භූගත උමං ජල තටාක තාක්ෂණය හරහා ගංවතුර පාලනය කරන ජපානය

ගංගා, ඇල දොළ වර්ෂාපතනය වැඩි වුනාම පිටාර ගැලීම අද ලංකාවේ අපට බොහොම හුරු පුරුදු දෙයක්. ලංකාවේ එසේ ගංවතුර ඇති වූවත් ලෝකයේ සමහර රටවල අයිස් කඳු දිය වීම නිසාත් ගංවතුර ඇති වෙනවා. ලංකාවේ ගංවතුර ඇති වෙන කාලයට රට වටින්ම ආධාර සොයා ගෙන ඒවා බෙදල දෙන්න ඔබත් සහයෝගය දක්වන්න ඇති. අපේ රටට වගේම අනෙක් රට වලටත් ගංවතුර නිසා බොහෝම ආර්ථික හානි සිදු වෙන බව ඔබ නොදන්නවා විය හැකියි.

ඇත්තටම මේ ගංවතුර නිසා සිදුවන හානි හරි ගංවතුර තත්වය හරි පාලනය කරන්න පුලුවන් කියල ඔබ මොහොතක් හිතුව ද? මේ ලිපිය ගෙනෙන්නේ ඒ ගැටලුවට පිළියමක් විදියට සාර්ථකව අත්හදා බලා අද වන විට ජපානයේ යොදා ගන්න තාක්ෂණික ක්‍රමයක් වන භූගත උමං ජල තටාක තාක්ෂණය පිලිබඳව යි.

ගංවතුර පාලනය වෙනුවෙන් යොදාගත් පැරණි තාක්ෂණික ක්‍රම

ඈත අතීතයේ ඉදන්ම ලංකාවේ අපිට ගංවතුර නිසා විවිධ හානි සිදු වුනා. ඒ නිසාම ගංවතුර වැනි තත්වයන්ට මුහුණ දීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නම් අමාත්‍යාංශයක් ආරම්භ කිරීමටත් අපේ රටේ රජය කටයුතු කළා.

ලංකාවේ ගංවතුර තත්වයක් දැක්වෙන ජායාරුපයක් (www.cnn.com)

ඒ වගේම ගංවතුර පාලනයට ලෝකයේ මිනිසුන් විවිධ ක්‍රම භාවිතයට ගැනුණා  වගේම අදත් ඒවා භාවිතා කරනවා. උදාහරණ විදියට ගංගා හරස් කර වේලි, හැරවුම් වේලි, අමුණු, ජලාශ සාදා ගංගා පිටාර ගැලීම හා ගැලීමෙන් සිදුවන හානි වැලැක්වීම දක්වන්න පුළුවන්. මේ හරහා යම් මට්ටමකට ගංවතුරෙන් සිදුවන හානි පාලනය කරන්න පුළුවන් වුනත් එය සම්පුර්ණයෙන්ම පාලනය කරගන්න හැකි වූයේ නැහැ.

ජපානයත් එලෙස අතීතයේ සිට ම ගංවතුර නිසා පිඩා විදි රටක්. 1910 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 4.2% පමණ ද, 1920 වර්ෂයේ ද ගංවතුරෙන් හානි වුනා. ඒ වගේම ඉන් පසු කාලය තුළත් ජපානය ගංවතුර තත්වය නිසා දැඩි ලෙස පීඩාවට ලක් වූ රටක්. රට තුළ විශාල වශයෙන් ගංගාවන් පිහිටා තිබීමත්, සමහර දූපත්වල ගොඩබිම් මට්ටම සාගර ජල මට්ටමට වඩා පහළින් පිහිටීමත්, අධික වර්ෂාවත් (අද වන විට වසරකට අඟල් 60ක පමණ වර්ෂාවක් ජපානයට ලැබෙනවා) ගංවතුර තත්ත්ව ඇති වීමට හේතු වුනා. මෙවැනි හානි නිසාම පර්යේෂකයින් හානි වැළැක්වීම සඳහා විවිධ නව ක්‍රම සොයා ගිය අතර එලෙස සොයා ගත් ක්‍රම අතරින් වර්තමානයේ භාවිතා කරන සාර්ථක එක් ක්‍රමයක් විදියට මේ භූගත උමං ජල තටාක තාක්ෂණය හඳුන්වා දෙන්න පුළුවන්.

