Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 ඔලිම්පික් උළෙල සඳහා ජපානයේ අපූරු ව්‍යාපෘති

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ජපානයේ තෝකියෝ නුවර යි. එය 2020 වසරේ ජූනි මස 24 වන දින ආරම්භ වී අගෝස්තු මස 9 වෙනි දින අවසන් වීමට නියමිත යි. මේ වන විට ජපානය, ඔලිම්පික් සඳහා ඉතා යුහුසුළුව සුදානම් වෙමින් සිටිනවා.

මෙවර ඔලිම්පික් උළෙලේ සුදානම් වීම තරමක් වෙනස්. ඔලිම්පික් උළෙල සංවිධානය කරන ජපන් ඔලිම්පික් කමිටුව මේ සඳහා විශේෂ තීරණ කිහිපයක්ම ගෙන තිබෙනවා. තරගවල දී ජයග්‍රාහී ක්‍රීඩකයන්ට පිරිනැමෙන රන්, රිදී, හා ලෝකඩ යන සියලු පදක්කම් භාවිතයෙන් ඉවත්කළ ජංගම දුරකථන හා විද්‍යුත් උපකරණ ප්‍රතිචක්‍රීකරණය කර ලබා ගැනීම එසේ ගත් එක් තීරණයක් ලෙස සඳහන් කළ හැකි යි.

තරග සඳහා සහභාගි වෙන සියලු ක්‍රීඩකයන්ට ලබා දෙන ක්‍රීඩා ඇදුම්, පැරණි ඇදුම් ප්‍රතිචක්‍රීකරණයය කර ලබා ගැනීමට ගත් තීරණයත් තවත් සුවිශේෂී ව්‍යාපෘතියක්.

මෙම ව්‍යාපෘති සඳහා හේතු වී තිබෙන්නේ ජපානය විමෝචනය කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 2020 වසර වන විට තුන්ගුණයකින් අඩු කිරීමට එරට රජය ගන්නා උත්සාහය නිසා යි.

ඊ-වේස්ට්වලින් නිපදවෙන පදක්කම්

ඊ-වේස්ට් වැඩසටහන හදුන්වා දෙමින් (InsideTheGames)

ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක වැනි කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණවල ඇති රත්‍රන්, රිදී, හා ලෝකඩ උපයෝගී කරගනිමින් මෙවර පදක්කම් සියල්ල නිර්මාණය කිරීමට ජපන් ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා.

පරිසර දූෂණය අවම කර තිරසර සංවර්ධනය කරා ගමන් කිරීම සඳහා මෙවැනි තීරණ ඉමහත් ලෙස බලපාන බව ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම තම පැරණි ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා දීමෙන් සියලු ජපන් වැසියන්ට ඔලිම්පික් උළෙල සඳහා තම දායකත්වය ලබා දීමට මේ තීරණය ඔස්සේ හැකියාව ලැබෙනවා.

මේ ක්‍රමය ඔස්සේ රත්රන් කි.ග්‍රෑ 30ක් ද, රිදී කි.ග්‍රෑ 4100ක් ද, ලෝකඩ කි.ග්‍රෑ 2700ක් ද ලබා ගැනීමට අපේක්ෂිත යි. ඉන් විශාල ප්‍රතිශතයක් මේ වන විටත් ලැබී ඇති බවට සදහන් වෙනවා.

ඔලිම්පික් කමිටුව විසින් ඉවත් කරන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඔලිම්පික් පදක්කම් සඳහා ලබා ගැනීමේ අරමුණෙන් ජපානය පුරා විවිධ ස්ථානවල කාර්යයාලයන් පිහිටුවා තිබෙනවා. මෙම වැඩසටහන 2017 වසරේ දී ආරම්භ වූ අතර 2019 වසරේ මාර්තු මාසය අවසානය වන තුරු ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපෘතිය ඔස්සේ තමන් අපේක්ෂා කරන ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ජපන් ඔලිම්පික් කමිටුව වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී ද පදක්කම්වලින් 30%ක ප්‍රමාණයක් නිර්මාණය වන්නේත් ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රතිචක්‍රීකරණය කිරීම මඟින්.

