිබෙනවා. ඒ බලධාරීන් ඒ ප‍්‍රශ්න ඒ විවේචන පිළිගන්නවා. සමහර විට පනත් පවා සම්මත කරලා තිබෙනවා.

අරමුදල් අරගෙන සත්‍යය කියා පාන එක බාල වැඩක් නෙමෙයි

නමුත් අපේ රටේ මොකද වෙන්නෙ ? තරුණ සේවා සභාවේ එක කාලයක් තිබුණා නාට්‍ය උත්සව වලින් හොඳම නාට්‍ය බවට පත්වන නාට්‍ය ටික තරුණ සේවා සභාවෙන් විවිධ තැන්වලට ගිහිල්ලා පෙන්වන වැඩපිළිවෙලක්. මේ තරුණ තරුණ නාට්‍යකරුවො ඉතාමත් විවෘතව පවතින දේශපාලන සහ සමාජ යථාර්ථය ඉස්මතු කරන්න උත්සාහ කරනවා. ඊට පස්සෙ බලධාරීන් කල්පනා කරනවා ආණ්ඩුවට පහර ගහන රැඩිකල් නාට්‍ය පෙන්වන්න අපි සල්ලි වියදම් කරන්න  ඕනද කියලා. ඉතින් මෙවැනි තත්ත්වයක් තමයි අපේ රටේ තිබෙන්නෙ. නාට්‍ය කණ්ඩායම් ප‍්‍රකාශ කරන්නේ මොනවද කියන එක නෙමෙයි කලාව තුළින් එහෙම ප‍්‍රකාශ කිරීමම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් නිර්මාණ කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වභාවයක්.

ඉතින් ඒකට ආණ්ඩුව ප‍්‍රතිපාදන දෙනවා. ඒ හරහා ඒ නාට්‍ය කණ්ඩායම් යැපෙනවා. ඒක කලාකරුවාගේ අයිතියක්. ඔවුන් ඒ අරමුදල් අරගෙන සත්‍යය කියා පාන එක බාල වැඩක් නෙමෙයි. එවැනි ස්වාධීන ආරක්ෂණ ක‍්‍රමයක් අපේ රටේ නැහැ. අපේ රටේ කලාකරුවා හැම වෙලාවෙම දමනය වෙච්චි හීලෑ වෙච්චි සතෙක් වගේ තියා ගන්න තමයි පාලකයො බලාපොරොත්තු වෙන්නෙ. ඉතින් මෙවැනි තත්ත්වයක් ඇතුළෙ කලාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්වත් සැබෑව ප‍්‍රකාශ කිරීමක්වත් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.

ඉතින් රසවින්දනය කියන දේ අවශ්‍යයි කියන ජනතාවක් නෑ අපේ රටේ. ඒක මධ්‍යගත අවශ්‍යතාවයක් නෙමෙයි මිනිස්සුන්ගෙ ජීවිතේ. එහෙම අවශ්‍යතාවයක් නොවන්න තව හේතු තිබෙනවා. ඒක ගැන හිතෙන්නෙත් නැහැ. ඒක ගැන දුක් වෙන්නෙත් නැහැ. ඒක තුළ තිබෙනවා ලොකු ප‍්‍රශ්නයක්. මට නාට්‍යයක් බලන්න අවශ්‍යයි, හොඳ මට්ටමේ ප‍්‍රසංගයක් මාසයකට සැරයක්වත් බලන්න  ඕනෙ කියලා මිනිස්සු ඩිමාන්ඩ් කරනවානම් එතන ලොකු අරගලයක් ඇති වෙනවනෙ. එහෙම කලාවේ රසවින්දනය වෙනුවෙන් අරගල කරන ජනතාවක් අපේ නැහැ. මොකද ඒ මිනිස්සුන්ගෙ රසවින්දනය කියන එක මොට කරළා අධ්‍යාපන ක‍්‍රමය විසින්.

සෙක්කුව වේදිකා නාට්‍යයේ දර්ශනයක්.

අපේ රටට ඔරොත්තු දෙන්නෙ නැති දේශපාලන ක‍්‍රමයක් තියෙන්නෙ

විවිධ සමාජ ක‍්‍රමවලදි විවිධ විදියට සූරාකෑම් සිද්ධ වුණා. උදාහරණයක් විදියට වැඩවසම් යුගයේදී රජු ප‍්‍රමුඛ පැලැන්තියක් විසින් තමයි ජනතාවගේ ශ‍්‍රම සූරාකෑම සිද්ධ කළේ. ඇත්තටම වර්තමානයේදී මේ කියන සූරාකෑම සිද්ධ කරන්නෙ කව්රුන් විසින් කියල ද ඔබ හිතන්නෙ ?

මම නම් කියන්නෙ මේකයි. අපේ රටේ පාලකයොත් සූරන් කනවා. අනියම් විදියට ඒ සූරාකෑමට උඩගෙඩිත් දෙනවා. පාලක පංතිය කියන එක අපේ රටේ තහවුරු වෙලා තියෙනවා සූරාකන සහ සූරාකෑමට උඩගෙඩි දෙන ඒකට  ඕන මාර්ගය සපයන පැලැන්තියක් විදියට. ප‍්‍රාදේශීය සභාවේ ඉන්න නියෝජිතයාගෙ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත‍්‍රී හරි ඇමති දක්වා  ඕක තියෙනවා. අපේ රටට ඔරොත්තු දෙන්නෙ නැති දේශපාලන ක‍්‍රමයක් තියෙන්නෙ. ස්ථර තුනක ඉන්න අයගෙ බලපෑමට සහ පාලනයට යටත් වෙලා ඉන්නවා ජනතාව. ඉස්සර එක රජ කෙනයි හිටියෙ. ගම් මට්ටමේ නායකයො හිටියා තමයි. නමුත් මෙච්චර ප‍්‍රබල විදියට මේක සිද්ධ වුණේ නැහැ ඒ කාලෙ.

ඇතැමුන් බටහිර අධිරාජ්‍යවාදී රටවල් වලට ඇඟිල්ල දිගු කරනවා. ඊට අමතරව එංගලන්තය අපිට ලබා දී තිබෙන අර්ධ නිදහස හරහාත් අපිව සූරාකෑමට ලක්වෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද ?

මේ ඉන්න දේශපාලඥයො පත් කරන්නෙ ඒකටනෙ. විදේශ බලවේගවලට ඉඩ නොදෙන්නනෙ ඒගොල්ලන්ව යවන්නෙ එතනට මිනිස්සු. රටේ හැම දෙයක්ම සංවර්ධනය කරන්නනෙ ඒගොල්ලන්ව එතනට යවන්නෙ.  ඕවා බැරි දේවල් නෙවෙයිනෙ.  ඕවා කරන්න පුළුවන් දේවල්. සමහර රටවල් වලින් ඇති වෙන ඔය බලපෑම් ගැන දේශපාලන වේදිකා වල දි කියලා විදේශ රටවල් වලට දොස් කියනවා. නමුත් තමුන් බලයේ ඉන්න කාලේ ඒවා වළක්වන්න කිසි වැඩක් හදලා නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න නම් අපි දේශපාලකයො පත් කරන්න  ඕන නැහැනෙ. ඒ නිසා පිටරටවලට ඇඟිල්ල දිගු කරළා වැඩක් නෑ. මේක මේ රට ඇතුළෙම තිබෙන ප‍්‍රශ්නයක්.

(සියලු ඡායාරූප උපුටා ගැනීම – Janakaraliya Cultural Foundation FB)

Cover Image

Related Articles