හවුල් ව්‍යාපාරයක් හැඳින්වීම

1890 හවුල් ව්‍යාපාර පනතට අනුව හවුල් ව්‍යාපාරයක් යනු ලාභ ලැබීමේ අරමුණින් පොදු ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයින් අතර පවතින සම්බන්ධතාවයකි. සෑම හවුල් ව්‍යාපාරයක්ම ප්‍රධාන අංග 4කින් සමන්විත වේ. මින් එක් අංගයක් හෝ නැතිනම් එය හවුල් ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැක. ඒවා නම්

  • හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු වත් සිටිය යුතුය. 2007 අංක 07 දරන සමාගම් පනතට අනුව උපරිම හවුල් කරුවන් ගණන 20කි.
  • හවුල්කාරිත්වය සදහා ව්‍යාපාරයක් තිබිම අවශ්‍ය වේ. හවුල් ව්‍යාපාර ආඥා පනතේ 45 වගන්තියට අනුව ව්‍යාපාරයක් යන්නට වෙළඳාමක්, රැකියාවක් හෝ වෘත්තියක් අයත් වේ.
  • ලාභ ලැබීමේ පරමාර්ථයක් තිබිය යුතුය.
  • හවුල් කරුවන් අතර පොදු එකඟතාවයක් තිබිය යුතුය.

හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම

businesslawnews.com

වංචා වැළක්වීමේ ආඥා පනතේ 18 වන වගන්තිය අනුව මුලින් යොදන මුදල (ප්‍රාග්ධනය) රුපියල් 1000කට වැඩිවන හවුල් ව්‍යාපාර ගිවිසුමක් ලිඛිතව (රචනා කර) තිබිය යතුය. මුලින් යොදන මුදල රුපියල් 1000කට අඩුවන විට හවුල් ව්‍යාපාර ගිවිසුමක් ලිඛිත වීම අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස පේට් එරෙහිව පේට් නඩුවේදී එක් හවුල් කරුවෙක් අනික් හවුල්කරුවන්ට එරෙහිව නඩු දමන ලද්දේ ඔවුන්ට හරි ආකාරයෙන් ව්‍යාපාරයේ ගණන් හිලව් බේරීමට නොහැකි වීම නිසයි. හවුල් ව්‍යාපාරය පටන් ගැනීමට ඔවුන් මුලින් යෙදූ මුදල රුපියල් 1000ට වැඩි වුවත් ලිඛිත ගිවිසුමක් තිබුණේ නැත. උසාවිය තීරණය කළේ වංචා වැළක්වීමේ ආඥා පනතේ 18 වන වගන්තිය අනුව ලිඛිත ගිවිසුමක් නොමැති නිසා මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවයි.

හවුල්කරුවෙකු සතු අයිතිවාසිකම්

හවුල් ව්‍යාපාරයක් තුළ ඇති හවුල් කරුවන්ගේ සම්බන්ධතාවය පාලනය කරන්නේ ඔවුන් අතර පවතින ගිවිසුම හරහාය. මෙම ගිවිසුම් හවුල් ව්‍යාපාරයෙන් හවුල් ව්‍යාපාරට වෙනස් වේ. එසේ හවුල් ව්‍යාපාර ගිවිසුමක් නොමැති විටක හවුල් කරුවන්ගේ අයිතිවාසිකම් තීරණය කිරීමට හවුල් ව්‍යාපාර ආඥා පනත වැදගත් වේ. මෙම පනතට අනුව හවුල් කරුවන් සතු ප්‍රධාන අයිතීන් පහත පරිදි වේ.

හවුල් කරුවෙක් යොදන ප්‍රාග්ධනයට ලාභ ලැබීමේ අයිතිය

හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියට අනුව හවුල් කරුවෙක් යොදන ප්‍රාග්ධනයට ලාභාංශ ලැබීමේ අයිතිය ඔහු සතුවේ. එමෙන්ම ප්‍රාග්ධනය අඩුවීම් හා අලාභයන්ද සමසේ දැරිය යුතු වේ. තවද ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවෙකු විසින් යොදන යම් මුදලක් ඔහු හවුල් ව්‍යාපාරයට ලබා දුන් ණයක් ලෙස සැලකිය යුතු අතර ඒ සඳහා 5% වාර්ෂික පොලියක් ගෙවිය යුතුය.

හවුල් ව්‍යාපාරය කලමනාකරණය කිරීමේ අයිතිය

හවුල් ව්‍යාපාර ආඥා පනතේ 25 වන වගන්තියට අනුව ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලට සම්බන්ධ වීමට සෑම හවුල් කරුවෙකුටම අයිතියක් ඇත.

නව හවුල්කරුවන් හදුන්වා දීමේ අයිතිය

හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24(7) වගන්තියට අනුව සාමාන්‍ය නීතිය වන්නේ සියලු හවුල් කරුවන්ගේ එකඟත්වය නැතිව අලුත් හවුල් කරුවන් හදුන්වා දීමට නොහැකි බවයි. නමුත් තමන්ගෙන් පසුව යම් කෙනෙකු හවුල් ව්‍යාපාරය සදහා නම් කිරීමේ අයිතිය අදාල හවුල් ව්‍යාපාර ගිවිසුම මගින් ලබා දී ඇත්නම් එසේ නම් කරන පුද්ගලයා නව හවුල් කරුවෙකු ලෙස පිළිගත යුතුය.

