කිසිදු රජයකට කිසිවිට කඩ කළ නොහැකි විශ්වීය නීති

‘ජුස් කෝගෙන්ස්’ (Jus Cogens) ලෙස හැඳින්වෙන්නේ විශ්වීය වශයෙන් පිළිගත් නෛතික නියාමයන් හෙවත්, කිසිදු රජයක් විසින් කිසිදු හේතුවක් මත කඩ නොකළ යුතුයැ යි සැලකෙන නෛතික නියාමයන් පෙළක්. 

රටකින් රටකට ක්‍රියාත්මක වන නීතී පද්ධතීන්හි විශාල වෙනස්කම් පවතිනවා. ඒ ඒ රාජ්‍යයන් සිය නීති පද්ධතීන් සකසා ගෙන තිබෙන්නේ තම රටට ගැළපෙන ආකාරයට යි. එනිසා රටකින් රටකට ක්‍රියාත්මක වන නීතීන් අතර විවිධ අසමානතාවන් පවතිනවා. ඇතැම් රාජ්‍යයන්හි ක්‍රියාත්මක වන්නේ ශුද්ධ වූ ආගමික ලේඛන මත පිහිටුවා සකසා ගත් නීතීන්. මහා බ්‍රිතාන්‍යය වැනි රටකට ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවතින්නේත් නැහැ. ඇතැම් රටවල්වල ක්‍රියාත්මක වන්නේ රාජාණ්ඩු පාලනයක්. හමුදා පාලනය යටතේ පාලනය වන පාලන පද්ධතීනුත් ලොව පවතිනවා. ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පදනම්ව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයනුත් ලොව පවතිනවා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළු පරිශ්‍රය (Wikimedia Commons)

ඉතින් මේ සරල හැඳින්වීම තුළ ඔබ දුටු විවිධත්වය, රටකින් රටකට ක්‍රියාත්මක වන, බලාත්මක නීති පද්ධතීන් අධ්‍යයනය කිරීමේ දී ඉතා සංකීර්ණ දුරකට පැතිරෙනවා. මෙවන් විවිධත්වයක් පවතින ලෝකයක පොදුවේ පිළිගත් නෛතික නියාමයන් පවතින්නේ ද යන්න තමයි ඊළඟට මතුවන ගැටලුව. විවිධ අදහස් දරන, විවිධ රුචිකත්වයන්ගෙන් යුත් විශ්ව ජනගහනය අතරේ, පොදුවේ පිළිගත යුතුයැ යි පැවසෙන නෛතික රාමුවක් පිළිබඳ කිසියම් සම්මුතියක් පවතින්නේ ද යන්න සොයා බැලීම සැබවින්ම කුතුහලය දනවන කරුණක්. ලොව පුරා පැතිර සිටින ජනගහනය; ආගමික, සමාජයීය, සංස්කෘතික, යනාදී  විවිධත්වයන් ගණනාවකින් යුක්ත වූවත්, මේ සියලුදෙනාම පොදුවේ ගත්කල මිනිස්සු. ඔවුන්ගේ උවමනාවන් විවිධාකාර වුවත්, අවශ්‍යතාවන් වන්නේ මිනිසෙකු වශයෙන් ජීවත් වීමේ දී අවම වශයෙන්වත් පැවතිය යුතු තත්ත්වයනුයි. ආහාර, ජලය, නිවාස, කැමති වෘත්තියක නියැලීම, ආගමික නිදහස, සෞඛ්‍ය සම්පන්න බව, ජීවත් වීමට ඇති කැමැත්ත, ආර්ථික වෘද්ධිය වැනි මූලික විෂය පථ‍යන් සලකා බැලීමේ දී පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ලොව ඕනෑම මිනිසෙකුට කිසිදු තරාතිරමකින් තොරව මේ විෂය පථයන් සඳහා රුචිකත්වයක් පවතින බව. 

