Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 වසරේ ලොව පුරා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්

මාධ්‍ය මර්දනය, මාධ්‍යවේදීන් පැහැරගෙන යාම, ඝාතනය කිරීම අපගේ ශබ්ද කෝෂයේ කලෙක පටන් ම අනිවාර්ය අංග බවට පත්ව තිබේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නිසි ලෙස තහවුරු කර නොමැති රටවල මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වීම සුපුරුදු අංගයක් බවට පත්ව ඇත. විටෙක පවතින ආණ්ඩුවල මර්දනයට ද, තවත් විටෙක සන්නද්ධ සංවිධානවල මර්දනයට ද මාධ්‍ය ලක්ව තිබේ. සෞදි අරබි මාධ්‍යවේදියෙකු වූ ජමාල් කශෝගි යනු පසුගිය වසරේ ලොව වඩාත් ම අවධානයට ලක්වූ මාධ්‍යවේදියා යි. ඔහුගේ ඝාතනය පිළිබඳ ව ලොව සෑම තැනක ම කතා බහට ලක්වූ අතර, ලොව පුරා එලෙස මාධ්‍යවේදීන් 30කට වඩා පිරිසක් ඝාතනයට ලක්ව තිබේ. මේ ඉන් කිහිපදෙනෙකු පිළිබඳ කෙටි තොරතුරු එකතුවකි.

ජමාල් කශෝගි (cnn)

මහාරම් දුරානි- ඇෆ්ගනිස්ථානය

දුරානි ඝාතනයට ලක් වූයේ පසුගිය 2018 වසරේ අප්‍රේල් 30 වන දා ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී එල්ල වූ මරාගෙන මැරෙන ද්විත්ව බෝම්බ ප්‍රහාරයේ දී ය. මෙම ප්‍රහාරයෙන් ඇයත් සමග තවත් මාධ්‍යවේදීන් දසදෙනෙකු ඝාතනයට ලක් විය. දුරානි ඒ වන විට ඇෆ්ගනිස්ථානයේ Azadi ගුවන්විදුලියේ ප්‍රකාශිකාවක් ලෙස කටයුතු කරමින් එහි පුහුණුව ලබමින් සිට තිබේ. ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය වෘත්තියේ ක්ෂේත්‍රය තුළ වාර්තාකරණ කටයුතු කළ කාන්තාවන් සාමාන්‍යයෙන් හිඟ වන අතර, තරුණ දුරානි ඉන් එක් අයෙකු විය. 1990 වසරේ උපත ලද ඇය ඝාතනයට ලක් වන විට 28 වන වියේ පසුවිය.

දුරානි (theguardian)

ජෙෆර්සන් පුරේසා ලෝපේස්- බ්‍රසීලය

1979 නොවැම්බර් මස 17 වැනි දා උපත ලද ජෙෆර්සන් බ්‍රසීලයේ Radio Beria Rio FM ගුවන්විදුලියේ නිෂ්පාදකවරයෙකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර, ඔහු කිසිදු පැකිළීමකින් තොරව දේශපාලකයන් ව විවේචනය කිරීමටත් ඔවුන්ගේ දූෂණ වංචා පිළිබඳ තොරතුරු සමාජගත කිරීමටත් කටයුතු කරන ලදී. 2018 වසරේ ජනවාරි මස 17 වන දා ඔහු ව වෙඩි තබා ඝාතනය කර තිබූයේ ඔහුගේ ම නිවසේ විසිත්ත කාමරය තුළ දී යි.

ජෙෆර්සන් (diariodegoias)

ඔහුගේ ඝාතනයට පෙර 2017 නොවැම්බර් 19 වැනි දා ඔහු සේවය කළ ගුවන්විදුලි මධ්‍යස්ථානයට මැර ප්‍රහාරයක් එල්ල වී ගිනිතබා විනාශ කර දමා අනතුරු ඇඟවීමට ද ජෙෆර්සන් නිසා අර්බුදයට පත් ව සිටි සතුරන් කටයුතු කර තිබුණි. නමුත් ඉන් සැලුණේ ඔහු නොවේ. ගිනිබත් වූ ගොඩනැඟිල්ල තුළ සිට වීඩියෝවක් පටිගත කර මුහුණුපොත හරහා ප්‍රචාරය කරමින් ඔහු පැවසුයේ, ඉතාමත් ඉක්මනින් නැවතත් ගුවන් විදුලියේ කටයුතු අරඹන බව යි. ඔහුගේ පසුනොබැසීම මත සතුරා විසින් ජෙෆර්සන් ව සදහට ම නිහඬ කර දමන ලදී. ඔහුගේ ඝාතනයට මෙතෙක් කිසිවෙක්ට චෝදනා එල්ලකොට ද නැත.