ජපානයේ ගංවතුර තත්වයක් දැක්වෙන ජායාරුපයක් (www.bbc.co.uk)

ජපානය මේ ක්‍රමය අත්හදා බැලීම් 1920 වර්ෂයේ පමණ ආරම්භ කලත් මුල් අදියරේ දී ඇති වූ අධික ගංවතුර තත්වයන් පාලනයට අවශ්‍ය තරම් පිටුවහලක් සැපයීම මුල් ව්‍යාපෘතිය හරහා සිදු නොවූ නිසා මහාපරිමාණ ව්‍යාපෘතියක් දක්වා එය පුළුල් කිරීමට ජපන් රජය කටයුතු කළා.

මොකක් ද මේ භූගත උමං ජල තටාක තාක්ෂණය කියන්නේ?

වැස්ස සමඟම ගංගා පිටාර ගැලීම වගේම වැසි ජලය එකතු වීමෙනුත් නගරබදව විශාල ගැටළු ඇති වනවා. ඒ වගේම එලෙස එකතු වුණු ජලය ඉවත් වීමටත් බොහෝ කාලයක් ගත වන්නේ පැරණි ජල පද්ධති ගලා යන ප්‍රදේශ ගොඩකර ගොඩනැගිලි ඉදි කිරීම නිසයි. වැඩි වන ජනගහණය සමඟ එසේ වීම වළක්වාගන්න අමාරු කාරණයක්. ඒ වගේම අධික ජල ගැලීම් සිදු වන අවස්ථාවල දී ජල පහරේ වේගය වැඩිකම නිසාම පොදු දේපල වලට වගේම මිනිස් ජීවිත වලටත් හානි සිදු වෙනවා.

භූගත උමං ජල තටාක තාක්ෂණය හරහා සරළ ව  සිදු වන්නේ එලෙස වැස්ස හෝ ගංගා පිටාර ගැලීමෙන් ඉහළ යන භුමිය මතු පිට ජලය උමං හරහා එක් ස්ථානයකට එකතු කිරීමත් ඒ එකතුවන ජලයේ වේගය අඩුකර ජලය බැහැර කරන ගංගාවකට හෝ ඇළ මාර්ගයක් දක්වා භූ ගතව එකතු කළ ජලය යැවීමත් ය.

ජපානයේ භූගත උමං ජල තටාක තාක්ෂණය යොදා ගැනීම

මේ ක්‍රමය සරල යයි හැඟුනත් එය බොහෝ කාලයක් වගේම විශාල මූලික වියදමක් දැරිය යුතු ව්‍යාපෘතියක්. නමුත් ඒ හරහා ජනතාවට මෙන්ම රටේ ආර්ථික තත්වයට සිදු වන යහපත නිසාම මේ තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ විශාලතම භූගත උමං ජල ප්‍රවාහන පද්ධතිය නිපදවීමට ජපානය කටයුතු කළා.

මේ ව්‍යාපෘතිය කොටස් දෙකක් ලෙස සකස් කෙරුණා. “G-Cans Project” (2006 වර්ෂයේ නිමා කෙරුණා) හා “The Furukawa Reservoir” (කිලෝමීටර් 3.3 විහිදී උමං ජාලයකි, 2009 වර්ෂයේ නිම කෙරුණා) එම ව්‍යාපෘති දෙකයි. එම ව්‍යාපෘති දෙකම සිදු කර තිබෙන්නේ ජපානයේ අගනුවර වන ටෝකියෝ නගරය අසල යි.

G-Cans ව්‍යාපෘතියේ සිතුවමක ජායාරුපයක් (www.costadelsolmagazin.com)

G-Cans ව්‍යාපෘතිය

1992 වර්ෂයේ ආරම්භ කළ මේ ව්‍යාපෘතිය නිම කිරීම් කටයුතු වසර 17ක් පුරා සිදුකලා. එහි පොළව අභ්‍යන්තරයේ ඉදි කළ විශාල ජල ටැංකි 5ක් හරහා වැඩි ජලය එකතු කිරීම සිදු කරනවා. උස මීටර 70 හා විෂ්කම්භය මීටර 30 වන මේ ටැංකියක් තුළ අභ්‍යාවකාශ යානයක් නැවත්වීමට තරම් ඉඩ ප්‍රමාණයක් පවතිනවා.  මේ ටැංකි පහ එකට එකතු කිරීමට කිලෝමීටර 6.5 දිග හා පළල මීටර 10 වන මීටර 50 පොලොව යට පිහිටි නල පද්ධතියක් පවතිනවා. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන තුනක පමණ මුදලක් වැය වී තිබෙනවා.