හවුල් ව්‍යාපාරය සම්බන්ධ තීරණ ගැනීමේ අයිතිය

හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24(8) වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයට අදාල එදිනෙදා ගැටළු විසදා ගැනීම සදහා වැඩි හවුල්කරුවන් ප්‍රමාණයකගේ එකඟත්වයෙන් තීරණ ගැනීම ප්‍රමාණවත් වේ. නමුත් හවුල් ව්‍යාපාරයේ ස්වරුපය වෙනස් කිරීමට නම් සියලු හවුල් කරුවන්ගේ කැමැත්ත අවශ්‍ය වේ.

හවුල් කරුවෙකු සතු වගකීම්

smokefreepartnership.eu

  • හවුල් ව්‍යාපාරය තුල සිටින එක් එක් හවුල්කරුවන් අනෙක් හවුල්කරුවන්ගේ නියෝජිතයා ලෙස සැලකේ. එමනිසා එක් හවුල් කරුවෙකුගේ ක්‍රියාවකින් හටගන්නා ලාභයට අනෙක් හවුල්කරුවන්ට අයිතිවාසිකම ලැබේ. මේ හේතුවෙන් හවුල් කරුවෙකු සතු ප්‍රධාන වගකීමක් වන්නේ හවුල් ව්‍යාපාරය වෙනුවෙන් උපයන ලාභ හවුල් ව්‍යාපාරයට එකතු කිරීමයි.
  • හවුල් ව්‍යාපාර ආඥා පනතේ 29 වන වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයේ සියලුම ගනුදෙනු පිළිබඳව තොරතුරු හෙළි කිරීමට සහ ගනුදෙනු සටහන් කර තැබීමට හවුල් කරුවන් බැඳී සිටි.
  • තමාගේ දේපලක් හවුල් ව්‍යාපාරයට යොදවා ඇති හවුල් කරුවෙකුට අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත නොමැතිව එම දේපල විකිණිය නොහැක.

හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරීම

හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරීම යනු කීප දෙනෙකු එකට එක්වී හවුලේ පටන් ගත් කාර්යය නවතා දැමීමයි.

හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරීම අකාර දෙකකට කළ හැක.

අධිකරණයේ මැදිහත් වීමෙන් තොරව

මේ සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාර ආඥා පනතේ 32,33,34 වගන්ති වැදගත් වේ. 32 වන වගන්තියට අනුව හවුල් ව්‍යාපාර විසුරුවා හරින ආකාර තුනකි. ඒවා නම්,

  • සියලු පාර්ශව කරුවන්ගේ කැමැත්ත මත
  • යම් කාර්යයකට හවුල් ව්‍යාපාරය පිහිටුවා ඇතිවිට එම කාර්යය අවසන් වූ පසු
  • යම් කාලයකට හවුල් ව්‍යාපාරය නිර්මාණය කර ඇතිවිට එම කාලය අවසන් වූ පසු

33 වන වගන්තියට අනුව හවුල් කරුවෙකු මියගිය විට හෝ බංකොලොත් වීම නිසා අධිකරණයේ මැදිහත් වීමක් නැතිව හවුල් ව්‍යාපාරය විසුරුවා හැරිය හැක. 34 වන වගන්තිය අනුව හවුල් ව්‍යාපාරයේ කටයුතු නීති විරෝධී වන විටද හවුල් ව්‍යාපාරය විසුරුවා හැරිය හැක.

අධිකරණයේ නියෝග මත

හවුල් ව්‍යාපාර ආඥා පනතේ 35 වන වගන්තියට අනුව පහත අවස්ථා වලදී අධිකරණය මගින් හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරීමට නියෝගයක් ලබාගැනීමට හවුල් කරුවෙකුට පෙත්සමක් මගින් ඉල්ලීමක් කර හැක.

  • යම් හවූල් කරුවෙකු තම කටයුතු කරගෙන යා නොහැකි ලෙස රෝගීවීම
  • යම් හවූල් කරුවෙකු හවුල් ගිවිසුමේ ඔහුට නියමිත කාර්යය සම්පුර්ණ කිරීමට ස්ථිරවම අපොහොසත් වීම
  • හවුල් කරුවෙකු ඔහුගේ අහිතකර පැවැත්මට වරදකරුවී එය ව්‍යාපාරය පවත්වාගෙන යාමට අහිතකර ලෙස බලපාන විට
  • හවුල් කරුවෙකු සිතාමතා එක දිගට හවුල් ව්‍යාපාර ගිවිසුම කඩකරන විට
  • හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යා හැක්කේ පාඩු පිට පමණක් වන විට.

හවූල් ව්‍යාපාර සම්බන්ධ නීතිය ගැන අලුත් යමක් ඔබත් මේ ලිපියෙන් ඉගෙන ගන්නට ඇතැයි අපි හිතමු. ඉදිරියටත් මෙවන් නෛතික ලිපි ඔබ වෙත ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා, ඉතින් ඔබත් දැනගන්නට කැමති නීතිමය මාතෘකා ආදිය තිබේ නම් comment වලින් අපිට දන්වන්න.

කවරයේ පින්තුරය – 9jalegal.com.ng

මුලාශ්‍ර

  1. වාණිජ්‍ය නීතිය පළමු කොටස, ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය, නීති විද්‍යාලය.
  2. advocatekhoj.com
  3. preservearticles.com