ගිනි තැබීමෙන් පසු ජෙෆර්සන් නිකුත් කළ වීඩියෝව;

ඊබ්‍රහීම් අල්-මුන්ජාර්- සිරියාව

1992 වසරේ උපන් 26 හැවිරිදි වූ තරුණ මාධ්‍යවේදියෙකු වූ ඊබ්‍රහීම් ඔහුගේ ම නිවස ඉදිරිපිට දී නාදුනන කල්ලියක් විසින් ඝාතනය කරන්නේ 2018 මැයි මස 17 වැනි දා ය. සිරියානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන SY24 හි වාර්තාකරුවෙකු ලෙස ඔහු කටයුතු කරමින් සිටි අතර, ඔහු කළ සේවය පිළිබඳ ව එහි සංස්කාරකවරයෙකු වන ගායිත් හම්මූර් ප්‍රකාශ කරන්නේ තම ආයතනයේ සීමිත පහසුකම් අනුව විශාල පිරිසක් සේවය සඳහා නොසිටි බැවින් ඊබ්‍රහම් විසින් වීඩියෝකරණ කටයුතුවල දී කැමරාකරු ලෙසත්, ඉදිරිපත් කරන්නා ලෙසත්, පුවත් සංස්කාරක ලෙසත් සියලු දේ සිදුකළ බව යි.

ඊබ්‍රහම් (theguardian)

ජාන් කුෂේක්- ස්ලෝවැකියාව

පැනමා පත්‍රිකා සහ පැරඩයිස් පත්‍රිකා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරමින් සිටි ගවේෂණශීලී තරුණ මාධ්‍යවේදියෙකි ජාන් කුෂේක්. 2018 පෙබරවාරි 21 වන දා ඔහු සහ ඔහු විවාහ ගිවිස ගෙන සිටි මාටීනා කුස්නිරෝවා පදිංචි ව සිටි නිවාස සංකිර්ණය තුළ වෙඩි තබා ඝාතනය කොට තිබූ ඔවුන් දෙදෙනාගේ සිරුරු හමුවිය. ජාන් ඒ වන විට ස්ලෝවැකියා පුවත් වෙබ් අඩවියක් වූ Aktuality.sk හි මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරමින් සිටි අතර, ඔහු වසර එක හමාරක පමණ කලෙක සිට මරණය දක්වා පැනමා පත්‍රිකා සහ පැරඩයිස් පත්‍රිකා විමර්ශනය කරමින් සිටි අතර, ඔහු සහ ඔහුගේ මාධ්‍යය සගයන් විසින් ඒ වන විට ස්ලෝවැකියා අගමැතිව සිටි රොබට් ෆිකෝ ඉතාලි මාෆියා සංවිධානයක් සමග ගනුදෙනු කරන බවට තොරතුරු සොයා යමින් සිටියේ ය. ඒ සමග ජාන් ඝාතනයට ලක්වීමෙන් විශාල මහජන විරෝධයක් එල්ලවීමෙන් පසු ව සති දෙකකින් ඔහු ධූරයෙන් ඉල්ලා අස්විය. මියයන විට ජාන් 28 වන වියේ පසුවිය.

ජාන් සහ මාටීනා (theguardian)

ලෙස්ලි ඈන් පැමෙලා මොන්ටෙනිග්‍රෝ- මෙක්සිකෝව

මෙක්සිකෝවේ මාධ්‍යවේදිනියක වූ ලෙස්ලි ඈන් ඊට අමතර ව Youtube ක්‍රියාකාරිනියක ලෙස ද, El Sillion නම් online සඟරාවක් ද පවත්වාගෙන යන ලදී. 1980 උපන් ඇය ඝාතනය වන්නේ 2018 වසරේ පෙබරවාරි මස 5 වැනි දා යි. පැමෙලා සිය සැමියා සමග අවන්හලක සිටිය දී එහි කඩා වැදුණු තුවක්කුකරුවෙකු විසින් ඔවුන්ට වෙඩි තැබූ අතර, දිව ගියත් ජීවිතය ආරක්ෂා කර ගැනීමට ඇයට නොහැකි විය. තුවක්කුකරු විසින් පැමෙලාගේ හිසට වෙඩි තබන ලදී. පසුගිය වසරේ මෙක්සිකෝවේ දී ඝාතනය වූ මාධ්‍යවේදීන් පස්දෙනා අතරින් පැමෙලා එක් අයෙකි. ජීසස් ඇලෙසැන්ද්‍රෝ මාකේස්, කාලෝස් ඩොමිනගූස් රොඩ්‍රිගුස්, ලියෝබාඩෝ වස්කේස් ඇට්සින්, සහ මාරියෝ ලයනල් ගෝමස් සන්චෙස් ඉතිරි සිව්දෙනා ය.

