සමුරායිවරුන්ගේ ආත්මය බඳු විශිෂ්ට කටානා කඩු

යුධ සටන් කලාව අතීතයේ සිටම සියලු රාජ්‍යයන් හා ඒවායේ යුධ සේනාවන් පුරුදු පුහුණු වූ දෙයකි. තුවක්කු, කාලතුවක්කු, බෝම්බ වැනි දුර සිට සතුරන් විනාශ කළ හැකි උපකරණ සොයා ගැනීමට පෙර මිනිසුන් යුද්ධ කිරීමට භාවිතා කරන ලද්දේ දුනු ඊතල, භූමරංග හා කඩු වැනි උපකරණයි. එම හේතුව නිසාම එම උපකරණ වලට පැරැන්නන් දේවත්වයෙන් සලකන ලදී. විශේෂයෙන්ම කඩුව යනු රජෙකුගේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සළකනු ලැබීය. ජපනුන් නිර්මාණය කළ කඩු අතරින් කටානා යනු සටන් සඳහා යොදා ගන්නා හොඳම කඩු වර්ගයකි. මෙම ලිපිය මඟින් අප බලාපොරොත්තු වන්නේ කටානා කඩු පිලිබඳ තොරතුරු ස්වල්පයක් ඔබට ගෙන ඒමටයි.

කටානා කඩුවල ඉතිහාසය

cgtrader.com

කටානා කඩු යනු සමුරායිවරුන්ගේ ආත්මය බඳු වේ. සමුරායිවරුන් අතින් නිර්මාණය වන විශිෂ්ට ගණයේ කඩු අතරින් එකක් ලෙස කටානා කඩු දැක්විය හැක. සමුරායිවරුන් යුද්ධයට බර ජාතියක් වූ නිසා නිරන්තරයෙන් ඔවුන් කඩු නිර්මාණයේ යෙදෙන ලදි. ජපානයේ නිර්මාණය කළ මුල්ම කඩු චෝකුටෝ (Chokuto) ලෙස හැඳින්වේ. මේවායේ කෙළින් පිහිටා ඇති තල ඉතා තියුණු ලෙස සකසා ඇත. නමුත් පසුකාලීනව නිර්මාණය කළ තල මුල් කාලීන තල වලට වඩා මුවහත් ඒවා වූ නමුත් තීව්‍ර ගැටුමකදී ඒවා කැඩී යාමේ වැඩි ඉඩක් පැවතුණි. පසුකාලීනව වක්‍රාකාර තල නිර්මාණයත් සමඟ කෙළින් පිහිටි තල සහිත කඩු අභාවයට යන ලදි. මෙලෙස නිර්මාණය ආරම්භ වූ කඩු පසු කාලීනව කටානා කඩු දක්වා පරිවර්තනය විය.

කඩුව සැකසීම හා ඔප දැමීම

අතීතයේ කඩු සාදන්නන් සමාජයේ අනෙකුත් වෙළඳුන්ට වඩා පිළිගැනීමට ලක් වූ පුද්ගලයින් විය. කටනා කඩු සෑදීම නිකන්ම වානේ කැබැල්ලක් තලා කඩුවක් නිර්මාණය කරනවාට වඩා වෙනස් කාර්යයක් විය. බොහෝ විට මෙම කඩුව නිර්මාණය ආගමික චාරිත්‍රයක් විය. නිර්මාණය කිරීම පටන් ගැනීමට පෙර කඩු සාදන්නා හොඳින් පිරිසිදු වේ. මෙම පිරිසිදු වීමට ආහාර නොගෙන සිටීම, ලිංගික කටයුතු වල නිරත නොවීම, වන්දනා ගමන් ආදිය නොයා සිටීමද ඇතුලත් වේ.

sharpen-up.com

කඩුව හැඩතැලීම ආරම්භ කිරීමට පෙර කඩු සාදන්නා ඔහු වැඩ කරන ස්ථානය පිරිසිදු කඹයකින් සලකුණු කර ෂින්ටෝ පූජකයන් අඳිනා සිවුරක් පැළඳ ගනී. පවිත්‍ර කරන චාරිත්‍රය කඩුව නිර්මාණය කරන කාලය පුරාම පවත්වා ගැනීමට සෑම දිනකම කඩු සාදන්නා දිය ඇල්ලක් යට සිටගෙන යාඥාවන් කියනු ලැබේ. දිය ඇල්ලක් නොමැති අවස්ථාවක සීතල ජලය පිරුණු වතුර බාල්දි නිශ්චිත ප්‍රමාණයක් ඔහුගේ ශරීරයට වක්කර ගනී. ඇතැම්විට කඩුව සැකසීම නිමවීමට මාස කීපයක් ගත වන අතර ඒ  කාලය පුරාම මෙම චාරිත්‍රය පවත්වා ගැනීමට කඩු සාදන්නා වගබලා ගනී.