ක්‍රීඩා ඇදුම් නිර්මාණය

Saori Yoshida  තමන්ගේ ටී ෂර්ටයක් ලබා දෙමින් (The Japan Times)

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ක්‍රීඩා ඇඳුම් සැකසීම සිදුවන්නේ පැරණි ක්‍රීඩා ඇදුම් නැවත ප්‍රතිචක්‍රීකරණයට බදුන් කිරීමෙන් බව ජපන් ඔලිම්පික් කමිටුව පසුගිය දිනෙක නිවේදනය කරනවා. මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන්නේ ජපානයේ ASICS sportswear නම් සමාගම යි.

ඔවුන් ඔලිම්පික් උළෙලේ නිල ඇඳුම් සැපයුම්කරු ලෙස ක්‍රියා කරනවා. සමාගම විසින් මෙම ව්‍යාපෘතිය නම් කර තිබෙන්නේ “මතකයන් සපිරුණු ක්‍රීඩා ඇඳුම්” ලෙස යි. ව්‍යාපෘතිය මෙම වසරේ ජනවාරි 24 දින ආරම්භ වෙනවා.

ඒ සඳහා ජපානය පුරා මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර ජපාන ජනයා මේ වැඩසටහන සඳහා ඉතා උනන්දුවෙන් සහභාගී වෙන ආකාරය දැක ගැනීමට පුළුවන්. තමන් විසින් භාවිතා කළ නමුත් ජපාන ඔලිම්පික් උළෙල සඳහා සුදුසු ඇදුම් නිපදවීමට එම ඇදුම් යෝග්‍ය නම් මෙම වසරේ මැයි 31 වන දිනට ප්‍රථම අදාළ කාර්යයාලවලට භාර දෙන ලෙස එම කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ව්‍යාපෘතිය සඳහා ජනතාව මෙන්ම ජපානය නියෝජනය කරමින් ඔලිම්පික් තරග සඳහා සහභාගී වූ ක්‍රීඩකයන්ගෙන් ද යහපත් ප්‍රතිචාර හිමි වී තිබෙනවා. තෙවරක් ඔලිම්පික් මල්ලවපොර ශූරියක් බවට පත් වූ Saori Yoshida ද පසුගිය දිනෙක මේ සඳහා සිය ඇඳුම් පරිත්‍යාග කර තිබෙනවා. ඇය ලබා දුන් ඇදුම් අතර රියෝ ඔලිම්පික් උළෙලේ දී ඇය හැඳි ඇදුම් ද ඇතුලත් වෙනවා. ව්‍යාපෘතිය ඔස්සේ ඔලිම්පික් උළෙල සියලු ජපන් ජනතාව වෙත විවෘත වන බව අදහස් දක්වමින් ඇය පවසා සිටිනවා.

මෙම ව්‍යපෘතිය ඔස්සේ ඇඟලුම් 30000කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට ඔලිම්පික් කමිටුව බලාපොරොත්තු වෙනවා.

මෙම ව්‍යාපෘති දෙක, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අමතරව ඊට පසුව ජපානයේ ම පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලිය සඳහා ද ක්‍රියාත්මක වෙනවා. මේ මඟින් ජපාන ජනතාව ඔලිම්පික් උළෙල වටා එකතු වීම වැඩි කිරීමත් ජපානයෙන් නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කිරීමේ ව්‍යාපෘතියට සහය දැක්වීම සිදුවන බවත් සදහන් කළ හැකි යි.

පච්චා කෙටූ පුද්ගලයන්ට තහනම් වෙරළ තීරයක් (Savvy Tokyo)

තවද 2019 ලෝක රග්බි කුසලාන තරගාවලිය සඳහා සහභාගී වෙන සියලු ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක් කිරීමට එරට රග්බි පාලක බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ ජපානයේ සාමාන්‍ය ජනතාව ශරීරයේ පච්ච කෙටූ පුද්ගලයන්ට බියක් මෙන්ම පිළිකුලක් දක්වන බැවින් පොදු ස්ථානවල ගැවසෙන විට එම පච්චා ආවරණය වන සේ ඇදුමක් ඇද සිටිය යුතුය යන ඉල්ලීම යි.

මෙම ඉල්ලීම සඳහා අනෙකුත් රටවලින් සාධනීය පිළිතුරක් ලැබී ඇති අතර ඔලිම්පික් උළෙල සඳහා 2020 දී පැමිණෙන ක්‍රීඩකයන්ගෙන් ද ජපන් රජය මෙවැනි ඉල්ලීමක් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි යි.

කවරයේ පින්තූරය - Elite Readers

මූලාශ්‍රයයන්:

tokyo2020.org

engadget.com

bbc.com

japantimes.co.jp

fox2now.com

Related Articles