G-Cans ව්‍යාපෘතියේ යොදා ගත් විශාල ජල ටැංකියක ජායාරූ පයක් (www.cnn.com)

මෙලෙස ටැංකිවල එකතුවන ජලයේ පීඩනය අඩුකිරීමට පීඩන පාලක කොටසට නල හරහා ජලය යවනවා. මෙම කොටස දිගින් මීටර 177ක්ද පළලින් මීටර 78ක්ද උසින් මීටර 18ක්ද වෙනවා.(ජපන් රජය මේ කොටස ජලය අඩු කාලවල දී සංචාරකයින් වෙනුවෙන් විවෘත කරනවා)

ජලයේ පීඩනය අඩු කිරීමෙන් පසුව එම ජලය පොම්ප හතරක් හරහා ඊඩෝ ගංගාවට බැහැර කරනවා. එහි යොදා ගන්න එන්ජින් හතර බෝයින්ග් 727 යානයක එන්ජිමට සමාන වනවා. එමගින් තප්පරයට කියුබික් මීටර 200 ජල ප්‍රමාණයක් නිදහස් කරනවා. ටෝකියෝ නුවර ගංවතුර අවදානම හරි අඩකින් පමණ අඩු කිරීමට මේ ව්‍යාපෘතිය හරහා ජපානයට හැකි වීම මෙහි වැදගත්කමක් වනවා.

යොදාගන්නා එන්ජිමක ජායාරුපයක් (en.wikiarquitectura.com)

The Furukawa Reservoir ව්‍යාපෘතිය

2016 වසරේ දී නිම කළ මේ පද්ධතිය හරහා අතිරික්ත ජලය උමං පද්ධතියක් හරහා ගංඟාවකට යැවීම සිදු කරනවා. මේ උමං පද්ධතිය දිගින් කිලෝමීටර 3.3 හා විෂ්කම්භය මීටර 7.5 පමණ වනවා.  මෙහි නල පද්ධතිය සතුව ජලය කියුබික් මීටර් 135,000ක ප්‍රමාණයක ධාරිතාවක් පවතිනවා.

Furukawa Reservoir ව්‍යාපෘතියේ ජායාරූ පයක් (www.japantimes.co.jp)

ලංකාවේ අපට මේ ක්‍රමය යොදාගන්න පුලුවන් ද?

අධික වියදම මෙවැනි ව්‍යාපෘතියක මුලික අවාසිය වන නමුත් මේ ක්‍රමයට වැයවන වියදම අපේ රටට දරාගන්න පුළුවන් ආකාරයකට වෙනස්කර ගැනීම සිදු කළ හොත් දැනට විටින් විට රටට බලපාන ගංවතුර තත්වයන් වළක්වා ගැනීමේ හැකියාව අපිටත් තියෙනවා. ඒ වගේම මේ තාක්ෂණය ජපානය යොදා ගත් ආකාරයෙන්ම යොදා ගැනීමේ අවශ්‍යතාවක් නොපවතින අතර එය අපට ගැලපෙන විදිහට වෙනස් කරගන්න අපට පුළුවන්. අවශ්‍ය වන්නේ මෙවැනි වූ ආකාර වලින් ගංවතුර පාලනය කරන්න අපට හැකියාවක් ඇති බව දැනුවත් වීම යි.

Cover Image: පීඩනය පාලනය කරන කොටසේ ජායාරුපයක් (Dru Tang/Hino Maple)

මූලාශ්‍ර:

http://www.disastermin.gov.lk/web/

https://www.globalcitizen.org/en/content/japan-flood-control-superstructure-china-tokyo/

http://www.ny.us.emb-japan.go.jp/japaninfo/winter2016/04.html

http://web-japan.org/trends/11_tech-life/tec130312.html

Related Articles