කඩු නිර්මාණය කරන්නා මෙන්ම කඩුව ඔප දමන්නාද වැදගත් වේ. කඩුවක තලයෙන් ලබා ගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නම් මෙම දෙදෙනාගෙන්ම සහයෝගය ලැබිය යුතුය. කඩුව සකසා නිමකළ පසු කඩුව ඔප දැමීම කල යුතු වේ. තලය සකසනවාට වඩා කාලයක් එහි තලය නිසියාකාරව ඔප දැමීමට ගත වේ. ඔප දැමීමෙන් පසු එම වානේ තලය කලාත්මක නිර්මාණයක් බවට පත් වේ. ඔප දමන්නා අලංකාර ගල් භාවිත කරමින් තලයේ ප්‍රභාව වැඩි කිරීම සිදු කරයි. තලයේ නියම ස්වරූපය මතු කර ගැනීමට විශාල හැකියාවක් අවශ්‍ය වන නිසා වර්තමානයේ කඩු ඔප දමන්නන්ට වසර පහක පුහුණු කාලයක් ලබා දේ.

නිම වූ කඩුව පරික්ෂා කිරීම

samuraisword.com

සම්පුර්ණයෙන් සාදා නිම කළ කටානා කඩුවක් පරික්ෂා කිරීම සඳහා බොහෝ විට යොදා ගන්නේ මළ කඳන් හා මරණයට තීන්දු වූ අපරාධකරුවන්ය. මෙහිදී තලයේ තත්වය තීරණය කෙරුනේ කපා දැමිය හැකි ප්‍රමාණය අනුවයි. මුලින්ම කපා දමන්නේ කුඩා අස්ථි කොටස්ය. පසුව විශාල අස්ථි කොටස් කපා දැමීම සිදු කරයි. සාමාන්‍යයෙන් මෙම පරීක්ෂණයේ ප්‍රථිපල කඩුවේ මිටේ ඇති ලෝහ කැබැල්ලක සටහන් කරනු ලැබේ.

මේ කඩු හා බැඳුනු විවධ මත  

සමුරායිවරුන්ගේ කඩු හා බැඳුනු එක් මිත්‍යා මතයක් වන්නේ ඔවුන්ගේ කඩුවක් මතට වැටුණු සිල්ක් රෙදි කැබැල්ලක් කඩු තලය යොදා ගෙන කුඩා කැබලිවලට කැපිය හැකිය යන්නයි. සමුරායිවරුන් නිර්මාණය කළ ප්‍රධාන කඩුවක් වන කටානා කඩුවේද තලය මේ හා සමානව තියුණු ලෙස නිර්මාණය කර ඇත.

ebay.com

මොවුන්ගේ කඩු පිලිබඳ ඇති තවත් මිත්‍යා මතයක් වන්නේ සමුරායිවරුන් නිර්මාණය කරන කඩුවක් යොදා ගෙන සාමාන්‍ය කඩුවක් කැබලිවලට කපා දැමිය හැකි බවයි. හොදින් තලය සකසා ඇති කටානා කඩු යොදා ගනිමින් අඩු ශක්තිමත් කඩු කඩා දැමිය හැක. මේ කඩු සම්බන්ධ තවත් මතයක් වන්නේ කඩුවේ තලයේ ඇති ඇඟිලි සලකුණක් දිගුකාලීනව ඉවත් නොකිරීමෙන් එම කඩුවේ තලය මලකඩ කන බවයි.

http://www.espadaskatana.com.br (කඩුවේ අභ්‍යන්තරය හා තියුණු මුවහත)

කඩුවක් සකසා නිම කළ පසු එහි තලයේ මුවහත පරික්ෂා කිරීමට මළ කඳන් වැනි දෑ කැපීම සිදු කරයි. මෙහිදී කඩුවේ තලය හානි වන බව මොවුන් තුළ ඇති තවත් මතයකි. කඩුව පරික්ෂා කිරීමේදී තලය ඇද වීම, මලකඩ කෑම වැනි දෑ සිදු විය හැකි බව ඔවුන් විශ්වාස කරයි. කටානා කඩුව සාමාන්‍ය ජපාන වැසියෙක් ළඟ තබා ගැනීම නීති විරෝධී වේ. මෙම කඩුවක් ළඟ තබා ගැනීමට නම් නීතියෙන් එයට ලබා දුන් අවසර පතක් තිබිය යුතුය. නීති විරෝධී ලෙස කඩුවක් ළඟ තබා ගන්නා අයෙකුට දඩයකට හා සිර දඬුවමකට යටත් වීමට සිදුවේ.

ජපානයේ කඩු නිර්මාණය කිරීමේ වර්තමාන තත්වය

handmademen.com (කටානා කඩු නිපදවන අන්දම)

වර්තමානය වන විට ජපානයේ කඩු සෑදීමේ කලාව අභාවයට යමින් පවතී. මිට බොහෝ සේ හේතු වන්නේ කඩු නිර්මාණ කරුවන් වෙත පනවා ඇති දැඩි අවශ්‍යතා හා නීති රීතින්ය. කඩු සාදන්නෙකු වසර 5ක පුහුණු කාලයක් ලැබුවත්, ඔහුට තමාගේ කීර්තිය හා තත්වය සකසා ගැනීමට තවත් වසර 5ක් පමණ ගත වේ. මිට අමතරව කඩු නියම තත්වයෙන් පවත්වා ගැනීමට එක් කඩු සාදන්නෙකුට මසකට සෑදිය හැකි උපරිම කඩු ප්‍රමාණයක් රජයෙන් ලබා දී තිබේ. මෙයට අනුව සෑම කඩු සාදන්නෙකුටම මසකට උපරිම වශයෙන් දිග කඩු දෙකක් හෝ කොට කඩු තුනක් සෑදිය හැක.

කවරයේ පින්තුරය – wikimedia.org

Related Articles