Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෙෆ් බෙසෝස් හා සම්බන්ධ ලෝක ප්‍රසිද්ධ සිදුවීම්

ජෙෆ් බෙසෝස් 2019 වසරේ ද ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වී තිබෙනවා. ඔහු එලෙස පත් වී තිබෙන්නේ පිට පිට දෙවන වතාවට යි. ඒ වගේම පසුගිය වසරේ ඔහුගේ දික්කසාදය ද ලොව වඩාත්ම කතාබහට ලක් වූ දික්කසාදයක් ලෙස හැඳින්විය හැකි යි. මේ, ඔහු හා සම්බන්ධ ලෝක ප්‍රසිද්ධ වූ සිදුවීම් කිහිපයක්.

ලෝකයේ ධනවත්ම පුද්ගලයා 

ජෙෆ් බෙසෝස් (DW)

2019 වසරේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් කරන්නේ ඇමසන් සමාගමේ නිර්මාතෘවරයා වන ජෙෆ් බෙසොස්ව යි. 2019 වසරේ මෙන්ම 2018 වසරේ ද ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සඟරාවෙන් නම් කරනු ලබන්නේ ජෙෆ් බෙසෝස්ව යි. 2019 වසරේ එහි දෙවන ස්ථානය හිමි වී තිබෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානියා වන බිල් ගේට්ස්ට යි.

1994 වසරේ දී ඇමසන් සමාගම නිර්මාණය කරන ඔහුට, වර්තමානය වන විට ඇමසන් හි තනි අයිතිය ඇති කොටස් ප්‍රමාණය 16%ක් වෙනවා, ඔහු 2018 වසරේ අප්‍රේල් මාසයේ සිය වසර 25ක විවාහය කෙළවර කරමින් දික්කසාදය නිවේදනය කරනවා. දික්කසාදයෙන් අනතුරුව ජෙෆ් බෙසෝස් බිරිඳ සඳහා ඇමසන් සමාගමේ කොටස්වලින් 4%ක තනි අයිතියක් පවරා දෙනවා. ඒ සමඟින් ජෙෆ් බෙසොස්ගේ බිරිඳ ලොව ධනවත්ම කාන්තාවන් ලැයිස්තුවට ඇතුළත් වෙනවා. මෑත කාලයේ දී දික්කසාදයකින් වැඩිම මුදල් ප්‍රමාණයක් ලබාගත් කාන්තාව ලෙස ද ඇය වාර්තාවක් තබනවා.

තවත් ව්‍යාපාර කිහිපයක් ජෙෆ් බෙසොස් විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර, අභ්‍යවකාශ සමාගමක් මඟින් අභ්‍යවකාශය වෙත මිනිසුන් යැවීමේ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට අදහස් කරමින් සිටිනවා.

ජෙෆ් බෙසෝස්ගේ දික්කසාදය- ලොව ධනවත්ම දික්කසාදය 

හිටපු බිරිඳ සමග (NBC news)

පසුගිය වසරේ දී, වසර 25ක් පමණ පැවති එම විවාහයෙන් ඔවුන් දෙදෙනා ස්ව-කැමැත්තෙන්ම වෙන් වී තිබෙනවා. මෙහි දී දික්කසාදය සඳහා දෙදෙනාම කැමැත්ත පළ කළ බව ට්විටර් ඔස්සේ එක්ව ප්‍රකාශ කර තිබෙනවා.

ඇමසන් ප්‍රධානී ජෙෆ් බෙසොස් ඔහුගේ බිරිඳ වන මැකෙන්සීගෙන් දික්කසාද වීම සඳහා ඩොලර් බිලියන 35ක් හෙවත් පවුම් බිලියන 27කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවනු ලබනවා. දෙදෙනාගේ දික්කසාදය නිවේදනය කරන විට ජෙෆ් බෙසොස්ගේ වයස අවුරුදු 55ක් වන අතර බිරිඳ මැකෙන්සීගේ වයස අවුරුදු 48ක් පමණ වෙනවා. බෙසොස් හිමිකාරිත්වය දරන වොෂින්ටන් පොස්ට් හා බ්ලූ වර්ජින් සමාගමේ ප්‍රතිශතාත්මක හිමිකාරිත්වය දික්කසාදයෙන් පසුව ඇයට අහෝසි වී යනවා. ඒ වෙනුවට ඇයට පිරිනැමෙන වන්දි මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 35ක්.