‘ජුස් කෝගෙන්ස්’ ලෙස හැඳින්වෙන, විශ්වීය වශයෙන් පිළිගත් නෛතික නියාමන් සඳහා පදනම වැටෙන්නේ ද මෙවන් බෙහෙවින්ම ප්‍රාථමික වූත්, මූලික වූත් කාරණාවන් පදනම් කරගෙන. ජුස් කෝගෙන්ස් නෛතික නියාමයන් ව්‍යවස්ථාපිතව වශයෙන් මේවායැ යි ලිඛිතව ලියැවී නොතිබුනත්, පොදුවේ ලෝකය පිළිගත් කරුණු ගණනාවක් මේ යටතට අන්තර්ගත වුණා. එකී නියාමයන් කිසිදු විරෝධතාවකින් තොරව සියලු ලෝකවාසීන් පිළිගත් කාරණාවන් වූවා. කෙසේ නමුත් මෙම විශ්වීය නියාමයන් සම්බන්ධයෙන් ලිඛිත ඒකමතිකත්වයකට පැමිණිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනාගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය දීර්ඝ කාලීන වැඩපිළිවෙළ අතරට ජුස් කෝගෙන්ස් ඇතුළත් කරගන්නේ වර්ෂ 2015 දෙසැම්බර් මස 23 වන දින එක්සත් ජාතීන්ගේ සමුළුවේදී; අංක 70/236 දරණ යෝජනා සම්මතය හරහා. 

අන්තර්ජාතික නීති කොමිසම (Flickr)

මෙකී විශ්වීය නියමයන් හැඳින්වීම සඳහා හුදෙක් භාවිත වූ Jus Cogens යන නාමය වෙනුවට ‍“Peremptory norms of general international law (jus cogens)” යන නාමය හඳුන්වාදීම වර්ෂ 2017 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකෙරුනා. මෙකී අනුල්ලංඝනීය නියමයන් විය යුත්තේ මොන වාද යන්න පිළිබඳ විශේෂ වාර්තා සකසමින් මහා සමුළුව වෙත රපෝර්තු කිරීමක් මෙහිදී සිදුවුණා. ඒ අනුව වර්ෂ 2019 මැයි 31 වන දින පැවැත්වූ, එක්සත් ජාතින්ගේ සංවිධානයේ 3472වන සැසි වාරයේ දී, අනුල්ලංඝනීය නියමයන් සම්බන්ධයෙන් අවසාන කෙටුම්පතක් සකසා ඉදිරිපත් කිරීම අන්තර්ජාතික නීති කොමිසම විසින් සිදු කරනු ලැබුවා. එහි 3499 සැසි වාරයේ සිට 3504 වන සැසිවාරය දක්වා, එනම් වර්ෂ 2019 අගෝස්තු 5 වන දින සිට 7 වන දින දක්වා මෙකී කෙටුම්පත සම්බන්ධව අදහස් සහ යෝජනා සලකා බැලුණා. 

අවසානයේ දී වර්ෂ 2019 අගෝස්තු 7 වන දින 3504 වන සැසි වාරයේ දී තීරණය කෙරුණා මෙකී කෙටුම්පත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරණ සියලු රටවල් වෙත යවා, ඒ සම්බන්ධව ඔවුන්ගේ අදහස්, නිරීක්ෂණ ලබා ගැනීමට. මෙකී කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් හා යෝජනා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දීම සඳහා වර්ෂ 2020 දෙසැම්බර් මස 1 වන දින දක්වා කාලය ලබා දී තිබෙනවා.

වර්ෂ 2019 අගෝස්තු 7 වන දින පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සමුළුවේ 3504 වන සැසි වාරයේ දී විශේෂ රපෝර්තුකරු වන මහාචාර්ය ඩයර් ට්ලාඩි වෙත විශේෂ ස්තුතියක් පිරිනැමීම සිදුකරනු ලැබුවා. ඒ, Jus Cogens පිළිබඳව අධ්‍යයනය කර අන්තර්ජාතික නීති කොමිසම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රපෝර්තු කර, මෙකී කෙටුම්පත සකසා එය පළමු වර කියවීමේ දීම සාර්ථක කරගැනීම සඳහා කටයුතු කිරීම සම්බන්ධව යි. 

මහාචාර්ය ඩයර් ට්ලාඩි (enb.iisd.org)

අන්තර්ජාතික නීති කොමිසම මඟින් විශ්වීය මේ වන විට අනුල්ලංඝනීය නියාමයන් ලෙස හඳුනාගෙන තිබෙන ලැයිස්තුවේ අන්තර්ගතය හඳුනාගැනීම වැදගත්. 