ලෙස්ලි ඈන් (elheraldo)

දේශපාලකයන්ගේ, රජයේ නිලධාරීන්ගේ දූෂණ පිළිබඳ ව දැඩි ව විවේචනය කළ ඇයට ඝාතනය දක්වා ම විවිධ අවස්ථාවන් හි දී අපරාධ කල්ලිවලින් මරණ තර්ජන ලැබී තිබුණි.

මූසා අබ්දුල් කරීම්- ලිබියාව

ලිබියාවේ පුවත්පතක් වන Fasanea හි ඡායාරූප ශිල්පියෙකු සහ සංස්කාරකවරයෙකු වූ මූසා, 2018 ජූලි මස 31 වන දා නාදුනන ඝාතන කල්ලියක් විසින් පැහැරගෙන ගොස් තිබූ අතර, පසුව වධ බන්ධනයට ලක්කර වෙඩි තබා ඝාතනය කළ සිරුර හමුවිය. ලිබියාව තුළ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක ව පවතින අතර, මෙසේ මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වීම වරින් වර සිදුවේ. Fasanea පුවත්පතේ ප්‍රධාන සංස්කාරක සලීමා බින් නෝසා මේ ගැන පැවසුයේ ලිබියාව තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නොමැති බවත්, මාධ්‍යවේදියෙකු වීම මෙහි ඉතාමත් ම භයානක කාරණයක් බවත් ය.

මූසා අබ්දුල් (theguardian)

Rob Hiaasen- එක්සත් ජනපදය

2018 ජූනි 28 වන දා එක්සත් ජනපදයේ මැරිලන්ඩ්හි The Capital පුවත්පත් කාර්යාලයට ඇතුළු වූ තුවක්කුකරුවෙකු විසින් තැබූ වෙඩි පහරින් රොබ් ඇතුළු පස්දෙනෙකු ඝාතනය විය. The Capital පුවත්පතේ සහකාර සංස්කාරක සහ තීරු රචකයෙකු වූ රොබ් ඇතුළු පිරිසගේ ඝාතන සැකකරු දැනට චෝදනා ඉදිරිපත් කර නඩු විභාගයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.

Rob Hiaasen (theguardian)

ශුදාත් බුකාරි- ඉන්දියාව

ශුදාත් බුකාරි (theguardian)

1968 පෙබරවාරි 25 වන දා උපත ලැබූ ශුදාත්, කාශ්මීරයේ දිනපතා පුවත්පතක් වන Rising Kashmir නිර්මාපකයා වූ අතර, 2018 ජූනි 14 වන දා ඉන්දියාවේ ශ්‍රීනගර් හි දී ඔහු ගමන් කළ මෝටර් රථයට නාදුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය විය. ශුදාත්ගේ මිතුරෙකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සමීර් යසීර් විසින් පවසන්නේ ඔබ කාශ්මීරයේ ජනමාධ්‍යවේදියෙකු නම්, එය ඉතාමත් දුෂ්කර කාර්යයක් වනු ඇති බව යි. මන්ද සන්නද්ධ සංවිධානත්, රජයේ හමුදාවත්, ඉන්දියානු රජයත්, පාකිස්ථානයත් යන සියල්ලන් ම කුපිත නොවන ලෙස ක්‍රියා කිරීමට සිදුවීම යි.

වෙඩි වැදුණු මෝටර් රථය (theguardian)

පෝල් රිවාස් බ්‍රාවෝ- ඉක්වදෝරය

ඉක්වදෝරයේ El Comercio දිනපතා පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියෙකු වූ පෝල් රිවාස් ඝාතනයට ලක්වන්නේ ද මාධ්‍යය කටයුත්තක් සඳහා පිටත් ව යන අවස්ථාවේ දී යි. මාධ්‍යවේදියෙකු වූ ජාවීර් ඔටේගා සහ රියදුරු එෆ්‍රේන් සෙගාරා සමග පෝල් රිවාස් එසේ තම රාජකාරි අතරතුර දී මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී. ඔවුන්ව ඝාතනය කළ බව තහවුරු වූයේ 2018 අප්‍රේල් 13 වැනි දා යි. ඒ වන විට ඔවුන් අතුරුදන් කර මාස 8ක් ගත ව තිබුණි.

පෝල් රිවාස් (theguardian)

කවරයේ පින්තූරය: theguardian

මූලාශ්‍රය: www.theguardian.com

Related Articles