1992 වසරේ දී ඔහු පටන් ගත් කුඩා සමාගමක් සඳහා සම්මුඛ පරීක්ෂණයට පැමිණි මැකෙන්සීව හඳුනාගන්නා ජෙෆ් බෙසොස්, ඉන් වසරකට පමණ පසුව ඇයව විවාහ කරගෙන තිබෙනවා.

ජෙෆ් බෙසොස් හා යසන්ත යසන්ත රාජකරුණානායක

ජෙෆ් හා යසන්ත (The Economic Times)

ජෙෆ් බෙසෝස් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ යසන්ත රාජකරුණානායකගෙන් ගණිත ගැටළුවක් විසඳන ආකාරය පිළිබඳව විමසා දැනගත් බව, ඔහු මෑතක දී රුපවාහිනි වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කරනවා.

ගණිත ගැටළුවක් විසඳාගැනීම සඳහා ජෙෆ් හා ඔහුගේ මිතුරා පැය ගණනාවක් උත්සාහ කළත්, එය විසඳීමට ජෙෆ්ට හෝ මිතුරාට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ අවස්ථාවේ විශ්වවිද්‍යාලයේ ගණිතය විෂයයට දක්ෂයෙක් වූ යසන්තව හමුවීමට ඔවුන් දෙදෙනා තීරණය කරනවා. යසන්ත විසින් පිටු කිහිපයක සමීකරණ ලියා මෙම ගැටළුව විසඳනවා.

ලොවේ අංක එකේ ධනවතාව සිටිමින් ඔහු විසින් මේ සිදුවීම මාධ්‍යට ප්‍රකාශ කිරීම මඟින් ඔහුගේ මතකය පිළිබඳව මෙන්ම ඔහුගේ නිහිතමානිත්වය පිළිබඳව ද බොහෝ ප්‍රශංසා හිමි වෙනවා.

ජෙෆ් බෙසෝස් පිළිබඳ නවතම ප්‍රවෘත්තිය- බින් සල්මාන් විසින් ඔහුගේ දුරකතනය හැක් කිරීම 

ජෙෆ් හා බින් සල්මාන් (cnn.com)

ජෙෆ් බෙසෝස් පිළිබඳව ලැබෙන නවතම ආරංචිය වන්නේ සෞදි ආරාබියේ ඔටුන්න හිමි කුමාරයා මෙන්ම එරට ආරක්ෂක ඇමතිවරයා වන මොහොමඩ් බින් සල්මාන් විසින් ජෙෆ්ගේ ජංගම දුරකථනය හැක් කිරීම යි. 

මේ පිළිබඳ චෝදනා ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය මෙන්ම සෞදි අරාබි රජය ද දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. 2018 වසරේ දී ජෙෆ්ගේ දුරකතනයට වට්සැප් ඔස්සේ සබැඳුමක් එවමින් ඒ ඔස්සේ ඔහුගේ දුරකතනයට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව සඳහන් වෙනවා. මීට පෙර ද සෞදි අරාබියට මෙම චෝදනාව ම එල්ල වී තිබෙන අතර, ඒ අවස්ථාවල දීත් ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

එහි දී බින් සල්මාන් කුමාරයා විසින් පැය කිහිපයක දී ජෙෆ්ගේ දුරකතනයෙන් දත්ත විශාල ප්‍රමාණයක් සොරාගෙන ඇති බව ද පැවසෙනවා. ඇමෙරිකාවේ ෆොක්ස් ටීවී හි හිටපු නිවේදිකාවක් වර්තමානයේ දී ජෙෆ්ගේ පෙම්වතිය වන අතර, ඔවුන් අතර හුවමාරු වූ පණිවුඩ කිහිපයක් පසුගිය දා සමාජ මාධ්‍ය ජාලවලට එකතු වීමට මෙම ක්‍රියාවලියේ බලපෑමක් ඇත් ද යන්න මේ වන විට පර්යේෂණ සිදුකෙරෙනවා.

ජෙෆ්ට අයත් වොෂින්ටන් පොස්ට් පුවත්පතේ ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් පුවත් විශාල ප්‍රමාණයෙන් පළ වීම හේතුවෙන්, බින් සල්මාන් කුමාරයා ජෙෆ්ගේ දුරකථනය හැක් කිරීමට ඇති බව ඇමසන් සමාගම විසින් ප්‍රකාශ කරනවා. නමුත්, මේ සියලු චෝදනා බින් සල්මාන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මූලාශ්‍රයයන්:

BBC

nytimes

කවරයේ පින්තූරය- youtube 

Related Articles