  • ආක්‍රමණ තහනම් කිරීම 

උ‍දාහරණ ලෙස; යම් ජනවර්ගයක් හෝ රටක් විසින් තවත් රටක් හෝ ජන වර්ගයක් වෙතට ආක්‍රමණ එල්ල කිරීම තහනම් කිරීම

  • වර්ග සංහාරය 

උ‍දාහරණ ලෙස; යුදෙව් ජන වර්ගයට එරෙහිව ජර්මන් නාසි පාලක හිට්ලර් විසින් සිදු කළ ජන සංහාරය වැනි ජන සංහාර තහනම් කිරීම

  • මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කරන අපරාධ තහනම් කිරීම 

උදා: ඇතැම් අන්තවාදී ආගමිකයන් විසින් වෙනත් ආගම්වල ස්ත්‍රීන්ව සිය කඳවුරු තුළ රඳවාගෙන සමූහ ලිංගික අඩත්තේට්ටම් සිදුකරමින් ද, එසේ කර ඔවුන්ව මරා දමමින් ද, බලහත්කාරයෙන් ගැබ් ගන්වමින් ද, ලිංගික වහලුන් ලෙස තබා ගනිමින් වධ හිංසනයන්ට ලක් කිරීම වැනි අපරාධයන් තහනම් කිරීම.

  • අන්තර්ජාතික මානුෂවාදී නීතිය යටතේ දැක්වෙන මූලික නියාමයන් ආරක්ෂා කිරීම 

උදා: යුද්ධයක් පවතින අවස්ථාවක දී යුද්ධයට සම්බන්ධිත රාජ්‍යයන් හෝ පාර්ශවයන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මූලික නියාමයන් මේ යටතේ හඳුනාගනී. එනම් යුද්ධයේ දී සිවිල් වැසියන් පලිහක් ලෙස භාවිත නොකිරීම, සිවිල් වැසියන් අරභයා ප්‍රහාර දියත් නොකිරීම, යටත් වූ සතුරන්ට තුවාල කිරීම හෝ ඔවුන්ව මරා දැමීම සිදු නොකිරීම, යුද්ධයෙන් තුවාල ලත් සාමාන්‍ය ජනතාව වේ නම් ඔවුනට ප්‍රතිකාර කිරීම සඳහා රතු කුරුස සංවිධානය වැනි මානුෂවාදී කණ්ඩායම්වලට අදාළ යුද කලාපවලට ප්‍රවේශ වීම සඳහා ඉඩකඩ සලසා දීම වැනි නියාමයන් මේ යටතේ හඳුනා ගැනේ. 

  • වහල් මෙහෙය/ වහල්භාවය තහනම් කිරීම 

උදා: මිනිසුන්ව වහලුන් සේ යොදාගැනීම සහ වහලුන් සේ යොදාගැනීම පිණිස මිනිසුන්ව වෙළඳාම් කිරීම තහනම් කිරීම 

  1. වදහිංසනය තහනම් කිරීම
  2. ස්වෛරීභාවය සඳහා පවතින පුද්ගල අයිතිය තහවුරු කිරීම 

යනාදිය මෙකී අනුල්ලංඝනීය නියමයන් පිළිබඳ ලැයිස්තුව යටතේ කෙටුම්පත් කර තිබෙනවා.

අනුල්ලංඝනීය නියමයන් කවරේදැ යි ලිඛිතව ලැයිස්තුගත කිරීම මෑත කාලීනව සිදු වුවත්, විශ්වීය වශයෙන් මින් පෙරත් මේ සම්බන්ධව අවබෝධාත්මක එකඟතාවක් පැවතියා. ඒ අනුව 1969 සම්මුතීන් පිළිබඳ වියානා සම්මුතියෙහි (1969 Vienna Convention on the Law of Treaties) 53 වන ව්‍යවස්ථාවෙහි දැක්වුණේ, අන්තර්ජාතික නීතියේ දැක්වෙන අනුල්ලංඝනීය නියාමයන් හා ගැටෙන කිසිදු සම්මුතියක් බලාත්මක නොවන බවත් අනුල්ලංඝනීය නියාමයක අගය අඩු නොවන බවත්, අනුල්ලංඝනීය නියාමයක් වෙනස් කළ හැක්කේ ඒ හා සමානම ස්වභාවයකින් යුත් තවත් නියාමයකින් පමණක් බවත්. 

කවරයේ පින්තූරය (The Conversation)

මූලාශ්‍රයයන්:

  • Jus Cogens, law.cornell.edu
  • Jus Cogens, oxfordbibliographies.com
  • Summaries of the Work of the International Law Commission – Peremptory Norms of General International Law (Jus Cogens), legal.un.org
  • Peremptory Norms Of General International Law (Jus Cogens), legal.un.org
  • Explained: What is Jus Cogens?, indianexpress.com
  • Jus Cogens, merriam-webster.com
  • Jus Cogens in International Law, spacelegalissues.com

Related Articles